සබරගමුවට බත සරි කරවන සමන් දේවාලයේ අළුත් සහල් මංගල්‍යය

සමන් දේවාලය තුළ වසරකට කාර්තික හතරක් අනුව උත්සවයන් හතරක් ප්‍රධාන වශයෙන් සිදුවේ. ඒවා වන්නේ,

01. දුරුතු මහා කාර්තිය
02. බක්මහ කාර්තිය
03. ඇසළ මහා කාර්තිය
04. ඉල් මහා කාර්තිය

අළුත් සහල් මංගල්‍යය දුරුතු මහ කාර්තියේ සිදුවන උත්සවයයි. සමන් දේවාලයට අයත් කුඹුරු ඉඩම් එගොඩ බෙත්ම හා මෙගොඩ බෙත්ම ලෙස කොටස් දෙකකි. එගොඩ බෙත්ම යනු කුරුවිට ප්‍රදේශයේ ඇති කුඹුරුය.

මෙගොඩ බෙත්ම යනු හංගමුව ප්‍රදේශයේ ඇති කුඹුරුය. මෙම කුඹුරුවල අස්වනු නෙළීමෙන් අළුත්සහල් මංගල්‍යය පැවැත්වීම වසරක් පාසා මාරුවෙන් මාරුවට සිදු කරනු ලැබේ.

මෙය සාමාන්‍යයෙන් ජනවාරි පෙබරවාරි මාරතු වැනි මාසයක යෙදෙන සුභ නැකැත් අනුව සිදු කෙරේ.මෙම කටයුත්තට මුල පුරන්නේ අදාල බෙත්මයේ මොහොට්ටාල නිළමේ විසිනි.

ඔහු කරල් කැපීමට නැකැත් සාදා මහ සමන් දේවාලයේ බස්නායක නිළමේට කල්තියාම භාරදේ. ඉන් පසුව බස්නායක නිළමේ අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලබයි.

කරල් කපන දිනයට පෙර දින සවස දේවාලයේ අදාල තේවාව භාර පිරිස පෙරහැරෙන් දේවාලයෙන් පිටත්වී කරල් කපන කුඹුර වෙත ගමන් කරයි. මෙම පෙරහරේදී කරල් කැපීමේ මංගල්‍යයට අදාල කොඩි හතරක්,පන්දමක්,පලිහක්,බුරම්පේත්තුව නම් නළාවක්,කුඩ දෙකක්,කත් රෙදි හතරක්,කත් පටි දෙකක්,උඩු වියනක්,සඳුන් හෙප්පුවක්,දවුල් දෙකක්,තම්මැට්ටම් දෙකක්,හොරණෑ දෙකක්,හක් ගෙඩියක් හා සරසන ලද අලියෙක් යොදා ගනු ලැබේ.

මෙම පිරිස පිළිගන්නා බෙත්මේ මොහොට්ටාල විසින් පෙරහැරෙන් ආ පිරිසට නිවසක් පිරිසිදුකර ලැගුම් ගැනීමට සලසා කෑම බීම වලින් සංග්‍රහ කරනු ලැබේ. අතීතයේදි මෙයට වෙනම වාඩි ගසා තිබී ඇති අතර අද වනවිට නිවසක් පිළියෙල කෙරේ.

@elearninglk

රාජකාරිකාරයින් මෙම නිවස ඉදිරිපිට මල්පැලක් සාදන අතර පෙරහැරෙන් ගෙනආ පලිහ සඳුන් හෙප්පුව ආදිය මෙම මල්පැලේ තබනු ලැබේ. හඳුන් කපුරු දුම් අල්ලා පහන් පත්තු කළ පසු හේවිසි පූජාව පවත්වයි.

රාත්‍රිය ගෙවී කරල් කපන දින පහන් වන විට තේවාව භාර නිළධාරීන් අළුයම් දුරයේ තේවාව එම ස්ථානයේ පවත්වනු ලැබේ.


Click on the Image

කරල් කපන නැකත උදාවන විට කපු මහතා කුඩ සේසත් පලිහ දරමින් කුඹුරවෙත ගමන් කරයි. හේනේ මාමා නම් පුද්ගලයා කරල් කපන ස්ථානය රෙදිවලින් ආවරණය කරයි.

නැකත එලඹි වහාම ඉපැරණි කාලතුවක්කුවෙන් වෙඩි හඬක් නිකුත් කරයි. එවිට කපු මහතා වී කරල් මිටියක් කපා එය සුදු සළුවක ඔතා බත්තන කපු මහතාට දේ. බත්තන කපු මහතා එය මල්පැලේ තබයි. පසුව රාජකාරි නිළයන් විසින් කරල් කැපීම සිදු කර එම කරල් නැවුම් මුට්ටිවල බහා නවාතැන් ගෘහයට ගෙනඑනු ලැබේ.


Click on the Image

අනතුරුව මෙම වී කරල් අලියා පිට මතින් දේවාලයට ගෙන ඒ. දේවාලයට ගෙන ආ වී කරල් බුදුගෙයි තැම්පත් කරයි. පසුවදා වී කරල් බුදු ගෙයින් භාරගන්නා මුරුතැන් රාල උඩුවියන් යටින් හේවිසි පූජාව අතරතුර මුළුතැන්ගෙට ගොස් වී කොටන ගෙය නම් ස්ථානයේදී වී කොටන රාල සමග වී කොටා සහල් ලබාගනී.

කරල් කැපීමෙන් පසුව එලඹෙන පසලොස්වක පොහෝදින මෙම නව සහලෙන් පිසූ කිරිබත් මුරුතැන බුදුන්ට හා දෙවියන්ට පූජා කිරීම සිදු කරනු ලැබේ.

දෙවියන් සඳහා මෙම මුරුතැන සමග පස්පැණිත පූජා කරයි. එනම් සහල් නැළියක බත්,හකුරු කෑලි හතක්,කෙසෙල්ගෙඩි හතක් හා හත්මාළුවයි. සමන් දෙවියන්ට මුරුතැන පූජා කරන විටද කාලතුවක්කුවෙන් වෙඩිහඬ නැංවීම ඉපැරණි සිරිතකි.

මෙම දිනයේ දේවාලයට එන බැතිමතුන්ටද කෑම බීම ලබාදේ. එම කෑම ආලත්ති අම්මාවරුන් විසින් පිසිනු ලබයි. මේ ආකාරයට අළුත් සහල් මංගල්‍යය නිමාවේ. සබරගමුවේ ගොවිතැන, දෙවියන් හා යාවෙන්නේ මේ ආකාරයටය.

ඔබ සැමට සමන් දෙවි පිහිට ලැබේවා…!


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.