ජාතික වීරවර ආතර් වී දියෙස්
ආතර් වී. දියෙස් මහතා 1886 පෙබරවාරි 10 වන දින උපත ලැබුවේය. ඒ පානදුරේ රන්කොත් විහාරයට ආසන්න නිවසකය. මෙතුමාගේ පියා ප්‍රදේශයේ විශාල ධනවතෙක් වූයේය. එතුමා නමින් ජෙරමියෙස් දියෙස් නම් වීය. මව සෙලෙස්තිනා රොද්‍රිගෝ මැතිනියයි.
සිය පියා සහ මව පරිත්‍යාගශීලී දානපතියන් වූ බැවින් දියෙස් දරුවාද කුඩා කල සිටම දුප්පතුන්ට දන් දීමටද, අන් අයට නැගී සිටින්නට ආධාර කිරීමටද හුරු වූවේය. එමෙන්ම පවුලේ ආභාසයෙන්, හෙළ බොදු හැදියාව සහ විනය ඇතිව කටයුතු කරන්නට, මේ දරුවා හුරු වූයේය.
කුඩා කාලයේදී පානදුරේ පිහිටි ශාන්ත ජෝන් විදුහලෙන් මෙතුමා අධ්‍යාපනය ලැබුවේය. පසුව මෙතුමා ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලෙන් ද අධ්‍යාපනය ලැබුවේය.
එතුමා ගැටවර වියට පා තබද්දී, මේ කාලයේ දී, ගමින් ගමට යමින් දේශන පැවැත්වූ අනගාරික ධර්මපාල තුමන්ගේ දේශනවලට සවන් දීමේ භාග්‍යය එතුමාට ලැබුණි. මින් ලැබුණු ආභාසය අනුව,සිංහල ජාතිය සහ සම්බුද්ධ ශාසනය නඟා සිටුවීමට තමන්ගෙන් ඉටු විය යුතු මෙහෙවර උපරිමයෙන් ඉටු කරන්නට එතුමා අධිෂ්ඨාන කර ගත්තේය.
ඒ අනුව බෞද්ධ පුරවරයක් වූ පානදුර ප්‍රදේශයේ ඉරුදින දහම් පාසලක් ඇරැඹීමට ද මෙතුමා කටයුතු කළේය. ඒ සඳහා පානදුර බෞද්ධ සංගමයේ සහයෝගය මෙතුමාට ලැබුණි.
එකල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන්ට එරෙහිව, ප්‍රබල ජාතික ව්‍යාපාරයක් ලෙස නැඟුණු , (මත් උවදුරෙන් ජනතාව මුදා ගැනීම උදෙසා වූ) “අමද්‍යප ව්‍යාපාරයට” මෙතුමා තීරණාත්මක මෙහෙවරක් ඉටු කළේය. 1915 සිංහල – මුස්ලිම් ගැටුම හේතුවෙන් අමද්‍යප ව්‍යාපාරයේ නායකයන්ට චෝදනා නඟා ඔවුන් සිරගත කිරීමට අධිරාජ්‍යවාදී පාලකයෝ ක්‍රියා කළහ. එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් වැනි ඇතැම්හු මරණ දණ්ඩනයට පවා ලක් කෙරුණි.
දියෙස් මහතාට විරුද්ධවද චෝදනා නඟා මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළද, බ්‍රිතාන්‍ය ජාතික නීතිඥවරයෙක් එතුමා වෙනුවෙන් අභියාචනයේදී දක්ෂ ලෙස කරුණු දක්වා, ශ්‍රේෂ්ඨාධිකරණයේදී එතුමාව නිදොස් කොට නිදහස් කර ගැනීමට සමත් වූවේය.
වර්ෂ 1923 වන විටත් රටේ ප්‍රධාන බෞද්ධ විද්‍යාලය වූ කොළඹ ආනන්ද විද්‍යාලයට ප්‍රධාන නේවාසික ගොඩනැඟිල්ලක් තිබුණේ නැත. එවන් ගොඩනැඟිල්ලකට අත්තිවාරම දමා තිබුණා පමණයි. මේ කාලයේදී විදුහල්පති පී. ද. ඇස්. කුලරත්න මහතා හත් මාසයක නිවාඩුවකට එංගලන්තයට යන්නට ලෑස්ති වූවේය.
එවකට ගුවන් ගමන් සඳහා ලංකාවේ පහසුකම් තිබුනේ නැත. විදේශියෝ ලංකාවට පැමිණියේත්, ලාංකිකයො විදේශ ගත වුණෙත් නැව්වලිනි. කුලරත්න මහතා ලංකාවෙන් පිටත්වන විට සුභ පතන්නට වැඩබලන විදුහල්පති ගුණපාල මලලසේකර මහතා ඇතුළු පිරිසක් වරායේ ජැටියට පැමිණ සිටියහ. සුහද කතා බහෙන් පසුව නැවට නඟින්නට සැරසී මලලසේකර මහතා වෙත හැරුණු කුලරත්න මහතා, ”මම ආපසු එනකොට පුළුවන්නම් රුපියල් හැටපන්දාහක් හොයාගෙන ගොඩනැඟිල්ල හදලා තියන්න” යනුවෙන් කියා සිටියේය. මලලසේකර මහතා මඳ සිනාවෙන් ඒ කතාව ඉවසා සිටියේය.
මේ වචන කිහිපය එකල සූර තරුණයකු ව සිටි මලලසේකර මහතාට හොඳ අභියෝගයක් විය. එතුමා එදාම පානදුරේට ගොස් මේ කටයුත්තට හවුල් කරගත හැකි ප්‍රධානියා වශයෙන් තමන් සැලකූ ආතර් වී. දියෙස් මහතා හමුවුණේය. හමුවී කාරණය විස්තර කර සිටියේය.
”ඔව් මලලසේකර, මේක අපට හොඳ අභියෝගයක්. කුලරත්න මහත්මයා ආපසු එන්නේ තවත් හත් මාසෙකින්, අපි කොහොම හරි මේ කටයුත්ත කරමු” යනුවෙන් එක්වරම දියෙස් මහත්මයා තමන්ගෙ අදහස ඉහළින් ම අනුමත කළේය. එය මලලසේකර මහත්මයාට විශාල ධෛර්යයක් වූයේය .
ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිලි අරමුදල උදෙසා ”ආනන්ද කොඩි සතිය” ඇරඹුණේ ඒ අනුවයි. දෙදෙනා මූලිකව අනෙක් අයගේ ද, සහයෝගයෙන් දිනයක සුභ මොහොතකින් කටයුත්ත ආරම්භ කෙරුණි. ආරාධිත දානපතියකු වෙත මුල්ම කොඩිය අලෙවි කෙරුණි. කොඩියක් සත දහයයි. දානපතියා මුදල් නෝට්ටුවක් කැටයට එබුවේය. මලලසේකර මහත්මයා කොඩිය ඇල්පෙනෙත්තකින් දානපතියාගේ කමිසයේ වම් කෙළවර රැඳවූවේය.
කාටත් සතුටුයි. මේ අතර කඩදාසියක එතූ කුඩා යමක් ආතර් වී දියෙස් මහත්මයා විසින් දානපතියා අත තැබුවා. ”මේ මොකක්ද? – ආ කොස් ඇටයක් නොවැ, මේක මොකටද?” දානපතියා දියෙස් මහත්මයාගෙන් විමතියෙන් විමසුවේය.
”මම අද අලුත් අදහසක් ක්රියාවේ යොදවන්න අදහස් කළා. සත දහයක් දී කොඩියක් ගන්නා කෙනෙකුට පරිත්‍යාගයක් ලෙස මම කොස් ඇටයක් දෙනවා සිටුවන්නට. ඔබතුමාත් මේ වැදගත් සිද්ධිය මතක් වෙන්නත් එක්ක ගෙවත්තේ මේ කොස් ඇටය සිටුවන්න.” දියෙස් මහත්මයා එසේ කියා සිටි විට එය වැදගත් කටයුත්තක් බව බොහෝ දෙනා තේරුම් ගත්හ. එහෙත් ඒ පිරිස අතර ද ”මේක මොන විහිළුවක්ද?” කියමින් රහසේ සිනාසුණු අය ද සිටියහ.
කෙසේ වෙතත් ”ආනන්ද කොඩි සතිය” ජයට ම පැවැත්වුණි. ඒ කාලේ හැටියට සත දහයද යම් මට්ටමක ලොකු මුදලක් වුණත් මේ කෙරෙන්නට යන කටයුත්තේ වැදගත්කම සලකා කවුරුත් එයට සහයෝගය දුන්හ.
මේ අතර මෙසේ කොඩි අලෙවිය පවතිමින් තිබෙන දිනයක දවල් දොළහට පමණ හිඟන මනුස්සයෙක් ඔවුන් හමුවට ආවේය. ”අනේ මහත්තයෝ, මම අද උදේ වරුවට හම්බ කළේ මේ සත දහය විතරයි. මේක අරගෙන මටත් කොඩියක් ඕනෑ” කියලා ඔහු කීවේය. කාටත් පුදුමයි. එහෙත් පුදුම වෙන්න දේකුත් නැහැ. හිඟන මනුස්සයාට වුණත් සෑහෙන හැඟීමක් ඇති වෙලානෙ මෙහෙම ඉල්ලීමක් කළේ. සත දහය බාර ගැනුණි. මලලසේකර වැඩබලන විදුහල්පතිතුමා අතින් හිඟන මනුස්සයාගේ කිලිටි කමිසයේ ආනන්ද කොඩිය අල්පෙනෙත්තකින් තැන්පත් කෙරුණා. එම අවස්ථාවේ කවුරුත් අත්පුඩි ගසා සතුට පල කළහ.
ඉන් පසුව ආතර් වී. දියෙස් මහත්මයා සුපුරුදු පරිදි හිඟන මනුස්සයාට කොස් ඇටයක් පිරිනැමුවේය. එහෙත් ඒ මනුස්සයා එය අතට ගත්තේ නැහැ. ”අනේ මහත්තයෝ, මම හිඟන මනුස්සයෙක්නෙ. මම ඔය කොස් ඇටේ කොහේ හිටවන්නද? ඒක නිසා මහත්තයලා කැමති නම් මා වෙනුවෙන් ඔය කොස් ඇටේ ආනන්ද විද්‍යාල භූමියේ ම සිටුවන්න.” කියා ඔහු කීවේය.
මේ කාටත් හැඟීම්බර අවස්ථාවක් වූයේය. මේ හිඟන මනුස්සයාගේ මුල් අදහස වගේම මෙයත් වැදගත් බව තේරුම් ගත් දියෙස් මහත්මයා එම කොස් ඇටය ආනන්ද විදුහල් භූමියේ ම සිටුවන්නට තීරණය කළා. පසුකලෙක එය පලබර කොස් ගසක් බවට පත්ව ”හිඟන්නාගේ කොස්ගස” නමින් ප්‍රසිද්ධියට පත් වූයේය. හිඟන මනුස්සයාගේ මේ සත්ක්‍රියාව මලලසේකර මහත්මයාට හොඳ කතා අරමුණක් බවට පත්විය.
”හිඟන මනුස්සයකු වුණත් ඔහුගේ සිතේ තිබුණා, මේ කටයුත්ත ඉදිරි කාලෙදි රටට – ජාතියට සෙත සලසන එකක් බව. ඒ නිසයි ඔහුත් මෙම කටයුත්තට මෙහෙම සම්මාදම් වුණේ. මහා දානපතියකු පරිත්‍යාග කළ රුපියල් දස ලක්ෂයක් හා සමානව මම මේ හිඟන මනුස්සයාගේ සත දහයේ පරිත්‍යාගය සලකනවා” යනුවෙන් මලලසේකර මහත්මයා පසුව කිහිප විටක් ම සිය කතාවන්හිදී සඳහන් කර සිටියේය.
”ආනන්ද කොඩි සතිය” නගරයේ මෙන් ම එහි සිසුන් සිටින ගම්මානවල පවා ජයටම ක්‍රියාත්මක විය. සතෙන් දෙකෙන් පමණක් ද නොව පොල් ගෙඩියෙන්, දෙල් ගෙඩියෙන්, කොස් ගෙඩියෙන් හා වෙළඳසල්වලින් ලැබෙන භාණ්ඩමය උපකාරයෙන් ද එය වර්ධනය විය. පසුව මේවා සල්පිල් මගින් මුදල් කර ගැනුණි. මෙසේ ආනන්ද කොඩි සතියේදී කොඩියක් සමඟ කොස් ඇටයක් සිටුවන්නට දීම හේතුවෙන් පානදුරේ ආතර්. වී. දියෙස් මහත්මයාට ”කොස් මාමා” යන අන්වර්ථ නාමය ලැබුණි. එය එතුමා ඉතාමත්ම ආදරයෙන් පිළිගත්තේය. ඉන්පසු දරුවන් තමන්ට ”දියෙස් මහත්මයා” කියා කතා කරනවාටත් වඩා ”කොස් මාමා” කියා කතා කරනවාට එතුමා බොහොම කැමති වූවේය .
යහපත් චේතනාවෙන් – හොඳ අරමුණක් ඇතිව යමක් ආරම්භ කෙරුණවිට එයට දෙවියන්ගේ ආශිර්වාදය පවා ලැබේ යන්න අර්ථවත් කරන්නට මෙන් මලලසේකර – දියෙස් දෙදෙනාගේ සත් කාර්යය අතිශයින්ම සාර්ථක වූයේය. අත්තිවාරම උඩ ගොඩනැඟිල්ල ඉක්මණින්ම ඉදි කෙරුණි. රුපියල් හැට පන්දාහක මුදලක් ඔවුන්ගේ ධෛර්යයෙන් එකතු විය. හය මාසයක් යන්නටත් පෙර ගොඩනැඟිල්ල අංග සම්පූර්ණ වූයේය.
විදුහල්පති කුලරත්න මහත්මා පෙරළා මව්බිමට සම්ප්‍රාප්ත වන දිනය ද ළං විය. නියමිත පරිදි එදින වරායේ ජැටියට ගිය මලලසේකර මහතා කළේ යතුරක් කුලරත්න මහත්මා අතේ තැබීමයි.”මේ මොකද? – යතුරක්?” කියා එතුමා ඇසුවේ පුදුමයට පත් වෙමිනි. ඔබතුමා ගමන යනකොට කිව්වනේ පුළුවන් නම් සල්ලි හොයලා ගොඩනැඟිල්ල හදලා තියන්න කියලා. අපි සල්ලි හොයාගෙන ගොඩනැඟිල්ල හැදුවා. මේ ප්‍රධාන දොරටුවේ යතුර, ඔබතුමාට තියෙන්නේ විවෘත කරන එක විතරයි.” මලලසේකර මහතා කියා සිටියේය. දියෙස් මහතාද ප්‍රීතිමත් මුහුණින් එය අනුමත කළේය.
කුලරත්න මහතා
මලලසේකර මහතා
මෝටර් රථයෙන් තුන්දෙනාම විද්‍යාලය වෙත ගමන් ගත්හ. ආනන්දයට ඇතුළු වන්නටත් පෙර – පාරේ සිටම අලුත් ගොඩනැඟිල්ල දැක කුලරත්න විදුහල්පතිතුමාගේ දෙනෙතින් සතුටු කඳුළු වෑහෙන්නට විය.
”මලලසේකර හැබෑම දක්ෂයෙක් බව මම එදා ඉඳලම දැනගෙන සිටියා. ඒත් මෙහෙම හපන්කමක් කළේ කොහොමද කියලා මටනම් තවමත් අදහාගන්න බැරිතරම්.” කුලරත්න විදුහල්පතිතුමා කීවේ තමනට දුන් යතුරෙන් විදුහල් නේවාසිකාගාරය විවෘත කිරීමෙන් පසුවයි.
”මේ කාර්යයේ ප්‍රධාන ගෞරවය හිමි වෙන්න ඕනෑ මේ දියෙස් මහත්මයාට. එතුමාගේ ධෛර්යය නැතිනම් මට කවදාවත්ම මෙහෙම වැඩක් තනියෙන් කරන්න ලැබෙන්න නෑ. මෙච්චර කල් එතුමාට තිබුණ දියෙස් නාමය යටපත් වෙලා මේ කටයුත්ත නිසා එතුමාට අලුත් නමකුත් පටබැඳුණා ”කොස් මාමා” කියලා. මොකද ඒ – අපේ ආනන්දෙ කොඩි සතියෙ කොඩියක් මිලදී ගන්න එක්කෙනාට සිටුවන්න කොස් ඇටයක් පරිත්‍යාග කළ නිසා, දැන් එතුමා දියෙස් මහත්මයා කියනවාට වඩා ”කොස් මාමා” කියලයි කියන්නේ” මලලසේකර මහත්මයා කියා සිටියේය.
එම සිද්ධියෙන් පසුව ”කොස් මාමා” වැඩි වැඩියෙන් කොස් ඇට එකතු කරලා රටපුරා බෙදා හරින්න පටන් ගත්තේය. කොස් ඇට විතරක් නොවෙයි, දෙහි, දොඩම්, පැපොල්, අඹ ඇට පවා තමන් දන්නා හඳුනන අය ලවා එකතු කරවලා බෙදා හැරියේය. එතුමා දන්නා හඳුනන කොළඹ හා ප්‍රධාන නගරවල හෝටල්වලින් පවා පැපොල් හා අඹ ඇට එකතුකර එතුමා වෙත එවන්නට කටයුතු කෙරුණි.
තමන් විසින් බෙදා දුන් කොස් ඇට පැල වී තිබෙනු දකින දියෙස් මහතාට එය තරම් සතුටක් තවත් නැති වග දිස් විය. එතුමා තමන්ගේ ගෙවත්තේ සිටුවා තිබෙන ඵල දරන එක් කොස් ගසක ඵලදාව සම්පූර්ණයෙන්ම සතුන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන් කළේය. එයිනුත් එතුමා දැක්වූයේ ආදර්ශයක්. කුරුල්ලන් ආදි සතුන් වරකා මදුළු කා බිම වැටෙන කොස් ඇට තවාන් කර එයින් ඇතිවූ කොස්පැල බෙදා දීම ද, එතුමා අතින්ම සිදු කෙරුණා.
1927 වර්ෂයේදී තම පෞද්ගලික ධනය වියදම් කරමින් බම්බලපිටියේ විශාඛා විද්‍යාලය පිහිටුවීම මෙතුමා සිදු කළ සුවිශේෂී සේවයකි. මේ විද්‍යාලය පවත්වා ගෙන යාමට තමන්ට අයත් රබර් සහ තේ වතු කිහිපයකම ආදායම යෙදවීමට මෙතුමා කටයුතු කළේය. තවද ඉගෙනීමට දක්ෂ දරුවන්ට අතහිත දෙනු පිණිස මෙතුමා නොමසුරුව පෞද්ගලික ධනය වියදම් කළේය. මේ සද්කාර්යයන් කිසිවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය උදෙසා අණබෙර වැයීමට මෙතුමා කිසිකලෙක ක්‍රියා නොකළේය. තම යුතුකම නිහඬව ඉටු කළා පමණි.
1939- 1945 දක්වා ජර්මන් – ඔස්ට්‍රියන්- ජපන්- ඉතාලි අධිරාජ්‍යයන්ට එරෙහිව, බ්‍රිතාන්‍ය – ප්‍රංශ – රුසියන් – ඇමරිකන් අධිරාජ්‍යයන් ගැටුණ දෙවන ලෝක මහා සංග්‍රාමය සිදු විය. මේ ලෝක යුද්ධය හේතුවෙන් මෙරට ජනතාවට විශාල ආහාර හිඟයක් ඇති විය. රට ස්වයං පෝෂිත කිරීමේ එනම් රටට අවශ්‍ය සියලු ආහාර රට තුළම වගා කිරීමේ අගය ඒ අවස්ථාවේදී තේරුම් ගත්, මෙතුමා, පිටරටින් එන සහල් තිරිඟු වලට වඩා, මෙරට බහුලව වැවෙන කොස්, අල වර්ග, දෙල්, බතල, එළවලු වර්ග, පලතුරු වර්ග වැවීමේ අගය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන්නට වැඩසටහන් දියත් කළේය.
විශේෂයෙන්ම “බත්ගස” යනුවෙන් හැඳින්වුණ කොස්ගස් සිටුවීම ආහාර හිඟයට හොඳ පිළිතුරක් බව ජනතාවට ප්‍රකාශ කළ එතුමා ගමක් ගමක් ගානේ ගමන් කරමින් මහා පරිමානයෙන් කොස් ඇට, කොස් පැල බෙදා දුන්නේය. මැලේසියාවෙන් ගෙන්වන ලද දහඅට මාසෙන් ගස හැදී ගෙඩි හැදෙන කොස් ඇට වර්ගයක් මෙතුමා බහුලව බෙදා හැරියේය. මිනිස්සු අතර මෙම කොස් වර්ගය මහත් ප්‍රචලිත විය. එමෙන්ම කොස් ගස් කැපීමට විරුද්ධවද මෙතුමා මහා ව්‍යාපාරයක් ගෙන ගියේය.
මේ අතර එතුමාගේ කොස් ඇට බෙදා දීමේ ප්‍රසිද්ධිය නිසා රටේ විවිධ පළාත්වල බොහෝ දෙනකු ලිපි මගින් කොස් ඇට ඉල්ලා එවා තිබුණා. එතුමා තමන්ගේම වියදමින් කොස් ඇට පාර්සල් රටපුරා තැපැල් මගින් ද යැව්වේය. ඉල්ලන්නන්ට සෙත සලසන ව්‍යාපාරයක් වශයෙන් සලකා තැපෑලෙන් යැවීමට ”නොමිලේ පහසුකමක්” සැලසෙනවා නම් මැනවැයි එතුමා වරෙක රජයෙන් ඉල්ලා සිටියේය. එහෙත් රජයෙන් ඒ අවසරය ලැබුණේ නැත.
dinamina.lk
එක් දිනයෙක එවකට අමාත්‍යවරයකු ව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයාත්, දියෙස් මහත්මයාගේ මිනිබිරියකුත් අතර විවාහය සිදු කෙරුණි. මේ අවස්ථාවේ දී දියෙස් මහතා කළ ඉල්ලීම පරිදී, සර් ජෝන් කොතලාවල ඇමැතිතුමා පෞද්ගලික මැදිහත්වී, රටපුරා කොස් ඇට පාර්සල් නොමිලේ යැවීමේ තැපැල් අවසරය ලබාදුන්නේය.
ආතර් වී දියෙස් මහතා කිසිවිටෙක තම ලාභ ප්‍රයෝජන හෝ ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් සමාජ සේවයේ යෙදුණු පුද්ගලයෙක් නොවීය. එතුමාට තිබුණේ තම යුතුකම් ඉටු කිරීමේ සහ නිස්සරණාධ්යාෂය ( මමංකාරයෙන් නිදහස්ව නිර්වාණය සාක්ෂාත් කිරිමේ අභිලාෂය) පමණි. එතුමා බොහෝ සද්කාර්යයන් ඉටු කළේ අප්‍රසිද්ධියේය.
වරක් එවකට අග්‍රාමාත්‍ය ධුරන්දර S.W.R.D බණ්ඩාරනායක මැතිතුමා මෙතුමාට මන්ත්‍රී ධුරයක් ලබාදීමට යෝජනා කළද එය මෙතුමා ප්‍රතික්ෂේප කළේය.
සත්වයන්ට අභය දානය කිරීමේ චේතනාවෙන් මස්මාංශ ආහාරයෙන් පවා වැළැකුණු මෙතුමා, නිවසේදී පවා ආහාරයට ගත්තේ කොස්, දෙල්, අල බතලය. අන් අයට කොස් දෙල් කන්නට කියා, නිවසේ සුඛෝපභෝගී ආහාර කන දෙබිඩි පිළිවෙතක් මෙතුමාට නොතිබුණි.
ලංකා මාතාවගේ පිනට පහළ වූ මේ උතුම් සත්පුරුෂයා 1960 ජූලි මස 31 වෙනි දින අභාවප්‍රාප්ත වුවද, එතුමාගේ ගුණසුවඳ පොදු ජන හදවතේ සදාකාලිකව නිධන්ගතව පවතී.
2021 ජුලි 31 දිනට යෙදුනු ජාතික වීරවර ආතර් වී දියෙස් මහතාගේ (කොස් මාමා) 61 වැනි ගුණානුස්මරණය වෙනුවෙනි!