ගාලු ප්‍රදීපාගාරය

September 8, 2020

ගාල්ලේ පරණ නගරය ගත්තම, ගාලු ප්‍රදීපාගාරයටත් විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ගාල්ල අවට මුහුදු සීමාවේ යන එන නැව් සහ බෝට්ටු වලට පණිවිඩ සහ සංඥා නිකුත් කරන්නෙ, ගාලු කොටුවට සම්බන්ධ කරලා තියෙන මේ ප්‍රදීපාගාරයෙන්.

මේ ප්‍රදීපාගාරය ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් තමයි පාලනය වෙන්නෙ. ගාලු ප්‍රදීපාගාරය හදුන්වන්නෙ ශ්‍රී ලංකාවේ පැරණිතම ආලෝක මධ්‍යස්ථානය විදිහටයි.

ලන්දේසි පාලන සමයේදිත් ගාලු කොටුවේ ප්‍රදීපාගාරයක් ස්ථාපිත කරලා තිබුණා කියලා වාර්තා පොත්වල කියවෙනවා. ඊට පස්සෙ 1848 අවුරුද්දෙ, ඒ කියන්නෙ බ්‍රිතාන්‍ය පාලන සමයෙත් ප්‍රදිපාගාරයක් නිර්මාණය වෙනවා. ඒත් මේ, ඒ ප්‍රදීපාගාරය නම් නෙවේ. වර්තා අනුව ඉපැරණි ප්‍රදීපාගාරය ගින්නකින් විනාශ වෙනවා. ඒ, 1936 අවුරුද්දෙ ජූලි මාසයේදි කියලා තමයි කියවෙන්නෙ.

ඒ ප්‍රදීපාගාරය උසින් මීටර් 24.4ක් වුණු යකඩ ප්‍රදීපාගාරයක්. ඒකට අවශ්‍ය කරපු යකඩ එන්ගලන්තයෙන් ගෙන්නෙව්වා කියලත්, බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පියෙකු වුණු ඇලෙක්සැන්ඩර් ගෝර්ඩන් සැලසුම නිර්මාණය කළා කියලත්, බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් විසින්ම ගොඩ නැගුවා කියලත් සඳහන් වෙනවා.

වර්තමාන ප්‍රදීපාගාරය නිර්මාණය වෙන්නෙ 1939 අවුරුද්දෙ The Government Factory සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂ Kenneth De Kretser කියන බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයාගේ මූලිකත්වයෙන්.

Cast Iron කියන යකඩ වර්ගයෙන් සුදු පැහැති වෘත්තාකාර කුළුනක් විදිහට හදලා තියෙන මේ ප්‍රදීපාගාරය මීටර් 26ක් විතර උසයි.

තට්ටු 5කින් සමන්විත මේ ප්‍රදීපාගාරයේ ඉහළම කොටසෙ තමයි ආලෝකය නිකුත් කරන උපකරණ සවි කරලා තියෙන්නෙ. ප්‍රදීපාගාරයෙන් රාත්‍රී කාලයේදී තත්පර 15කට වරක් ආලෝක ධාරා 2ක් නිකුත් කරනවා.

ප්‍රදීපාගාරයේ ඉහළම කොටසෙ ඉදලා අංශක 360ක වටයක් කරකැවුනොත් මීටර් 47ක දුර ප්‍රමාණයක් හොදින් දැක බලා ගන්න පුලුවන්. ඒ දුර ප්‍රමාණයට ගාලු කොටුව, ගාලු ප්‍රධාන නගරය විතරක් නෙවේ බොනවිස්ටා කොරල් පරයට ආසන්න මුහුදු ප්‍රදේශය හිටන් හොදින් දිස් වෙනවා. ප්‍රදීපාගාරයේ හැම තට්ටුවකම සමචතුරශ්‍රාකාර ජනේල සවි කරලා තියෙනවා දකින්න පුලුවන්.

ප්‍රදීපාගාරයේ ඉහළම කොටසට නගින එකත් ලේසි පහසු වැඩක් නෙවේ. මේ ප්‍රදීපාගාරයේ පඩි පෙළක් නෑ. මීටර් 26ම නගින්න තියෙන්නෙ ඉනිමං වලින්. කොටස් 5ට ඉනිමං 5ක් සවි කරලා තියෙනවා.

ප්‍රදීපාගාරයේ මුදුනේ සුළං හමන දිශාව දැන ගන්න, උපකරණ සවි කරලා තියෙනවා දකින්න පුලුවන්.

ප්‍රදීපාගාරය ආසන්නයෙන්ම රේඩාර් පද්ධතිය සහ කාර්යාලය පිහිටුවලා තියෙනවා. ගාල්ල වරාය අධිකාරියෙන් පාලනය වෙන මේ කාර්යාලයේ රේඩාර් පද්ධතිය සකස් කරලා තියෙන්නෙ Analog ක්‍රමයට.

වෙරළ සහ මුහුදු සීමාවට යන එන නැව් සහ බෝට්ටු වලට සංඤ්ඤා සහ පණිවිඩ නිකුත් කරන්නෙ මෙතනින්.

ඒ අනුව වෙරළ සහ මුහුදු සීමාවට යන එන නැව් සහ බෝට්ටු, කාර්යාලයෙන් දෙන පණිවිඩ සහ උපදෙස් අනුව ක්‍රියා කරන්න ඕන. සීමාවේ නවතා තියෙන සහ ගමන් කරනා නැව් සහ කුඩා ප්‍රමාණයේ යාත්‍රා සියල්ලක්ම රේඩාර් පද්ධතියේ දිස් වෙනවා.

පද්ධතියේ පරිගණක තිරය තත්පර කිහිපයකට වරක් යාවත්කාලීන වෙනවා. පරිගණක තිරයේ පෙන්නුම් කරන ප්‍රමාණය විශාල කළාම අදාල යාත්‍රාවේ නම, පිහිටලා තියෙන දුර ප්‍රමාණය, අක්ෂාංස දේශාංස වල පිහිටීම ආදී තොරතුරු පෙන්නුම් කරනවා.

සීමාව තුළට යාත්‍රාවක් පිවිසෙන කොට හෝ සීමාවෙන් එළියට යන කොට, යාත්‍රාව ප්‍රදීපාගාර කාර්යාලයට ඒ ගැන දැනුම් දීමක් කරන්න ඕන. ඒ අනුව පාලන මැදිරියෙන් ඒ සදහා නියමිත කාලයක් ලබා දෙනවා.

එහෙම ලබා දෙන්නෙ සටහන් පොතක් බලා ගෙන. සටහන් පොතේ ඒ වෙලාවට සීමාවට පිවිසෙන සහ සීමාවෙන් බැහැර වන යාත්‍රා සහ වේලාවල් ගැන සටහන් කරලා තියෙනවා. ඒවත් කලින් ආපු පණිවිඩ වලින් සටහන් කරපු දත්ත.

ඒ කාලය තුළදී යාත්‍රාවේ ඇතුල් වීම හෝ පිටවීම සිද්ධ වෙන්න ඕන. මේ විදිහට පෙර දැනුම් දීම් හරහා වෙරළ සහ මුහුදු සීමාවේ යාත්‍රා කරන යාත්‍රා ඝට්ටනය වීම සහ තදබදය පාලනය කෙරෙනවා. ඒ වගේම සුනාමි, සුළි කුණාට වගේ තත්වයන් පවතින කොට වෙරළ තීරයේ තත්වය ගැන යාත්‍රා වලට දැන්වීමටත්, පණිවිඩ හරහා ඒවායේ ගමන් මග වෙනස් කිරීමටත් මේ ඔස්සේ හැකියාව ලැබෙනවා.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.