චීනයට අභියෝග කරන නව වෙළෙඳ මාර්ගය
ඉන්දියාවේ පසුගියදා නිමා වූ G-20 සමුළුවට සමගාමීව ඉතා වැදගත් විය හැකි තවත් රැස්වීමක් සංවිධානය කර තිබුණා. එය ඉන්දියා-මැදපෙරදිග-යුරෝපා වෙළෙඳ මාර්ගය පිළිබඳ සාකච්ඡාවයි. මෙය චීනයේ තීරයක්, මාවතක් වැඩපිළිවෙලට තරගයක් ලෙස ඉදිරිපත් වන්නක් සේ බැලූ බැල්මටම පෙනී ගියා.
මේ පිළිබඳ සාකච්ඡා කළ පළමු සමුළුවට ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර්, සෞදි අරාබිය, ඉතාලිය යනාදී රටවල නායකයින් මෙන්ම යුරෝපා කොමිසම ද සහභාගී වුණා.
මෙම වැඩපිළිවෙල අනුව, ඉන්දියාව සහ යුරෝපය අතර මැදපෙරදිග කලාපය හරහා දිවෙන ආර්ථික කොරිඩෝවක් යෝජනා කෙරෙනවා. එමගින් වෙළෙඳ මාර්ග දියුණු කිරීම මෙන්ම බලශක්ති හුවමාරුව, සන්නිවේදන සබඳතා ගොඩනැගීම ආදී කටයුතු පිළිබඳව ද සාකච්ඡා කෙරෙනවා.
මෙම සමාරම්භක සමුළුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් කරන ලද ප්‍රකාශයක් මගින් මෙම වැඩපිළිවෙල චීනයේ තීරයක්, මාවතක් වැඩපිළිවෙලට අභියෝග කිරීමේ අදහස සහිතව ක්‍රියාත්මක වන්නක් බව හැඟවුණා. මෝදි සඳහන් කළේ මෙම වැඩපිළිවෙල කිසිදු රටකට තර්ජනයක් වන්නක් නොවන බව සහ එය කිසිවකු ණය උගුලක සිර කිරීමට බලාපොරොත්තු නොවන්නක් බවයි.
නව කුළුබඩු මාවත
ඉන්දියානු මාධ්‍ය විසින් මෙම නව කොරිඩෝව නව කුළුබඩු මාවත ලෙස නම්කර ඇත්තේ චීනය විසින් සිය වෙළෙඳ මාර්ගය නව සේද මාවත හා නම් කර ඇති නිසා බව පෙනී යනවා.
යෝජිත නව ආර්ථික කොරිඩෝව ඉන්දියාවේ බටහිරදිග වෙරළෙන් ඇරඹී මැදපෙරදිග කලාපයේ එක්සත් අරාබි එමීර් හා සෞදි අරාබිය යන රටවල්වලට පැමිණ, එතැනින් ගොඩබිම් මාර්ග ඔස්සේ ජෝර්දානය හරහා ඊශ්‍රායලය වෙත පැමිණ, එතැනින් නැවතත් මුහුදු මාර්ගය ඔස්සේ යුරෝපය කරා යාමට නියමිතයි.
ඉන්දියාව, මැදපෙරදිග හා යුරෝපය යා කෙරෙන මෙවන් මාර්ගයක් පිළිබඳ මුල් යෝජනාව ඉදිරිපත් කරන ලද බව සඳහන් වන්නේ මයිකල් ටැන්චම් නම් පර්යේෂකයකු විසින් මීට වසර කිහිපයකට පෙරයි. එක්සත් අරාබි එමීරයේ මොහොමඩ් බින් සයෙඩ් අල් නහ්යාන් කුමරු මීට මාස කිහිපයකට පෙර මේ පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කිරීමට පටන් ගත් බවයි සඳහන් ව ඇත්තේ.
මේ වනවිට ද සෞදි අරාබියෙහි දුම්රිය මාර්ග පද්ධතිය දියුණු මට්ටමක පවතින හෙයින් ද වරාය සංවර්ධනයන් ද මේ සියළු ප්‍රධාන රටවල සිදුවෙමින් හෝ සිදු වී හෝ පවතින බැවින් ද මෙම මාර්ගයට අවශ්‍ය යටිතල පහසුකම් සමහරක් මේ වනවිට ද සැකසී අවසන් යයි කිව හැකියි.
චීනයේ තීරයක්, මාවතක් වැඩපිළිවෙල හා සැසඳීමේදී පෙනී යන එක් වෙනසක් නම් මෙම මාර්ගය ඊට වඩා සාපේක්ෂව දිගින් අඩු මාර්ගයක් බවයි.
තවද චීනය විසින් ගෙනයන වැඩපිළිවෙල මෙන් නොව මෙහි මූලික ප්රාග්ධනය දැරීමට රටවල් කිහිපයකටම හැකියාව තිබෙන හෙයින් එහි මූලික ප්‍රතිපාදන පිළිබඳ ගැටළු අඩුවිය හැකියි. තීරයක්, මාවතක් වැඩපිළිවෙලේ වැඩි ප්‍රාග්ධන බර ඇත්තේ චීනයටයි.
ඉන්දියාවට ඇති වැදගත්කම
ඉන්දියාවේ සිට යුරෝපය කරා දිවෙන ප්‍රධාන වෙළෙඳ මාර්ගය වැටී ඇත්තේ සමුද්‍රය ඔස්සේයි. ගොඩබිම් මාර්ගයක් විවෘත කරගැනීමට ඇති අපහසුව වන්නේ ඉන්දියාවේ යාබද රටවල ඇති තත්ත්වයයි.
විශේෂයෙන්ම ඉන්දියාවෙන් වයඹදිගට වන්නට පාකිස්ථානය පිහිටීම ඉන්දියාව සහ යුරෝපය අතර ගොඩබිම් වෙළෙඳ මාර්ගයක් විවෘත කරගැනීමට විශාල අභියෝගයක් වන අතර ඊට එපිටින් ඇෆ්ඝනිස්ථානය පිහිටා තිබීමෙන් තත්ත්වය තවත් සංකීර්ණ කරනු ලබනවා.
මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා ඉන්දියාව කලක් තිස්සේ ඉරානයේ චබහාර් වරාය වැඩිදියුණු කර ඒ හරහා රුසියාව ඔස්සේ යුරෝපය වෙත මාර්ගයක් විවෘත කරගැනීම කෙරේ අවධානය යොමුකර තිබුණා. කෙසේ වෙතත් ඉරානයට එරෙහිව වැටුණු සම්බාධක, යුක්රේන යුද්ධය සමග රුසියාවට එරෙහිව වැටුණු සම්බාධක ආදී කරුණු හේතුවෙන් එය ප්‍රායෝගිකව ඵලදායී නොවන තත්ත්වයක් මතුව තිබෙනවා.
එහෙයින් මෙම වෙළෙඳ කොරිඩෝව ඉන්දියාවට ඉතා වැදගත් විය හැකි අතර විශේෂයෙන්ම තෙල් නල හෝ සන්නිවේදන ජාල පුළුල් වීමත් සමග එහි වැදගත්මක තවත් වැඩි වනවා. තවද එහි අතුරු ඵලයන් ලෙස ඉන්දියාව සහ මැදපෙරදිග රාජ්‍යයන් අතර සබඳතා තවත් තර වීමත්, පාකිස්ථානය තවත් හුදෙකලා වීමත් සිදුවන බව පෙනී යනවා. ඒ අර්ථයෙන් ද එය ඉන්දියාවට ඉතා වැදගත් වනවා නොඅනුමානයි.
@elearninglk
මැදපෙරදිග තත්ත්වය
මැදපෙරදිග කලාපය දෙස සලකා බැලීමේදී අපට පෙනී යන කරුණක් නම් මෙම වෙළෙඳ මාර්ග ගොඩනැගීම තුලින් ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර සබඳතා පුළුල් වීමට අවකාශයක් ගොඩනැගෙන බවයි.
මෙම දෙරට අතර තානාපති සබඳතා නිල වශයෙන් ආරම්භ වී නැතත් ඒ පිළිබඳ යම් යම් සාකච්ඡා වෙමින් පවතින බව මේ වනවිට රහසක් නොවේ. කෙසේ වෙතත් පලස්තීන අර්බුදය සම් බන් ධව කිසියම් විසඳුමක් ලබා නොගෙන තානාපති සබඳතා ගොඩනගාගැනීමට සෞදි අරාබිය මැළිවනු පෙනී යන අතර ඊශ්‍රායලයේ මේ වනවිට පවතින දේශපාලන සන්දර්භය තුළ එය කෙතෙක් ප්‍රායෝගික වන්නේද යන්න ප්‍රශ්නයක් ව තිබෙනවා.
හේතුව නම් ඊශ්‍රායලයේ ආණ්ඩුව තුළ දැඩි මතධාරී ජාතිකවාදී කණ්ඩායම් බලවත්ව පැවතීමයි.
කෙසේ වෙතත් ඉන්දියා-මැදපෙරදිග-යුරෝපා ආර්ථික කොරිඩෝව ශක්තිමත් වුවහොත් මැදපෙරදිග කලාපයට ද එහි ධනාත්මක බලපෑම් ඇතිවනු ඇති බවට විශ්වාස කළ හැකියි.