මහා සේන මහරජතුමා
ලක්දිව එනම් මහා සිංහලේ ඉතිහාසයේ, සම්ප්රදාය තුළින් මහා (The Great) යන නාමයෙන් පුද ලද්දා වූ රජවරුන් සිටින්නේ අතලොස්සක් පමණි. ඒ අතර මහා පරාක්‍රමබාහු, මහා විජයබාහු, මහසෙන් ආදී රජවරු සිටිති. ඒ අතර දෙවන සේන එනම් මහා සේන රජතුමා ද සිටින මුත් ඔහුගේ නාමය බොහෝ දෙනාගේ මතකයේ නොමැත.
මේ ඒ මහා සේන රජතුමාගේ වෘත්තාන්තයයි..
දෙවන දප්පුල රජුගෙන් පසු රජ පැමිණි නවවැනි අග්බෝ රජතුමා වසර දෙකකින් මිය ගියේය. ඉනික්බිතිව පළමුවෙනි සෙන රජතුමා ක්‍රි.ව 833 දී රජු ලෙස අභිෂේක ලැබුවේය. මෙතුමාගේ රාජ්‍ය සාමය තුළ ලක්දිව යළිත් ද්‍රවිඩ ආක්‍රමණයකට ගොදුරු වූයේය. මේ අවදියේ දකුණු ඉන්දියාවේ වැඩි කොටසක් ජටිල පරාන්තක නම් පාණ්ඩ්‍ය රජු විසින් යටත් කරගෙන ප්‍රබල රාජ්‍යයක් ගොඩනඟා තිබුණි.
මොහුගෙන් පසුව රජ පැමිණි ශ්‍රී මාර ශ්‍රී වල්ලභ රජු තම විජිතය වඩාත් විශාල කිරීමට අදහස් කොට ලංකාව ආක්‍රමණය කිරීමට සූදානම් විය. විශාල සේනාවක් රැස් කළ හෙතෙම ඒ සඳහා නාවික හමුදාවක්ද පිළියෙල කළේය.
පළමු සේන රජු දවස ශ්‍රී මාර රජු යටතේ ලක්දිව උතුරු වෙරළට ගොඩබට පාණ්ඩ්‍ය සේනාව කෙමෙන් අනුරාධපුරය දෙසට ගමන් කරන්නට විය. මෙසමයෙහි උතුරේ විසූ දෙමළ මිනිස්සු දකුණු ඉන්දියානු ද්‍රවිඩ සිය නෑයන්ගේ පාර්ශ්වය ගෙන ඔවුන්ගේ සේනා හා එක වූහ. සිංහල සෙනෙවියන් අතර පවතී අසමගිය නිසා සතුරු සේනාවට මුහුණ දීමට නිසි සේනා සංවිධානයක් කර ගත නොහැකි විය. වැඩි අපහසුවක් නොමැතිව ඉදිරියට ගමන් ගත් ද්‍රවිඩ සේනාව ගම දනව් වනසමින්, කාන්තාවන් දූෂණය කරමින්, මංකොල්ල කමින් අනුරාධපුරය අසළටම ලඟා විය.
මිහිඳු නම් යුවරජු ඔවුන්ට මුහුණ දීමට එඩිතරව ඉදිරිපත් වූ නමුත් අතිවිශාල දෙමළ බලමුළුවට මුහුණ දී සටන් කිරීමට තරම් සිංහල සේනාව ප්‍රබල නොවීය. මහත් චිත්ත ධෛර්යයෙන් යුතු යුවරජු සතුරු සේනාවට මුහුණ ලා උග්‍ර සටනක් කළ නමුදු ඔහුගේ සේනාව විනාශ වී සීසීකඩ විසිර යන්නට විය. සතුරන්ට අසුවනවාට වඩා ගෞරවාන්විතව මියයෑම යෙහෙකැයි සිතු යුවරජු සියතින්ම ගෙල සිඳගත්තේය.
තම ඉදිරිගමන අවහිර කළ ඉතුරු සිංහල සේනාවද පරාජය කළ දෙමළ සේනාව අනුරාධපුරයට ඇතුළු විය. රාජ මාළිගය, වෙහෙර විහාර, හා සිංහල ප්‍රධානීන්ගේ නිවෙස් ආදියද විනාශ කොට එහි වූ සියලු වස්තුව දෙමළ හේවායන් විසින් පැහැර ගන්නා ලදී. ස්ත්‍රීන් දූෂණය කරනා ලදී. තමන්ට එදිරි වූ සියල්ලන් ඝාතනය කරන ලදී. ශතවර්ෂ බොහෝ ගණනකින් එබඳු කොල්ලයකට අනුරාධපුරය භාජනය වී නොතිබුණි.
සිය දිවි ගලවා ගැනීම සඳහා පලාගිය පළමුවෙනි සේන රජු නැව් නැඟ යාමට සූදානම්වත්ම පාණ්ඩය (Pandya) රජුගේ දූතයෝ ඔහු සොයා ආහ. තම සේනාව විසින් පැහැර ගන්නා ලද සියලු වස්තුවත්, තව විශාල වන්දියකුත් ගෙවීමට එකඟ වෙතොත්, ලංකා රාජ්‍යය ආපසු භාරදී සිය සෙනග කැටිව පෙරළා තම රටට යාමට ශ්‍රී මාර රජු කැමති බව දූතයෝ දැනුම් දුන්හ. සේන රජු මෙම යෝජනාවලට එකඟ වූයෙන් විශාල යුද්ධ වන්දියක්ද රැගෙන පඬි රජු සිය සේනා රැගෙන පෙරලා සිය රට බලා පිටත්වූයේය.
යළිත් අනුරාධපුරයට පැමිණි සේන රජුට දෙමළුන් විසින් විනාශ කර දමන ලදුව අමු සොහොනක් මෙන් දිස් වූ, රජ මාලිගය, විහාරාරාම, ඇතුළු රජරට නැවත අලුතින් ගොඩ නඟන්නට සිදු ව තිබුණි. එනමුත් එහි පැරණි ශ්‍රී විභූතිය පෙරළා ලඟා කර ගැනීම පහසු කාර්යයක් නොවීය. සියල්ලට වඩා දෙමළ ආක්‍රමණය පරාජය කිරීමට නොහැකි වීම නිසා ජනිත වූ අවමානය රජතුමාගේ සිත රිදුම් දුන්නේය. හේ තම සිඟිති පුත්‍රයා උකුලට ගෙන මෙසේ පැවසුවේය.
” පුතේ.. උඹ නියම පිරිමියෙක් වගේ, නියම සිංහලයෙක් වගේ, කවදාහරි උඹේ මාතෘ භූමියට සහ උඹේ තාත්තට මුහුණ දෙන්න වෙච්ච මේ අවමානයේ, පරාජයේ, හා විනාශයේ පලිය ගන්න ඕන. උඹේ තාත්තා වෙනුවෙන් උඹ මේක කරන්නම ඕන. උඹ මේ මාතෘ භූමියේ අභිමානය හා රජරට ශ්‍රී විභූතිය පුනර් ස්ථාපනය කරන්න ඕන.” කුඩා පුත්‍රයා එය ඉටු කරන බවට තම පියාට දිවුරුම් දුන්නේය.
ආදරණීය සිංහල ජනතාවගේ සහායයෙන් තමන්ට හැකි උපරිමයෙන් රට පෙරළා නඟා සිට වූ පළමුවන සේන රජතුමා ක්‍රි.ව 853 දී පරලෝ සැපත් වූයේය.
ඔහුගේ පුත්‍රයා දෙවන සේන රජු ලෙස රාජාභිෂේක ලැබුවේය. හේ තව තවත් රට දියුණු කරමින්, සිය ඔත්තුකරුවන් හරහා සතුරු පාණ්ඩය දෙමළ අධිරාජ්‍යයේ තොරතුරු විමසමින් සිය පියාට දුන් පොරොන්දුව ඉටු කිරීමට කාලය පැමිණෙන තෙක් ඉවසීමෙන් බලා සිටියේය. රට සංවර්ධනය කරමින් යුද හමුදා පුරුදු පුහුණු කරමින් ශක්තිමත් කළේය. නැව් හමුදාවක්ද සකස් කළේය.
ශ්‍රී මාර වල්ලභ රජුගේ පුත්‍රයෙකු වූ වරගුණ නම් ද්‍රවිඩ කුමාරයෙකු සිය පියා හා මතභේදයක් ඇති කරගෙන සිටින බවට සේන රජුට ආරංචි විය. මාතෘ භූමියට අත් වූ අවමානය සෝදා හැරීම පිණිස මෙය අනගි අවස්තාවක් බව වටහා ගෙන වහා ක්‍රියාත්මක වූ සිංහල රජතුමා ඔහුට ආධාර කරන බවට පොරොන්දු වී හේ ලංකාවට ගෙන්වා ගත්තේය.
වරගුණ කුමාරයාට පක්ෂපාත කණ්ඩායම් වෙත කුමාරයාගේ අත්සනින් යුතු පණිවිඩ යවා, පඬිරට කැරැල්ලකට අවශ්‍ය පසුබිම සකස් කළේය. මේ කාලයේදී ශ්‍රී මාර වල්ලභ රජුට පල්ලව රාජ්‍යය සමඟ යුද්ධයක් කිරීමට සිදු වූ අතර සිංහල රජු මෙතෙක් බලා සිටි ස්වර්ණමය මොහොත ලඟා විය.
සිංහල මහරජු වහා කුන්ථක නම් මහසෙනෙවියාගේ නායකත්වයෙන් යුතු මහා සිංහල හමුදාවක් වරගුණ කුමාරයාට පවරා දී ඔවුන්ට දකුණු ඉන්දියාව වෙත නැව් නැගීමට පහසුකම් සැලසුවේය. සිය සේනාව දිරිගැන්වීම පිණිස මාන්තොටට පැමිණ ඔවුන් නැව් නැඟ පිටත්වන තුරු මහරජු එහි රැදී සිටියේය.
පඬි රටට ගොඩබට සිංහල සේනාවට වරගුණ කුමරුට පක්ෂපාතී සේනා එක් වූහ. ඔවුහු එහි අගනුවර වූ මධුරා පුරයට ලඟා වූහ. එහිදී වරගුණ කුමරුගේ ප්‍රධාන බලමුලුවද සිංහල – ද්‍රවිඩ ඒකාබද්ධ හමුදා හා එක් වූහ.
පාණ්ඩ්‍ය මහරජ ශ්‍රී මාර ශ්‍රී වල්ලභ රජු මෙම අවධියේ ආසන්න පල්ලව රාජ්‍යය සමඟ යුද වැදී සිටි හෙයින් මධුරා පුරය රැක ගැනීමට අපොහොසත් විය. සිංහල ද්‍රවිඩ ඒකාබද්ධ හමුදා මධුරා පුරයට වැද එය අත්පත් කරගත් පසු පාණ්ඩ්‍ය මහරජ සිය සෙන් පිරිවරා සටනට පැමිණියේය. සිංහල කුන්තක සෙනෙවියාගේ මෙහෙයවීමෙන් යුද වැදුණු ඒකාබද්ධ හමුදාවන්ගේ ප්‍රහාරය හමුවේ පාන්ඩ්ය මහරජගේ සේනාවන්ට අත්වූයේ දරුණු පරාජයකි. සටනින් පරාජයට පත් ශ්‍රී මාර ශ්‍රී වල්ලභ රජු යුද බිමෙහි තුවාල ලබා මියගියේය.
මධුරා පුරයෙහි වස්තුව පැහැරගත් සිංහල සේනාව ලක්දිවින් කොල්ලකා ගත් සියලු වස්තුව ද පෙරළා අත්පත් කරගත් බව චූල වංශයෙහි සඳහන්ය. අනුරාධපුරයේ විහාරාරාමයන්ගෙන් පැහැරගෙන ගිය අගනා මුතු මැණික් හා රන් පිළිම ආදියද මේ අතර විය.
විජයග්‍රාහී සිංහල සේනාව වරගුණ කුමරු පඬිරට සිහසුනෙහි තබා රාජ අභිෂේක මංගල්‍යයක් ද පැවැත්වූහ. මෙතැන් සිට ටික කලක් යනතුරු පඬිරට සිංහල රජුට අවනත රාජ්‍යයක් විය. මේ හේතුවෙන් දෙවන සේන එනම් මහා සේන රජුගේ නාමයට “මධුරා දිනූ” යන විරුද නාමයද ඈඳනු ලැබීය.
විජයග්‍රාහී සිංහල සේනාධිපති සිය සේනාව කැටිව නැව් නැඟ පෙරළා මාන්තොටට ළඟා වූහ. සේන රජු නැවු තොටට පැමිණ තම සෙනවිඳුන් ප්රමුඛ සිංහල සේනාව මහත් උත්සව ශ්‍රීයෙන් සහ ආදර ගෞරවයෙන් පිළිගත්තේය. මුළු රට මහත් මගුල් සිරියෙන් ඇළලී ගියේය. එදින මාතෘ භූමියේ ගෞරවය පුනර් ස්ථාපනය කරනු ලැබූ දිනයක් විය. රජු සිය වීරෝදාර සෙනෙවියන්ට හා සෙබළුන්ට උපහාර හා ත්‍යාග පිරිනැමුවේය.
ද්‍රවිඩයන්ගෙන් ඉදිරියට සිදුවිය හැකි උපද්‍රව වළක්වා වළක්වාලීම සඳහා මුහුදු වෙරළබඩ රැකවල් තරකළ රජතෙමේ කවර විධියේ ආක්‍රමණයක් වුවද මැඩලීමට සමත් ලෙස සේනා සංවිධානය කර ශක්තිමත් කළේය.
මහා සේන රජුගේ රාජ්‍ය කාලය අවසානය දක්වාම සමෘද්ධි සම්පන්න කාලයක් විය. ගොවිතැන වැඩි දියුණු කරලීම සඳහා වැව් අමුණු කරවූ රජ තෙමේ මිනිපේ ඇල වඩාත් දික්කොට මහවැලි ගඟේ ජලය මහකන්දරා වැව දක්වා බෙදා හැරීමට සැලැස්වීය.
දෙවන සේන රජතුමා, පළමුවන සේන රජුගේ රාජ්‍ය සමයේ දී පාණ්ඩ්‍යයන් විනාශ කළ වෙහෙර විහාර නැවතත් ප්‍රතිසංස්කරණය කළා. එහි දී පාණ්ඩ්‍යයන් විසින් කොල්ලකන ලද ලෝවාමහාපාය සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කළ සේන රජතුමා, එහි රන් බුදු පිළිමයක් තැන්පත් කළ බවට ද ඉතිහාස කතාවල සඳහන්. එලෙස දෙවන සේන රජතුමා කළ ප්‍රතිසංස්කරණවලට අමතර ව මැදිරිගිරිය වටදාගෙය පිහිටා ඇති පුදබිමේ ද යම් ඉදිකිරීම් කළ අතර ම එම විහාරයේ නඩත්තුව වෙනුවෙන් ගම්වර ද පූජාකළ බව ඉතිහාස කතාවල සඳහන් වනවා. එලෙස ශාසනයට කළ සේවාවන්ට අමතර ව, මිහින්තලා භූමියේ රජතුමා ඉදිකළ රෝහලේ නටබුන් ද අදටත් දක්නට ලැබීමෙන් අපට නිගමනය කළ හැක්කේ, එම අවධියේ අප සතු ව ඉතාමත් දියුණු තාක්ෂණයක් තිබූ බව යි.
මාතෘ භූමියට අසමසම සේවයක් කරමින්, ලංකා මාතාවගේ අභිමානවත් නාමය ජගත් තලය මත ප්‍රකට කළ ඒ ශ්‍රේෂ්ඨ සිංහල මහරජතුමා, සිංහලයන් සෝ සයුරේ ගිල්වමින් 887 වර්ෂයේ දී පරලොව සැපත් වූයේය. අනතුරුව ඔහුගේ සොහොයුරු දෙවන උදය රජු රාජාභිෂේකය ලැබුවේය.
(ඉහත චිත්‍රය සුප්‍රකට ඉන්දීය අජන්තා ලෙන් චිත්රයෙකි. 17 වන ලෙනෙහි ඇති මේ චිත්‍රය “සිංහල ආගමනය” යන නාමය ඇතිව චිත්රණය කර ඇත. එහි ඇත්තේ සිංහල සේනාවන් භාරතයට පැමිණෙන අවස්ථාවකි. (Coming Of Sinhala (Mural At Ajanta In Cave No 17) – Ajanta Caves ))
සහෝදරවරුනි.. අද ලෝකයට ණය වී දුප්පත් වී බලු වී තිබෙන්නේ අතීතයේ එබඳු මහා අභිමානවත් රාජ්‍යයකි. මට මතක් වෙන්නේ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් ලියූ කවියකි.
දික් කළ කෙනෙහි සතුරන්ගේ ගෙල නොසිඳ
වක් නූ පොරණ සිංහල අත් යුවල අද
ඔක්කෝටම වඳින හැටි බල බලා ඉඳ
ලක් මව අඬන හැටි උඹටත් පෙනෙනවද?