යටගියාව සොයා
අද අපි අපේ සාකච්ඡාවට එකතු කරගන්නේ දීර්ඝ කාලයක් “මධ්‍යම සංස්කෘතික අරමුදල” යටතේ සේවය කරපු කෙනෙක්ව. ඒත් එයාගේ නම සහ විස්තර ප්‍රසිද්ධ කරනවට නම් එයා පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ඉතින් එයාගේ අනන්‍යතාවය ආරක්ෂා කරමින්, අද විශේෂාංගයේ තවත් පිටුවක් පෙරලන්න තමයි මේ සූදානම.
01. නම කියන්න නෙහ් කැමති නැත්තෙ? එහෙම නම් නම නොකියා, ඔබතුමාගේ අනිත් ජීවන තොරතුරු ටිකක් කියමුද?
** මගේ ගම රත්නපුරේ. මම අධ්‍යාපනය හැදෑරුවේ රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයෙන්. 2002 අවුරුද්දෙ තමයි උසස් පෙළ විභාගය කරන්නෙ. විෂයන් සදහා ඉතිහාසය, සිංහල සහ දේශපාලන විද්‍යාව හැදෑරුවා. ඊට පස්සෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණා.
ඉස්සර ඉදන්ම ඉතිහාසයට කැමැත්තක් තිබ්බා. ඉතින් පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය වෙනුවෙන් ඉතිහාසය සහ පුරාවිද්‍යාව ඉගෙන ගත්තා. කැම්පස් එකේදි ලංකාවේ හොදම ගුරුවරුන් යටතේ ප්රායෝගිකවම පුරාවිද්‍යාව ගැන ඉගෙනගත්තා. අනික පුහුණුවට වසර දෙකක්, මාසය මාසය වගේ වෙන්න අනුරාධපුර මහාවිහාර ව්‍යාපෘතියට ගියා. එහේ නැවතිලා ඒ ව්‍යාපෘතිවල ඉන්න නිලධාරින් යටතේ සෑම අංගයක්ම ආවරණය වෙන්න ප්‍රායෝගික පුහුණුවක් ලැබුවා මූලික මට්ටමින්. පුරාවිද්‍යාව විශ්ව විද්‍යාලයක ඉගෙනගන්න හැමෝටම ලැබෙන වටිනා අවස්ථාවක් ඒක. පැරණි ඡායාරූපවලින් හෙළිවන ලෝක උරුම සහ පොලොන්නරුවේ ස්මාරක සුරැකීමේ ස්වභාවය ගැන තමයි නිබන්ධනය ලිව්වේ. උපාධිය ගත්තෙ 2009 අවුරුද්දෙ.
02. ඉතින් ඊට පස්සෙ?
** ටික කාලයක් ඉන්න කොට ලැබුණු ආරංචියක් අනුව තිස්සමහාරාම ව්‍යාපෘතියේ සේවය කරන්න ගියා. සාමාන්‍යයෙන් ලංකාවේ පුරාවිද්‍යා උපාධියක් ගත්ත අයට ලංකාවේ තියන මධ්‍යම සංස්කෘතික අරමුදලේ විවිධ ව්‍යාපෘතිවල මේ විදිහට පුහුණු වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒක වටිනා අවස්ථාවක් ස්ථීර රැකියාවක් ලැබෙනකල් එහෙම කෙනෙක්ට ලැබෙන. එහෙම පුහුණු වෙද්දි විභාග පවත්වලා ඒ අනුව ස්ථිර කිරීමට කටයුතු කරන අවස්ථාත් තිබෙනවා. තිස්සේ තමයි මම සේවය කළේ. කැණීම් අංශයේ සහ සංරක්ෂණ අංශයේ විවිධ අවස්ථාවලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා ඒ කාලේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අතින් විවෘත කළ සඳගිරිය ස්ථූපයේ සංරක්ෂණ කටයුතුවලට සම්බන්ධවෙලා ඒ ස්ථානයේ සේවය කළ ජේෂ්ඨ පුරාවිද්‍යා නිලධාරින්ගෙන්, බොහෝමයක් වැදගත් දේවල් ඉගෙනගන්න අවස්ථාව ලැබුණා. ඒවට අමතරව තිස්ස හිටිය කාලෙදි පුරාවිද්‍යාත්මක කරුණු සහ තිස්සමහාරාමයේ පුරාවිද්‍යා උරුමය ගැන දැනුවත් කරන්න අහල පහල පාසැල්වල විශේෂ ප්‍රදර්ශන ආදීයටත් සහභාගි වුණා.
03. මොකක්ද මධ්‍යම සංස්කෘතික අරමුදල කියන්නෙ? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, මධ්‍යම සංස්කෘතික අරමුදල වෙනස් වෙන්නෙ කොහොමද?
** පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරල් තමයි ලංකාවේ පුරාවිද්‍යාවේ නිසි බලධාරියා. මධ්‍යම සංස්කෘතික අරමුදල වැඩ කරන්නෙ එයාගේ අවසරය ඇතුව. ඒ වගේම එයාගේ අධීක්ෂණය යටතේ.
04. ඒ කාලය ගැන මතකය තවත් අවධි කළොත්?
** ඒ කාලේ කලින් කිව්වා වගේ අහල පහල තියන පාසැල්වල ප්‍රදර්ශනවලට අපි සහභාගි උන අවස්ථාවල් තියෙනවා. අහල පහල තියෙන පාසැල් ගොඩාක් දුරට දුෂ්කරයි. ඒවායේ ඉන්න ළමයින්ට මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිස්සමහාරාම ව්‍යාපෘතියෙන් කරපු මේ වගේ ප්‍රදර්ශන වටිනා අත්දැකීමක් වෙන්න ඇති. කිසිම සැකයක් නැහැ. මේ ප්‍රදර්ශනවල අරමුණ උනේ පුරාවිද්‍යාත්මකව වැදගත්, මේ රටේ තැන් ගැන ඡායාරූප වගේ දේවලින් සරල අවබෝධයක් ලබා දීම. අනික මේ අහල පහල තියෙන එවන් විටනා තැන් ගැන විශේෂයෙන් දැනුවත් කිරීම. වැඩිය රට තොට ඇවිදින්න අවස්ථාවක් නැති මේ ලමයින්ට එහෙම හරි දැනුමක් දෙන්න ලැබීම වටිනවා කියලයි මට හිතෙන්නේ.
ඒ වගේව මේ ප්‍රදර්ශනවලට සහභාගි උන ව්‍යාපෘතියේ ජේෂ්ඨ නිලධාරීන් හා කතා බහ කිරීමෙන් හා ඔවුන්ගේ දේශන වැනි දේ වලින් අමතර දැනුමකුත් ඔවුන්ට ලැබුනා. බුත්තල තිබුණු “දැයට කිරුළ” වෙනුවෙන් සහභාගිවෙන්නත් මේ අතරේ අවස්ථාව ලැබුනා. මේ ප්‍රදර්ශනවලට මධ්‍යම සංස්කෘතික අරමුදලේ විවිධ ප්‍රකාශනත් මිලට ගන්න අවස්ථාව ලැබුනා. අද පුරාවිද්‍යාව කියලා මිත්යාවල් පතුරවන කාලයක වගකීමක් සහිතව දැනුම බෙදන්න මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශන ඉතා වැදගත්.
05. කතරගම කෞතුකාගාරයෙත් සේවය කළා නේද?
** ඔව්. තිස්ස යටතේමයි කතරගම තියන්නේ.
06. මොනවද ඉතින් කතරගම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියලා තිබුණු කෞතුක වස්තු?
** කතරගම කෞතුකාගාරයේ ප්‍රධාන කොටස් හතරයි. එකක් තමයි තිස්සමහාරාමය සහ කතරගම අවට තියෙන ප්‍රදේශවලින් හමුවුන පුරාවස්තු සහිත කොටස. මෙතන තියෙන විශේෂම දෙයක් තමයි වෙහෙරගල ජලාශය ඉදිකරද්දි ජලයෙන් යටවෙන ප්‍රදේශයේ කල පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම්වලින් හමුවුන පුරාවස්තු. ඒ අතර කෞතුකාගාරයෙන් පිටත තියෙන යටවෙන්න තිබුණු භූමියේ තිබිලා, නිවැරදි පුරාවිද්‍යා සංරක්ෂණ මූලධර්ම අනුව ගලවන් ආපු ස්මාරක දෙක විශේෂයි. ගලවන් ඇවිත් යලිත් ඒ තිබුණු විදිහටම හයි කරලා තියෙනවා. මේ කොටසේ තව තියෙනවා මාළිගාවිල, දබේගොඩ, බුදුරුවගල තියෙන පිළිමවල ජීවමාන ප්‍රමාණයේම උඩ කොටස්වල ෆයිබර් අනුරූ. දෙවෙනි කොටසේ තියෙන්නේ කතරගම දේවාලයේ ඉතිහාසය හා වත් පිලිවෙත් හා බැදුණු දේවල්.
මේවා අතරින් සමහරක් ඒවා ඒ තරම් පැරණි ඉතිහාසයක් ඇති දේවල් නොවුනත් සාමාන්‍ය දැනීමට වැදගත් වන නිසා ප්‍රදර්ශනයට තබා තිබෙනවා. අවශ්‍ය නම් දැනුවත්වීම සඳහා නිලධාරියෙකුගේ සේවය ගන්නත් පුලුවන්. තුන්වන කොටස තමයි ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය. මේ කොටෙසේ කුඩා සිනමා ශාලාවක කතරගම පෙරහැර, ලංකාවේ ලෝක උරුම, ඉතිහාසය වගේ දේ ගැන තියෙන කෙටි වීඩියෝ පට නැරඹීමේ අවස්ථාව තියෙනවා. අවසාන කොටස තමයි අනුරු සහ ප්‍රකාශන අලෙවිසැල.
07. තිස්සමහාරාම පැත්තෙ මොනවද බලන්න තියෙන, වැඩි ජනතා අවධානයකට පාත්‍ර නොවෙන, ඒත් ඓතිහාසික වශයෙන් වටිනාකමක් තියෙන අප්‍රසිද්ධ ස්ථාන?
** මෙහෙමයි. තිස්සමහාරාමය කියන්නේ රෝහණයේ අග නුවර. ඒකේ ප්‍රධානම සිද්ධස්ථානය තමයි තිස්සමහාරාම විහාරය. තිස්සමහාරාම විහාරය පිටිපස්සට වෙන්න තමයි ඔය සදගිරිය තියන්නේ. ඒක ලංකාවේ පැරණිම ස්ථූපවලින් එකක්. ඡත්‍ර සහිතව තිබ්බා කියලයි හිතන්නේ. මම හිතන්නේ එකේ හතරැස් කොටුවක් තිබිලම නැහැ. ඒ ආරාම සංකීර්ණයට අයිති පිලිම ගෙයක්, බෝධිඝරයක් සහ ජන්තාගාරයක් කැණීම් කරලා, සංරක්ෂණය කරලා, ඒ ආසන්නයේම තියෙනවා. තව තිස්ස ටවුමෙම තියනවා ගොඩනැගිලිලක්. ඒකේ නමක් නම් දන්නේ නැහැ. ලොකු එකක්. තිස්ස ඉස්කෝලෙ මිදුලෙත් කැණීම් නොකළ නටඹුන් තියෙනවා. කොල්ලෝ ඒවා උඩ තමයි සෙල්ලම් කරන්නේ. යටාල විහාරය, මැණික් විහාරය වගේ ඒවා පාර අයිනේ තියෙනවා.
08. ඒවා අතරින් විශේෂිත දේවල් එහෙම තියෙනවද?
** යටාල විහාරයේ බුදු පිළිමයක යට කොටසක් තියෙනවා. මේක යටාල වෙහෙරේ සලපතල මළුවේ අයිනක තමයි තිබුණේ. බුදු පිළිමවල කොටස් නිතර දැකලා තිබුණත් මේකේ විශේෂත්වයක් තිබුණා. ඒ තමයි පැරණි ප්‍රතිමා නිර්මාණ තාක්ෂණය ගැන වැදගත් කරුණක් පෙනෙන්නට තිබීම. සමහර වෙලාවට සම්පූර්ණ පිළිමයක් හදන්න බැරි වෙලාවට කොටස් වශයෙන් හදලා තියන්නේ අන්න ඒ විදිහට. ඒ විදිහට කොටස් සවි කිරීමෙන් පසුව හුණු බදාමයකින් පිළිමය ආවරණය කරන්නට ඇතියි කියලා හිතන්න පුළුවන්. ඉන් පසුව වර්ණ ආලේප කිරීමත් සිදුකරන්නට ඇති. පැරණි ගල් පිළිමවල ඉතිරි වෙලා තියෙන බදාම කොටස් සහ වර්ණ කොටස් අනුව අපිට එවැනි නිගමනයකට එන්න පුළුවන්. මේ විදිහට සකස් කිරීමෙන් පසුව කොටස් වශයෙන් සවි කළ එකක්ද, තනි ගලින් සෑදූ එකක්ද කියලා භාහිරින් බලලා හොයන්න බෑ.
09. මේවා අතරින් වඩාත්ම ඉපැරණි ඉතිහාසයක් තියෙන්නේ?
** සදගිරියට. සදගිරිය රෝහණ රාජධානියේ ආරම්භක පාලකයා වුණු මහානාග කුමරුන් විසින් ඉදි කරන්නට ඇති බවයි විශ්වාස කරන්නේ. ඒ අනුව තිස්සමහාරාම විහාරයටත් වඩා අතීතයක් සදගිරියට හිමිවෙනවා. ස්තූපය තියෙන්නේ තිස්සමහාරාම චෛත්‍යයට මීටර් 200ක් විතර පිටුපසින්. සදගිරි ස්තූපය ළගම තමයි බෝධිඝරය පිහිටලා තියෙන්නේ. යුග කිහිපයකට අයත් ඉදිකිරීමේ ලක්ෂණ සහ පැරණි බදාම කොටස් පවා ඒවායේ දැක ගන්න පුලුවන්. සදගිරි ස්තූපය අසලින් තියෙන ගුරු පාර දිගේ ඉදිරියට ගියාම ප්‍රවේශ දොරටුවකින් සහ සීමා ප්රාකාරයකින් සමන්විත ගොඩනැගිල්ලක් හම්බ වෙනවා. මේක පිළිම ගෙයක්. මගේ අදහස අනුව තිස්සමහාරාමයේ තියෙන අලංකාරතම පැරණි ගොඩනැගිල්ල. ජන්තාඝරයට යන්න නම් වෙන්නේ අනුන්ගේ වතු හරහා. මීට අමතරව තවත් ගොඩනැගිලි රැසක් මේ අවට විසිරිලා තියෙනවා. ඒත් ඒවා තවමත් ඇත්තේ පස්වලින් යටවෙලා.
මේ ගොඩනැගිලි සම්බන්ධ කරමින් අතීතයේදී මාර්ග පද්ධතියක් විහිදිලා තියෙන්න ඇති. ඒත් මේවා හොයා ගන්න කැණීම් සිදු කළ යුතුව පවතිනවා. මේ ප්‍රදේශය දැඩි ලෙස ජනාවාසකරණය වෙලා තිබීම නිසා පැරණි මාගම නගරය හා පූජා නගරයට අයිති මෙවැනි සාධක යළි මතු කර ගන්න දීර්ඝ කාලයක් ගත වෙනවා. තිස්ස නගරය යට පවා පැරණි පූජා නගරයේ නටබුන් විසිරිලා තියෙනවා. තිස්ස නගරය මධ්‍යයෙන් අනාවරණය කරගත්ත පොහොයගෙය මේකට නිදසුනක්. ඊට අමතරව ජනප්‍රවදයේ එන විදිහට අඩි 50 – 80 ක් පමණ උසින් යුතු යෝධ ගල් පිළිමයක් තිස්ස නගරය ම්‍ධ්‍යයේ තියෙනවා. පිළිමය එච්චර විශාල වෙන්න බැරි වුණත්, ගල් පිළිමයක් ඒ කියන ප්‍රදේශයේ තියෙන්න පුලුවන් කියලයි පුරාවිද්‍යාඥයින්ගේ අදහස.
10. ඓතිහාසික ස්මාරකවල ප්‍රතිසංස්කරණ කටයුතුවලදි, මධ්‍යම සංස්කෘතික අරමුදලටම විශේෂ වුණු ගඩොල් නිෂ්පාදනය කරනවා කියන්නේ ඇත්තද?
** ස්මාරක සංරක්ෂණයට යොදාගන්නා ගඩොල් අපි දකින සාමාන්‍ය ගඩොල්වලට වඩා වෙනස්. මේ විදිහට අපි ගෙවල් සෑදීමට ගන්නා ගඩොල්වලට වඩා වෙනස් විදිහේ ගඩොලක් ස්මාරක සංරක්ෂණයට යොදා ගන්නේ හේතු කිහිපයක් නිසා. පැරණි ස්මාරක සංරක්ෂණයේදී මුල් කාලයේදී යොදාගත්තේ ඉංජිනේරු ගඩොල් ලෙස අපි හදුන්වන ගඩොල්. නමුත් පුරාවිද්‍යාත්මක මූලධර්ම අනුව මේ ගඩොල් පැරණි ස්මාරක සංරක්ෂණයට නුසුදුසු යැයි පුරාවිද්‍යාඥයෝ තීරණය කළා. ඒ අනුව පැරණි ගඩොල්වල ප්‍රමාණයටම සැකසූ එහෙත් යම් වෙනසක් සහිත ගඩොලක් ස්මාරක සංරක්ෂණය සඳහා යොදා ගැනීමට කටයුතු කළා. පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා ලංකාවේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකෙන් එකක් වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබිම් සඳහා ගඩොල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වුණු නිසා, ගඩොල් අවශ්‍යතාවය සැපිරීමට විශේෂ ගඩොල් පෝරණුවක් හැදුවා. ඒ අනුරාධපුර ගල්කඩවල ප්‍රදේශයේ.
අදත් ස්මාරක සංරක්ෂණය සඳහා ගඩොල් සපයා ගනු ලබන්නේ මෙම පෝරණුවෙන්. ස්මාරක සංරක්ෂණයට යොදාගන්නා මෙම විශේෂ ගඩොල් හදලා තියන්නේ පරණ ගඩොල්වල ප්‍රමාණයටමයි. ඒත් මේ ගඩොල් එම පැරණි ගඩොල්වලට වඩා ශක්තියෙන් අඩු වෙන්න තමයි හදලා තියන්නේ (ගඩොලේ ශක්තිය මනිනු ලබන්නේ වර්ග අඟලට බර දැරීමේ හැකියාව රාත්තල් කියන ඒකකයෙනි. PSI). ඒ වගේම මේ ගඩොල්වල මධ්‍යම සංස්කෘතික අරමුදලේ සලකුණ සහ බුද්ධ වර්ෂය යොදලා තියෙනවා. එහෙම එකතු කරපු ගඩොල් පසුව හදුනාගැනීම සඳහායි මෙවැනි සලකුණක් යොදන්නේ. බුද්ධ වර්ෂය යෙදීමෙන්, පසු කාලයකදී ස්මාරකයේ සංරක්ෂණ කටයුතු සිදුවූ කාලය ගැන අදහසක් ඇති කර ගන්නත් පුලුවන්.
11. ඉතින් ඇයි පැරණි ගඩොලට වඩා ශක්තියෙන් අඩු ගඩොලක් හදන්නේ?
** යම් ස්වභාවික හේතුවක් මත ස්මාරකය හායනය වුණොත්, පස්සෙ එකතු කරපු අලුත් ගඩොල විනාශ වුණත්, පැරණි කොටස් ආරක්ෂා කරගන්න පුලුවන් වෙනවා. මේකට හොඳ උදාහරණයක් තමයි පීඩනයේ වෙනසක් සිදුවීම. ඒ වගේ අවස්ථාවකදී පැරණි ගඩොලට උඩින් තැන්පත් කරපු අලුත් ගඩොලට විතරයි බලපෑමක් එල්ල වෙන්නෙ. එතකොට හානියට ලක්වුණු අලුත් ගඩොල අයින් කරලා, වෙන ගඩොලක් තැන්පත් කරන්න පුලුවන්. අලුත් ගඩොලත් පැරණි ගඩොලෙ ශක්තියට සමාන ශක්තියකින් නිර්මාණය කළොත්, පීඩන වෙනසක් ඇති වුණු වෙලාවක, පැරණි ගඩොලත් විනාශ වෙලා යන්න පුලුවන්.
12. මේ කාලයේ කතරගම පෙරහැරත් බලන්න ඇති නේද? මොනවද කතරගම පෙරහැර ගැන කියන්න තියෙන අපි නොදන්න දේවල්?
** පෙරහැර ගොඩදෙනෙකුට දකින්න ලැබුණත් වැඩි දෙනෙක් නොදකින විශේෂ පෙරහැරක් මේ අතර ගමන් කරනවා. මේ පෙරහැර යන්නේ මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. එක දවසක් විතරයි යන්නේ. කතරගම දේවාලයේ ඉදන් ඒ ළග තියෙන වල්ලි අම්මා කෝවිලට තමයි මේ පෙරහැර ගමන් කරන්නේ. වල්ලි අම්මා කොවිලට ආවම ඇතා පිට ගෙනාපු පූජා භාණ්ඩ ඒ දේවාලයේ ඇතුළට අරන් ගිහින් පුදපූජා පවත්වලා ආයිත් ඇතා මත තැන්පත් කරලා මහ දේවාලයට ගෙනියනවා. මේ පෙරහැරේ විශේෂත්වය තමයි කිසිදු නැටුම් කණ්ඩායමක් පෙරහැර සමඟ ගමන් නොකිරීම. කරඬුව රැගත් ඇතා, බස්නායක නිළමේ (හෝ ඒ වෙනුවට යන වෙනත් කෙනෙක්), සහ පරිවාර නිළධාරීන්, කොඩිකරුවන්, සේසත්කරුවන් හා බෙරවායන් කිහිපදෙනෙක් විතරයි පෙරහැර එක්ක යන්නෙ. මේ නිසාම මේ පෙරහැර ඉතාම කෙටි කාලයකින් නිමාවට පත් වෙනවා. මොකද පෙරහැර වැඩිය දිගත් නෑනේ.
13. මධ්‍යම රාත්‍රිය පහුවෙලා ගමන් කරන නිසා, මේ පෙරහැර බලන්න එන පිරිස සාපේක්ෂ වශයෙන් අඩුයිද?
** වැඩි දෙනෙක් මේ පෙරහැර බලන්න එන්නේ නෑ. ගොඩක් අය දන්නේ නෑ. අනික යන්නෙත් මධ්‍යම රාත්‍රියේ නිසා වෙන්න ඇති මිනිස්සු එන්නේ නැත්තේ. පෙරහැර මාවත දෙපස දහස් ගණනක දෙමළ බැතිමතුන් හිටියත් හොදට නිදාගන්නවා මිසක් මේ පෙරහැර බලන්න නම් උනන්දු වෙන බවක් පේන්නේ නෑ.
14. පෙරහැර කාලෙට ගොඩක් කාර්යබහුල වෙනවද?
** පෙරහැර මාවත කෞතුකාගාරය ඉස්සරහින් යන නිසා එපා වෙනකල් පෙරහැර බලන්නත් පුලුවන් උනා. වෙනදා හවස 5.00ට වැහුවත් ඒ දවස් ටිකේ රෑ 10.00 වෙනකල් අපි වැඩ. අපේ මිනිස්සු පරිසරය සුරැකීමේ සූරයෝ නිසා අන්තිම දවස වෙනකොට කෞතුකාගාරය වටේ ගෝනි 2ක් 3ක් පුරවන්න පොලිතීන්. අපේ මිනිස්සු සපත්තු එහෙම දාගෙන, වෙහෙරගල ඉපැරණි ස්මාරක උඩත් නගින්න පටන්ගත්තා පෙරහැර බලන්න. ඔක්කොම පැත්තක දාලා අන්තිමට ඒ වගේ වඳුරො පන්නන්න උනා. එකෙක් පන්නනකොට තව එකෙක්. පෙරහැර වගේද උරුමේ? මොනවා උනත් කම්මැලි නැති දවස් ටිකක්. පෙරහැර අවසානයේ කෞතුකාගාරය භාර නිළධාරීතුමාගේ ඉදන් පහළම සේවකයා දක්වා ඔක්කොම එකතු වෙලා හැම තැනම හොදට පිරිසිදු කරනවා.
15. මෙහෙම වැඩ කරපු කාලයේ අනන්තවත් දේශීය සහ විදේශීය සංචාරකයින්ව දකින්න ඇති නේද? මොනවද එයාලා ගැන කියන්න මතක?
** සංචාරකයෝ නම් ගොඩක් ආවා. තිස්ස ගැන කිව්වොත් තිස්සමහාරාමයට ඇර තිස්සේ තියන අනිත් වටිනා තැන් බලන්න කවුරුවත් යන්නේ නැතිම තරම්. ලංකාවේ සංචාරවල හැටි එහෙම තමයි. අටමස්ථාන, සොලොස්මස්ථාන වගේ කලින් සැලැස්මකට මිසක් ඒකෙන් පිට යන්නෙම නැහැ. සදගිරිය වගේ තැන් ගැන නම් නොදන්නාකම හේතුවක් වෙන්න පුලුවන්. කතරගමට එන පිරිසත් කතරගම කෞතුකාගාරය පැත්තට නම් වැඩිය එවෙන්නේ නැහැ. දේවාලය හා කිරි වෙහෙර තමයි එන අයගේ මූලික ඉලක්කය. පෙරහැර කාලයට වගේ නම් ටිකක් වැඩිපුර සෙනගක් එනවා. පෙරහැර බලන්නත් එක්ක එන පිරිස මේ වගේ තැන්වලටත් එනවා.
16. එතකොට විදේශීය සංචාරකයින්?
** මන් දැකපු විදිහට නම් විදේශිකයෝ තිස්සට එන්නේ, යාල පැත්තට යන්න තමයි.
17. ඒ කියන්නෙ යාල තිබ්බෙ නැත්නම්, ඒ විදේශිකයෝ කවදාවත් තිස්සට එන්නෙ නෑ?
* මම හිතන්නෙ නෑ.
18. ඇයි ඉතින් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ඉවත් වුණේ? කියමු බලන්න දැන් මොනවද කරන්නෙ කියලා.
** පෞද්ගලික හේතු කිහිපයක් මත තමයි මම එතනින් ඉවත් වෙන්නෙ. දැන් මම සංවර්ධන නිළධාරියෙක් විදිහට කටයුතු කරනවා. ඒත් අපේ රටේ පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන තියෙන ආසාව සහ උනන්දුව, මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ඉවත් වුණාට පස්සෙත්, ඒ උනන්දුව මතක ඇති කාලෙක ඉදන් අද වෙනකල් නොවෙනස්ව තියෙනවා.
19. මොන වගේ පුරාවිද්‍යාත්මක ස්ථාන බලන්න යන්නද වැඩියෙන්ම කැමතියි?
** සාම්ප්‍රදායික තැන්වලට පොඩි කාලේ ඉදන්ම ගිහින් තියෙන නිසා එහෙම නොගිය, වැඩිය කවුරුවත් නොගිය තැන්වලට යන්න තමයි කැමති.
20. ඒ කිව්වෙ?
** උදාහරණයක් කියනවා නම් හැමෝම යන අනුරාධපුරය ගමු. හැමෝම යන්නේ අටමස්ථානය වදින්න. ඒත්, ඒ අවටම ඒ වගේව ආගමික හා ඓතිහාසික වැදගත්කමින් යුක්ත තැන් බොහෝමයක් තියෙනවා. හැබැයි මේ තැන් බලද්දි තොරතුරු සහිතව බලන්න ඕනි. එතකොටයි මේ තැන්වල වටිනාකම තේරෙන්නේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඒ වගේ ස්ථාන ගැන මගපෙන්වීමේ පොත් කිහිපයක්ම තිබ්බා සිතියම් සහිතව. පුරාවිද්‍යාත්මක ක්ෂේත්රයේ ප්‍රවීනයන් ලියපු, එවන් අත්පොත් අරන් මේ ගමන ගියොත්, අලුත් තැන් ගනණාවක් දැකබලා ගන්න පුලුවන්.
බසවක්කුලම ළග තියෙන ජල පොම්පාගාරයක් යැයි සිතන ගොනැගිල්ල එකක්. අදටත් පැරණි බදාම සුරැකිව තියෙන හොදම මුරගල තියෙන හරියෙම තියෙන සුදස්සන ප්රධානගරය තව එකක්. ඉසුරුමුණිය එහා පැත්තේ, තියෙන පිටසක්වල ජීවීන් ගැන උනන්දු වන අය අතර කතාබහට නිතර ලක්වන තාරකා දොරටුව කියන කැටයම තව එකක්. සමාධි පිළිමයට පේන දුරින් තියෙන එකල භික්ෂුන් වහනසේලාගේ යහපත් සෞඛ්‍යය වෙනුවෙන් කළ ඡන්තාඝරය තව එකක්. මේ වගේ ගොඩාක් දේවල් අනුරාධපුරය ඇතුලෙම තියෙනවා. ඒ වගේ තැන් බලන්න යන්නයි වැඩි කැමැත්ත.
අපේ රටේ ගොඩාක් තැන් තියෙනවා, ඒත් ඒවට අවධානය යොමු වෙන්නේ නැහැ. මිනිස්සු යන්න එන්න ගත්තහම ඒවාට අවධානයක් ලැබෙනවා. ඒවායේ ආරක්ෂාවටත් ඒක හේතුවක්. කැලේක තියෙන හුදකලා ස්ථානයක් විවිධ අරමුණු සහිත පිරිස් අතින්, විනාශ වෙන්න තියන ඉඩ වැඩියි. මේ තැන් ගැන දැනුවත් බවක් නැහැ ගොඩක් අයට. සංචාරකයින්ට… සාම්ප්‍රදායික සංචාර රටාව නිසාත්, මේ තැන් මගැරෙනවා. ලොකේ පුරාවිද්‍යව ගැන උනන්දු වන අයගේ පවා අවධානය දිනාගත හැකි තැන් අපේ රටේ තියෙනවා උනත් ඒවා සැගවිලා ගිහින් තියෙනවා.
ඔන්න ඔහොමයි මේ සාකච්ඡාව අවසන් වෙන්නේ. මේ සාකච්ඡාවෙන් මොනවා හරි අලුත් දෙයක් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් අද අපේ සාකච්ඡාවට සහභාගී වුණු කෙනාටත් විශේෂ ස්තූතියක් කරන්න ඕන, ඒ දැනුම අපිත් එක්කත් බෙදා ගත්තට. තවත් විශේෂ දෙයක් කියනවා නම්, eLearning.lk බ්ලොග් අඩවියේ පුරාවිද්‍යාව විෂයට සම්බන්ධ ගොඩාක් ලිපි වලට අවශ්‍ය කරන දත්ත සහ තොරතුරු ලබා දුන්නෙත් අද අපේ සාකච්ඡාවට සහභාගී වුණු කෙනාම තමයි.