හින්දු ආත්මවාදය හා බෞද්ධ අනාත්මවාදය

හින්දු දහම තුළට අන්තර්ග්‍රහණය කරගෙන තිබෙන විවිධ ආගමික සම්ප්‍රදායයන් හා බෞද්ධ ධර්මය අතර බොහෝ සමාන ඉගැන්වීම් ඇති මුත් මූලික වෙනස පවතින්නේ උක්ත ආත්ම – අනාත්මවාදය සම්බන්ධයෙනි.

මෙය පොතක් ලිවිය යුතු මාතෘකාවක් වුවද ඉතා කෙටියෙන් පවසන්නේ නම් මේ දෙක අතර වෙනස මෙබඳුය.

හින්දු දැක්ම පුද්ගලයෙකුගේ පරිණාමයේ දකින්නේ ඇටමාලයක් අමුණනවාක් මෙනි. අලුත් අලුත් ඇට මාලයට දැමුවද නූල එකමය. එලෙස පුද්ගලයාගේ කය, මනස, බුද්ධිය සංසාරයේ විපරිණාමය වූවද, ඒ සියල්ල අමුණන ආත්මය වෙනස් වන්නේ නැත. එය ඔහුගේ සාරයය(spirit). ඔහුගේ අනන්‍යතාව තීරණය වන්නේ එය මගිනි. එය ඔහුට සවිඥානිකවභාවය ලබා දෙන මූලයයි.(enliving principle) ඔහුගේ පෞරුෂයේ හරයයි(core of personality).

එනමුත් බෞද්ධ දැක්ම පුද්ගලයෙකුගේ පරිණාමය දකින්නේ ලණුවක් අඹරනවාක් මෙනි. එහි සියල්ල ඒකාත්මික කරමින් දිව යන නූලක් නොමැත. එනමුත් පොල් කෙඳි එකිනෙකට සම්බන්ධ කිරීමෙන් ලණුවක් නිෂ්පාදනය වේ.

පුද්ගලයාගේ රූප කලාප තවත් රූප කලාප උපද්දවමින් නිරැද්ධ වී යයි. චෛතසික කලාපයන්ද අලුත් චෛතසික උපද්දවමින් නිරැද්ධ වී යයි. චිත්ත කලාපයන්ද අලුත් චිත්ත කලාපයන් උපද්දවමින් නිරුද්ධ වී යයි.

කුණාටුවක් කරකැවෙන කල ඊට විවිධ දේ අලවාගෙන පැවැත්මක් ජනිත කරගත්තද, එහි කුණාටුවකට අනන්‍ය සාරයක් දැකගත නොහැක. වාහනයක කෑලි එකතු කළ විට සම්මුතියේ වාහනයක් වුවද පරමාර්ථයේ දී වාහනය කෑලි කෑලි වලට ගලවා බැලූ කළ එය යකඩ ගොඩක් පමණි.
පුද්ගලයෙකු වනාහි තණ්හා වලින් එක්ව තිබෙන නාම- රෑප- විඥාන ගංගා ප්‍රවාහයක් පමණි. (උපාදාන වනාහි ගංගාව ගලන ගංගා ධාරය (stream bed) බඳුය.) මෙහි සාරයක් නොමැත.

“මම” වනාහි චෛතසික ගොඩ නැංවීමක් (mental construction) පමණි.

කාට හරි අහන්න පුළුවන් බෞද්ධ දැක්මට අනුව, පරමාර්ථ ලෙස සංසාරයේ ආත්මයෙන් ආත්මයට යන ජීව ආත්මයක් හෝ නිශ්චිත Core නිත්‍ය පුද්ගලයෙක් නැති නම් කාටද කර්ම රැස් වෙන්නේ කියල?

අපි දැකල තියෙනවා ලී පතුරු එකතු කරලා, වටේ යකඩ රාමු දාල හදල තියෙන බැරල්. මේ බැරල් වලට වයින් / වතුර / බියර් ආදී ද්‍රව පුරවන්න පුළුවන්. එහෙම පුරවන්නේ යකඩ රාමු වලින් එකතු වෙලා තියෙන කන් විතරයි. යකඩ රාමු ගලවල දැම්මොත්, ලී පතුරු විසිර යනවා.

ඒ වගේම පුද්ගලයෙක්ගේ නාම – රූප – විඥාන එකතු වෙලා තියෙන්නේ උපාදාන වලින්. උපාදාන නැති කර දැමූ කල්හි ඒවා විසිර යාම සහතික වෙනවා. සංසාරයේ කර්ම රැස් වීම එනම් බැරලයට වයින් වැටීම අවසන් වෙනවා.

නාම= වේදනා, සංඥා, සංඛාර, ඵස්ස, මනසිකාර
රූප= පඨවි ,අපෝ, තේජෝ ,වායෝ
විඥාන = සිත, මනස, සවිඥානිකභාවය

කෙටියෙන් රූප, වේදනා, සඥා,සංඛාර,විඥාන යන පංච ස්කන්ධය. උපාදාන ඇති කල්හි පංච උපාදානස්කන්ධය.

අතේ ඇඟිලි විසිරවූ කල ඇඟිලි. බලය යොදා (උපාදාන) එක කල කල්හි මිටක් වෙනවා වගේ

පැහැදිලි කිරීම :
පඨවි කියන්නේ පදාර්ථ වල ඇති තද ලක්ෂණය. ආපෝ කියන්නේ පදාර්ථ වල ඇති වැගිරෙන ලක්ෂණය. තේජෝ කියන්නේ පදාර්ථ වල තියෙන උණුසුම් ගුණය. වායෝ කියන්නේ පදාර්ථ වල තියෙන හමා යන ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණ / ගුණ වලින් යුතු පදාර්ථ වලින් තමයි සියුම් හෝ ඝන සත්ව ශරීරයක් සකස් වෙන්නේ.

එබඳු රූපයක විඥානයක් එනම් සිතක්/ මනසක් පවතිනවා නම් එම සිත ඇස, කන, දිව, නාසය, සෙසු කය ආදී ආයතනයක් /ඉන්ද්‍රියයක් වෙත මනසිකාර (direct) වෙද්දී එම ආයතන වල සවිඥානිකභාවය ජනිත වෙනවා.

එවිට ආයතනයේ ඵස්ස එනම් ස්පර්ශය (contact) හට ගන්නවා.

උදා: ඇස + ඇසේ සවිඥානිකභාවය සහ බාහිර රූපය යන තුනේ එක් වීම ඵස්සයයි.

ඵස්සය හේතුවෙන් වේදනා එනම් විඳීම් හට ගන්නවා. විඳීම් හඳුනා ගැනීම සඥාවයි. සංඥාවන් මතකයේ ඇති පූර්ව අත්දැකීම් අනුව ගැලපී සංස්කරණය එනම් අර්ථ නිරූපණය සංඛාරයි. සංඛාර හේතුවෙන් චේතනා පහළ වෙනවා. ලෝභ, ද්වේශ, මෝහ චේතනා අනුව අකුසල සහ අලෝභ,ද්වේශ, අමෝහ චේතනා අනුව කුසල ලෙස කර්ම රැස් වෙනවා. මෙලෙස සංඛතයන් අභිසංස්කරණය වීම එනම් සිත තවත් උපතක් කරා සකස් වීම සිදු වෙනවා.

එනමුත් යමෙකු තම සිත සියලු තණ්හා උපාදානයන්ගෙන් නිදහස් කරගෙන අරහත්වය සාක්ෂාත් කොට ඇති නම් සිත විසංඛාරගත වී යනවා. එනම් තව දුරටත් කර්ම රැස් වීමක් සිදු වන්නේ නැහැ.

උපාදාන වර්ග හතරකි

1. කාම උපාදාන: ඇස ,කන,දිව, නාසය,කය,මනස යන ආයතන හයෙන් ගන්නා අරමුණු වල සැප ඇති අරමුණු වලට සිත දැඩිව ඇලී බැදී යාම.

2. දිට්ඨි උපාදාන: භෞතිකවාදය, දේව නිර්මාණවාදය වැනි දෘෂ්ටියක් දැඩිව ගෙන ඒ දෘෂ්ටිය නම් පාට කණ්නාඩි වලින් බලමින්ම ලෝකය විග්‍රහ කර ගැනීම

3. සීලබ්බත උපාදාන: නිසි අරමුණකින් තොරව කරන්නන් වාලේ, “උපවාසය” වැනි සීල වෘත සමාදන් වීම. කේන්දර,සුබ නැකත්,සුභ නිමිති ආදී දේ ඔනවාට වඩා වෘත ලෙස දැඩිව ගැනීමද මීට අන්තර්ගතය.

4. අත්තවාද උපාදාන: මමංකාරය ( ego )
අත්තවාදය නිසා තමයි මිනිස්සුන්ගේ හිතේ මාන්නය තියෙන්නේ. අත්තවාදය නිසා තමයි මිනිස්සු යම් යම් දේවල් මගේ කියල දැඩිව හිතින් අල්ල ගන්නේ. එසේ උපාදාන කළ දේවල් අහිමි වෙද්දී හා වෙනස් වී යද්දී දුක් වෙන්නෙත් අත්තවාදය නිසයි.

හින්දු ආත්මවාදය හා වේදාන්ත කෝෂ සංකල්පය

වේදාන්ත දර්ශනයේ විදියට, පරමාණුවක න්‍යෂ්ටියක් තියෙනවා වගේ සෑම සජීවී සත්වයෙක් තුළම ඔහුව සජීවී භාවයට පමුණුවන (enliving principle/ spirit ) ජීව ආත්මයක් තිබෙනවා. ඒ ජීව ආත්මය සහ විශ්වීය ආත්මය අතර සෘජු සම්බන්ධයක් තිබෙනවා. හරියට වාහනයක බැටරිය සහ ඉර අතර සම්බන්ධය වගේ. ඒ වුණත් සාමාන්‍ය පුහුදුන් සත්වයන්ගේ සිතේ බලාත්මක තණ්හා උපාදාන (ක්ලේශ එහෙමත් නැතිනම් Gunas ) හේතුවෙන් මේ ඍජු සම්බන්ධය අවුල් ගිහින් තියෙන්නේ. හරියට පිත්තල භාජනයක මල බැදී එහි මුල් දීප්තිය යට යනවා වගේ.

තයිත්රිතිය උපනිෂද් (2.1-5) සහ අනෙකුත් වේදාන්ත ඉගැන්වීම් වල අන්තර්ගත සංකල්පයක් කෝෂ සංකල්පය. ඒ අනුව ජීව ආත්මය ආවරණය කරගෙන තියෙන කෝෂ පහක් තිබේ. ( හරියට ළූණු බික් වගේ)

ඉන් ගොරෝසුම එක තමයි අන්නමය කෝෂය එනම් ආහාරමය කෝෂය.
ඊට වඩා සියුම් ප්‍රාණමය කෝෂය එනම් ශක්ති කෝෂය
මනෝමය කෝෂය එනම් මනස් කෝෂය ඊට සියුම්
විඥානමය කෝෂය ඊට සියුම්
ආනන්දමය කෝෂය ඊටත් සියුම්.
විශ්වීය පරමාත්මයෙන් පැන නගින සුපිරිසිදු විඥානය ජීවාත්මය තුළින් පිවිස, ඔබ හරහා ක්‍රියාත්මක වන්නේ අවදි වී සිටින(ජග්රත්) – නින්දේ හීන දකින(ස්වප්න) සහ හීන රහිත නින්ද(සුසුප්ති) යන අවස්ථා (Stages) හරහාය.

අවදිව සිටියදී රළු ශරීරය (ස්ථූල ශරීර) හරහාද, සිහින දකින විට සූක්ෂම ශරීරය එනම් මනෝමය කාය හරහාද, සිහින රහිත නින්දේදී වඩාත් සියුම් ශරීරයක් වන කරණ ශරීරය හරහාද විශ්වීය විඥානය ක්‍රියාත්මක වේ. මේ කරණ ශරීරය ස්ථූල ශරීරයේ හා සූක්ෂම ශරීරයේ මූලබීජය ලෙස හැඳින්වේ. මේ ශරීර සත්ව-රජස්-තමස් ආදී ගුණ වල විවිධ සම්මිශ්‍රනයන්ගෙන් සමන්විතය.

අන්නමය කෝෂය එනම් ආහාරමය කෝෂය කියන්නේ රළු ශරීරයට. (ස්ථූල ශරීර) එය අපි ආහාර වලින් පෝෂණය කරනවා.

ප්‍රාණමය කෝෂය කියන්නේ අපි ආශ්වාශ ප්රාශ්වාශ කරන වායුවට(ඔක්සිජන්). එමෙන්ම නාඩි වල ක්‍රියාකාරීත්වයත් මේ හා සම්බන්ධයි. ශරීරයේ ප්‍රාණය සහ ශක්තිය එයින් තමයි පවත්වා ගැනෙන්නේ. එයත් අයිති රළු ශරීරයට. ඒත් සූක්ෂම ශරීරය සමඟත් එය සම්බන්ධයි.

මනෝමය කෝෂය කියන්නේ මනෝ කායට. මනැස එහි manifestation එකක්. ඇස, කන, දිව, නාසය, සෙසු කය යන පංචෙන්ද්‍රියයන්ගෙන් අරමුණු දත හැක්කේ මනැස ඒ ඉන්ද්‍රියයන් වෙත මනසිකාර වන්නේ නම් පමණයි. හැගීම් (feelings) සහ ආවේග (emotions) මනැසින් මතු වේ. මනැස උඩු හිත සහ යටි හිත යන දෙකෙන්ම සමන්විතය.

විඥානමය කෝෂය කියන්නේ මනැසට සහ සෙසු ශරීරයටම සවිඥානිකභාවය ලබා දෙන සූක්ෂම ශරීරය හා සම්බන්ධ කෝෂයට. බුද්ධිය(Intellect) පැනනගින්නේ විඥානමය කෝෂය හරහා බවයි කියැවෙන්නේ. තර්ක කිරීම, විශ්ලේෂණය සහ විග්‍රහය සිදු වන්නේ බුද්ධියෙනි.

විඥාන කෝෂය කියන්නෙ මනෝමය කෝෂයේ යටිතල පහසුකම් ජාලය විදිහට රූපිකව සලකන්න පුළුවන්.

මේ දෙක අතර වෙනස සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ Id, ego, super ego සංකල්පයෙන් තේරුම්ගන්න පුළුවන්. ඔහුට අනුව මනසේ Id කොටසේ අන්තර්ගත වන්නේ instinctual drives එනම් ආවේග. ඒ අනුව එය අයිති මනෝමය කෝෂයට.

Ego ව කියන්නේ එම ආවේග පාලනය කෙරෙන බුද්ධියට.එය අයිති විඥානමය කෝෂයට.

Super ego ව කියන්නේ සංස්කෘතික සදාචාරාත්මක නියාම code වෙලා තියෙන කොටසට. සිතින් පැන නගින ආවේග බුද්ධිය මගින් පාලනය වී, super ego ව මගින් වඩාත් regulate වී තමයි හැසිරීම් ක්‍රියාත්මක වෙන්නේ.

ආනන්දමය කෝෂය කියන්නේ කරණ ශරීරයට. සිහින රහිත නින්දේදී සහ භාවනා සමාධියේ දී මතුවෙන මෙම ප්‍රීතිසහගත තත්ත්වය ආත්මයේ අන්තර්ගත පරම ආනන්දයෙහි ප්‍රතිබිම්බයක් ලෙස මතුවන්නක්. සිහින රහිත නින්ද ශාන්තිදායක මෙනිසයි.

උක්ත කෝෂ පහම ආත්මය නෙවෙයි. ඒවා ආත්මය වසා සිටින අනාත්මයන්. උක්ත සියුම් කෝෂ වල සියුම් ද්‍රව්‍ය නිර්මාණය වන්නේ සත්ව,රජස්, තමස් නමැති මූලද්‍රව්‍යයන්ගෙන්. ඒවා ගුණ (gunas) ලෙස හැඳින්වෙනවා.

ආත්මාවබෝධය එනම් බ්‍රහ්ම ඥානය ලැබිය හැක්කේ, යෝග වැඩීම හරහා උක්ත කෝෂ විනිවිද යාමෙනි. එය සිදු කරන්නේ රජස් තමස් බවටත් තමස් සත්ව බවටත් හැකිතාක් භාවනාවෙන් වැඩිදියුණු කොට අවසානයේ ගුණ පිටු දැකීමෙන් එනම් ගුණ අතීතයට යැවීමෙනි.

ඥාන යෝගය එනම් වේදාන්ත ග්‍රන්ථ අධ්‍යයනය සහ එම දැනුම හරහා බුද්ධිය මෙහෙයවීම එක යෝග මාර්ගයක්. එනමුත් බුද්ධියේ ප්‍රභවය වන විඥානමය කෝෂයේද ප්‍රභවය වන ආත්මය හුදු බුද්ධියෙන්ම අවබෝධ කළ නොහැක්කක්.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 06 : www.ahambrahmasmi4.wordpress.com
* ඡායාරූපය 07 : www.pakkapatriot.com

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.