නුවර එළිය සීතල ඇයි ?

යම් කිසි ස්ථානයක යම් වෙලාවක පවතින උෂ්ණත්වයට හේතු කිහිපයක් බලපානවා. ඒ අක්ෂාංශගත පිහිටීම, මුහුදු මට්ටමේ සිට ඇති උස, සුළග, මුහුදේ සිට ඇති දුර, වර්ෂාපතනය වැනි සාධකයි.

ශ්‍රී ලංකාව සමකයට ආසන්නයෙන් පිහිටා ඇති රටක් නිසා ශ්‍රී ලංකාව තුළ උෂ්ණත්වය වෙනස් වීමට බලපාන ප්‍රධාන සාධකය මුහුදු මට්ටමේ සිට ඇති උසයි.

මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට උණුසුම අඩු වන සංකල්පය හඳුන්වනු ලබන්නේ “පතන සීඝ්‍රතාවය” ලෙසයි. පතන සීඝ්‍රතාවයට අනුව ඉහළ යන සෑම මීටර් 100 කටම සෙල්සියස් අංශක 0.64 කින් උෂ්ණත්වය අඩු වේ.

මෙය ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක වසරක සාමාන්‍ය උෂ්ණත්වය මගින් පැහැදිලි කර ගත හැකිය.

මුහුදු මට්ටමේ සිට මීටර 1 ක උසින් පිහිටි කොළඹ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංෂක 27.0 කි.

මීටර් 55 ක උසින් පිහිටි අවිස්සාවෙල්ලේ සාමාන්‍ය උෂ්ණත්වය පතන සීඝ්‍රතාවයට අනුව සෙල්සියස් අංශක 26.7කි.

මීටර් 734 ක උසින් පිහිටි ගිනිගත්හේනේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 22.3 කි.

මීටර් 1220 ක උසින් පිහිටි තලවාකැළේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 19.2 කි.

මීටර් 1882 ක උසින් පිහිටි නුවර එළියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.0 කි.

මීටර් 2524 ක උසින් පිහිටි පිදුරුතලාගල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.9 කි.

ඒ අනුව කෙනෙක් කොළඹ සිට පිදුරුතලාගල කඳු මුදුන දක්වා කිලෝමීටර 180 ක දුරක් ගිය විට සෙල්සියස් අංශක 16.1 කින් උෂ්ණත්වය අඩු වී ඇත.