බෙල්ලන්විල රජමහා විහාරය
අද ලිපියෙන් අපි මාතෘකාව විදිහට ගෙන එන්නෙ බෙල්ලන්විල රජමහා විහාරය ගැනයි. බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, බොරලැස්ගමුව නගරයේ, බෙල්ලන්විල ප්‍රදේශයේ පිහිටලා තිබෙන බෙල්ලන්විල රජමහා විහාරය කියන්නෙ අපේ රටේ ගොඩක් බෞද්ධ සැදැහැවතුන්ගේ ගෞරවාදරයට සහ වන්දනාමානයට (වන්දනමානන) පාත්‍ර වුණු පූජනීය ස්ථානයක් වගේම, කාලෙන් කාලෙට විවිධ විදිහෙ ප්‍රවෘත්ති මවපු විහාරස්ථානයක්.
බෙල්ලන්විල නම
බෙල්ලන්විල කිව්වම ගොඩක් අය හිතනවා බෙල්ලන් ඉන්න විලක් තිබ්බ නිසා මේ ප්‍රදේශය බෙල්ලන්විල වුණා කියලා. ඒත් අරිසෙන් අහුබුදු ශූරීන් ප්‍රකාශ කරන්නෙ බෙලිආන්විල, බෙල්ලාන්විල, බෙල්ලන්විල විදිහට විකාශය වුණා කියලයි. එතුමාට අනුව ආන් සහ විල කියන්නෙ පිළිවෙලින් කැළයට සහ කුඹුරටයි. ඒ නිසා එතුමාගේ මතය අනුව බෙල්ලන්විල කියන එකේ අර්ථය තමයි බෙලිකැලේ කුඹුරු යාය කියන අර්ථය.
බෙල්ලන්විල ප්‍රදේශය අයිති වෙන බොරලැස්ගමුව නගරයේ නම ගැනත් විවිධ මත තියෙනවා. ඒත් දැනට පවතින මතය අනුව කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා යාපනය රාජධානිය ආක්‍රමණය කරන්න සූදානම් වෙනකොට, රජතුමාගේ හමුදාවට බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වැඩි වශයෙන් තරුණයින් එකතු වෙලා තියෙනවා.
ඒ නිසා බලය එකතු කළ ගම්මානය කියන අදහසින් හඳුන්වපු බල රැස් ගම කියන නම, ටිකෙන් ටික විකාශනය වෙලා බොරලැස්ගමුව වුණා කියලා මතයක් තිබෙනවා.
බෝධීන් වහන්සේ නැවත සොයා ගැනීම
බෙල්ලන්විල රජමහා විහාරයේ ඉතිහාසය සම්බන්ධයෙන් පැහැදිලි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර නැති නිසා දැනට තියෙන ඉතිහාස කතාව ගොඩනැගිලා තිබෙන්නෙ සාහිත්‍ය මූලාශ්‍ර, ජනප්‍රවාද සහ සංස්කෘතික කාරණා මුල් කරගෙනයි.
1580න් පස්සෙ පෘතුගීසීන් කෝට්ටේ රාජධානියේ අනුගමනය කරන ආක්‍රමණශීලී සහ දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තිය නිසා කෝට්ටේ රාජධානි ඉසව්වේ ඉන්න හාමුදුරුවරු, ප්‍රභූවරු, සාමාන්‍ය මිනිස්සු සීතාවක සහ උඩරට රාජධානි පැති වලට පලා යනවා. එහෙම පලා යෑමත් එක්ක කෝට්ටේ රාජධානියේ ගොඩක් ප්‍රදේශ ජන ශූන්‍ය ප්‍රදේශ බවට පත් වෙනවා. කෝට්ටේ රාජධානියේ දේශපාලනික, ආගමික සහ ආර්ථිකය අතින් ප්‍රධාන ප්‍රදේශයක් වුණු වර්තමාන බොරලැස්ගමුව ප්‍රදේශයට වෙන්නෙත් ඒකම තමයි. ඒ නිසා කල් යෑමත් එක්ක මේ ප්‍රදේශ පාලුවට ගිහින් ලදු කැළෑ සහ මහා ඝන කැළෑ වලින් වැහිලා යනවා.
සියවස් ගණනාවක් ගියාට පස්සෙ ඒ කියන්නෙ හරියටම 1850 අවුරුද්දේ වගේ අත්තිඩිය රජමහා විහාරයේ තෙන්ගොඩගෙදර හාමුදුරුවො කියලා හිමි නමක් තොටියෙක් එක්ක මේ ප්‍රදේශයේ ජල මාර්ගයක් (කටු ඇළ) ඔස්සේ පැපිලියාන දිහාවට ජන ශූන්‍ය වෙලා ගිය මහා ඝන වනාන්තරයක් හරහා ගමන් කරනවා. එහෙම ගමන් කරද්දි හාමුදුරුවොන්ට බෙර හඩක් ඇහිලා තියෙනවා. ඉතින් හාමුදුරුවෝ යන ගමන නතර කරලා, ඒ බෙර හඩ ඇහෙන දිශාවට ගිහින් තියෙනවා. එහෙම ඝන වනාන්තරය පීරාගෙන ඇතුළට ඇතුළට යන්න යන්න, හාමුදුරුවන්ට ඇහෙන බෙර ශබ්දයේ හඬත් වැඩි වෙලා තියෙනවා. මෙහෙම ගිහින් ගිහින් එක පාරටම බෙර ශබ්දය නතර වෙනවා. ඒ අවස්ථාවේදී හාමුදුරුවන් නතර වෙලා තියෙන්නෙ සරුවට වැඩුනු විශාල බෝ ගසක් ළගයි.
හාමුදුරුවන්ට ඇසුණු බෙර හඩ ගැන නම් ජනප්‍රවාද දෙකක් තියෙනවා. එකක් තමයි හාමුදුරුවන්ට මේ බෝධීන් වහන්සේ සොයා ගන්න, දෙව්වරු විසින් බෙර වාදනය කළා කියලා. අනිත් ජනප්‍රවාදය තමයි, ඒ මොහොතේ දෙව්වරු බෝධීන් වහන්සේට ශබ්ද පූජා පවත්වමින් හිටියාය කියන කාරණාව.
කොහොම හරි මේ බෝධීන් වහන්සේ එසේ මෙසේ බෝධීන් වහන්සේ නමක් නෙවේ කියලත්, ඓතිහාසික බෝධීන් වහන්සේ නමක් කියලත් හදුනාගන්න තෙන්ගොඩගෙදර හාමුදුරුවො බෝධීන් වහන්සේ වටේ එළි පෙහෙළි කරලා, සුද්ධ පවිත්‍ර කරලා, වර්තමාන විහාරස්ථානය නිර්මාණය කිරීමේ මූලික අඩිතාලම තබනවා.
එදා වගේම අදත් මේ බෝධීන් වහන්සේ හාස්කම් සහිත බෝධීන් වහන්සේ නමක් කියලත්, බෝධීන් වහන්සේට කරන සියලුම යහපත් ප්‍රාර්ථනා අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවාය කියලත්, බෝධීන් වහන්සේට අධිගෘහිතව දෙව්වරු විශාල ප්‍රමාණයක් වැඩ ඉන්නවාය කියලත්, සූනියම්, කතරගම, උපුල්වන් වගේ දෙව්වරු රාත්‍රී කාලයේ මේ ප්‍රදේශයේ එළි විහිදවමින් ගමන් කරනවාය කියලත් සමහරක් උදවිය විශ්වාස කරනවා.
අනුරාධපුර යුගය
අපේ රටේ බොහෝමයක් ඉතිහාසඥයන්ගේ මතය අනුව බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වැඩ සිටින්නේ දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේලාගෙන් එක් නමක්. සිංහල බෝධි වංශය වගේ සාහිත්‍ය මූලාශ්‍ර අනුව විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩමවීමෙන් පස්සෙ, බෝධීන් වහන්සේගෙන් අංකුර 32ක් හට ගත්තා කියලත්, ඒ අංකුර 32 අපේ රටේ ප්‍රදේශ 32ක රෝපණය කළා කියලත් සඳහන් වෙනවා.
ඒ අංකුර 32ට අයත් වෙන බෝධීන් වහන්සේලා තමයි, දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේලා කියලා හඳුන්වන්නේ.
ඒ කාරණය සත්‍යයක් නම් අනුරාධපුර රාජධානියෙන් පරිභාහිරව, වර්තමාන බොරලැස්ගමුව ප්‍රදේශයත් එවකට ජනාකීර්ණ ප්‍රදේශයක් විදිහට තිබුණාය කියලා උපකල්පනය කරන්න පුලුවන්. මොකද ඒ බෝධීන් වහන්සේලාව රෝපණය කළේ, රෝපණයෙන් පස්සෙත් බෝධීන් වහන්සේලාව රැකබලා ගන්න සහ තේවා කටයුතු කරන්න අවස්ථාව තියෙන වටපිටාවන් වලයි.
කෝට්ටේ යුගය
කෝට්ටේ යුගයේදී වර්තමාන බෙල්ලන්විල රජමහා විහාරය, ඒ ආසන්නයේ තියෙන පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයේ ශාඛාවක් විදිහට පවතින්න ඇති කියලා සමහරක් ඉතිහාසඥයන් මත පල කරනවා. ඒ වගේම වර්තමානයේ බෙල්ලන්විල රජමහා විහාරය, පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය සහ පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන කියලා හඳුන්වන විහාරස්ථාන තුනම, සිංහල රජ කාලයේ තනි විහාරස්ථානයක් විදිහට තිබෙන්න ඇති කියලත් මතයක් තියෙනවා.
වර්තමානයේ බොරලැස්ගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සිද්ධස්ථානයක් විදිහට, බෙල්ලන්විල රජමහා විහාරයත් සමඟ තියෙන පිල්ලෑව විහාරස්ථානය ප්‍රසිද්ධියක් උසුලනවා. තවමත් නිශ්චිත ඉතිහාසයක් සොයාගෙන නැතත්, විහාර භූමියේ ඉතිහාස කතාව අතීත රජ දවස දක්වාම දිව යනවාය කියලා විශ්වාසයක් පවතිනවා.
ඒ අනුව සමහරක් අය විශ්වාස කරනවා කෝට්ටේ රජ කාලයේ වර්තමානයේ පිල්ලෑව විහාරස්ථානයේ භූමිය, වර්තමාන බෙල්ලන්විල රජමහා විහාරයේම කොටසක් කියලා. ඒ අතරේ තවත් සමහරු විශ්වාස කරනවා කෝට්ටේ යුගයේදී බෙල්ලන්විල රජමහා විහාරයේ ශාඛාවක් විදිහට පිල්ලෑව විහාරස්ථානය තියෙන්න ඇති කියලත්. ඒත් අපේ වැඩිහිටි අයට අනුව නම් මෑත කාලය වන තුරුත් (මීට අවුරුදු 40කට උඩදිත්) පිල්ලෑව භූමියේ තිබිලා තියෙන්නෙ බෝධීන් වහන්සේ විතරයි. මේ බෝධියත් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්ද, එහෙමත් නැත්නම් කාක බෝධියක්ද කියලා නිශ්චිතව තහවුරු කිරීමක් කරගෙනත් නෑ.
බොරලැස්ගමුව ප්‍රදේශයේ විහාරස්ථාන රැසක් නිර්මාණය කරපු, ලංකාව අවසන් වරට එක්සේසත් කරපු රජතුමා විදිහට සැළකෙන කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා බෙල්ලන්විල බෝධීන් වහන්සේ වටේ රන් වැටක් සහිත ප්‍රාකාරයක් නිර්මාණය කළා කියලා මතයක් තියෙනවා.
පෘතුගීසීන් කෝට්ටේ රාජධානියේ ඇති කරපු මහා ගින්න නිසා කෝට්ටේ පුරවරයෙන් 95%ක් විතර විනාශ වුණා. ඉතිරි වුණු ආගමික ස්ථාන වල තිබුණු ගඩොල් සහ ගල්, පෘතුගීසීන්ගේ කාර්යාල සහ දේවස්ථාන නිර්මාණය කරන්න අරගෙන ගියා කියලා සඳහන් වෙනවා. ඒ වගේම රජරට ශිෂ්ටාචාරයේ වගේ අද වෙනකොට කෝට්ටේ රාජධානියේ විශාල ස්මාරක සහ නටබුන් ප්‍රමාණයක් දකින්න නොලැබෙන්නෙ, කෝට්ටේ යුගයේ සෑම ගෘහ නිර්මාණයක්ම වගේ දැවයෙන් නිර්මාණය කරලා තිබුණු නිසා කියලා සෙනරත් පරණවිතාන ශූරීන් මත පල කරලා තියෙනවා. ඒකත් බෙල්ලන්විල රජමහා විහාරයෙන් පුරාවිද්‍යාත්මක සාධක හමු නොවෙන්න ප්‍රධාන හේතුවක් විදිහට හඳුන්වන්න පුලුවන්.
බෙල්ලන්විල ශ්‍රී සෝමරතන හිමියන්
තෙන්ගොඩගෙදර හිමියන්ගේ ඉදලා අද වෙනකන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ භාරකාරීත්වයට, එහෙමත් නැත්නම් විහාරාධිපති පදවියට විවිධ ස්වාමින් වහන්සේලා පත් වෙනවා.
ඒ අනුව පිළිවෙලින් උඩුගම්පොල ශ්‍රී රතනපාල හිමි, උඩුගම්පොල ශ්‍රී ධම්මක්ඛන්ධ හිමි, වෑබොඩ ශ්‍රී සංඝරතන හිමි, අස්ගිරියේ දේවරක්ඛිත හිමි කියන ස්වාමීන් වහන්සේලාගේ නම් සඳහන් වෙනවා. ඊටත් පස්සෙ විහාරාධිපති ධූරයට පත් වුණු අස්ගිරියේ දේවරක්ඛිත හිමියන්ගේ සහෝදරයෙක් වන බෙල්ලන්විල ශ්‍රී සෝමරතන හිමියන්ව හඳුන්වන්නේ වර්තමාන බෙල්ලන්විල රජමහා විහාරයේ සැබෑ නිර්මාතෘ විදිහටයි.
කට වචනයට වඩා ක්‍රියාවෙන් වැඩ පෙන්වපු, ගම්වැසියන්ගේ සුබ සාධනය වෙනුවෙන් කැප වුණු, ක්‍රියාකාරී හිමි නමක් විදිහට ප්‍රසිද්ධත්වයක් උසුලපු උන්වහන්සේගේ කාලය, බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ස්වර්ණමය යුගය විදිහට හැදින්වෙනවා.
“වර්තමානයේ විහාරස්ථානයේ දකින්න ලැබෙන” අලංකාර බුදු මැදුර වගේම, දේවාල සංකීර්ණයත් උන්වහන්සේගේ මෙහෙයවීමෙන් නිර්මාණය වුණු ඉදි කිරීම්. ඒ වගේම බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පෙරහැරත් උන්වහන්සේගේ අදහසකට අනුව ආරම්භ වුණු පෙරහැරක්.
බෙල්ලන්විල ශ්‍රී සෝමරතන හිමියන්ගෙන් පසුව
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති ධූරය දරන්නේ බෙල්ලන්විල ධම්මරතන හිමියන්. හිටපු විහාරාධිකාරී අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන හිමියන්, බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ බාල සහෝදරයෙක්. ඒ වගේම ධම්මරතන සහ විමලරතන හිමිවරු, සෝමරතන හිමියන්ගේ ගිහි කාලයේ බාල සහෝදරයාගේ පුත්‍රයන් දෙදෙනෙක්.
වර්තමානයේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී ධූරයේ කටයුතු කරන්නෙ බොරලැස්ගමුවේ පේමරතන හිමියන්.
බෙල්ලන්විල පෙරහැර
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පෙරහැර ආරම්භ වෙන්නෙ 1947 අවුරුද්දෙයි. ඒකත් හරිම අරුම පුදුම කතාවක්.
ඒ කාලයේ මේ ප්‍රදේශයේ ගවයන්ට කුර රෝගයක් හැදිලා තියෙනවා. මේ කුර රෝගය සීඝ්‍රයෙන් පැතිරුනා කියලත්, ඒ නිසා මේ ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු අඩපණ වෙන්න ගත්තාය කියලත්, මේ ගැන ගම්වැසියන් සෝමරතන හිමියන්ට දැන්නුවා කියලත්, ඒ අවස්ථාවේදී සෝමරතන හිමියන් ගම වටා පෙරහැරක් පවත්වන්න තීරණය කළා කියලත් සඳහන් වෙනවා.
මේ පෙරහැර පැවැත්වීමේ අරමුණ වෙලා තියෙන්නෙ බුද්ධ, ධම්ම, සංඝ රත්නයේ ආශිර්වාදයේ බලයෙන් සහ බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයෙන්, ගමට ඇති වෙලා තියෙන විපත දුරු කිරීමයි. පෙරහැර පවත්වලා ඉවර වෙනවත් එක්කම, ගමේ ගවයින්ට හැදෙමින් තිබුණු කුර රෝගය නතර වුණා කියලත්, ගවයන් සුවපත් වුණා කියලත් සඳහන් වෙනවා.
ඊට පස්සෙ මේ පෙරහැර එදා සිට අද දක්වාම අඛන්ඩව පවත්වාගෙන එනවා. අද වෙනකොට ලංකාවේ පවත්වන ප්‍රධාන සහ රමණීය පෙරහැරක් විදිහට බෙල්ලන්විල පෙරහැරත් ඇතුළත් වෙනවා. බෙල්ලන්විල රජමහා විහාරස්ථාන පෙරහැර වර්තමානයේ ඇසළ පෙරහැරක් විදිහට අගෝස්තු මාසයේදී පැවැත්වූවත්, බෙල්ලන්විල රජමහා විහාරස්ථාන පෙරහැර මුලදි ආරම්භ කෙරෙන්නෙ දුරුතු පෙරහැරක් (ජනවාරි) විදිහටයි. 1947 අවුරුද්දෙ ඉදලා 1949 අවුරුද්ද වෙනකන් පවත්වපු දුරුතු පෙරහැර, 1950 අවුරුද්දෙ ඉදලා අද වෙනකන් ඇසළ පෙරහැරක් විදිහට පවත්වනු ලබනවා.
කාලයත් එක්කම අද වෙනකොට මේ ප්‍රධාන පෙරහැර සහ දිය කැපීමේ පෙරහැර හැරුණු කොට, පෙරහැර මංගල්‍යයට තවත් පෙරහැරවල් එකතු වෙලා තියෙනවා.
ඒ අතර දේවදූත පෙරහැර, කුඹල් පෙරහැර, මල් පෙරහැර, පාවාඩ පෙරහැර, රන්සිවිලි පෙරහැර වැදගත් පෙරහැරවල් විදිහට සළකන්න පුලුවන්. අවසානයට පවත්වන ප්‍රධාන පෙරහැර රන්දෝලි මහා පෙරහැර කියලා හඳුන්වනවා.
පාවඩයක් මතින් පෙරහැර ගමන් කරන නිසා පාවඩ පෙරහැරට ඒ නම ලැබුණාය කියලත්, වර්තමානයේ නැතත් අතීතයේ පෙරහැර අවසානයේ රන් වියනක් ගෙනිහින් තියෙන නිසා රන්සිවිලි පෙරහැරට ඒ නම ලැබුණාය කියලත්, රජතුමාගේ අගමෙහෙසිය (රන්දෝලී) ගමන් කරන දෝලාව සහිත පෙරහැර කියන අර්ථයෙන් ඒ පෙරහැරට රන්දෝලි පෙරහැර කියන නම ලැබුණාය කියලත් කියවෙනවා.
දේවදූත පෙරහැරේ තියෙන විශේෂත්වය තමයි මේ පෙරහැර සවස් කාලයක බොරලැස්ගමුව ගම වටේ වීදි සංචාරය කරගෙන ඇවිත්, බොරලැස්ගමුවේ තෝරා ගැනෙන විහාරස්ථානයකට සම්ප්‍රාප්ත වීම.
ඊට පස්සේ ඒ විහාරස්ථානයේ ත්‍රිවිධ චෛත්‍යය සහ දේවාලය මූලික කරගෙන චාරිත්‍ර සහ ආගමික කටයුතු රැසක් සිද්ධ වෙන අතරෙ පෙරහැරේ ගමන් කරපු අයට, ඒ අදාළ විහාරස්ථානයේ දායකයන් විසින් සංග්‍රහ කටයුතු සිදු කරනවා. එහෙම පැයක විතර කාලයක් ඉදලා තමයි ඒ අදාළ විහාරස්ථානයේ ඉදලා, එදා රාත්‍රියේ පවත්වන දොරකඩ අස්න වෙනුවෙන් බෙල්ලන්විල රජමහා විහාරයට, ආයිත් ඒ පෙරහැර පිටත් වෙන්නෙ.
එහෙම තෝරා ගැනෙන ප්‍රධාන විහාරස්ථාන විදිහට පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය සහ රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය හඳුන්වන්න පුලුවන්.
බුද්ධ මන්දිරය 01
බෙල්ලන්විල රජමහා විහාරයේ පළමු සහ පැරණිම බුදු මැදුර නිර්මාණය කරලා තිබෙන්නෙ, බෙල්ලන්විල රජමහා විහාරයේ වර්තමාන දේවාල සංකීර්ණය පවතින භූමියෙයි. ඒ, ශ්‍රී විෂ්ණු දේවාලයත් සමඟ එකතු කළ එකම ගොඩනැගිල්ලක් විදිහටයි.
බෙල්ලන්විල සෝමරතන හිමියන් විහාරාධිපති ධූරයට පත් වෙලා විශාල කාලයකට පස්සෙ (උන්වහන්සේගේ ධූර කාලයේදීම) තමයි වර්තමානයේ පවතින බුද්ධ මන්දිරය නිර්මාණය වෙන්නෙ සහ පැරණි බුද්ධ මන්දිරය සහ ශ්‍රී විෂ්ණු දේවාලය මැදි කරලා අද දකින්න ලැබෙන දේවාල සංකීර්ණය (1940න් පසුව) නිර්මාණය වෙන්නෙ.
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දේවාල මන්දිරයේ ප්‍රධාන කොටසට ගියොත්, අදටත් ඉපැරණි බුද්ධ මන්දිරය සහ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ කොටස් දැක ගන්න පුලුවන්.
බුද්ධ මන්දිරය 02
බෙල්ලන්විල රජමහා විහාරයේ තිබෙන වර්තමාන බුද්ධ මන්දිරය, කරුණු කිහිපයක් නිසා අපේ රටේ තිබෙන සුවිශේෂී බුද්ධ මන්දිරයක් විදිහට නම් කරන්න පුලුවන්.
ඒ අතරින් එක හේතුවක් තමයි මේ මන්දිරයේ ආකෘතිය මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් වන පොළොන්නරු ජේතවනාරාම පිළිම ගෙයෙහි ආකෘතිය අනුව නිර්මාණය කරලා තිබීම.
දෙවෙනි කාරණාව තමයි බුදු මැදුරේ තියෙන සිතුවම්, අපේ රටේ ශ්‍රේෂ්ඨ නර්ථන ශිල්පියෙක් සහ චිත්‍ර ශිල්පියෙක් වුණු සෝමබන්දු විද්‍යාපති මහත්මයාගේ කලා නිර්මාණ වීම. සෝමබන්දු විද්‍යාපති මහත්මයාගේ චිත්‍ර ශෛලිය ඔහුටම ආවේණික චිත්‍ර ශෛලියක්. එතුමා සිතුවම් දායකත්වය ලබා දීලා තියෙන විහාරස්ථාන අතරින් ප්‍රධානතම විහාරස්ථානය වෙන්නෙ බෙල්ලන්විල රජමහා විහාරයයි.
විහාර මන්දිරයට ඇතුළ් වෙනකොට තියෙන විශාල මකර තොරණට ඉහළින් සමාධි බුදු රුවක කැටයමකුත්, ඊට මදක් පහළින් බෝධිසත්ව රුවකුත් දැක ගන්න පුලුවන්. ප්‍රධාන දොරටුව දෙපස දොරටුපාල ප්‍රතිමා යුගලයක් තියෙනවා. විහාර මන්දිරයේ උතුරු, බටහිර සහ නැගෙනහිර පිටත බිත්ති වල දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු, මහා විජයබාහු, නිශ්ශංකමල්ල, 6 වෙනි පරාක්‍රමබාහු වගේ රජවරුන්ගේ රූප අඹලා හිඩැස් බහිරව, ඇත් සහ හංස රූප වලින් ආවරණය කරලා තියෙනවා.
බුද්ධ මන්දිරයේ ඇතුළත ගත්තොත්, ඇතුළත කොටස් හතරකට බෙදලා තිබෙනවා. ප්‍රධාන දොරටුවෙන් ඇතුළ් වුණාම තියෙන්නෙ ප්‍රධාන කොටසයි. මේ කොටස දෙපැත්තෙ කුළුණු 16ක් තියෙනවා. මේ කුළුණු පොළොන්නරු යුගයට අයිති සාම්ප්‍රදායික අලංකාර මල් කැටයම් වලින් සරසලා තිබෙනවා.
බුද්ධ මන්දිරය මධ්‍යයේ ඇති ප්‍රධාන දොරටුව දෙසට මුහුණලා සිටින, හිටි බුදු පිළිමයේ උස අඩි 40ක් වෙනවා. මේ පිළිමය අවුකන බුද්ධ ප්‍රතිමාවේ ආකෘතියක් විදිහට හඳුන්වන්න පුලුවන්. ප්‍රධාන කොටසට දකුණු පසින් සහ වම් පසින් දෙවෙනි සහ තුන්වෙනි කොටස් වලටත්, දෙවෙනි සහ තුන්වෙනි කොටස් හරහා හතර වෙනි කොටසටත් පිවිසෙන්න පුලුවන්.
හිටි බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් තිබෙන්නෙ පරිණිර්වාන බුදු පිළිමයයි. දිගින් අඩි 27ක් විතර වෙන මේ පිළිමය පොළොන්නරු ගල් විහාරයේ, සැතපෙන ප්‍රතිමාව පාදක කරගෙන නිර්මාණය වුණා කියලා සඳහන් වෙනවා.
පරිණිර්වාන ප්‍රතිමාව ආසන්නයේ මෛත්‍රීය බෝධිසත්ව ප්‍රතිමාවකුත්, ඉහළ කොටසේ සූවිසි විවරණය පිළිඹිබු වෙන ප්‍රතිමාත් දැක ගන්න පුලුවන්.
පරිණිර්වාන බුදු පිළිමය තිබෙන මේ හතර වෙනි කොටසට යන ඕනෑම අයෙක්ට අවුරුදු දෙදහස් පන්සීය ගණනකට පෙර බුදුරජාණන් වහන්සේ පරිණිර්වානයට පත් වුණු මොහොත සිතින් මවාගන්න පුලුවන්.
ඒ, බුද්ධ ප්‍රතිමාව ආසන්නයේ අඹලා තියෙන මහා රහත්, පෘතග්ජන ගිහි පැවිදි පිරිස් වල සහ දෙවි දේවතාවුන්ගේ ප්‍රතිමා වල තියෙන සජීවී භාව ප්‍රකාශන ස්වරූපයන් නිසයි.
බුද්ධ මන්දිරයේ ඉතිරි කොටස් වල සමාධි ඉරියව්වෙන් වැඩ සිටින එකම ආකෘතියේ බුද්ධ ප්‍රතිමා තුනක් දැක ගන්න පුලුවන්. ඉන් එක් ප්‍රතිමාවක් දෙපස සාරිපුත්ත සහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමා අඹලා තියෙනවා.
බුද්ධ මන්දිරයේ තියෙන සිතුවම් අවදි දෙකකදී සිතුවම් වුණු ඒවයි. පළවෙනි අවදියේ, ඒ කියන්නේ බෙල්ලන්විල සෝමරතන නායක හිමියන්ගේ යුගයේදී සිත්තම් කරන ලද සිතුවම්, පසු කාලයක බුද්ධ මන්දිරයේ බිත්ති වල බදාම ගැලවී යාමේ හේතුවක් නිසා විනාශයට පත් වෙලා තිබෙනවා.
ඊට පස්සෙ අද අපි දකින සිතුවම් ගොන්න තමයි අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ මෙහෙයවීමෙන්, සෝමබන්දු විද්‍යාපති මහත්මයාගේ අතින් සිත්තම් වෙන්නෙ. ඒ, 80 දශකයේ අග භාගයේදී වගේ.
ඉපැරණි සිතුවම් වලින් එක සිතුවමක් වන දේවාරාධනාව සිතුවම විතරක්, අද වන විට ප්‍රධාන දොරටුවට උඩ බිත්තියේ ඉතුරුවෙලා තිබෙනවා.
බුද්ධ මන්දිරයේ සිතුවම් කරලා තියෙන බිතු සිතුවම් බුද්ධ චරිතය, මහා වංශයේ එන ඓතිහාසික සිදුවීම්, බෙල්ලන්විල රජ මහා විහාරයේ ඉතිහාස කතාව කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුලුවන්.
බුද්ධ චරිතය ආශ්‍රිත සිතුවම් වලට උදාහරණ විදිහට පස් මහා බැලුම් බලන සන්තුසිත දිව්‍යරාජයා, සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය, සිද්ධාර්ථ කුමාරයාගේ ශිල්ප ඉගෙනීම, යොවුන් වියේ පසු වන සිද්ධාර්ථ කුමාරයා, සිද්ධාර්ථ සරණ මංගල්‍යය, මහා අභිනිෂ්ක්‍රමණය, දුෂ්කර ක්‍රියාව, මුචලින්ද නාගදරණය, බුදුන්ගේ මහා කරුණාව, ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ චිතකය වටා බුදුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පැදකුණු කිරීම, චුන්දකර්මාර පුත්‍රයාගේ දානය වැළදීම, මල්ල රජ දරුවන්ගේ දානය වැළදීම, අටලෝ දහමින් කම්පා නොවන බුදුරදුන් වගේ මාතෘකා හඳුන්වන්න පුලුවන්.
එතකොට…. අශෝක රජු බුදු දහම වැළද ගැනීම, 3 වන ධර්ම සංගායනාව, බුදුරදුන්ගේ පළවන ලංකාගමන, මාතලේ ආලෝක විහාරයේ ධර්ම සංගායනාව, සමන් දෙවියන් බුදුරදුන්ව හමු වීම, විජයාවතරණය, මහින්දාගමනය, ශ්‍රී මහා බෝධිය වැඩම වීම, ශ්‍රී මහා බෝධි රෝපණය, දන්ත ධාතුන් වහන්සේගේ වැඩම වීම, වළගම්බා රජු යුද්ධ කිරීම, පාහියන් හිමියන්ගේ ලංකා සංචාරය කියන මාතෘකා මහා වංශයේ එන ඓතිහාසික සිදුවීම් කියන වර්ගීකරණයට අයත් වෙනවා.
බෙල්ලන්විල බෝධිය නැවත සොයා ගැනීම, බෙල්ලන්විල පෙරහැර, 1930 වසරේදී බෙල්ලන්විල රජමහා විහාරය පැවති ස්වරූපය ආදී මාතෘකා අයිති වෙන්නෙ බෙල්ලන්විල රජමහා විහාරයේ සිදුවීම් වලටයි.
මේ චිත්‍ර වල තියෙන තවත් විශේෂත්වයක් තමයි බිත්තිය තීරු හෝ රාමු වලට බෙදන්නෙ නැතුව, ගංගාවක් ගලාගෙන යනවා වගේ ශෛලියකට සිතුවම් කරලා තිබීම. ඒ නිසා සිතුවම් නරඹන අයට මේ සිතුවම් එකිනෙකට සම්බන්ධ වුණු කතාවක් නරඹනවා වගේ හැගීමක් එනවා.
ඊට අමතරව බුදු මැදුරේ තියෙන සියලුම හිඩැස් සාම්ප්‍රදායික ඉපැරණි සිංහල සැරසිලි මෝස්තර වලින් පුරවලා තියෙනවා දකින්න පුලුවන්.
පාරිසරික පද්ධතිය
බෙල්ලන්විල රජමහා විහාරය ආශ්‍රිතව විශාල ජෛව විවිධත්ව පද්ධතියක් තිබෙනවා. මේකට ප්‍රධානතම හේතුව වන්නේ විශාල ලදු කැළෑ තිබීම සහ විශේෂයෙන්ම 1990 වර්ෂයේදී කුරුළු අභය භූමියක් විදිහට නම් කරපු අත්තිඩිය කුරුළු අභය භූමිය පිහිටා තිබීම. මේ නිසා මේ ප්‍රදේශය දේශීය සහ විදේශීය පක්ෂීන්ගේ රජ දහනක්.
ඒ අතරින් සංචාරක පක්ෂීන් විදිහට වනවටුවන්, පිලිපීන සබරිත්තන්, දාර පෙදැති මහවටුවන් වගේ පක්ෂීනුත්, ලංකාවට විතරක් ආවේණික පක්ෂීන් විදිහට කළු කොකුන්, කුඩා බස්සන්, මැටි කොරවක්කන් වගේ පක්ෂීනුත් හඳුනාගෙන තියෙනවා.
අභය භූමියකට අමතරව ලංකාවේ තියෙන වැදගත්ම තෙත් බිමක් විදිහට නම් කරලා තියෙන මේ ප්‍රදේශයේ පක්ෂීන්ට අමතරව ක්ෂීරපායී, උරග, මත්ස්‍ය සම්පත් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා.
ඒත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී මේ ආශ්‍රිතව සිදු කරපු වේරැස් ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපලයක් විදිහට, විශාල පරිසර සංහාරයක් වුණා කියන එක නොරහසක්.
ඊට අමතරව මේ ප්‍රදේශය කුඹුරු සහ වෙල් යායවල් වලින්, වැව්, ගංගා, ඇළ, දොළ වලිනුත් පරිපූර්ණ ප්‍රදේශයක් වෙනවා.
සමීපයේ පිහිටි රජමහා විහාර
බොරලැස්ගමුව ග්‍රාමයේ, බෙල්ලන්විල රජමහා විහාරයට ආසන්නයෙන් තවත් රජමහා විහාර දෙකක් පිහිටලා තියෙනවා.
ඒ අතරින් පිළිවෙලින් කිලෝ මීටර 1.3කින් සහ කිලෝ මීටර 1.6කින් පිහිටලා තිබෙන පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය සහ සුනෙත්‍රාදේවි පිරිවෙන ඉතාමත් වැදගත්. කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් තමන්ගේ මෑණියන්ව සිහිවීම පිණිස තමයි මේ විහාර කරවන්නේ.
පිරිවෙනින් විශාල ගිහි පැවිදි උගතුන් ප්‍රමාණයක් බිහි වුණා කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. කෝට්ටේ යුගය, සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වෙන්න මේ පිරිවෙනින් විශාල තල්ලුවක් ලැබුණා.
ඒ කාලයේ රජමහා විහාරය සහ පිරිවෙන එකම භූමියේ, එකම පරිපාලනයක් යටතේ තිබුණත්, අද වෙනකොට රජමහා විහාරය සහ පිරිවෙන මැදින් මහා මාර්ග නිර්මාණය වෙලා, පරිපාලනය දෙකට බෙදිලා තියෙනවා.
පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන
පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන
පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන
විශේෂ ස්තූතිය සහ මූලාශ්‍ර
01. බෙල්ලන්විල රජමහා විහාරවාසී පූජ්‍ය උඩුගම්පොල හේමරතන හිමියන් වෙත
02. ඓතිහාසික බෙල්ලන්විල කෘතිය
03. ශ්‍රී ලංකා වන්දනා ගමන් මග කෘතිය
04. බෙල්ලන්විල රජමහා විහාරස්ථ නිළ වෙබ් අඩවිය – https://www.bellanwila.org/
මා විසින් ගන්නා ලද, මෙම ලිපියට සම්බන්ධ ඡායාරූප
01. බෙල්ලන්විල දේවදූත පෙරහැර 2018 – https://photos.app.goo.gl/3AbrCGDCgscjJNwN6
02. බෙල්ලන්විල රජමහා විහාරය – https://goo.gl/photos/7YuL3h6mPC3Lfr5k7
03. බෙල්ලන්විල විමලරතන නා හිමි ආදාහන උත්සවය – https://photos.app.goo.gl/ywUOzE70ypB5DwT92
04. අත්තිඩිය කුරුළු අභය භූමිය – https://photos.app.goo.gl/vlNdMvGAnGMOUOkU2
05. පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය – https://goo.gl/photos/qHRaSyEpVGfUNmYT6
06. පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන – https://goo.gl/photos/JPZR6cKyngtV3SWG9
07. රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරය – https://goo.gl/photos/uJfr7MfNzWpuKRDV6
eLearning.lk නිවේදනය
මෙම ලිපිය පල කිරීමේ මූලික සහ එකම අරමුණ වන්නේ මෙම ඓතිහාසික ස්ථානයේ ඉතිහාසය, මෙම ස්ථානය හා බැදුනු ඓතිහාසික කතා පුවත් සහ සංස්කෘතික කාරණාවන් පිළිබඳව ඔබ වෙත දැනුමක් ලබා දීම පමණි. මෙහි ඇති ඓතිහාසික සිදුවීම් සහ ජනප්‍රවාද කතාවන් (A සිදුවීම නිසා B සිදුවීම සිදුවිය) සත්‍යයයක් යැයි අප කිසි විටෙකත් සඳහන් කර නැත.