යලි ඉපදෙන නැදුන්ගමුවේ රාජා
පසුගිය සතියේ අපි හැමෝටම අහන්න ලැබුණේ හද සසල කරන ආරංචියකි. ඒ තමයි අවුරුදු 15 ක් අඛණ්ඩව මහනුවර දළදා මාළිගාවේ පෙරහැර කරඩුව වැඩමෙව් හස්ති රාජයාගේ හදිසි නික්ම යෑමේ පුවතයි. ඒ ගැන පුවත්පත්, රූපවාහිනිය, ගුවන් විදුලිය, සමාජ ජාලා මාධ්‍ය හරහා ඒ සැනින් පැතිර ගිය ඇසුවන් සිත් සසල කරන පුවතක් වුණි.
නැදුන්ගමුවේ හස්ති රාජයා ගැන අටුවා ටීකා කියන්නට අවශ්‍ය නොවේ. අපි හැමෝම මේ වෙද්දී ඒ ගැන ගොඩක් තොරතුරු දැනගෙන සිටිනවා. ජාතික උරුමයක් ලෙස ජනාධිපතිතුමා විසින් නම් කළ නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කරන බවද අපි දනිමු. ඒ ක්‍රියාවලිය සිදුවන්නේ කොහොමද කියලා අපි හොයලා බලන්නට තීරණය කළා. මේ විදියට සංරක්ෂණය කළ තවත් සද්ධාන්තයෙක් සිටිනවා. ඒ තමයි මාළිගාවේ රාජා. දළදා මාළිගාවට ගියොත් අපි හැමෝම බලන්නට යන රාජා තමයි දකුණු ආසියාවේ ප්‍රථම ජීවමාන අනුරුව විදියට 1988 දී සංරක්ෂණය කළේ.
කිසියම් සතෙකු සංරක්ෂණය කිරීමේ වගකීම පැවරී තියෙන්නේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා අංශයටයි.
මේ ක්‍රියාවලියේදී මුලින්ම කරන්නේ සම ඉවත් කිරීමයි. නැදුන්ගමුවේ රාජාගේ සම මේ වෙද්දී ඉවත් කර අවසන්. මේ සදහා පැය 48 වගේ කාලයක් ගතවී ඇත.
මේ කාර්යය ඉක්මනින් වගේම ඉතාම සීරුවට දැඩි කැපවීමකින් කරන්න ඕන වැඩක්. ඉන්පසුව සම නරක් නොවෙන විදියට පිරිසිදු කරන්න අවශ්‍යයි. මේ සදහා දින 10ක් පමණ ගතවේ. ඉන්පසුව සතාගේ භාහිර ස්වරූපය ඉස්මතු වෙන විදියට සැකිල්ල සදා ගනී. අපි මෙතැන ඉදන් කතා කරන්නේ මාළිගාවේ රාජාව සංරක්ෂණය කළ ආකාරයයි.
මොකද ඒ පිළිවෙළටම අපේ නැදුන්ගමුවේ රාජාත් සංරක්ෂණය වනු ඇත. මේ ක්‍රියාවලිය කියන තරම් නම් ලේසී නෑ. ඉතාමත් සීරූමාරුවට විශාල පිරීසක් සහාභාගි කරගෙන මාස 06 කට ආසන්න කාලයක් වගේ ඇදෙන ලොකු වැඩක්.
අද මාළිගාවේ දක්නට ලැබෙන රාජාගේ අනුරුවක් නිර්මාණය කරන්න ඕන කියන අදහස මුලින්ම ආවේ එවකට ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාටයි. 1988 ජුලි 16 වෙනිදා මියගිය රාජාගේ සංරක්ෂණ කටයුතු ඉතා ඉක්මනින් කිරීමට අවශ්‍ය වුණි. රාජාගේ ශරීරයේ නිවැරදිව මිමී ගතකොට ඉන්පසුව සම හා සංරක්ෂණයට අවශ්‍ය ශරීරයේ කොටස් විච්ඡේදනය කරගෙන කොළඹ කෞතුකාගාරය වෙත රැගෙන ආවේය.
සංරක්ෂණ කාර්ය මණ්ඩලය විසින් රාජාගේ අවදියේ හැසිරිම, ඡායාරූප, විඩියෝපට ආදී සියල්ල පිළිබද හොදින් අධීක්ෂණය කරන්නට විය. එයට හේතුව හැමෝටම මතක මාළිගාවේ තරුණ රාජා ප්‍රතිනිර්මාණය කරමු යැයි යෝජනාවක් ගෙනා නිසාය.
එලෙස යෝජනා කළේ එවකට දියවඩන නිළමේ ලෙස කටයුතු කළ නෙරන්ජන් විජේරත්න මහතාය.
වරායේ කොළඹ කෞතුකාගාරයට ගෙනා මාළිගාවේ රාජාගේ ශරීර කොටස් ප්‍රතිබවනය හෙවත් කුණුවීමට ප්‍රථම නැවත සියුම්ව විච්ඡේදනය කිරීම සිදු කළේය. ඇතාගේ සම්පුර්ණ ශරීරය ආවරණය කළ සම, කකුල් හතර හා හිස මෙහිදී විශේෂ රාසායනික ක්‍රියාවලියකට ලක් වූ කොටස් එකින් එක වෙන් නොවන සේ මේ සියල්ල රැගෙන ආවේය.
ඉන්පසුව ආකෘතිය සෑදු පසු සවී කිරීම සදහා ඇත් රජුගේ දළ යුගලය ආරක්ෂා සහිත විශේෂ ස්ථානයක තැබුවේය. හිස් කබල ද එසේ හිස් කබලේ සම විච්ඡේදනය කොටගත් පසු සෙසු පේශී කොටස් දියවී යාම පිණිස වළ දැමීම සිදු කළේය. එසේ සිදු කරන්නේ ආකෘතිය සෑදු පසු නැවත ලබා ගැනීම සදහායි.
පාදයේ පතුල්, සතාගේ උඩුතොළ, යටිතොළ, හොඩවැලේ කෙළවර ඉතා සුක්ෂමව නිමාව ආරක්ෂාකොට විච්ඡේදනය කළ යුතු වුණේය. ඇස් දෙක හා ඇහිබැමත් එසේමයි.
තුනී කරගත් ඇත් සම පොටෑසීයම් ඇලුමිනියම් සල්පෙට් ජලීය ද්‍රාවණයක ගිල්විය යුතු විය. ඇතාගේ උස තරමටම නිර්මාණය කළ ලොකු ටැංකීයක් මේ සදහා භාවිතා කළේය.
දවස් තුන හතරකින් සම පරීක්ෂා කරන විට ඒ සමේ කෙදී වැවෙන්නට පටන් අරන් නම් එයින් හැගවෙන්නේ හම කුණු වෙන බවයි. එලෙස වී ඇත්නම් විශේෂ ප්‍රතිකාර කිරිමට සිදුවේ. එසේ කෙදී වැවී නැත්නම් ක්‍රියාව සාර්ථකයි.
ඊළගට තියෙන ලොකුම වැඩේ තමයි මේ සම පණුවන්ගෙන් ආරක්ෂා කරගැනීමයි. ඒ වෙනුවෙන් යාන්ත්‍රික විදුලි පංකා ක්‍රියාත්මක කළ යුතු විය.
මාළිගාවේ රාජා
සති දෙක තුනකට පසුව ද්‍රාවණයෙන් ඉවතට ගන්නා සම මද පවනේ වියළා ගත යුතුයි. මේ සම අවශ්‍ය පමණට වියළුනුවිට පපඩමක් වගේ ස්වාභාවයක් ගනී. මේ ද්‍රාවණය නිසා සතාගේ සම දුර්වර්ණ වීමක් සිදුවේ. රාජාගේ වියළාගත් සම විශාල බසයකින් ඉන්පසු මහනුවර මගුල් මඩුව බලා ගෙන ගියේය.
මුලින්ම ඇතාගේ අරගත්ත මිම්මට අනුව පාදමක් සකස් කරගත්තේය. ඒ පාදම උඩ යකඩවලින් ඇතාගේ ආකෘතිය සාදාගැනීම සිදු කළේය. ආකෘතිය සාදන විට විශේෂයෙන්ම සැලකිලිමත් වෙන කරුණක් වූණේ කොදු නාරටිය අතිශය නම්‍යශිලීව නිර්මාණය කිරීමට හා ඇතාගේ ඔළුව සහ දළ දෙක සමබරව සවී කිරීමයි.
මාළිගාවේ රාජාගේ නිර්මාණයේදී කකුල්වල හැඩය ගත්තේ ප්‍රතිජිවණය කරන ලද කොහු පුරවලාය.
ඊළගට අර කලින් වළදාපු හිස් කබල එළියට අරගෙන ඒකේ ඇතුළේ තියෙන මස්තිෂ්ක සෛල සුද්ද කළේය.
අර පරිස්සමින් තියලා තියපු දළ යුගලය අරන් හිස් කබලට නිවැරදිව සවි කළේය. බොල්ට් ඇණ මේ සදහා භාවිතා කළේය. ඊළගට හිස ආකෘතිය සම්බන්ධ කිරීම සිදු කළේය.
ඇතාගේ ආකෘතිය පිරවීමට යොදා ගත්තේ ප්ලාස්ටර් පැරිස් ඇස්බැස්ටස් මිල් බොර්ඩ් කෙමි පිලික්ස්ගම්ය. මේ මිශ්‍රණය එකතු කළ මිශ්‍රණය ආලේප කළාම එළියට පෙන්නේ සුදු ලාට ඇතෙක්. ඊට පස්සේ අර වේලාගත් සම විච්ඡේදනය කරද්දී කැපුම් තල වැදි සිදු වූ පළුදු සිදුරු මකන්නට මුළු සමටම කළු ලැකර් ආලේප කර, නැවත පොටෑස් ඇලම් ද්‍රාවණයේ ගිල්වා වෙළෙන්නට කලින් රැගෙන ප්‍රවේසමෙන් ඇතාගේ සම ආකෘතියට සවි කළ යුතුයි. පිත්තල ඇණ වලින් ඇදලා හදපු අනුරුව යට පැත්තෙන් සම සවි කළේය.
ඊළගට ආකෘතියේ හිස සමබර කිරීම භාරදුර කටයුත්තක් විය.
වැඩිම කාලය ගතවුණේ සතාගේ චර්මය තිර කිරීමටය. ඒ සදහා මාස දෙකක් පමණ ගත වී ඇත. සියළුම තාක්ෂණින දැනුම, ශ්‍රමය ලාංකීය ශිල්පීන්ගෙන් ලැබුණි.
මාළිගාවේ රාජා
මාලිගාවේ රාජා හදන්නට අත්තිවාරම දැම්මේ ජේ.ආර් ජයවර්ධන මැතිතුමාය. ඉන්පසු එයට අදාළ ප්‍රතිපාදන වෙන් කරන විට සිටියේ ප්‍රේමදාස ජනපතිතුමාය. අන්තිමට 1989 දෙසැම්බර් දොළොස් වෙනිදා මෙම ආකෘතිය විවෘත කළේ අගමැති ඩී.බී. විජේතුංග මහතාය. මේ කාර්යය සුළුපටු එකක් නම් වුයේ නෑ. කාර්යය මණ්ඩලය 25 – 50 අතර පිරිසකගේ ශ්‍රම දායකත්වයක් මේ සදහා ලබා ගැනීමට සිදු විය.
මෙන්න මේ විදියට තමයි මාලිගාවේ රාජාව සංරක්ෂණය කිරීම සිදුවිය. මේ ක්‍රියා පටිපාටියටම අපේ නැදුන්ගමුවේ රාජාගේ සංරක්ෂණය කටයුතු සිදු වන බව කිව යුතුයි.
නැදුන්ගමුවේ විජය රාජා
මාළිගාවේ රාජා ඇතාගේ සජිවි ආකෘතිය නිර්මාණය කළ ශිල්පීන් අතර ප්‍රමඛ අයෙකු වූ අදට ජිවතුන් අතර සිටින එකම සාක්ෂිය වන ගාමිණි කුමාර විතානගේ මහතා විසින් සති අන්ත පුවත්පතකට ලබා දුන් තොරතුරු අනුසාරයෙන් මේ ලිපිය සැකසී ඇත.