සුළඟට පාවෙන ලංකාවේ එළවලු ගොවියා
මීට වසර 20 කට පමණ පෙර මගේ කිට්ටුවන්ත මිතුරෙක් මා හමුවට පැමිණියේය. ඔහු එවකට කුරුවිට ප්‍රදේශයේ කුඩා පරිමාණයෙන් මැණික් ව්‍යාපාරයේ යෙදී සිටියේය.
“මචං නියම බිස්නස් එකක් තියෙනවා ඉන්වෙස්ට් කරනවා නම්. මම වැලිමඩ පැත්තේ පොඩි ඉඩමක් බදු අරන් අල හිටෙව්වා. උඹට හිතාගන්න පුලුවන්ද ප්‍රොෆිට් එක? එකට පහයි. වෙන කිසිම දේකින් ඔහොම ප්රෝෆිට් හොයන්න බැහැ මචං”. ඔහු ඉතා තර්කනුකූලව තම ආයෝජනය සහ ලාබය පිලිබඳ අවංක විවරණයක් කළේය.
මේ සැරේ මම අක්කර පහක අල දානවා. උඹ කැමතිද 50% දාන්න? ෂුවර් ප්‍රොෆිට් කේස් මචං”. මට ඔහු කියූ අක්කර ප්‍රමාණය හරියටම මතක නැත. එය 5 ක් හෝ 15 ක් විය යුතුය.
මගේ මිතුරා ඉතා විශ්වාසවන්ත පුද්ගලයෙකි. මේ යෝජනාව ඉතා වාසිදායක බව මට පෙනේ. එහෙත් ඒ වකවානුවේදී මම මගේ වෘත්තියට අදාළ ක්ෂේත්‍ර කිහිපයක ආයෝජනය කර තිබුනෙමි. එසේම මගේ බිරිඳගෙන්ද මේ සඳහා ලැබුනේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. එබැවින් මම මිතුරාගේ යෝජනාව ඔහුගේ සිත නොතැලෙන සේ ප්‍රතික්ෂේප කලෙමි.
එවර අර්තාපල් සඳහා ලැබුණු අධික මිල හේතුවෙන් ඊළඟ කන්නයේදී විශාල පිරිසක් අල වගාවට යොමු වී තිබුණි. එසේම රටේ ඇතිවූ අල හිගය හේතුවෙන් (එසේ යයි හේතු දක්වමින්) එවකට පැවති රජය අල සඳහා තිබූ ආනයනික බදු බොහෝ සෙයින් අඩුකළේය. මෙහි ප්‍රතිපලය වුයේ ඊළඟ කන්නයේ අර්තාපල් ගොවියාට තම අස්වැන්න ඉතා අඩු මිලකටවත් විකුණා ගැනීමට අපහසු වීමයි. මගේ මිතුරා ලක්ෂ ගණනක මුදලක් පාඩු කරගෙන තිබුණි.
වරද කොතැනද?
මේ අර්තාපල් පමණක් නොව ලංකාවේ වවන ලූණු, තක්කාලි, අනෙකුත් එළවලු ආදී බොහොමයක් කෙටි කාලින බෝග සඳහාද වලංගු වන සත්‍යයකි. එක කන්නයකදී කුමක් හෝ හේතුවක් නිසා බෝගයක මිළ විශාල ලෙස ඉහල ගිය විට සියලු දෙනා එම බෝගය වගා කිරීමට පෙළඹේ. එවිට එහි අස්වැන්න කුණු කොල්ලයටවත් විකුණා ගත නොහැකි තත්වයක් උදාවෙයි.
එසේම පැවති බොහෝ රජයන් විසින්ද කරනු ලබන ඉතා පහත් නොපනත්කමක් ඇත. උදාහරණයක් ලෙස ලංකාවේ ලොකු ලූණු සහ අල සඳහා වැඩි කරනු ලබන බදු පිළිබඳව සලකා බලමු. මේ බෝග වල වැඩි අස්වැන්නක් ලැබුණු විට ගොවියා රැකගැනීමට කියා රජය මේ සඳහා වන ආනයනික බදු ඉහල දමයි. බැලූ බැල්මට යහපත් ක්‍රියාවක් සේ පෙනෙන නමුත් මේ වැඩිකිරීම කරන කාල වකවානු පිළිබඳව සැලකිල්ලට ගැනීම වැදගත්ය.