ආසියාවේ හෝ අප්‍රිකාවේ තැනක මීට වසර මිලියන දෙකකට පමණ පෙර බිහිවන ආදී මානවයා (හෝමෝ ඉරෙක්ටස්) වසර මිලියනයක් පමණ ගතවන විට ලෝකයේ බොහෝ අස් කොන් දක්වා ඇවිද ගියේය. මේ ගියේ සුදුසු වාසස්ථාන සොයාගෙනම නොවන බව නම් පැහැදිලිය. නොඑසේ නම් සියළුම මානව ජනාවාස ජීවත්වීමට ඉතා සුදුසු ගංගා නිම්න වලට පමණක් සිමා වන්නට තිබුණි. එහෙත් මේ ආදී මානවයා සාරවත් ප්‍රදේශ පසු කරගෙන ඉතා කටුක ආන්තික දේශගුණයන්ගෙන් යුත් අති දුෂ්කර බිම් කඩවල් දක්වා පාද යාත්‍රා කර තිබුණි. මේ සඳහා දිය හැකි එකම හේතුව එම මානවයා තුල වූ කුතුහලය ලෙස මම දකිමි.

වසර ලක්‍ෂ ගණනක් සතුන් මරා අමුවෙන් මාංශ භක්‍ෂණය කල ආදී මානවයා, ලැව් ගින්නකට අසුවී පිළිස්සුනු සතකුගේ ආහාර අනුභව කිරීමේදී එහි ඇති මෘදු බාවයත් වැඩි රසයත් අත්‍දකින්නට ඇත. එබැවින් ඔවුන් ස්වභාවික ගින්නක් දුටු විට මරණ ලද සත්වයා ඒ ගින්නට විසිකර පිලිස්සුණු මස් ආහාරයට ගන්න ඇත. ලැව්ගිනි තමාට අවශ්‍ය විට අවශ්‍ය ස්ථානයකදී ඇති නොවේ. මේ නිසා තමන්ට අවැසි විට ගින්නක් නිපදවාගැනීම කෙරෙහි ආදී මානවයාගේ මනස යොමු වන්නට ඇත. මේ අදහස තවත් වසර ලක්‍ෂ ගණනක් මුහුකුරා ගොස් මානවයා විසින් ගිනි නිපදවීමේ තාක්‍ෂණය බිහිකළේය.

ඔබ ඒ කියවුයේ විද්‍යාවේ සහ තාක්‍ෂණයේ බිහිදොර පිළිබඳවයි. විද්‍යාව බිහිවන්නේද ඉදිරියට ඇදෙන්නේද “කුතුහලය” යන මානව මානසික ගුණාංගය නිසාය. “තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන නොවොත්පාදන අභිලාශය” තාක්ෂණය ඉදිරියට ගෙනයාමට ඉවහල්වන මානසික ගුණයයි. ඉංග්‍රීසි බසින් මෙය inquisitive mind (කුතුහලයෙන් පිරි මනස) සහ inventive mind (නවෝත්පාදන මනස) ලෙස සරලව ප්‍රකාශ කල හැක. මෙම මානසික ගුණාංග විද්‍යාව සහ තාක්‍ෂණය උදෙසා එකිනෙකට පරායත්ත (එනම් එකිනෙකාට සබැඳි) කාර්යයන් ඉටු කරයි.

මේ ආදී මානවයාගේ ගුණාංග වසර මිලියන දෙකකට පසුවත්, ඔබගේද මගේද සිරුරේ සෛලයක් සෛලයක් පාසා ලියැවී ඇත. මේ අනුව විද්‍යාව සහ තාක්‍ෂණය මීට වසර හාර පන්සියයකට පෙර බිහිවන අලුත් දෙයක් නොවන බව අප වටහා ගත යුතුය.

ගින්දර පිළිබඳව අවබෝධය ලබා එය කෘතිමව නිපදවාගැනීමේ තාක්‍ෂණය කරා පැමිණීමට මානව වර්ගයාට වසර ලක්ෂ ගණනක් ගියේය. චලනය පිළිබඳව අවබෝධය ලබා රෝදය නිපදවීමට වසර දස දහස් ගණනක් ගියේය. මිනිස් සිරුර පිළිබඳව වටහාගෙන ආයුර්වේද වෛද්‍ය තාක්‍ෂණය ගොඩනැගීමට වසර දහස් ගණනක් ගියේය. එහෙත් වෛරස් පිළිබඳව අවබෝධය ලබා ලෙඩ රෝග රාශියකට එන්නත් නිපදවීමට මානවයාට ගතවන්නේ වසර සියයකට අඩු කාලයකි. පරිඝනක තාක්‍ෂණයේ ආයු කාලය කතා කරන්නේ දශක වලිනි, මීට වසර කිහිපයකට පෙර නවතම විද්‍යාවක් වූ ඩ්‍රෝනය මේ වන විට එදිනෙදා ජිවිතයට පවා ලංවන සුලබ තාක්‍ෂණයකි. අද බොහෝ දෙනෙක් මාස කිහිපයක් තුල Covid-19 රෝගයට එන්නතක් සොයා ගැනීමට නොහැකි වුවා කියා විද්‍යාවට දෙස් දෙවොල් දෙයි.

වසර මිලියන ගණනක සිට පැවත ආ විද්‍යාව සහ තාක්‍ෂණය මීට සියවස් කිහිපයකට පෙර යම් තීරණාත්මක හැරවුම් ලක්‍ෂයක් පසු කරයි. එනම් මෙතෙක් අත්දැකීම සහ ප්‍රත්‍යක්‍ෂය හෝ අත්හදා බැලීම් සහ දෝෂ ක්‍රමය (trial and error method) ඔස්සේ ගොඩනැගුණු විද්‍යාව යම් මූලික ක්‍රමවේදයක් ඔස්සේ කරගෙන යාමට අනුගත වීමයි. මේ සමගම වසර ලක්‍ෂ, සහශ්‍ර, සියවස් ගණනාවක් ගතවූ විද්‍යා තාක්‍ෂණ උත්පාදනයන් දශක, වසර, මාස ගණන් වලදී යථාර්තයන් බවට පත්වන්න විය. අප නුතන විද්‍යාව ලෙස හඳුන්වන්නේ මේ සියලු දෙනා පිළිගත් නියමිත ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාවට නැගෙන විද්‍යාවයි. එහෙත් මූලික සිද්ධාන්ත වලදී ආදී මානවයාගේ විද්‍යාවත් නුතන මානවයාගේ විද්‍යාවත් අතර වැඩි වෙනසක් නැත.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.