වේදනාව සහ දුක
වේදනාව (pain) සහ දුක් විඳීම (suffering) යනු කාරණා දෙකකි. වේදනාව යනු සත්වයාගේ සුරක්ෂිත භාවයට අත්‍යවශ්‍ය සංවේදනයකි. වේදනාව පංචෙන්ද්‍රියට සංවේදනය වන විට එය භෞතික වේදනාවක් ලෙසද මනසට සංවේදනය වන විට එය මානසික වේදනාවක් ලෙසද හැඳින්වේ.
වේදනාව පිළිබඳව නිර්මාණයේ (creation) අරමුණ වන්නේ සත්වයා අන්තරායකර පරිසරයකින් ඈත් කරවීමයි. ඔබගේ අත ගිනි පුපුරක ගැටෙන විට ඔබ අත ඉවතට ගන්නේ වේදනාව නම් සංවේදනය නිසාය. නොඑසේ නම් ඔබේ අත දැවී පිළිස්සෙන තෙක් ඔබට නොතේරේ. සමහර ස්නායු ආබාධ ඇති අයට මේ තත්වය ඇති නොවේ. එබැවින් එවැනි අය පිළිබඳව අන්‍යයන් සැලකිලිමත් විය යුතුය.
මානසික වේදනාවක් යනුද එසේම කාරණයකි. එයින් ලබාදෙන පණිවිඩය නම් ඔබ එම වේදනාවට කාරක වන හේතුවෙන් ඉක්මනින් ඈත් විය යුතු බවයි. සත්වයාට පමණක් නොව ගස් වැල් වලට පවා මෙම සංවේදනය ඇත. ඔබ ගසක් එක් පසකින් ආවරණය කරන විට එය අනෙක් පසට වැඩෙයි. මෙහි ඇති වෙනස සත්වයාට වඩා වැඩි කාලයක් ගස් වැල් වේදනාවට දක්වන ප්‍රතිචාරය සඳහා ගැනීමයි.
මෙහිදී සැලකිය යුතු වැදගත්ම පණිවිඩය නම් වේදනාව යනු සතුරෙක් නොව ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය නිර්මාණයක් බව අවබෝධ කරගැනීමයි.
දුක් විඳීම යනු සත්වයාට කිසිසේත් අවශ්‍ය නොවන මානසික තත්වයකි. එය ඇතිවන්නේ වේදනාව නැවත නැවත මෙනෙහි කිරීමෙනුයි. සමහර පුද්ගලයන් දුක් විඳීම පුරුද්දක් ලෙස පවත්වාගෙන යයි. උදාහරණයක් ලෙස; තුවාලයක් ඇති වූ විට දැනෙන වේදනාව මගින් එයට ප්‍රතිකාර කල යුතු බවට පණිවිඩයක් ලබා දෙයි. එවිට අප ඒ සඳහා ප්‍රතිකර්මයක් යොදන අතර තවදුරටත් වේදනාවේ අවශ්‍යතාවය නොමැති බැවින් වේදනාව ක්‍රමයෙන් දුරුවී යයි. මෙය නිර්මාණයේ අලංකාරයි.
සමහර දෙනෙක් මෙම තුවාලය සනීප වෙමින් පවතින විට එහි කබොල කඩා එය පාරවා ගනී (අප සිතනවාට වඩා සමාජයේ සිටින බොහෝ දෙනෙක් මේ ක්‍රියාව කරයි). එවිට පෑරෙන තුවාලයෙන් සමහර විට රුධිරය වහනය වීමටද පටන් ගන්නා අතර අධික වේදනාවක් දැනෙයි. ඉඳ හිට මේ ක්‍රියාව අතක් පයක් කපා දැමීම දක්වා ඔඩු දුවන තුවාලයක් ඇති කරන අවස්ථා ඇත.