තනි භාවිත ප්ලාස්ටික් තහනම් කරයි..???

December 13, 2019

මීට දවස් දෙකකට කලින් ලබපු උදුවප් පුර පසළොස්වක පෝය දවසත් එක්ක, ඔන්න දැන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹුනා. ඉස්සර නම් ශ්‍රී පාද ස්ථානය කිව්වම කතාබහ වෙන්නෙ බුදුන් වහන්සේගේ සිරිපතුලයි. ඒත් දැන් අපට මතක් වෙන්නෙ ප්ලාස්ටික් සහ නොදිරන අපද්‍රව්‍යවලින් පිරුණු අපිරිසිදු පරිසරයක්. මේ ගැන, හැම අවුරුද්දකම අපේ රටේ සමාජ මාධ්‍යයන් හරහා සාකච්ඡා වෙනවා.

ඔන්න අපේ රටට සහ අපේ පරිසරයට ඇත්තටම ආදරය කරන අයට සතුටු වෙන්න පුලුවන් ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ තමයි මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධානත්වයෙන්, තනි භාවිත ප්ලාස්ටික් සහ එක් වරක් භාවිතයෙන් පස්සෙ ඉවත දමන ප්ලාස්ටික් තහනම් කරන්න සැලසුම් කරමින් ඉන්න ප්‍රවෘත්තියක්.

එක්සත් ජාතීන්ගේ පරිසර වාර්තාවට අනුව, තනි භාවිත ප්ලාස්ටික් කියලා හදුන්වන්නෙ “අදාළ ප්ලාස්ටික් වර්ගය ඉවත දාන්න හෝ ප්‍රතිචක්‍රීකරණය කරන්න කලින්, එක් වරක් පමණක් භාවිතා කරන දේවල්” වලටයි. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට ප්ලාස්ටික් බෑග්, බීම උරන බට, සෝඩා සහ වතුර බෝතල්, ආහාර ඇසුරුම් වගේ දේවල්.

ඉතින් මේ වගේ ප්ලාස්ටික් නිසා මිනිසුන් ඇතුළුව අප අවට පරිසරයට වෙන විනාශය සහ තර්ජන ගැන ඔයාලට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. විශේෂයෙන්ම අපේ රටේ පස, වෙරළ තීරය, ගංගා, තෙත්බිම්, විල් සහ වෙනත් පරිසර පද්ධති දැනටමත් කුණු කදු බවට පත්වෙලා.

ප්ලාස්ටික් වලට විකල්පත් අපි අතරෙම තියෙනවා. අපට පුලුවන් ප්ලාස්ටික් බෑග් වෙනුවට රෙදි බෑග් භාවිතා කරන්න. ප්ලාස්ටික් ආහාර ඇසුරුම් භාවිතයෙන් අයින් වෙලා, මළ නොබදින යකඩ ආහාර ඇසුරුම් භාවිතා කරන්න. යෝගට් කෝප්ප වගේ දේවල් නිෂ්පාදනය කරන්න, ආදේශනයක් විදිහට දැන් කාඩ්බෝඩ් යෝජනාවෙලා තියෙනවා.

ප්ලාස්ටික් වෙනුවට භාවිතා කරන්න පුලුවන් තවත් ආදේශන, ඔයාලට මෙතනින් බලන්න පුලුවන් >> https://learn.eartheasy.com/guides/the-best-eco-friendly-alternatives-for-the-plastic-in-your-life

* වැඩි විස්තර සඳහා : http://www.dailymirror.lk/breaking_news/CEA-working-on-prohibiting-single-use-plastic

උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.wallpapers13.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.