බ්‍රිතාන්‍ය මහරැජිනට ඇත්තටම බලයක් තියෙනවද?

බ්‍රිතාන්‍ය මහරැජින එක්සත් රාජධානියේ සහ එහි සියලු යටත් විජිතවල රාජ්‍ය නායිකාව වෙනවා. ඇය පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව වගේම එංගලන්ත පල්ලියේ අධිපතිවරියයි.

එමෙන්ම ඇය සියලු බ්‍රිතාන්‍ය සන්නද්ධ සේනාවලට අණදෙන සේනාධිනායකවරියයි.

අගමැති පත් කිරීම, අලුත් පාර්ලිමේන්තුවක් ආරම්භ කිරීම හා විසුරුවා හැරීම යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමද ඇගේ කාර්යයන් වෙනවා. එමෙන්ම ඇයට නයිට්පදවි ඇතුළු අනෙකුත් නම්බු නාම ලබා දීමේ බලයද තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සම්මත වන සියලු අණපනත් නීති බවට පත්වන්නේ ඇයගේ අත්සනින් පසුවයි. සෑම රියදුරු බලපත්‍රයක් හා ගමන් බලපත්‍රයක්ම ඇගේ නමින් නිකුත් කරන නිසා වාහනයක් එලවන්න හෝ රටින් බැහැර වෙන්න ඇයට ඒවා අවශ්‍ය වන්නේ නෑ.

අතීතයේදී බ්‍රිතාන්‍යයේ එකම පාලනාධිකාරිය ලෙස සියලු යටත් වැසියන් කෙරෙහි සම්පූර්ණ බලය තිබුණේ රජු හෝ රැජිනටයි. ඇගේ මුතුන්මිත්තන්ට තිබූ බලයට සාපේක්ෂව අද ඇයට ඇත්තේ ඒ බලයෙන් කුඩා කොටසක් පමණයි.

එයට හේතුව 1215 මැග්නා කාර්ටා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව කිරීටයේ බලය පාර්ලිමේන්තුව විසින් ටිකෙන් ටික අත්පත් කරගැනීමයි.

පාර්ලිමේන්තුවේ අණපනත් රැජිනගේ අත්සනට යැවිය යුතු උණත් ඇය ඒවාට අත්සන් කිරීම චාරිත්‍රයක් බවට පත්වී තිබෙනවා . අවසාන වශයෙන් පාර්ලිමේන්තුව සම්මත කළ පනතකට විරුද්ධ වුණේ 1708 දී ඈන් රැජින විසිනුයි. ඉන්පසුව කිසිදු රජෙක් හෝ රැජිනක් කිරීටයේ බලය අඩු කිරීම ඇතුළුව පාර්ලිමේන්තුව සම්මතකළ කිසිදු පනතකට තම අත්සන තැබුවා මිස විරුද්ධ වුණේ නෑ.

රැජිනට යුද්ධ ප්‍රකාශ කිරීමේ බලය තිබුණත් අගමැති හා අමාත්‍ය මණ්ඩලයට එය නැවැත්විය හැකියි වගේම ඔවුන්ට යුද්ධ ප්‍රකාශ කිරීමට රැජිනගේ කැමැත්ත අවශ්‍ය වන්නේ නෑ.

රැජිනට පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය තිබුණත් අන්තිමට එය විසුරුවාහැරියේ 1830දී 4 වන විලියම් රජු විසින්. ඉන්පසු පත්වූ සියලු පාර්ලිමේන්තු සිය සම්පූර්ණ නිල කාලයම පැවතියා.

ඒ අනුව බලනකොට බ්‍රිතාන්‍ය රැජින සතු බලතල මේ වන විට චාරිත්‍රානුකූල බලතල බවට පත්ව තිබෙනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නායකයා අගමැති වන අතර පාලන බලය සැබෑ ලෙස හසුරුවන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින්. බ්‍රිතාන්‍ය රැජින ඇගේ බලය ක්‍රියාත්මක කරන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මතයි.

එයට හේතුවන්නේ බ්‍රිතාන්‍යයේ පවතින පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය කියන සංකල්පයයි. එයට අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් මහජන චන්දයෙන් තේරී පත්වුණු අය නිසා පාර්ලිමේන්තුව හදන නීති වලට කාටවත් අභියෝග කරන්න බෑ වගේම පාර්ලිමේන්තුව විධායකය හා අධිකරණයට ඉහළින් පවතිනවා.

බ්‍රිතාන්‍යයට රජ පවුල නඩත්තු කිරීමට වසරකට පවුම් මිලියන 40ක් වැයවෙනවා. යල්පැනගිය පද්ධතියක් නඩත්තු කිරීමට මෙතරම් මුදලක් වැයකළ යුතු නැතැයිද රාජාණ්ඩුව අහෝසි කර ජනරජයක් පිහිටුවිය යුතු යැයිද මත පල වෙනවා. රජපවුලට අයත් දේපළවලින් පවුම් මිලියන 200ක ආදායමක් සහ සංචාරක ආකර්ෂණය නිසා පවුම් මිලියන 7 ක මුදලක් රජයට ලැබෙනවා.

අතීතයේදී මෙන් බලයක් නැති වුණත් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ හා සම්ප්‍රදායයේ සංකේතයක් ලෙස රාජාණ්ඩුව ඉදිරියටත් තිබිය යුතු බවට තවමත් බහුතරයක් බ්‍රිතාන්‍යයන් විශ්වාස කරනවා.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.royal.uk
* ඡායාරූපය 02 : www.heartheboatsing.wordpress.com
* ඡායාරූපය 03 : www.anglotopia.net
* ඡායාරූපය 04 : www.eonline.com
* ඡායාරූපය 05 : www.hips.hearstapps.com