ගං වතුරෙන් ගැලවීමක් නැද්ද?

“ස්වභාවික විපත් (natural disaster)” කියා දෙයක් නැත. ඇත්තේ ස්වභාවික ආන්තික සිදුවීම් (natural extreme events) සහ මානව විපත් (human disasters) යන සංසිද්ධි දෙකයි. ස්වභාව ධර්මයේ නිරන්තර වෙනස් කම් සිදුවේ. සමහර වෙනස්කම් සිදුවන්නේ කලාතුරකිනි. වසර 2004ට පෙර ලංකාවේ වැසියන් සුනාමියකට මුහුණ දී තිබුණේ වසර 500 කට වඩා ඈත අතීතයේය. ඒ පෘතුගීසීන් මුහුදුබඩ පෙදෙස් අත්පත් කරගෙන සිටින සමයේය. ඊට පෙර ඒ පිළිබඳව ලියවෙන්නේ විහාරමහා දේවියගේ යුගයේය. ඒ වසර දෙදහසකට පමණ පෙරදීය. මේවා අපි ආන්තික සංසිද්ධි ලෙස හඳුන්වමු. ගං වතුර ඊට වඩා වැඩි සම්භාවිතාවයකින් ලංකාවේ ඇතිවන ආන්තික සිදුවීම්ය.

අරණායක කන්ද නාය ගියේ මිනිස් වාසයක් යට කරගෙනය. එම ප්‍රදේශයේ මිනිසුන් පදිංචිව නොසිටියා නම් එය ස්වභාවික ආන්තික සිදුවීමක් පමණකින් කෙලවර වන්න තිබුණි. නමුත් මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස එය මානව විපතක් බවට පත් විය. ස්වභාවික ආන්තික සිදුවීම් වළක්වාලීම සැහෙන අපහසු කර්තව්‍යයකි. එහෙත් මානව විපත් අවම කරගැනීමට හැකියාව ඇත. නැතිනම් අපි හැකියාවක් ඇතිකරගත යුතුය.

ජල ගැලීම් විපත් අවම කරගැනීම පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන්ට 2016 සිදුවීම ඉතා වටිනා දත්ත සමුහයක් කරගත හැකිව තිබුණි. ඒ තුලින් නිසි පියවර පිළිබඳව වගකිව යුත්තන් දැනුවත් කර තිබුණි නම් මෙවර ගං වතුරේ ප්‍රතිඵල වෙනස් වන්න තිබුණා යයි අපට සිතෙයි.

ජල ගැලීමක විපත් අවම කරගැනීම සඳහා කරුණු රාශියක එකතුවක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් නිවර්තන සහ උපනිවර්තන කලාපීය රටවල දේශගුණය පිළිබඳව අනාවැකි පළකිරීම තරමක් අපහසුය. ඊට හේතුව දේශගුණයේ හැරුම් ලක්ෂ තීරණය කරන පරාමිති විශාල ප්‍රමාණයක් තිබීමයි. එහෙත් මේ සඳහා මේ වන විට පරිඝනක වැඩසටහන් සහ මෘදුකාංග රාශියක් බිහිවී ඇත. මෙම මෘදුකාංග මිළ අධිකය. එබැවින් වඩාත් උචිත වන්නේ අප රටට හෝ කළාපයට වඩාත් ගැලපෙන මෘදුකාංගයක් නිපදවීමයි.

මේ සඳහා අපට මෘදුකාංග විශේෂඥයන් ඕනෑතරම් ඇත. එමෙන්ම අප රටේ සිටින හෝ වෙනත් රටවල සේවය කරන ලාංකික කාලගුණ විද්‍යාඥයන්ගේ දැණුම මේ සඳහා යොදාගත හැක. අවශ්‍යවන්නේ මේ දෙපිරිස එකතුකර කාර්යයට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපාදන සැළසීමයි. පෞද්ගලිකව මගේ මතය වන්නේ මේ සඳහා පසුගිය දශක කිහිපයක සිට කලාපීය දේශගුණ රටාවන් පිළිබඳව මහා පරිමාණයේ පර්යේෂණ පවත්වන ඉන්දීය විද්‍යාඥයන්ගේ සහයෝගය ගතයුතු බවයි. කලාපීය සහයෝගයෙන් තොරව දේශගුණික විපර්‍යාස පිළිබඳව පර්යේෂණ පැවැත්වීම උගහටය.

ඉහත සඳහන් මෘදුකාංගයක් මගින් ඉදිරි වසර, වසර දහය, විස්ස, පනහ වැනි කාල වකවානු සඳහා ඇතිවිය හැකි ආන්තික වර්ෂාපතනයන් පිළිබඳව අනාවැකි පලකළ හැක. අපගේ ගං වතුර විපත් අවම කරගැනීමේ සැලැස්ම ගොඩ නැගිය යුත්තේ මේ අනාවැකි මතය.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.