ගෞරවනීය දේවේන්ද්‍ර
දේවේන්ද්‍ර නාමය සහ දේවේන්ද්‍ර පරපුර ගැන පර්යේෂණ පවත්වපු විද්වතුන් කියන්නේ මේ පරම්පරාව දෙවිනුවර විෂ්ණු දේවාලයේ වැඩ කටයුතු සඳහා දකුණු ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වාගත්ත පරම්පරාවක පිරිස කියලා . මේ මතය ඇත්ත එකක් වෙන්න පුළුවන් කියලා යම් විශ්වාසයක් තියන්න පුළුවන් . මොකද දෙවුන්දර ප්‍රදේශයේ තවමත් දකින්න ලැබෙන පෙළපත් නාම ඉන්දියාවෙන් ලංකාව ආව නම් . එහෙම කියනකොට උදාහරණයක් විදියට මට මතක් වෙන්නේ අන්රාහැන්නදි කියන නම . ආන්ද්‍ර දේශයෙන් ලංකාවට ආව පිරිසක් ගැන තමයි මේ අන්රාහැන්නදි කියලා කියන්නේ .
ආන්ද්‍රහැන්නදි කියන නම පස්සේ අන්ද්‍රාහැන්නදි වෙලා පසුකාලීනව අන්රාහැන්නදි වෙලා තියෙනවා . රජවාසල කවටයා විදියට හඳුන්වපු අන්දරේ ත් දෙවිනුවර උපන් කෙනෙක් . අන්දරේ ගැන ඒ විදියේ උපහාසාත්මක දේවල් වලට සම්බන්ධ පුද්ගලයෙක් කියලා කතා ගෙතිලා තිබුණට , අන්දරේ කියන කෙනා වස්කවි සෙත්කවි ගණ මාත්‍රා චන්දස් ශාස්ත්‍රය වගේම ගුප්ත විද්‍යාව වගේ දේවලුත් දැනගෙන හිටපු කෙනෙක් කියලයි මම අහලා තියෙන්නේ . ආන්ද්‍ර දේශයෙන් ලංකාවට ආව පරපුරක කෙනෙක් කියලයි අන්දරේ හඳුන්වන්නේ . අන්දරේ ට අන්දරේ කියලා නම වැටෙන්නේ ආන්ද්‍ර දේශයෙන් ආව පෙළපතක නිසා කියලා විස්තර කෙරෙනවා .
ඒ අනුව බලනකොට දෙවිනුවර වාසය කරන පරපුරවල් විශාල ප්‍රමාණයක මූලික ආරම්භය වෙලා තියෙන්නේ ඉන්දියාව . ඒ නිසා දේවේන්ද්‍ර පරපුරත් ඉන්දියාවෙන් ආව පරපුරක් කියලා පිළිගැනෙනවා . හැබැයි පසුකාලීනව දේවේන්ද්‍ර පරපුර කොත්මලේ ප්‍රදේශයට සංක්‍රමණය වෙලා තියෙනවා . කොත්මලේ ප්‍රදේශයේ ස්වභාවික ලෝහ නිස්සාරණය කරන උඳුන් එහෙම හොයාගන්න ලැබුණු නිසාත් අපිට හිතන්න පුළුවන් මේ ප්‍රදේශයේ ඔය ආචාරී පරපුරවල් ජීවත් වෙන්න ඇති කියලා . තවත් කතාවක් තියෙන්නේ කොත්මලේ ප්‍රදේශයේ වාසය කරන ලද දේවේන්ද්‍ර පරපුරේ කෙනෙක් දෙවුන්දරින් විවාහයක් කරගෙන දේවේන්ද්‍ර පරපුර දෙවුන්දර ප්‍රදේශයට සම්බන්ධ වුණා කියලා .
කොහොමහරි මෙන්න මේ විදියට දේවේන්ද්‍ර පරපුර මහනුවර ප්‍රදේශයට සංක්‍රමණය වුණා කියලා කියන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ . කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම තිබ්බ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරගෙන කරගෙන යන අතරවාරයේ කොත්මලේ ජීවත්වුණ දේවේන්ද්‍ර පවුල මහනුවරට ගෙන්නලා පදිංචි කරවන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් . මොකද ශිල්පීය දක්ෂතාවය වගේම පාරම්පරික උරුමයක් තියෙන ඒවගේ ශිල්පියෙක් සහ ඔහුගේ පිරිස රජවාසල ආසන්නයේ පදිංචි කරවාගැනීම නිසා රජතුමාගේ නිර්මාණ කටයුතු වලට උපදෙස් සහ ඒවා පරිපාලනය කරන්න පහසු වන නිසා .
දේවේන්ද්‍ර මූලාචාරියා රජවරුන් තුන් දෙනෙක්ට සේවය කරා කියලා සඳහන් වෙනවා . කීර්ති ශ්‍රී රාජසිංහ , රාජාධි රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන රාජසිංහයින් තුන්දෙනාටම දේවේන්ද්‍ර මූලාචාරීන් තමන්ගේ ජීවිත කාලයේ සේවය කරා කියලා සඳහන් වෙනවා .
දේවේන්ද්‍ර මූලාචාරීන්ගේ අද්විතීය නිර්මාණ විදියට අදටත් අපිට පැහැදිළිවම පේන්න තියෙන්නේ දළදා මාළිගාවේ පත්තිරිප්පුව , මගුල් මඩුව , වලාකුළු බැම්ම , දළදා මාලිගාවේ දිය අගල , දළදා මාලිගාවේ ප්‍රාකාර බැම්ම , නුවර වැව , වැව මැද තියෙන දියතිලක මණ්ඩපය , උල්පැන්ගෙය කියන නිර්මාණ . මීට අමතරව ප්‍රතිසංස්කරණය කරන ලද වෙහෙර විහාර සහ වැඩි ප්‍රමාණයක් අලුතෙන්ම නිර්මාණය කරන ලද වෙහෙර විහාරවල නිර්මාණ දායකත්වය හිමිවෙන්නේ දේවේන්ද්‍ර මූලාචාරීන්ට .
මෙන්න මේ පඩිපෙළ නිතරම මට දේවේන්ද්‍ර මූලාචාරීන්ව සිහිපත් කරවනවා . නිතරම නුවර යන එන නිසා මේ පඩිපෙළ ඔස්සේ සාමාන්‍යයෙන් නිතරම ගමන් කෙරෙනවා . පඩිපෙළ ඈත තියා දකිනකොට දේවේන්ද්‍ර මූලාචාරී තුමාව මතක් වෙන්නේ වැඩියෙන්ම මේ පඩිපෙළ නිර්මාණය කරලා තියෙන පිළිවෙල නිසා වෙන්න ඕන .
ඔය විදියේ නිර්මාණය කිරීම් වලට දායක වෙන දේවේන්ද්‍ර මූලාචාරී තුමාට වර්ෂ 1780 දී රන් නළල්පතක සටහන් කරලා දේවේන්ද්‍ර කියන නාමයත් මූලාචාරී කියන නාමයත් ප්‍රධානය කරලා තියෙනවා . සාමාන්‍යයෙන් මේ වගේ නාමයක් ලැබෙනකොට ගම්වර එහෙමත් ලැබෙනවා . ගම්වර ලැබෙනවා වගේම තමයි අලි ඇතුන් එහෙමත් ලැබෙනවා . මේ කියන සියළුම දේවල් දේවේන්ද්‍ර මූලාචාරීන්ට ලැබුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා .
දේවේන්ද්‍ර මූලාචාරීන්ට ලැබුණු විශේෂම වරප්‍රසාදය තමයි රජතුමාගේ සිංහාසනය , ඔටුන්න , ආභරණ සහ කඩුව කියන රාජකාරි හතර . මේ නිසාම රජෙකුට හැරෙන්න ඔටුන්න හිස පළඳින්නත් , සිංහාසනයේ හිඳගන්නත් , ආභරණ පරීක්ෂා කරන්නත් කඩුව පරීක්ෂා කරන්නත් කියන වරප්‍රසාද හතරම දේවේන්ද්‍ර මූලාචාරීන්ට හිමිවෙලා තිබුණා . මේ කරුණු කාරණා තුන නිසා දේවේන්ද්‍ර මූලාචාරීන්ට සතුරු කුමන්ත්‍රණ සහ ඊර්ෂ්‍යා කිරීම් ඇතිවුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා .
මොකද දේවේන්ද්‍ර කියන්නේ මහවාසලේ නිළමේ කෙනෙකුට වගේම සැලකිලි ලැබුණු කෙනෙක් . ඒ නිසා උපතින්ම නිලමේ පදවියට හිමිකම් කියාගෙන ඇවිත් ඒ පදවි උරුමකරගත් අය දේවේන්ද්‍ර ට ඊර්ෂ්‍යා කරා . නිර්මාණ කරන්න කරන්න රජතුමාගේ පැසසුමට ලක්වෙනවා වගේම තමයි අර කුමන්ත්‍රණත් වැඩි වුණා .
ඒ කෙසේ වෙතත් දේවේන්ද්‍ර මූලාචාරීන් තමන්ගේ නිර්මාණ කාර්යය දිගටම කරගෙන ගිහින් තියෙනවා . කොන්ක්‍රීට් නැති කාලෙක කොන්ක්‍රීට් වලට වඩා කල් පවතින විදියට නුවර වැව වගේ ජලය එක්ක නිතරම ගැටෙන නිර්මාණ සැලසුම් කරලා ඒවා ප්‍රායෝගිකව ඉදිකිරීමට එතුමන්ට හොඳ ශිල්පීය හැකියාවක් තිබිලා තියෙනවා .
ඒවගේම තමයි එතුමා භාවිතා කරන ලද වාස්තු විද්‍යාත්මක ක්‍රමශිල්ප අතීතයේ සෘෂිවරු නියමකරන ලද න්‍යායාත්මක දැනුම එක්ක ඉතා හොඳින් ගළපලා තියෙනවා .
දේවේන්ද්‍රයන්ට මිය යන්න වෙන්නේ තමන්ගේ ජීවිතය තමන් විසින්ම සාදවන ලද නුවර වැවට බිලි දීලා . ඒකටත් හේතු වෙන්නේ මහවාසල කුමන්ත්‍රණය කිරීමක් . දේවේන්ද්‍ර මූලාචාරී තුමා තමයි ඔය මගුල්මඩුව නිර්මාණය කරලා තියෙන්නේ . මගුල් මඩුවේ වැඩ කටයුතු කරගෙන යන අතරවාරයේ කුමන්ත්‍රණයක් මගින් මගුල් මඩුවේ ලී කණුවල උසේ වෙනසක් කරලා කැපීම කියන වරදට දේවේන්ද්‍ර මූලාචාරී තුමාව වරදකරු බවට පත් කරනවා .
ඊට පස්සේ රජතුමා කරුණු කාරණා හොයලා බලන්නේ නැතුවම නියම කරනවා දේවේන්ද්‍ර මූලාචාරීන්ගේ ඇඟිලි කපන්න කියලා . කතාව තියෙන්නේ දේවේන්ද්‍රට රජතුමා තර්ජනය කරා කියලා ඇඟිලි කපනවා කියලා . ඊට පස්සේ තමන්ගේ පරපුරට වෙච්ච අවමානය නිසා හිතේ අමාරුවටම දේවේන්ද්‍ර මූලාචාරීන් නුවර වැවට පැනලා සියදිවි හානි කරගෙන තියෙනවා .
රජතුමා ඇත්ත කතාව දැනගත්තට පස්සේ දුකටම තමන්ගේ ඇඟිල්ලක් හපාගත්තා කියලත් කතාවක් තියෙනවා . කෙසේ වෙතත් තවත් කාලයක් දේවේන්ද්‍ර මූලාචාරීන් හිටියානම් නුවර තවත් වෙනස් වෙන්න ඉඩ තිබුණා කියලා හිතෙනවා . සමහරවිට දළදා මාලිගාවට තවත් අංග එකතු වෙන්න හෝ තියෙන ස්වරූපය වෙනස් වෙන්න ඉඩ තිබුණා .
දේවේන්ද්‍ර මූලාචාරීන්ගේ නිර්මාණවල හොඳ නරක එකක් එකක් ගානේ විස්තර කරන්නේ නැහැ මම . ඒවා ඒ දේවල් දකිනකොට ඔයාලටම හිතාගන්න පුළුවන් වෙයි . සාම්ප්‍රදායික ශිල්පීය දැනුමේ සාඩම්බර අවසාන හිමිකරු විදියට මම දකින්නේ දේවේන්ද්‍ර මූලාචාරීන් . ඒනිසා වාස්තු විද්‍යාවට එතුමාව මතක් කරලා පිවිසෙන්න මම කල්පනා කරා . නැවතත් දේවේන්ද්‍ර කෙනෙක් ලංකාවේ ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
තවත් ලිපියකින් හමුවෙමු .
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!