ජීවිතයේ ප්‍රශ්න වලට උත්තර

ජීවිතයේ අපි විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ජීවිතය කියන එකට තවත් වචනයක් තමයි ප්‍රශ්න.

ප්‍රශ්න විසඳන්නේ කෙසේද? ප්‍රශ්න වලින් විඳවන්නේ නැතුව ඉන්නේ කෙසේද?

මිනිස්සු තමන්ට තියෙන ප්‍රශ්න ගැන හිතලා සෑහෙන්න හිතින් විඳවනවා. ඒක මානසික – කායික සෞඛ්‍යයටත් හානිකරයි. කතාවක් තියෙනවා ප්‍රශ්න ගැන හිතමින් සිතින් විඳවන එක, එක තැන ඇති බොරු අශ්වයෙක් පදිනවා වගේ වැඩක් කියලා. බොරු අශ්වයා කොච්චර පැද්දත් එක තැනමයි. ඒ වගේ ප්‍රශ්න ගැන worry වුණාම ඔලුව අවුල් වෙනවා විතරයි. ප්‍රශ්නය එතනමයි.

අපි සැබවින්ම සිතිය යුත්තේ ප්‍රශ්න ගැන නෙවෙයි. ප්‍රශ්න වලට තියෙන උත්තර මොනවාද යන්න ගැනයි. ප්‍රශ්න වර්ග කිහිපයක් තියෙනවා.
1. ඇත්තටම තියෙන ප්‍රශ්න
2. හිතින් හදා ගත්ත ප්‍රශ්න / අතීතයේ වැරදි තීරණ ගැන පසු තැවීම ආදී ප්‍රශ්න
3. අනාගතයේදී හදා ගන්න යන ප්‍රශ්න (උදා: අවිවාහකයෙක් විවාහ වෙන්නට සිතීම)
4. ප්‍රශ්නයක් ලෙස පෙනුනත් ඇත්තටම ප්‍රශ්නයක් නොව තමන්ගේ වාසියට පාවිචි කළ හැකි ප්‍රශ්න (Assets)

මේකෙන් හිතින් හදා ගත්ත ප්‍රශ්න / අතීතයේ වැරදි තීරණ ගැන පසු තැවීම ආදී ප්‍රශ්න මුලින්ම පැත්තකින් තියන්න ඕන. ඒවා ගැන සිතීම හා වධවීම සම්පූර්ණයෙන්ම නිෂ්ඵලයි.

අනාගතයේදී හදාගන්න යන ප්‍රශ්න, එවැනි ප්‍රශ්න වලට මුහුණ දිය හැකි පසුබිමක් ජනිත වන තුරු, හදාගන්න යාම අවදානම්. හැබැයි ඒ අවදානම කළමනාකරණය කරගත හැකි ආකාරය පිළිබඳ නිසි ක්‍රමෝපායික සැලැස්මක් ඇතුව, එබඳු ප්‍රශ්න හදා ගත්තාට කමක් නැහැ.


ප්‍රශ්නයක් ලෙස පෙනුනත් ඇත්තටම ප්‍රශ්නයක් නොව තමන්ගේ වාසියට පාවිචි කළ හැකි ප්‍රශ්න (Assets) විසඳන්න යන්නේ නැතුව ඒක පාවිච්චි කරන්න ඕන. උදාහරණයක් විදියට ඔබ පූසෙක් නම්, ගෙදර මිනිස්සු ඔබව ගෙදරට ගෙනාවේ මීයෝ මරන්න විතරක් නම්, ඔබ මීයෝ ඔක්කොම මරලා දාල ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳුවොත් ඔබේ උපයෝගීතාවක් නැති නිසා ඔබව පාරට වැටෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන්න යන්නේ නැතුව ප්‍රශ්නය කළමනාකරණය කරන්න අවශ්‍යයි.

ඊළඟට ඇත්තටම ජීවිතයට මතුවෙලා තියෙන ප්‍රශ්න ටික කොලයක ලියලා ගන්න ඕන. ඊළඟට ඒ ප්‍රශ්න කොටස් දෙකකට බෙදන්න ඕන.
1. විසඳන්න පුළුවන් ප්‍රශ්න
2. විසඳන්න බැරි ප්‍රශ්න

සමහර ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අපේ පාලනයෙන් ඔබ්බේ තියෙන්නේ. කොච්චර විසඳන්න දැඟලුවත් ඒවා විසඳන්න බැහැ බැහැමයි. ඉතින් ඒ ප්‍රශ්නත් පැත්තකින් තියන්න ඕන. සමහර විට ඒ සමහර ප්‍රශ්න විසඳන ක්‍රම අනාගතයේදී හම්බවෙයි. ඒ සමහර ප්‍රශ්න කාලය විසින් විසඳයි. නැතිනම් මරණය විසින් විසඳයි.

විසඳන්න පුළුවන් කියල හිතෙන ප්‍රශ්න ටික ගන්න. ඊට පස්සේ අර චතුරාර්ය සත්‍යය වගේ ප්‍රශ්නය analyse කරන්න.
1. ප්‍රශ්නය (දුක)
2. ප්‍රශ්නයට හේතුව
3. ප්‍රශ්නය සැබවින්ම විසඳිය හැකිද? (විසඳන්න බැරි නම් ඒ ප්‍රශ්නයත් පැත්තකින් තියන්න. worry වෙන්න එපා)
4. ප්‍රශ්නය විසඳීමට අනුගමනය කළ යුතු කෙටි කාලීන හා දීර්ඝ කාලීන ක්‍රම හා ක්‍රමෝපායන් මොනවාද? (විසඳීමේ මාර්ගය)

සමහර ප්‍රශ්න තියෙනවා කෙටි කාලීන ක්‍රම පාවිච්චි කරලා විසඳන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රම නීත්‍යානුකූල හෝ ධර්මානුකූල හෝ නැහැ. ඒ වගේ මාර්ග අනුගමනය කරන්න යන්න නරකයි. ඒවා කරන්න ගියොත් වඩාත් ලොකු ප්‍රශ්නයක පැටලෙන්න පුළුවන්.

ඊට පස්සේ ප්‍රශ්නය ගැන worry නොවී, අදාළ හඳුනාගත් කෙටි කාලීන හා දීර්ඝ කාලීන ක්‍රම හා ක්‍රමෝපායන් (strategies) භාවිතා කරමින් ප්‍රශ්නය විසඳන්න උපරිම උත්සාහය දරන්න ඕන. උත්සාහය හා වාසනාව මත බොහෝ ප්‍රශ්න වලට සාර්ථක උත්තර ලැබෙනවා.

එහෙම කොච්චර කරලත් විසඳන්න බැරිම ප්‍රශ්න, ආපහු විසඳන්න බැරි ප්‍රශ්න ගොඩට දාන්න ඕන.

හැම විටම ප්‍රශ්නය ගැන නොව ප්‍රශ්නයට උත්තරය ගැන හිතමින් ඒ උදෙසා ක්‍රියාත්මක වෙන්න ඕන. කිසිසේත්ම ප්‍රශ්න වලින් විඳවන්න(worry) හෝ ඉච්ඡභන්ගත්වයට(frustrate) පත් වෙන්න නරකයි.

ප්‍රශ්න කොච්චර තිබ්බත් සතුටින් ඉන්න ඕන.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.