පනාමුරේ ඇත් රාජා හා ජාතිකවාදය (Nationalism)

May 30, 2020

ජාතිකවාදයේ පදනම සාමුහික විඥානයයි (Collective Consciousness). එනම් යම් ජන වර්ගයක / ජන සමූහයක සාමාජිකයාට තම පෞද්ගලික නිදහස හා සුඛවිහරණයට වඩා තම ජාතිය /සමූහය /රැල ලොකු විය යුතුය යන්නයි. මන්දයත් මිනිසාද සාමූහිකව ජීවත් වන සාමාජීය සත්ත්ව විශේෂයක් වන බැවිනි. සමූහයක එකිනෙකා කෙරෙහි ඇති අපේකම, ආදරය හා එකමුතුව බිදී ගිය විට සමූහය බාහිර සතුරන්ගේ ගොදුරක් බවට එය පත් වේ.

ශිෂ්ටාචාරගත ජනවර්ගයන් (Conflicts between civilizations) අතර ගැටුම සදාකාලිකව පවතින අතර බල අරගලද සදාකාලිකය. සතුරන්ගෙන් ගැලවිය හැකි එකම මග ජාතියක් ලෙස එකාවන්ව සමගිව සිටීමයි.

ජාතිවාදයෙන්, වර්ගවාදයෙන් (racism) උමතුව අන් ජාතීන් වැනසිය යුතු යයි ඉන් අදහස් නොවේ.

වර්ගවාදය (ජාතිවාදය) හා ජාතිකවාදය අතර වෙනස කුමක්ද?
විවිධ ජන සමූහ වල සාමූහිකත්වයට පදනම් වන විවිධ පදනම් තිබේ. උදාහරණ ලෙස ලංකාවේ සිංහලයන් අතර සාමූහිකත්වයට පදනම් වී තිබෙන්නේ සිය ඓතිහාසික පදනමක් සහිත ජාතිය පිළිබඳ හැඟීමයි. දෙමළ ජනතාව අතර සාමූහිකත්වයට පදනම් වී තිබෙන්නේ “භාෂාව” මත පදනම් වූ අනන්‍යතාවයි. මුස්ලිම්වරු අතර සාමූහිකත්වයට පදනම් වී තිබෙන්නේ ආගමයි.

යමෙකු තම ජන වර්ගය (race) අන්‍ය ජන වර්ගවලට වඩා උතුම් ලෙස සලකයි නම් හා අන්‍යයන් පහත් කොට සලකයි නම් හේ වර්ගවාදියෙකි.(racist)

ජර්මනියේ හිට්ලර් හා නාසිවාදය, වර්ගවාදය සම්බන්ධ හොඳ උදාහරණයකි. එමෙන්ම බොහෝ මුස්ලිම්වරු පිළිම වන්දනා කරන අන්‍ය ආගමිකයන් කෙතරම් යහපත් වැඩ කළද ඔවුන් සදාකාලික නරකාදියට නියම වූ මිත්‍යා දෘෂ්ටිකයන් ලෙස සලකති. මෙය වර්ගවාදී ආකල්පයකි.

යමෙකු තුළ එබඳු පටු අදහස් නොමැති නම් හා ඔහුට අවශ්‍ය තම ජනවර්ගයේ අනන්‍යතාව, සංස්කෘතිය, භාෂාව, ආගම, සාමූහිකත්වය ආරක්ෂා කරගෙන පෝෂණය කිරීමේ චේතනාව පමණක් නම් හා අන්‍ය වර්ගවාදී නැති ජනවර්ග හා සහජීවනයෙන් ජීවත් වීමට ඔහු හෝ ඇය කැමති නම් හා, හේ ජාතිකවාදියෙකි.(Nationalist). වර්ගවාදියෙක් නොවේ.

බොහෝ දෙනා මේ වෙනස තේරුම් ගන්නේ නැත. ඇතැම්හු දැන දැන, මේ දෙක පටලවා දෙකම හෙළා දකිති. එමෙන්ම ඇතැමුන්ගේ පක්ෂපාතිත්වය තිබෙන්නේ තම ජාතියට නොව තම ජාතිය හා ප්‍රතිවාදී (rival) ජාතීන්ටය. ඔවුහු සෑම විටෙකම පාහේ තම ජාතියේ පක්ෂය නොව ප්‍රතිවාදී පක්ෂය ගනිති. ඔවුහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ද්‍රෝහීහු වෙති.

තම වර්ගයා කෙරෙහි සාමූහික හැගීම මිනිසුන් තුල මෙන්ම සතුන් තුළද දැක ගත හැකිය.

උදාහරණයක් ලෙස ඇත් රැලක ඇතින්නකට පැටවෙක් ලැබුන විට රැලේ අනිත් ඇතින්නියන්ටද කිරි එරේ. මිනිසුන් මෙන් තම දරුවාට පමණක් ආදරය කිරීමේ ආත්මාර්ථය අලින් අතර නැත. එකා සියල්ලන්ටමය. සියල්ලන් එකා වෙනුවෙනි. (All for one -One for all)

අතීත ලංකාවේ ඇත් ගාල් තිබුණි. මිනිසුන් කැලය වටලා අලි රැලක් බිය ගන්වා උන්ව එළවා වැටබැඳි කුඩා කොටසකට ගාල් කොට හීලෑ අලි මෙහෙයවා උන් එක එකා කොටු කර බැඳ දැමීම මෙහිදී සිදු විය.

1950 අගෝස්තු මාසයේ දී එවකට කතානායක සර් ෆ්‍රැන්සිස් (1947-1952) මොලමුරේගේ අණින් එබඳු ඇත් ගාලක් සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්නට නුදුරු පනාමුරේදී පැවැත්වුණි. අතීතයේ මඩුවන්වෙල පරපුර සතු වූ පනාමුරේ අක්කර 30,000 ක නින්දගම මේ වන විට අයත්ව තිබුණේ එවකට කතානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේ සතුවය.

එම ඇත්ගාලට අලි ඇතුන් 27 දෙනෙකු ගෙන් යුතු රංචුවක් කොටු කර ගැනුණි. කොටුවී සිටි අන් අලින් බැඳ ගත හැකි උවද රැලේ නායක සද්ධන්ත අලියා කොටුකරගත නොහැකි විය. හේ දිගින් දිගටම සටන් කළේය.තමන්ගේ පමණක්‌ නොව තමා වටා සිටි හැම අලියකුගේමත් නිදහස අහිමි කළ මහ දඬු වැටට ඔළුවෙන් ඇන්නේය. හොඬවැලෙන් පමණක්‌ නොව සිය පාවලිනුත් මුළු ශරීරයෙන්මත් බොහෝ පහර දුන්නේය. හීලෑ අලින්ටද, තම වරිගයේ උන් බැඳ දමා තිබූ වර පට වලටද දිගින් දිගටම පහර දුන්නේය.

දැඩි සීතලක්‌ පරිසරයෙහි පැතිරී තිබුණත් පනාමුරේ අලියා තම පරපුරට අහිමි කරන නිදහස හේතුවෙන් කෝපයෙන් ගිනියම්වී සිටියේය. දුකෙනුත් පසුතැවිල්ලෙනුත් සිය පරපුරෙහි නිදහස දැන් දැන් සැබෑ වෙතැයි සිතූ නැවුම් බලාපොරොත්තුවෙනුත් ඔද්දල්වී ගිය සිතින් යුතුව පනාමුරේ අලි රජුට කුසගිනි දැනුණු වාරද අප්‍රමාණ විය. එහෙත් ඔහුට කිසිදු ආහාරයක්‌ ගන්නට තබා ඒ ගැන සිතන්නට වත් පිරියක්‌ හෝ සිතක්‌ පහළ වූයේ නැත. අලි රජු දිගින් දිගටම සිතුවේ නම් ඒ තමන්ටත් තම පරපුරටත් අහිමි වී යන නිදහස පිළිබඳව පමණි.

ඇත්ගාලේ ගාල්වැට විවෘතකර අලි රජුට වනය වෙත පිටවී යන්නට ඉඩ හරින ලෙස අවසානයේදී මොළමුරේ එහි සිටි ඇත් ගොව්වන්ට අණ කළේය. කුතුහලය විසින් මුළු පරිසරයම වෙළාගත්තාක්‌ මෙන් විය. මිනිසුන් කෙරෙන්වත් කලාතුරකින් හෝ මතුවී නොපෙනෙන පනාමුරේ මේ අලි රජු තුළවූ මහා ගුණ නැණ කදම්බයේ අසිරිමත් මහිමය මතු වී කැපී පෙනෙන්නට පටන් ගත්තේ ඇත් ගාල අවට රැස්‌ව සිටි කාගේත් සිත් සතන් මොහොතකට විස්‌මයෙන් අලළවමිනි. ඇත් ගාලෙන් පිටමං වී රිසි සේ වන ගත නිදහස, සිහිලස විඳ ගැනීමට අවසරය ලැබුණත් මේ අලි රජු ඇත් ගාලෙන් පිටමං වී යන්නට එක අඩියක්‌වත් එසැවූයේ නැත.

ඒ නිදහසේ සුව සහනය ලබා දෙන්නේ නම් එය තමාට පමණක්‌ නොව ඇත් ගාලට කොටුවී සිටින අනෙකුත් අලින් සියලු දෙනාටමත් ලබා දෙන්නැයි ගොළුවතින් මිනිසුන් දෙස බලා සිට කී අලි රජු ගේ මුහුණ තුළ ඒ අවස්‌ථාවේ නම් වූයේ වියරු කැලඹිලි ස්‌වභාවයටත් වඩා අහිංසක, බැගෑපත් ශෝකී ස්‌වරයකි. එම ශෝකී ස්‌වරය ඇත්තෙන්ම ලොවක්‌ දවන්නට තරම් ප්‍රබල වූවක්‌ බව අලි රජු දෙස විමසිල්ලෙන්, දයාවෙන් බැලූවකුට නිතැතින්ම පසක්‌වනු ඇත.

අවසානයේදී මොලමුරේගේ අණින් ඇත් රාජා වෙඩි තබා මරා දැමුණි. ඇතාට වෙඩිතිබ්බෙ සෑම් කදිරගාමර් කියලා නාවික නිලධාරියෙක්. කාලකන්නි මිනිස්සු මුලින්ම කළේ දුවවිත් මැරුණු අත්රාජාගේ වලිගයේ රෝම ගලවා ගැනීමයි. (අලිවලිග රෝම ළඟ තබා ගැනීමෙන් වාසනාව ගෙනේ යැයි මිනිසුන්ගේ විශ්වාසයක් විය. )

පනාමුරේ සිද්ධිය රටේ විශාල ආන්දෝලනයකටහේතු වුණි. පාර්ලිමේන්තුවත් සෑහෙන්න උණුසුම් විය. එන් එම් පෙරේරා මහතා ප්‍රමුඛ ලංකා සමසමාජ පක්ෂය මේ සිද්ධිය ගැන සෑහෙන හඩ නැගුවා. ඇත්ගාල් තහනම් කිරීමට එය හේතු විය.

මේ මහා අකුසලය සර් ෆ්‍රැන්සිස් මොලමුරේට දිට්ටධම්මවෙදනීයව පලිසන් දුන්නේය. වසර දෙකක් ගත වූ තැන ඔහු කතානායක අසුනේම හෘදයාබාධයකින් මැරී වැටුණේය.

පියසේන කහදගමගේ ශූරීන් ලියූ පනාමුරේ ඇත්රාජා පොත හේතුවෙන් අප වැනි පසුකාලීන පරම්පරාවල් පනාමුරේ ඇත්රාජා සිද්ධිය ගැන දැනුම්වත් වූහ. ශ්‍රී චන්දරත්න මානවසිංහ මහත්තයා ඔය සිද්ධිය පසුබිම් කරගෙන ‘ඇත්ගාලේ දරුපෙම’නම් ලස්සන කවි පන්තියකුත් ලියා තිබේ. එහි අන්තර්ගතව ඇත්තේ පනාමුරේ ඇත්ගාලෙ කොටුවෙච්ච අලි මවක හා පුතෙකු අතර ඇතිවෙන සංවාදයකි. සුගතපාල මලලසේකරයන් විසින් පද රචනා කරන ලදුව ඩෙස්මන්ඩ් ද සිල්වා ගායනා කළ “පනාමුරේ ඇත්රාජා” ගීතයද ගුවන්විදුලි ගීතයක් ලෙස රටේ ප්‍රකට විය.

ඇත් ගාල් පැවැත්ම එතැන් සිට ලංකාවේ තහනම් කෙරුණ නමුත් අලි ජාවාරම සපුරා නතර වූයේ නැත.

අදද අලි අම්මලාට වෙඩි තබා අලි පැටවුන් සොරකම් කරමින් අලි ජාවාරම් කරන ගිහියන්ටද, ඇතැම් චීවරධාරී පැවිද්දන්ටද ඒ ඉරණමම උරුමය. උන්හැම අපාගත වනු නියතය.

පනාමුරේ හස්තිරාජයා එදා පෙන්වූ උදාර නායකත්ව ගුණය හා ශ්‍රේෂ්ඨත්වය මානව ඉතිහාසයේ මිනිසුන් අතර දකින්න ලැබෙන්නෙත් අතිශයින්ම කලාතුරකිනි.

බොධිසත්ව ගුණ සහිත පනාමුරේ ඇත් රාජා මතු බුදුවනු නියතය. එසේ බුදු වී පෙර පුවත ජාතක කතාවක් ලෙස දේශනා කරනු ඇත.

ගෞතම බුදුරදුන්ද තමන්ගේ ජාතිය වෙනුවෙන් කල මෙබඳුම වීර ක්‍රියාවක් ” වඩ්ඩකී සූකර” ජාතකයේ දේශනා කොට තිබේ.

අපටද අද අවැසි පනාමුරේ ඇත් රාජා වැනි නායකයෙකි.

පසු වදන –
එදා කුණ්කුණාවේ හාමුදුරුවන් සිරගතව ඉදිත්දී ලියූ කවියක්..

අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ..
අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ..
රජෙක් ලැබුනෝතින්…කැවුම් කිරිබත් කඤ්ඤං..
පෙරහර කරඤ්ඤං… සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං..

ගීතය –
කවදා පායත්ද අප දිනිසුරාණෝ…
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ…
මුඩු බිමකට සරිලන ජල කඳාණෝ…
සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ…

කවදා පායත්ද අප පුන් සඳාණෝ…
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ…
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ…
මුසා බසින් අප නොපෙළන රජාණෝ…

කවදා එත්ද අපගේ එක් නෙතාණෝ…
ගිමනට හෙවණ දෙන තුඟුනුග තුරාණෝ…
අප සම බිමක රඳවන සොහොයුරාණෝ…
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ…

රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – සරත් දසනායක


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.scroll.in
* ඡායාරූපය 02 : www.worldwildlife.org
* ඡායාරූපය 03 : www.lifie.lk
* ඡායාරූපය 04 : www.panamure.blogspot.com
* ඡායාරූපය 05 : www.trips.lakdasun.org
* ඡායාරූපය 06 : Unknown
* වීඩියෝව : LeadsMusic SL | YouTube Channel

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.