ආත්මාභිමානය | Self Esteem

ආත්මාභිමානය ගැන සරල සිංහලෙන්ම කිව්වොත්, ආත්මාභිමානය කියන්නෙ තමාට තමා ගැන තියෙන ගෞරවයයි. ඉතාම වැදගත් මාතෘකාවක් ගැන සරලව අපි කතා කරනවා අද අපේ සාකච්ඡාවේදි. එන්න යමු අද කතාවට.

අපි තුළ තියෙන, අපි ඉලක්ක එක්ක ඉස්සරහට අරන් යන්න, පෞරුෂයක් ගොඩනගන දෙයක් තමයි මේ ආත්මාභිමානය. අපි තුළ තියෙන මේ ආත්මාභිමානය පලුදු වෙන අවස්ථා කිහිපයක් අපි අද සාකච්ඡා කරනවා. එකින් එක විග්‍රහ කරමු සරලවම.

අංක එක විදිහට මං දකින්නේ සංසන්දනය කිරිම. ඒ කියන්නේ අපි අපේ තියෙන අඩුපාඩු තව කෙනෙක්ගේ ප්‍රතිරූපය දෙස බලා මානසිකව කඩාන් වැටීම කියන්න පුළුවන්. ඉස්සර වගේ නෙවෙයි දැන් තාක්ෂණය එක්ක ඉස්සරහට යන අපි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ චරිත හෝ ප්‍රසිද්ධ යැයි මවාපාන චරිත දාපු පොස්ට් බලලා තමන් එක්ක සසදලා මානසික වියවුලට පත් වෙනවා. මේ මිනිස්සු මාර ජිවිත තමා ගෙවන්නේ, මෙයාලා හරිම සතුටින් ඉන්නේ වගේ දෙවල් හිතලා තමන්ට තියෙන වටිනාම ආත්මාභිමානය විනාශ කර ගන්නවා. කවුරු මොන විදිහට ජිවිතේ වින්දත් ඒක එයාලාගේ ජිවිතේ. ඒක ඔයාගේ ජිවිතේ එක්ක සංසන්දනය කරන්න යන්න එපා.

සමහර අවස්ථාවලදී අපිට, එයාට කරන්න පුළුවන් එත් මට එහෙම බෑ, මං හරිම අවාසනාවන්ත කෙනෙක් වගේ හැගිමක් එන්න පුළුවන්.. එහෙම එන්නේ නෑ කිව්වොත් බොරු. මෙහෙම ඔයාලාට කතා කරන මටත් එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ජීවිතේ ගමනක් ගිය මිනිස්සු දිහා බලලා, ඔවුන්ගේන් අපිට ගන්න පුළුවන් අවවාද උපදෙස් ඔයාගේ ජිවිතේට ගන්න. හැබැයි අද ඔවුන් ගෙවන සැප සම්පත් දැකලා තමන්ට නෑ කියලා හූල්ලන්න එපා. ඒක ඔයාගේ ආත්මාභිමානය විනාශ කරන කිනිස්සක්. ජිවිතේ ඔබට ඔබේ ආත්මාභිමානය ආරක්ෂා කරගන්න කරන්න පුලුවන් පළමු දෙය තමයි සංසන්දනය කරන එක නවත්තන එක.

අපි කතා කරමු දෙවනි කරුණ මොකක්ද කියලා. ඔයාගේ ජිවිතේ ඔයාගේ ළග තියෙන ගෞරවය, විශ්වාස නැති කරනු ලබන එක තමයි ඔයා ආශ්‍රය කරන පිරිස. දැන් මං කියන්නේ නෑ ඔයාලාට යාලුවෝ ආශ්‍රය කරන්න එපා කියලා. ඔයා වටේ ඉන්න පිරිස කම්මැලිකාර, රාස්තියාදුකාර, බොරු කියන කිසිම වටිනාකමක් නැති අය නම් අනිවාර්යයෙන්ම ඔයාටත් ඒ ගති ලක්ෂණ පිහිටන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ ඔයාට ඔයාගේ ගෞරවය, විශ්වාසය අඩුවීමක්. ජිවිතේදි ඔයාට කවුරුත් නෑ ඔබව ඉස්සරහට තල්ලු කරන්න. ඔබම, ඔබේ අතින්ම තමයි ඔබේ ජිවිතේට ගියර් එක දාගන්න ඕන.

It is Confidence in our bodies, minds, and spirits that allows us to keep looking for new adventures – Oprah Winfrey

සුප්‍රසිද්ධ ඇමරිකානු මාධ්‍යවේදීනිය ඔප්‍රා වින්ෆ්‍රේ මේ විදිහට කියනවා. ජිවිතේ මනුස්සයෙක්ට තමන්ට තියෙන හැකියාව විශ්වාස කිරිම තුළ ඔවුන්ට ඔවුන්ගේ ජිවිතේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය ලැබෙනවා කියලා.

ජිවිතේ කාගෙවත් ඉදිරියේ අසරණ නොවෙන්න තමන්ගේ ආත්මාභිමානය රදවාගන්න, සසදන්න යන්න එපා. සැසදෙන්න යන්නත් එපා. ඔබ ඔබම වෙන්න. අනිවාර්යයෙන්ම වටේ ඉන්න පිරිසගෙන් පරිස්සම් වෙන්න..

තව පුංචි උදාහරණයක් ගේන්නම්. මී හරක් රංචු පිටින් එලියට ආවට සිංහයා එලියට එන්නේ තනියම හෝ තුන් හතර දෙනෙක් වගේ පොඩි පිරිසක් එක්ක. ඒ නිසා තමන්ගේ ආත්මාභිමානයට බිංදු දාන්න පුළුවන් කියලා හිතෙන පිරිසගෙන් ඈත් වෙන්න. තමන්ට කොන්ද කෙළින් තියන් ගෞරවය හා විශ්වාස ඇතුව වැඩ කරන්න පුළුවන් මිතුරන් නැත්තං තනියම හෝ ඔබේ ගමන යන්න.

තවත් දෙයක්. ආත්මාභිමානය කියන්නේ මමත්වය නම් නෙවෙයි. ආත්මාභිමානය තුළදි තමන් අනෙක් අය සමග සැසදීමකට හෝ සසදන්නට යන්නේ නෑ. තමන් තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ ඉලක්කය කරා යාමයි සිදුවන්නේ.

ඔබ ඔබව විශ්වාස කරන්න. වැඩ කරන්න. අත්දැකීම් ලබාගන්න. ඔබගේ මාර්ගයේ යන්න. ඔබ ඔබගේ ගෞරවය, විශ්වාසය තුළින් ජයග්‍රහණය කරන්න.

ඔබට ජය…



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....