ලෝකයේ පළමු කාමර උෂ්ණත්ව සුපිරි සන්නායකය ශ්‍රී ලාංකිකයෙක්ගෙන්?
මීට දවස් කිහිපයකට කලින් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් අපූරු සොයා ගැනීමක් කළා. ඒ තමයි සෙල්සියස් අංශක 15ක වගේ කාමර උෂ්ණත්වයකදී, කිසිම ප්‍රතිරෝධයක් නැතිව, විදුලිය අරගෙන යන්න පුලුවන් හරිම අද්භූත ද්‍රව්‍යයක් නිර්මාණය කිරීම. මේ ජයග්‍රහණය “සුපිරි සන්නායකතා” (Superconductivity) වාර්තාවක් විදිහටයි සැළකෙන්නෙ.
එදිනෙදා උෂ්ණත්වවලදී විදුලිය පහසුවෙන් ගෙන යා හැකි ද්‍රව්‍යයක් නිර්මාණය කිරීම ගැන විද්‍යාඥයන්ට ඈත අතීතයේ ඉදලම සිහිනයක් තිබුණා. මේ, ඒ සිහිනය සැබෑ වුණු අවස්ථාව කියලා සඳහන් කළොත් නිවැරදියි.
මේ පරීක්ෂණයට දායකත්වය සපයලා තියෙන රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්ගෙන් එක්කෙනෙක් ශ්‍රී ලාංකිකයෙක්. ඒ තමයි මහාචාර්ය රංග ඩයස් මහතා. ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයෙන් උපාධිය ලබාගත්ත රංග ඩයස් මහතා 2007 අවුරුද්දෙදි තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ඇමරිකාවේ වොෂිංටන් වලට යනවා. 2017 ජනවාරි මාසයේදී හාවඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් ආචාර්ය උපාධිධාරියෙකු විදිහට රංග ඩයස් මහතා සහ අයිසැක් සිල්වෙරා කියන මහාචාර්යවරයා Diamond Anvil Cell (භූ විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ ද්‍රව්‍ය විද්‍යා අත්හදා බැලීම් වෙනුවෙන් භාවිතා කරන අධි පීඩන උපකරණයක්) එකක් භාවිතා කරලා ලෝහමය හයිඩ්‍රිජන් නිර්මාණය කරලා තියෙනවා. එතුමා මේ වෙනකොට රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු සහකාර මහාචාර්යවරයෙක් විදිහට සහ භෞතික විද්‍යාව හා තාරකා විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා.
රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ සුපිරි සන්නායකතා විද්‍යාගාරය (Taken From – www.nature.com)
ලෝකයේ පළමු කාමර උෂ්ණත්ව සුපිරි සන්නායක පරීක්ෂණය සඳහා මහාචාර්ය රංග ඩයස් මහතාගේ හවුල්කරුවා විදිහට සහභාගී වෙලා තියෙන්නෙ අශ්කන් සලමත් කියන මහාචාර්යවරයායි.
මේ පරීක්ෂණය කරලා තියෙන්නෙ දියමන්ති සෛල දෙකක අගට කාබන්, හයිඩ්‍රජන් සහ සල්ෆර් මිශ්‍රණයක් ආලේප කරලයි. ඊට පස්සෙ මෙයාලා ලේසර් ආලෝකය ඔස්සේ වෙන රසායනික ප්‍රතික්‍රියාවන් ගැන නිරීක්ෂණය කරලා තියෙනවා. පර්යේෂණ ස්ථානයේ උෂ්ණත්වය අඩු කරන කොට ද්‍රව්‍යය හරහා ගමන් කරන ධාරාවේ ප්‍රතිරෝධයේ අගය 0 වෙලා තියෙනවා. ඒ ඔස්සේ නියැදිය සුපිරි සන්නායකයක් බවට පත්වෙලා තියෙනවා කියලා විද්‍යාඥයන් තහවුරු කරගෙන තියෙනවා.
දෙවෙනි පියවර වෙලා තියෙන්නෙ පීඩනය වැඩි කිරීමයි. ඒ අවස්ථාවේදී සංක්‍රාන්තිය ඉහළ උෂ්ණත්වවලදී සිදු වෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායකයක් වායුගෝලීය පීඩනයේදී භාවිතා කරන්න පුලුවන් නම්, ඒ ඔස්සේ විදුලිබල පද්ධතියේ ප්‍රතිරෝධයට අහිමි වුණු විශාල ශක්තියක් ඉතිරි කර ගන්න පුලුවන් කියන එකයි විද්‍යාඥයන්ගේ අදහස.
මහාචාර්ය රංග ඩයස් මහතා (Taken From – www.rochester.edu)
මෙහිදී දියමන්ති වල චුම්බක ක්ෂේත්‍රය, සංක්‍රාන්ති උෂ්ණත්වයේ දී නෙරපා දැමූ බවට යම් සාධක සොයා ගෙන තියෙනවා. ඒත් තවමත් මේ පරීක්ෂණය 100%ක් නිමාවට පත් කරලා නෑ. මොකද දියමන්ති වල නිශ්චිත ව්‍යුහය සහ රසායනික සූත්‍රය තවමත් අධ්‍යන මට්ටමේ තමයි තියෙන්නෙ (වැඩි පීඩනයකට යන විට නියැදි ප්‍රමාණය කුඩා වේ).
සුපිරි සන්නායකවල චුම්භක අනුනාද MRI Scan යන්ත්‍ර වල ඉදලා දුරකථන කුළුණු දක්වා තියෙන තාක්‍ෂණික උපකරණ ගණනාවක දැක ගන්න පුලුවන්. ඒ වගේම සුළං ටර්බයින වල ඉහළ ක්‍රියාකාරී විදුලි ජනක යන්ත්‍රවලටත් ඒවා අත්හදා බැලීම ආරම්භ කරලයි තියෙන්නෙ. පොදු සුපිරි සන්නායක වායුගෝලීය පීඩන වලදී ක්‍රියා කලත්, එහෙම ක්‍රියාත්මක වෙන්නෙ ඒවා සීතල විදිහට තබනවා නම් විතරයි. වඩාත් නවීන ඒවා, ඒ කියන්නෙ තඹ ඔක්සයිඩ් මත පදනම් වූ සෙරමික් ද්‍රව්‍ය ක්‍රියා කරන්නෙත් සෙල්සියස් අංශක (−140)ට වඩා අඩු උෂ්ණත්ව ප්‍රමාණයකයි.
ඉතින් ඒ නිසා කාමර උෂ්ණත්වයේ වැඩ කරන සුපිරි සන්නායක, අනාගතයේදී විශාල තාක්ෂණික බලපෑමක් ඇති කරන්න පුලුවන්. (උදාහරණ – අධික ලෙස රත් නොවී වේගයෙන් ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික් උපකරණ).
මූලාශ්‍ර :
https://www.nature.com/articles/d41586-020-02895-0
https://www.techexplorist.com/world-first-room-temperature-superconductor/35751/
https://www.hajim.rochester.edu/matsci/people/faculty/index.html
https://www.scientificamerican.com/article/first-room-temperature-superconductor-excites-and-baffles-scientists/
https://www.lankabusinessnews.com/sri-lankan-professor-ranga-dias-at-university-of-rochester-introduces-worlds-first-room-temperature-superconductor/
http://www.sci-news.com/physics/first-room-temperature-superconductor-08952.html