ගිලන්පස පූජා දෙකක්…?????

මහ නුවර ශ්‍රී දළදා මාළිගාවේ සිදු කරනු ලබන දෛනික පූජාවන් කොටස් තුනකට වර්ග කළ හැක. එනම් හිමිදිරි උදෑසන සිදු කරනු ලබන අළුයම පූජාව, දහවලට ප්‍රථම සිදු කරනු ලබන නව පෑ පූජාව සහ සවස සිදු කරනු ලබන හැන්දෑ පූජාවන්ය. මෙම පූජාවන් අතරින් හැන්දෑ පූජාව විශේෂත්වයක් ගනු ලබයි. ඊට හේතුව වන්නේ හැන්දෑ පූජාවේදී ගිලන්පස පූජාවන් දෙකක් තැන්පත් කිරීමයි.

මෙම චාරිත්‍රය ඇරඹී තිබෙන්නේ 1750ත් 1782ත් අතර කාලයේ රාජ්‍ය පාලනයේ නිරත වූ අප රටේ බෞද්ධ රාජ නාමාවලියේ ඉහළින්ම සිටින රජ කෙනෙකු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවසේ සිටයි. එකල දළදා මාළිගාවේ සිදු කරනු ලබන තේවාවන් සඳහා රජතුමාගේ සහභාගීත්වය අනිවාර්ය වූ අතර රජතුමා විසින්ද මුළුතැන්ගෙයෙහි සිට වැඩ සිටින මාළිගාව වෙත පූජාවන් රැගෙන ගොස් ඇත.

දිනක් රජ වාසලේ පැවති රාජකාරී හේතුවෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට, ගිලන්පස පූජාව තබන වේලාවට සහභාගීවීමට නොහැකි විය. එනමුත් රාජකාරි සියල්ලම ඉතා ඉක්මණින් නිමා කර, පූජාව සඳහා සහභාගීවීමට අදහස් කළ රජතුමා “තව සුළු මොහොතකින් මා දළදා වහන්සේ වන්දනා කිරීමට සහ පූජාවට සහභාගීවීමට පැමිණෙනවා” යනුවෙන් පණිවිඩයක්, පණිවිඩකරුවෙකු ලවා තේවාව භාර නා හිමියන් වෙත යැව්වේය. එනමුත් ඒවන විටත් ගිලන්පස තැන්පත් කර, තේවා කටයුතු නොහොත් වතාවත් කටයුතු නිමා කර, යතුරු පයිංඩ කිරීම (දොර අගුළු දැමීම) සිදු කර අවසන් වී තිබිණි.

රාජකාරි කටයුතු නිමා කර ඉතාමත් වේගයෙන් වැඩ සිටින මාළිගාවට පිවිසීමට රජතුමා පැමිණියත්, “තේවා කටයුතු අවසන් කොට දොර අගුළු දැමූ හෙයින්, සම්ප්‍රදායට පටහැනිව නැවත ඇතුළුවීම නුසුදුසුය” යනුවෙන් තේවා කටයුතු භාර හිමියන් රජතුමා වෙත පැවසුවේය. එම අදහසට ගරු කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා නැවතත් ගිලන්පසක් පිළියෙල කර, තේවා කටයුතු භාර හිමියන්ගේද අවසරය ලබාගෙන, පහළ මාලයේදී එම ගිලන්පස දළදා වහන්සේ උදෙසා තැන්පත් කර, පහළ මාලයේ සිට දළදා වහන්සේව වන්දනා කළේය. එම වන්දනා කටයුතු සිදු කළ අවස්ථාවේ ශබ්ද පූජා පැවැත්වීම සඳහා කුඩා දමිළ බෙරය, කයිතාලම, දමිළ නලාව ප්‍රධාන කර ගත් නාගසිංහම් වාදනය කළ බවද සඳහන් වෙයි.

මෙම දෙවන ගිලන්පස තැන්පත් කිරීම හේතුවෙන්, එදා සිට අද වන තුරුම චාරිත්‍රයක් ලෙස දළදා වහන්සේ උදෙසා සවස ගිලන්පස පූජාවන් ද්විත්වයක් තැන්පත් කරනු ලබයි. මෙම ගිලන්පස පූජාවන් ද්විත්වය පිළියෙල කිරීම සඳහා සීනි, සූකිරි, අමු ඉඟුරු, ගිතෙල්, මී පැණි, උක්‌ පැණි, සුදු හකුරු, කළු හකුරු, තෙලිඡ්ජ, දොඩම් යුෂ, අඹ, අන්නාසි, මුද්දරස්පලම් වැනි ද්‍රව්‍යයන් 14ක් යොදන බව පොතපතෙහි සඳහන්වේ. හැන්දෑ පූජාව ඇරඹීම සඳහා සවස 6.15ට හේවිසි වාදනය සිදු කරන අතර සවස 6.30ට දොරවල් විවෘත කිරීමත්, රාත්‍රී 7.00ට පළමු ගිලන්පස පූජාව තැන්පත් කිරීමත්, රාත්‍රී 7.30ට දෙවන ගිලන්පස පූජාව තැන්පත් කිරීමත් සිදු කරනු ලබයි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් දෙවන ගිලන්පස තැබීමේදී ශබ්ද පූජා සඳහා එකතු කළ නාගසිංහම් වාද්‍ය වෘන්දයද එදා සිට අද දක්වාම දළදා මාළිගාවේ විශේෂ පූජාවන් සහ උත්සව සඳහා සහභාගී වෙයි. එමෙන්ම සෑම පෙරහැරකම, පෙරහැර කරඩුව රැගත් මංගල හස්තිරාජයා ඉදිරියෙන් යෑමේ භාග්‍යද නාගසිංහම් වාද්‍ය වෘන්දය සතු වන අතර මෙය අප රටේ දේශීය සිංහල බෞද්ධ සංස්කෘතිය සමග දෙමළ හින්දු සංස්කෘතිය මිශ්‍ර වූ අවස්ථාවක් ලෙසද දැක්විය හැක.


උපුටා ගැනීම් :
* ඡායාරූපය : ඩිෂාන් සවිත්‍ර රාජපක්ෂ
* වීඩියෝව : wwwpdgtv | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.