ජීවිතයට විරාමයක්

ආදී මානව සමූහයක් තුල ඉතා අර්ථවත් සහ සරල සහජීවනයක් තිබුණු බව මානව විද්‍යා මතයයි. සහජයෙන් ක්ෂමතාවය (power) අධික, පුරුෂ පාර්ශවය දඩයමේ ගොස් ආහාර සොයාගෙන පැමිණෙයි. සතුන් පිටිපස හඹා යාම, ඔවුන් මෙල්ල කිරීම හෝ මරා දැමීම, විශාල බරක් ටික වේලාවකට එසවීම, දුෂ්කර ගිරිකදුරු තරණය, සතුරු මානවයන් සමග සටන් කිරීම ආදී කරුණු සඳහා අධික ක්ෂමතාවය අත්‍යවශ්‍ය වේ. අධික ශරීර කෂමතාවය යනු තමා සතුව පවතින ශක්තිය කෙටි කලකදී වැය කිරීමට ඇති හැකියාවයි.

දැරීමේ ශක්තියෙන් (energy capacity) පුරුෂයාට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටි කාන්තාව ආහාර පිසීම, දරුවන් රැක බලා ගැනීම, වාසස්ථානය පවිත්‍රව තබා ගැනීම, පරිභෝජනයට අවශ්‍ය ජලය රැගෙන ඒම, දර එකතු කිරීම ආදී වැඩකටයුතු රාශියක් කරන ලදී. දැරීමේ ශක්තිය යනු මධ්‍යම ප්‍රමාණික ක්ෂමතාවයකින් දීර්ඝ කාලයක් හැල්මේ වැඩ කිරීමට ඇති හැකියාවයි.

මේ අනුව ඉංග්‍රීසි බසින් පිරිමියා powerful සහ ගැහැණිය energetic වශයෙන් ගුණ අනුව බෙදිය හැක. සිංහලෙන් මෙම වදන් දෙකේ පරිවර්තනය වන “බලවත්” සහ “ශක්තිමත්” යන යෙදුම් මේ සඳහා මොන තරම් ගැලපේදැයි මට නොතේරේ.

ව්‍යතිරේක කිහිපයක් හැරුණු කොට මේ සරල බෙදීම වසර මිලියන දෙකක් පමණ තිස්සේ සුළු සුළු වෙනස්කම් සහිතව විකාශය විය. පිරිමියාගේ කාර්යභාරය සෑහෙන වෙනස්කම් වලට භාජනය වුවත් අධික ක්ෂමතාවයේ අවශ්‍යතාවය පහව නොගියේය. සමහර රැකියාවල් සම්බන්ධයෙන් ශාරීරික ක්ෂමතාවය, මානසික ක්ෂමතාවයෙන් ප්‍රතිස්ථාපනය විය.

නමුත් 20 වන සියවසේ මැද භාගයේදී මේ වසර මිලියන දෙකක ජීවන රටාව වෙනස්විය. කාන්තාව නිවසේ ආර්ථිකයට දායකවන වාතාවරණයක් නිර්මාණය වන්න විය. මේ අනුව නොදැනුවත්වම කාන්තාවද අධික-ක්ෂමතා කැටිගරියට වැටෙන්න විය.

මේ තත්වය මුලින්ම ඇතිවූ යුරෝපය, උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය වැනි රටවල ජන විඥානය මේ වන විට යතාර්ථය තේරුම් ගත හැකි තරම් උසස් මට්ටමක පැවතියේය. මෙයට දෙවන ලෝක යුද්ධයේදී ලද කටුක අත්දැකීම් බෙහෙවින් බලපාන්නට ඇතැයි මට සිතේ. ඔවුන් ක්‍රමයෙන් තම ජානගත මානසික ප්‍රතිරෝධතාවන්ගෙන් මිදෙමින් ගැහැණිය හා පිරිමියා අතර ක්ෂමතාවය සහ ශක්තිය බෙදා හදාගන්න විය. ගැහැණිය අධික ක්ෂමතාවයක් ඉල්ලන ආර්ථික බරෙන් කොටසකටත්, පිරිමියා අධික දැරීමේ ශක්තියක් ඉල්ලන ගෘහාශ්‍රිත කටයුතු වලටත් උරදෙන්න විය.

මේ සුසංයෝගය නිවසේ සාමය, සතුට සහ ආර්ථික ප්‍රබෝධය යන තුනටම හේතු සාධක විය. මිනිසාට ගැහැණු පිරිමි බේදයකින් තොරව ජීවිතය සුන්දර විය. මට පෞද්ගලික අත්දැකීම් රාශියක් ඇති ස්කැන්ඩිනේවියානු රටවල තම රැකියාවේ සාර්ථකත්වය ගැනත් තම ඉවුම් පිහුම්, ගෘහ අලංකාරය පිලිබඳ ඇති නිපුණතා ගැනත් වහසිබස් දොඩවන ගැහැණු-පිරිමි දෙපාර්ශවයම අනන්තවත් හමුවී ඇත. මෙම රටවලට ඉතා කෙටි කලෙකින් ඇලවුනු “සංවර්ධිත රටවල්” යන ලේබලය මුද්‍රණය වීමට මේ කාරණය විශාල සාධකයක් වන්න ඇතැයි මට සිතේ.

මේ අතරම චීනය, රුසියාව, කියුබාව වැනි රටවල මේ සුසංයෝජනය දේශපාලනික ප්‍රතිපත්තියක් ලෙස නීති රාමුවකින් හඳුන්වා දෙනු ලැබීය. එහිද සෑහෙන සාර්ථකත්වයක් පැවතියේය.

නමුත් අවාසනාවකට ආසියාතිකරයේ, මැද පෙරදිග, ලතින් ඇමරිකාවේ, සහ අප්‍රිකාවේ බහුතරයක් රටවල තත්වය මීට ප්‍රතිවිරුද්ධ විය. ඔවුන්ගේ ආගමික සහ සාමාජීය මානසික අවස්ථිතිය නිසාදෝ ගැහැණිය ක්ෂමතාවයෙන් වැඩි බරකට කරගසද්දී ඇය කල දැරීමේ ශක්තිය අත්‍යවශ්‍ය වූ ගෘහ කටයුතු බෙදා ගැනීමට පිරිමියා අපොහසත්විය.

මේ නිසා ගැහැණියට එකවර බලවත් සහ ශක්තිමත් යන කාරණා දෙකම දැරීමට සිදුවිය. නමුත් ගැහැනියගේ විශ්වීය නිර්මාණය එයට සුදුසු නොවීය. ප්‍රතිඵලය වුයේ ඇය දැරීමට නොහැකි තරම් බරකට උර දීම නිසා මානසිකව සහ ශාරීරිකව විඩාපත් වීම, අතෘප්තකර, අසහනකාරී ජිවිතයකට හුරුවීම, වයස 35 පමණ වන විට, කොඳු ඇට පෙළ සහ ස්නායු සම්බන්ධ ආබාධ වලට ගොදුරුවීම ආදී ඍණාත්මක කරුණු රාශියක් මතුවීමයි.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.