කරවල කෑල්ලෙනුත් පර්යේෂණ පත්‍රිකාවක්
වසර තුනකට පමණ පෙර මට ලංකාවේ පැවති පර්යේෂණ ක්‍රමවේද පිලිබඳ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීමට ආරාධනා ලැබුණි. මෙහිදී මට හමුවූ බොහෝ ලාංකික විද්‍යාඥයන් තුල දකින්නට ලැබුණු කරුණක් නම් ඔවුන් පර්යේෂණ ගැටළුවක් සොයාගත නොහැකිව අතරමං වී ඇති බවයි. නමුත් ඒ කිසිවෙක් මේ බව කෙලින්ම පැවසුවේ නැත.
ලංකාවේ වෙසෙන බොහෝ පර්යේෂකයන් කරන්නේ තමන් ආචාර්ය උපාධිය සඳහා අධ්‍යනය කල විෂය ඔස්සේම තව දුරටත් ගමන් කිරීමට උත්සහ කිරීමයි. එය ඔවුනට යම් සුරක්ෂිතබාවයක් ලබා දෙයි. එසේම විදේශීය රටක සිටින ඔවුන්ගේ PhD සුපවයිසර්වරයාගේද අභිප්‍රාය එයමය. මන්ද එමගින් ඔවුනට තමන්ගේ මූලික පර්යේෂණ අවශ්‍යතා සපුරාගත හැකි බැවිනි. එබැවින් මේ දේශීය පර්යේෂකයෝ රටට අවශ්‍ය වුවත් නැතත් එකම හොද්ද සදාකාලිකවම හැඳි ගාති. ඒ වෙනුවෙන් ඉඳහිට ලැබෙන විදේශීය ගමනකින්, පර්යේෂණ පත්‍රිකාවකින්, සුළු පර්යේෂණ අරමුදලකින් ඔවුහු සෑහීමකට පත්වෙති. මේ රටාවෙන් ඉවත්ව ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඔවුන්ගෙන්ද වැඩි පිරිසක් රට හැර ගොස් ඇත.
මේ තත්වය බොහෝ නොදියුණු රටවල මම පැහැදිලිවම දකිමි. ලංකාව ඉන් එකක් පමණි. මේ රටවල් නොදියුණු ලේබලයෙන් ගොඩ ඒ ගත නොහැකිව සිටින ප්‍රධාන හේතුවක් වන්නේද මෙයයි.
ඔබට රටට සේවයක් කරන්නටත්, පර්යේෂණ පත්‍රිකා ඵල කරන්නටත් ඒ වෙනුවෙන් දැඩි ඇගයීමකට ලක්වීමටත් අවශ්‍ය නම් තමා සතු පර්යේෂණ උපකරණ වලින් පමණක් කල හැකි දේ පවා බොහෝ ඇත.
මම උදාහරණයක් දෙන්නම්.
ලංකාවේ කරවල සෑදීමේ ක්‍රමවේදය බොහෝ දෙනෙකුට නොරහසකි. විකුණා ගත නොහැකි කුණුවූ මාළුවන් ෆෝමලීන් සහ වෙනත් රසායනික ද්‍රව්‍යවල ගිල්ලා ඉන්පසු ක්ෂනිකව වේලා පිළියෙළ කරගන්නා මේ කරවල වලට මැස්සෙක් වත් වහන්නේ නැති බව බොහෝ දෙනෙකු අසා ඇත.
මෙය කරන්නේ මුහුදු ගොස් දිවි පරදුවට තබා මත්ස්‍ය අස්වැන්න රැගෙන එන ධීවරයාද? බොහෝ විට උත්තරය නැත යන්නයි. මෙය දේශපාලන අධිකාරිය, පොලීසිය, පාතාලය යන ත්‍රිත්වයම එකතු වූ මහා පරිමාණ ක්‍රියාවලියක් බව බොහෝ දෙනෙකුට රහසක් නොවේ.
මේ අවකල් ක්‍රියාවට එරෙහිව ගොඩනැගෙන අරගලයකදී සහයවනවා නම්, රසායන විද්‍යාව හා සම්බන්ධ පර්යේෂකයෙකුට කල හැකි ඉතා සරල ක්‍රියාවලියක් ඇත.