අවිද්‍යාව (මෝහය) යනු කුමක්ද?
චතුරාර්ය සත්‍යය පිළිබඳ ඇති සම්පූර්ණ අනවබෝධයෙහි සිට අවබෝධය පරිපූර්ණ නොවන තෙක් සිතක අවිද්‍යාව විවිධ මට්ටම් වලින් පවතී. අර්හත්වය ලබන විට අවිද්‍යා අඳුර සිතින් පරිපූර්ණව දුරු වේ.
අවිද්‍යාව දුරු කරමින් ලබන සත්‍යාවබෝධය යනු කුමක්ද?
සත්‍යාවබෝධය යනු “යථාභූථ ඥාන දස්සන”යයි. එනම් ලොව පවත්නා යථාර්ථ ස්වභාවය අවබෝධ කර ගැනීමයි. බෞද්ධ දැක්ම වාස්තවික ලෝකය මායාවක් ලෙස නොදකී. එය යතාර්ථයක් ලෙස ගෙන එහි සැබෑ ස්වභාවය අවබෝධ කිරීම සත්‍යාවබෝධය ලෙස දකී. එනම් ලෝකයේ “අනිත්‍ය-දුක්ඛ-අනත්ත” යතාර්ථ ස්වභාවය අවබෝධ කර ගැනීම සත්‍යාවබෝධය වේ.
සියලු හේතූන් නිසා හට ගන්නා වූ දේ (සංස්කාර) අනිත්‍ය වී අවසානයේ විනාශ වී යයි. ඒ සියල්ල අවසාන වටයේදී පවතින්නේ ඔබේ පාලනයෙන් ඔබ්බේය. (අනත්ත) එහෙයින් ඒවා මමය, මාගේය, මාගේ ආත්මයය යනුවෙන් තණ්හාවෙන් අල්ලාගැනීම (උපාදානය) දුකට හේතු වේ. මේ යතාර්ථය තේරුම් ගෙන තණ්හා උපාදානයන්ගෙන් සිත නිදහස් කර ගැනීම හා “මම” යන්නෙහි ශූන්‍යත්වය අවබෝධ කරගැනීම(අනත්ත) සැනසීම උදාකරයි. (අතහැරීමම නිවන වේ)
නහි සීල වතං හේතු – උප්පජ්ජන්ති තථාගතා
අට්ඨක්කරා ථීනි පදා – සම්බුද්ධේන ප්‍රකාශිතා”
සිල් වතක් දීමට නොව – තථාගතයන් වහන්සේලා පහල වෙන්නේ
අකුරු අටකි පද තුනකි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව.
මෙහි අකුරු අටයි පද තුන වෙන්නේ “අනිච්ච- දුක්ඛ -අනත්ත”. (බැඳී අකුරු ලෙස ගත් විට තමයි අටක් ලැබෙන්නේ) බුද්ධ දේශනාව අනුව ලොව පවත්නා යථාර්ථ ස්වභාවයෙහි මූලික ලක්ෂණ තුනකි. ඒවා නම් අනිත්‍ය,දුක්ඛ,අනත්ත ත්‍රිලක්ෂණයයි. මෙම ත්‍රිලක්ෂණයම පිළිබඳ අවබෝධය දුක්ඛාර්ය සත්‍යය අවබෝධයට වැදගත්ය.
ඒ අවබෝධය ගැඹුරු වන්නට වන්නට සිතෙහි ඇති තණ්හා සහගත බැඳීම්(උපාදාන ) තුනී වන අතර, කර්ම සකස් වන චිත්තාවේග සංසිඳී යයි. අර්හත්වය ලැබීමෙන් සිත උපාදානයන්ගෙන් සපුරා නිදහස් වන අතර පුනර්භවයක් උදෙසා කර්ම සකස් වීම ඉන් සපුරා නැවතී යයි. එය දුක්ඛ නිරෝධයයි. එනම් සංසාර දුකින් සපුරා නිදහස් වීමයි.
අනිත්‍ය,දුක්ඛ,අනත්ත ත්‍රිලක්ෂණය
1)අනිත්‍යය
ලොව දෙස බැලූ බැල්මට පෙනෙන්නේ ලොව පවතින දේ නිත්‍ය ස්වභාවයෙන් පවතින බවයි. මිනිසුන් ඉඳුරන් පිනවීමේ අරමුණින් ආත්මාර්ථකාමීව, අනුකම්පා විරහිතව කටයුතු කරන්නේ මෙම ලොව ඇති දේ නිත්‍ය ලෙස ගන්නා බැවිනි.
එනමුත් ලොව හේතූන් නිසා හටගත් සියලු දේ(සංස්කාර ) සෑම මොහොතකම ගංගා ප්‍රවාහයක් මෙන් වෙනස් වෙමින් පවතී. දිරා යමින් පවතී. අප හිමි කරගත් සියලු දේ සෑම මොහොතකම අපට අහිමි වෙමින් පවතී. අප හිමි කර ගැනීමට තැත් කරන දේවල් වලද අවසාන ඉරණම එයයි. තත්පරයෙන් තත්පරය අප මරණය කරා ලඟා වේ.
සෝවාන් වීමේදී මූලිකව ඇති වන්නේ “උදය-ව්‍යය ඥානයයි”. එනම් “ඇති වන සියල්ල නැතිව යන සුළු වේ” යන්න අවබෝධ වේ.(යං කිංචි සමුදය ධම්මං සබ්බන්ත∘ නිරොධ ධම්මං )
අනිත්‍යය කියන්නේ විනාශ වීමම නෙවෙයි. විපරිණාමය. එනම් නිත්‍ය ලෙස එක විදියට නොපැවැතී පරිණාමය වීම. උදාහරණයක් ලෙස මිනිස් ශරීරයක්, ගර්භාෂයේ පිළිසිඳ ගත් දා සිට වෙනස් වෙනවා. තරුණ වෙලා මහලු වෙනවා. ඒක ලෝක ධර්මතාවක්.
හැබැයි ඒක නිසා pessimistic (අසුභවාදි) ආකල්ප ඇති කර ගත යුතු නැහැ. ශරීරයක් වයසට යනවා.. අනිත්‍යයි.. වැඩක් නැහැ.. කියලා හිතලා ව්‍යායාම ආදිය නොකරන මිනිහා ඉක්මනින් ලෙඩ වෙලා මැරිලා යනවා.. “ආරෝග්‍යා පරමා ලාභා”.. එනම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට කළ යුතු දේ කරන්න කියන බුදු වදන ඔහු අමතක කරනවා.
ඔහු ධර්මය අල්ලාගෙන තියෙන්නේ වැරදි පැත්තෙන්. එතකොට වැරදි පැත්තෙන් සර්පයෙක් ඇල්ලුවා වගේ. එය තමන්ගේ විනාශයට හේතු වෙනවා. (ආසිවිසෝපම සූත්‍රය)
ධර්මය හරි පැත්තෙන් අල්ලා ගන්න කෙනා කරන්නේ අනිත්‍යය මෙනෙහි කොට, සිතේ ඇති තණ්හා උපාදාන ක්ෂය කර ගැනීමයි. එමගින් සිතේ සැනසීම ළඟා කර ගැනීමයි. හැබැයි අනිත්‍යයම තමන්ගේ යහපත පිණිස යොදා ගනිමින් ව්‍යායාම ආදිය කොට, දුර්වල ශරීරය ශක්ති සම්පන්න කිරීමය.
2) දුක්ඛ
“කැමති දේ නොලැබීම” ඇතුලු හේතූන් රාශියක් නිසා, කාමයන්හි ආස්වාදයක් ඇති මුත්, පැවැත්මෙහි ඇති පීඩාකාරී බව අධිකය. තිරිසන් ලෝකය වැනි දුගතියක ඉපදුණු විට මේ පීඩාකාරී බව බොහොත් අධික වේ.
ඔබ වඩාත් දුකට පීඩාවට පත්වෙන්නේ බාහිර ලෝකයේ පුද්ගලයන්ගේ ක්‍රියා නිසා නොව ඔබේම සිතුවිලි නිසාය. පීඩාකාරී සිතුවිලි වල මූලය කුමක්ද? හොඳින් සිතා බලන්න. සෑම පීඩාකාරී සිතුවිල්ලකම මූලය “මම” යන්නයි. ආත්මානුකම්පාවයි.
“මම”, “මගේ” ආදී ලෙස හිත වෙලාගෙන සිටින මේ මමංකාරය විවිධ වේශයන්ගෙන් මතුවී ඔබව පීඩාවට පත් කරයි. මමංකාරය (ego) දීර්ඝ කාලයක් තිස්සේ පෝෂණය කරන ලද ඔබට ඉන් නිදහස් වීම පහසු නැත. එය ඔබට ආදරණීය වදකයෙකි.
සියුම් වූ ප්‍රඥාවෙන් තම සිත විමසා බලා, මමංකාරය වනාහි හුදු චෛතසික ගොඩනැංවීමක් බව තේරුම් ගෙන, එම මුලාවෙන් ඔබ ඔබෙි සිත නිදහස් කරගන්නා තෙක්, ඔබට මේ වදකයාගෙන් ගැලවීමක් නැත.
බුදුන්වහන්සේ ඔබට ඉගැන්වීමට උත්සාහ කළේ එයයි.
ධම්මචක්කපවත්තන සූත්‍රය අනුව ආර්ය සත්‍ය සතර මෙසේය.
1.දුක්ඛාර්ය සත්‍යය. : දුක ආර්ය සත්‍යයකි.
2.දුක්ඛ සමුදයාර්ය සත්‍යය : දුකට හේතුව තණ්හාව වන බව ආර්ය සත්‍යයකි.
3. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය: තණ්හාවෙන් සිත නිදහස් කරගැනීමෙන් දුකෙන් නිදහස් විය හැකි බව ආර්ය සත්‍යයකි.
4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය: එසේ තණ්හාවෙන් සිත නිදහස් කරගැනීම උදෙසා පිළිපැදිය යුතු පිළිවෙත වෙන මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාවද ආර්ය සත්‍යයකි. සත්‍යය හා සත්‍යාවබෝධ කරන මාර්ගය සහසම්බන්ධය.
බුදුන්වහන්සේ, තමා අවබෝධ කර ගත් චතුරාර්ය සත්‍ය අවබෝධය අරමුණු කරගත් ධර්මය එතෙක් කිසිවෙකුනුත් අවබෝධ කර නොගත් (පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු) මධ්‍යම ප්‍රතිපදාවක් බව (මජ්ඣිමා පටිපදා) , නෙත් පාදන එනම් අන්තර්ඥානය අවදි කරන (චක්ඛු කරණ) නුවණ ප්‍රඥාව අවදි කරණ (ඤාණ කරණි) ශාන්තිය සැනසීම උදෙසා පවතින (උපසමාය), අවබෝධය නිර්වාණාධිගමය පිණිස පවතින (උපසමාය අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය) ධර්මයක් වන බවත් වදාළ සේක..
මෙතන ආර්ය කියන වචනයේ තේරුම උතුම් යන්නයි. ආර්යන් වහන්සේ එනම් බුදුන්වහන්සේ විසින් දේශිත නිසා ඒවා ආර්ය සත්‍යයන් යනුවෙන් හැඳින්වේ.
සත්‍යය කියන වචනයේ තේරුම “යථාභූත ඥාන දස්සන”යයි. එනම් වාස්තවික ලෝකයේ පවතින අනිත්‍යය(විපරිනාමය වීම එනම් වෙනස් වීම / දිරායාම) – අනත්තය(බොහෝ දේ තමාගේ පාලනයෙන් ඔබ්බෙහි පැවතීම) , මමන්කාරයෙන් අන්ධ වූ පුහුදුන් ලෝකයේ රැස් කිරීමේ හා රැකගැනීමේ අරගලයේ පීඩාකාරී බව,ආදී යතාර්ථයන් ප්‍රඥාවෙන් මෙනෙහි කිරීමෙන් අන්තර්ඥානයට අවබෝධ වන්නා වූ දර්ශනයයි.
බුදුන්වහන්සේගේ ධම්මචක්කපවත්තන සූත්‍ර විග්‍රහය අනුවම “ඉපදීම දුකකි. ජරාවට පත් වීම ලෙඩ රෝග වැලදීම දුකකි. මරණය ද දුකකි. කැමැති දේ නොලැබීම ප්‍රියයන්ගෙන් වෙන් වීම අපි‍්‍රයයන් සමග එකතු වීම ද දුකකි. සංක්ෂිප්ත වශයෙන් පංච උපාදානස්කන්ධයම ( රූප, වේදනා, සඥා, සංඛාර, විඥාන ) දුකකි.”
චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරන්නාද ආර්ය භාවයට එනම් උතුම් භාවයට පත් වේ.
දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව වේ. දුක්ඛ සමුදය ලෙස එය හැඳින්වේ. දුක්ඛ දුක්ඛ (සාමාන්‍ය දුක) විපරිණාම දුක්ඛ (වෙනස් වීම නිසා) සංසාර දුක්ඛ යනුවෙන් දුක තෙවදෑරුම් තලයක ගමන් කරයි. මෙම දුක කවර ආකාරයෙන් හටගත්තත් ඊට හේතුව තණ්හාව බව පැහැදිලිය. තණ්හාව නිසා උපාදාන කරන(මම,මගේ යැයි දැඩිව අල්ලාගෙන මමංකාරය කිරීම) කාම, දිට්ඨ, සීලබ්බත(වැරදි සීල වෘත), අත්තවාද (ආත්මවාද) ලෙස උපාදාන වර්ග සතරක් ඇති අතර ඒ හේතුවෙන් පුනර්භවය උදෙසා කර්ම රැස් වේ. (තණ්හා පච්චයා උපාදානං- උපාදාන පච්චයා භවො )
1. කාම උපාදාන: ඇස ,කන,දිව, නාසය,කය,මනස යන ආයතන හයෙන් ගන්නා අරමුණු වල සැප ඇති අරමුණු වලට සිත දැඩිව ඇලී බැදී යාම.
2. දිට්ඨි උපාදාන: භෞතිකවාදය, දේව නිර්මාණවාදය වැනි දෘෂ්ටියක් දැඩිව ගෙන ඒ දෘෂ්ටිය නම් පාට කණ්නාඩි වලින් බලමින්ම ලෝකය විග්‍රහ කර ගැනීම
3. සීලබ්බත උපාදාන: නිසි අරමුණකින් තොරව කරන්නන් වාලේ, “උපවාසය” වැනි සීල වෘත සමාදන් වීම. කේන්දර,සුබ නැකත්,සුභ නිමිති ආදී දේ ඔනවාට වඩා වෘත ලෙස දැඩිව ගැනීමද මීට අන්තර්ගතය.
4. අත්තවාද උපාදාන: මමංකාරය ( ego )
අත්තවාදය නිසා තමයි මිනිස්සුන්ගේ හිතේ මාන්නය තියෙන්නේ. අත්තවාදය නිසා තමයි මිනිස්සු යම් යම් දේවල් මගේ කියල දැඩිව හිතින් අල්ල ගන්නේ. එසේ උපාදාන කළ දේවල් අහිමි වෙද්දී හා වෙනස් වී යද්දී දුක් වෙන්නෙත් අත්තවාදය නිසයි.
සියලු දුක් ඇති වන්නේ ඉපදුනහොත්ය. මෙනිසා ඉපදීමෙන් නිදහස් වීමට නම් තණ්හාසහගත උපාදාන වලින් සිත නිදහස් කරගත යුතුය. එවිට සිතේ කර්ම රැස් වීම(සංඛතයන් අභිසංස්කරණය ) නැවතී සිත විසංඛාරගත වේ. අර්හත්වය සාක්ෂාත් වේ.
3) අනත්තය ( න අත්ත : මා නොවීම )
අනත්තවාදය කෙමෙන් කෙමෙන් ගැඹුරට අවබෝධ කළ යුත්තකි. ලොව කිසිවක් මම, මගේ, මගේ ආත්මය යැයි දීර්ඝ කාලීනව තමන්ට වුවමනා අයුරින් වසඟයේ(Under control) පවත්වා ගත නොහැක. සියල්ල අවසාන වටයේදී ඇත්තේ මගේ පාලනයෙන් ඔබ්බෙහිය. රූප,වේදනා,සංඥා,සංඛාර,විඥාන පංච උපාදානසකන්ධය( රූපයට, විඳීම් වලට, හඳුනා ගැනීම් වලට, චේතනාන්විත විග්‍රහ වලට, හා සිතට) තුළ විශේෂයෙන්ම මම,මගේ,මගේ ආත්මය යැයි වසඟයේ පැවැත්විය හැකි යමක් නොමැත. එමෙන්ම මමංකාරය වනාහි හුදු මානසික ගොඩනැංවීමක් පමණි. (Ego is a construction of the mind)
තවද මා මා බවට පත් කරන, මාගේ අනන්‍යතාව තීරණය කරන්නා වූ නිශ්චිත හෝ නිත්‍ය ,සාරයක් (essence) නොමැත. නිත්‍ය, නිශ්චිත, බෙදිය නොහැකි, අනන්‍යතාව තීරණය වන ආකාරයේ ආත්මයක් නොමැත. (විඥානය එබන්දක් නොවේ. අනිත්‍ය ප්‍රවාහයකි.)
පරමාර්ථ අර්ථයෙන් මා කියා කෙනෙක්ද නොමැත.
පහත සූත්‍රයේ එය හොඳින් විග්‍රහ වේ.
//සංයුත්තනිකායො
සගාථ වර්ගය
5. භික්ඛුනී සංයුත්තය
10. වජිරා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වජිරා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා ඇවිද, පසුබත් කාලයෙහි පෙරළා අවුත්, දහවල් ගතකරන පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස එක්තරා ගසක් මුල දහවල් ගතකරන පිණිස උන්නීය.
එකල්හි පාපීවූ මාරයා වජිරා මෙහෙණියට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් ඇතිකරනු කැමැත්තේ සමාධියෙන් තොරකරනු කැමැතිව, වජිරා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ වජිරා මෙහෙණියගෙන් ගාථායෙන් මෙසේ ඇසීය. ’මේ සත්ත්‍වයා කවුරුන් විසින් මවන ලද්දක්ද? මැවු තැනැත්තා කොහිද? සත්ත්‍වයා කොහි උපදින්නේද? සත්ත්‍වයා කොහි නිරුද්‍ධවන්නේද?’’
එවිට වජිරා මෙහෙණියට මේ සිත විය: ’’ මේ කවරෙක්ද? මේ ගාථා කියනුයේ මිනිසෙක්ද නැතහොත් නොමිනිසෙක්ද? ’’
ඉක්බිති වජිරා මෙහෙණියට මේ අදහස විය. ’’ මේ මට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම්,උපදවනු කැමැත්තේ, මා සමාධියෙන් වෙන්කරනු කැමතිව , පාපීවූ මාරයා ගාථා කියයි. ’’
ඉක්බිති වජිරා මෙහෙණි ’ මේ පාපීවූ මාරයා යයි දැන ගාථායෙන්ම පාපීවූ මාරයාට මෙසේ උත්තර දුන්නාය.
’’මරුව, කිම? ’සත්ත්‍වයෙකැ’ යි අදහයිද? මාරය, තට දෘෂ්ටියෙක් වීද? මේ තනි සංස්කාර පිඩෙක. මෙහි ’සත්ත්‍වවයැ’ යි ගත යුත්තෙක් නොලැබේ.
’’අවයව රැස නිසා රථයයි ව්‍යවහාරයක් යම්සේවේද, එසේම ස්කන්‍ධයන් ඇතිකල්හි සත්ත්‍වයැයි ව්‍යවහාරයවේ.
’’මෙහි දුකෙක්ම පහළවේ, දුකෙක්ම සිටියි, දුක්ම ක්‍ෂයවෙයි. දුක් මිස අන් කිසිත් මෙහි පහළ නොවේ. දුකෙන් අන්‍යවූ කිසිත් මෙහි නිරුද්ධ නොවේ.’’
එවිට පාපීවූ මාරයා ’වජිරා මෙහෙණිය මා දනීයැ ’ යි, දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන් විය.//
අත්තවාදය එහෙමත් නැත්නම් “මමංකාරය” (ego) දැඩිව හිතෙන් අල්ල ගත්තම ( උපාදානය කළාම ) කර්ම රැස් වේ . මේ අත්තවාද උපාදානය ගහක් නම් එහි අරටුව සක්කාය දිට්ඨියයි. එනම් පංචස්කන්ධය දෘෂ්ඨිගතව දැඩිව අල්ලා ගැනීම. *(දැඩි ආත්මාර්ථකාමය)
සෝවාන්,සකෘදාගාමී,අනාගාමී,අරහත් කියන්නේ යමෙකු අත්තවාදය එනම් ego ව, මනසින් ගොඩ නැගු මායාවක් (illusion constructed by mind) බව කෙමෙන් තේරුම් ගනිමින් එය බිඳ දමන මට්ටම් අනුව කියන terms හතරකි. එහි පහළම මට්ටමේ ඉන්නා සෝතාපන්න කෙනා පවා සක්කාය දිට්ටිය (Self identity view/strong ego) ප්‍රහාණය කර ඇති නිසා අවසානය පෙනෙන මානයේ සිටී.
(“මමංකාරය” / Ego ව, මනසින් ගොඩ නැගු මායාවක් (illusion constructed by mind) බව තේරුම් ගනිමින් එය බිඳ දැමීම කොහෙත්ම අත්භූත දෙයක් නෙවෙයි. ප්‍රඥාව දියුණු වීමක් පමණයි. )
බුදුරදුන් අනත්තලක්ඛණ සූත්‍රය ආදී සූත්‍ර ගණනාවකදී දේශනා කළේ, අනිත්‍ය-දුක්ඛ-අනත්ත යතාර්ථය නිසා රූප,වේදනා,සංඥා,සංඛාර,විඥාන පංච උපාදානසකන්ධය තුළ මම,මගේ,මගේ ආත්මය යයි වසඟයේ පැවැත්විය හැකි යමක් නැති බවත්, ඒ සියල්ල අවසන් වටයේදී තමන්ගේ පාලනයෙන් ඔබ්බෙහි පවතින බවත්, තවද ඒවා කෙරෙහි ඇති තණ්හා උපාදානය දැඩි පීඩාවන්ට/දුකට හේතු වන බවත්, ඒවා මම, මගේ කියල සිතින් තණ්හාවෙන් අල්ලාගෙන සිටීම (උපාදානය) අවබෝධය මගින් අතහැර දැමීමෙන්, සිත විසංඛාර ගත වී කර්ම රැස් වෙන ක්‍රියාවලිය නැවති, සසරින් නිදහස් වන බවත්ය.
මේ සියුම් සත්‍යය (අනත්ත) තේරුම් ගෙන මමංකාරයට(අත්තවාදය/ ego )සිතේ ඇති බැඳීම (උපාදානය ) අතහැර දමනා ප්‍රමාණයට ඔබ අමා මහ නිවනට කිට්ටු වේ. අත හැරීමම නිවන වේ
රූපයට, විඳීම් වලට, හඳුනා ගැනීම් වලට, චේතනාන්විත විග්‍රහ වලට, හා සිතට(රූප,වේදනා,සඥා,සංස්කාර,විඥාන: පංචස්කන්ධය ) හිතේ ඇති උපාදානය අනිච්ච,දුක්ඛ,අනත්ත ත්‍රිලක්ෂනය විදර්ශනා කිරීම මඟින් යමෙකු සම්පූර්ණයෙන් අත හැර දමන්නේද, කර්ම රැස් වීම ඉන් නවතා සංසාර චක්‍රයේ අර සිඳ දමන්නේය.
අනත්තලක්ඛණ සුත්ත
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා පස්වග භික්ෂූන්ට කථාකළ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මහණෙනි, රූපය අනාත්මය, මහණෙනි, ඉදින් වනාහි මේ රූපය ආත්මය වූයේනම් මේ රූපය ආබාධ පිණිස නොපවත්නේය. මගේ රූපය මෙසේ වේවා, ‘මගේ රූපය මෙසේ නොවේවායි’ කියා රූපයෙහි කැමති ආකාරයක්ද ලබන්නේය.
“මහණෙනි, යම්හෙයකින් රූපය අනාත්මද, එහෙයින් රූපය ආබාධ පිණිස පවතී. ‘මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවයි’ කියා රූපයෙහි කැමැති ආකාරයක්ද නොලැබෙන්නේය.
“මහණෙනි, වේදනාව අනාත්මය. මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්මය වූයේනම් මේ වේදනාව ආබාධ පිණිස නොපවත්නේය. ‘මගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව මෙසේ නොවේවායි’ වේදනාවෙහි (මෙබන්දක්) ලැබෙන්නේය.
“මහණෙනි, යම්හෙයකින් වනාහි වේදනාව අනාත්මද, එහෙයින් වේදනාව ආබාධ පිණිස පවතියි. ‘මගේ වේදනාව මෙසේ වේවා, මගේ වේදනාව මෙසේ නොවේවායි’ කියා වේදනාවෙහි (මෙබන්දක්) නොලැබෙන්නේය.
“මහණෙනි, සංඥාව අනාත්මය. මහණෙනි, ඉදින් මේ සංඥාව අනාත්මය වූයේ නම්, මේ සංඥාව ආබාධ පිණිස නොපවත්නේය. ‘මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව මෙසේ නොවේවායි’ සංඥාවෙහි (මෙබන්දක්) ලැබෙන්නේය.
“මහණෙනි, යම්හෙයකින් වනාහි සංඥාව අනාත්මද, එහෙයින් සංඥාව ආබාධ පිණිස පවතියි. ‘මගේ සංඥාව මෙසේ වේවා මගේ සංඥාව මෙසේ නොවේවයි’ කියා සංඥාවෙහි (මෙබන්දක්) නොලැබෙන්නේය.
“මහණෙනි, සංස්කාරයෝ අනාත්මයහ. ඉදින් මේ සංස්කාරයෝ ආත්ම වූවාහුනම් සංස්කාරයෝ ආබාධ පිණිස නොවන්නාහුය. ‘මාගේ මේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ මේ සංස්කාරයෝ මෙසේ නොවෙත්වා’ සංස්කාරයන් කෙරෙහි (මෙබන්දක්) ලබන්නේය.
“මහණෙනි, යම්හෙයකින් සංස්කාරයෝ අනාත්මද, එහෙයින් සංස්කාරයෝ ආබාධ පිණිස පවතිත්. ‘මාගේ මේ සංස්කාරයෝ මෙසේ වෙත්වා. මාගේ මේ සංස්කාරයෝ මෙසේ නොපවත්වායි” ‘සංස්කාරයන් කෙරෙහි (මෙබන්දක්) නොමලැබෙයි.
“මහණෙනි, විඥානය අනාත්මය. මේ විඥානය ආත්මය වූයේනම්, මේ විඥානය ආබාධ පිණිස නොපවත්නේය. මාගේ මේ විඥානය මෙසේ වේවා, මාගේ මේ විඥානය මෙසේ නොවේවායි විඥානයෙහි (මෙබන්දක්) ලැබෙන්නේය.
“මහණෙනි, යම්හෙයකින් වනාහි විඥානය අනාත්මද එහෙයින් විඥානය ආබාධ පිණිස පවතියි. ‘මාගේ මේ විඥානය, මෙසේ වේවා, මාගේ මේ විඥානය මෙසේ නොවේවායි’, විඥානය, කෙරෙහි (එබන්දක්) නොමලැබෙයි.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, රූපය නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය,” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද, දුකද පෙරලෙන සුලුද, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? වේදනාව නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයයි,” “යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද දුකද පෙරලෙන සුලුද එය මාගේය. එය මම වෙමි එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?”
“ස්වාමීනි එය නොවේමය.”
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, සංඥාව නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයයි” “යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද දුකද පෙර ලෙස සුලුද එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි එය නොවේමය.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? සංස්කාරයෝ නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයයි” “යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද දුකද පෙරලෙන සුලුද එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි එය නොවේමය.”
‘විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි අනිත්‍යය,” “යමක් අනිත්‍යයද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යද, දුකද වෙනස්වන සුලුද එය මාගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි එය නොවේමය”
“මහණෙනි එසේ හෙයින් මෙහි අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීත වූ හෝ දුරවූ හෝ සමීපයෙහි වූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි රූපයක්වේද ඒ සියලු රූපය ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි’ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපයෙහිවූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි වේදනාවක්වේද ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙයි. එය මාගේ ආත්මයද නොවෙයි‘ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපයෙහිවූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි සංඥාවක්වේද එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපයෙහිවූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි සංස්කාරයෝත් වෙත්ද, එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත් යුතුයි.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපයෙහිවූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි විඥානයක් වේද, ඒ සියලු විඥානය ‘එය මාගේ නොවෙයි එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දතයුතුයි.
“මහණෙනි මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ රූපය කෙරෙහිද කලකිරෙයි, වේදනාව කෙරෙයිද, සංඥාව කෙරෙහිද, සංස්කාරයන් කෙරෙහිද, විඥානය කෙරෙහිද, කලකිරෙයි, කලකිරුනේ නොඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුනු කල්හි මිදුනේය යන නුවණ (පහළ) වෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකක් නැත්තේයයි දනියි” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇති පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ. මේ ධර්මය දෙශනා කළ කල්හි පස්වග භික්ෂූන්ගේ සිත් දැඩි කොට අල්වා නොගැනීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනාහුය.//
eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.