මනෝකාය හදුනා ගනිමු
මෙතෙක් විද්‍යාඥයින්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් විසින් මියගිය පසු නැවත ස්වභාවිකව යළි පණ ලැබූ අයගේ අන්තර් කාල සීමාව පිළිබඳව දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වා තිබේ. මේවායේ ප්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය, මිනිස් සිරුර හැර යෑම සහ ප්‍රාණය යළි ලැබීමේදී එය යළි සිරුර කරා පැමිණේය යන්නයි.
මිනිසා තම වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි බුද්ධියෙන් ඉන්නා බැවින් පර්යේෂකයන් බහුතරයක් තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවය.
නමුත් ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි පුද්ගලයින් පවසා ඇත්තේ සිය සිරුරෙන් පිටත ගත කළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතුවිලි, දසුන් හා අත්දැකීම් හෝ ඔවුන් විසින් අත්දුටු අවස්ථා බොහෝ අඩු බවකි.
@elearninglk
අධිමානසික විද්‍යාඥයින් දැනට පිළිගන්නා මතය වන්නේ මරණාසන්න අත්දැකීමකදී භෞතික සිරුරින් බැහැර වන මනෝකාය හෙවත් ඇස්ට්‍රල් සිරුර සතුව ඇස්, කන්, නාසාදී පසිඳුරන්ද ඇති බැවින් එම පසිඳුරන් ඇස්ට්‍රල් සිරුරක් ලෙස හැදින්විය හැකි වන්නේය යන්නය. උපතින්ම අන්ධ භාවයෙන් යුතුව කිසිදිනෙක ලෝකය දැක නැති, ජන්මයෙන්ම අන්ධ වූ පුද්ගලයන් කිහිප දෙනෙකු හදිසි හදවත් රෝග වලට ලක්වූ සිරුරෙන් බැහැරව සිටි කාලය තුළදී ලැබූ මරණාසන්න අත්දැකීම් කිහිපයක් පිළිබඳ විස්තර රාශියක් ඇත.
ජන්මයෙන් අන්ධභාවයට පත්ව සිටී රෝගීන් මරණාසන්න වී, සිරුරෙන් බැහැරව, තමන් අවට සිදුවන දෑ දැකීමට හැකිවූ බවට සත්‍ය තොරතුරු රාශියක් ඉතා නිවැරදිව විස්තර කිරීමට සමත් වූහ. එයින් ආචාර්යවරුන් මවිතයට පත් විය. උපතින්ම අන්ධභාවයට පත්ව සිටි මෙම රෝගීන්ගේ භෞතික සිරුරේ භෞතික ඇස් තුළින් පෙනීම නොලැබෙන බව ස්ථීරව පැවසිය හැකි නමුත් ඒ අය සිරුරෙන් බැහැරව සිටි අවස්ථාවේදී අවට සිදුවන සියලු දේ දැක බලා ගත්තේ කෙසේද යන ගැටලුව මෙහිදී මතුවෙයි. රෝගියාගේ භෞතික සිරුරින් බැහැර වූ සියුම් සිරුර සතු ඇස්ට්‍රල් දෙනෙත් භාවිතයෙන් අවට සිදුවන දේ දුටු බවත්, දෙසවන් මගින් අවට සිදුවන කතාබහ ආදිය අසා සිටි බවත් නිගමනය කිරීමට වෛද්‍යවරුන් හට සිදුවිය.
එසේම මිනිසෙකු මරණයට පත් වීමෙන් පසු ශරීරයෙන් යමක් වන්නේය. මරණාසන්න අවස්ථාවේදීද භෞතික ශරීරයෙන් යමක් ඉවත්ව අවට සිදුවන සිදුවීම් සහ ශල්‍යාගාර මේසය මත වැතිර පවත්නා තමාගේ සිරුර දකිමින් අවකාශය තුල සැරිසරමින් සිටින්නේය.
මෙය මිනිසා පරණ ඇඳුමක් ඉවතලා අලුත් ඇදුමක් අදින්නාක් මෙන් මරණයේදී පංචස්කන්ධය හැර දමන ආත්මය නැවත උපතක් ලැබීමේදී නව පංචස්කන්ධයක් හෙවත් නව සිරුරකට පිවිසෙන්නේ ය. එබැවින් මරණයේදී ආත්මය සිරුර හැර දමා ඉවත් වන්නේය. එසේ ඉවත් වන්නේ ආත්මයද? විඤ්ඤාණයද? මනෝකායද? යන්න පිළිබඳ යම් යම් මතභේද ඇති බව සඳහන් කළ යුතුයි.
කෙසේ වූවත් භෞතික සිරුරට පරිබාහිරව යම් ආකාරයක පැවැත්මක් ඇති යමක් මිනිසා වෙත පවතින බව අපට පිළිගැනීමට සිදුවේ. හදිසි හදවත් රෝගයක් වැළඳීම නිසා හදවත ක්‍රියාවිරහිතව සිටි කාලය තුළදී තමන් සිරුරෙන් බැහැරව අහසේ පාවෙමින් සිටි ආකාරයත් එම කාලය තුළ උමගක් වැනි දෙයක් තුළින් ගමන් කළ අන්දමත්, කෙළවර වූ විශාල ආලෝකයක් සහිත ප්‍රදේශයකදී තමන්ගේ මියගිය කිට්ටු ඥාතීන් හමුවී ඔවුන් සමඟ කතාබස් කළ අන්දම රෝගීන් බොහෝමයක් විසින් විස්තර කරනු ලැබ ඇත.
හදවත් රෝගියෙකු තම වෛද්‍යවරයා සමග පසුව පැවසුවේ ශල්‍යකර්මයට සහභාගීව ඉතා කාර්යක්ෂමව ක්‍රියා කරමින් සිටි වෛද්‍යවරයාගේ පැලඳ සිටි කබායේ ගසා තිබූ පෑනක් බිමට වැටී ශල්‍යාගාරයේ අල්මාරියක් යටට විසි වී යන අන්දම තමා අහසේ පාවෙමින් නිරීක්ෂණය කළ බවය. ඒ පිළිබඳව ඉමහත් සේ විශ්වාසයට වෛද්‍යවරයා පත් වූයේ තමන්ගේ නැති වූ පෑන ශල්‍යාගාරය තුළ ඇති අල්මාරිය යට බිත්තියක් අසලට වී තිබී සොයා ගැනීමෙන්ය.
මරණාසන්න අත්දැකීමකට මුහුණ දුන්න සෑම රෝගියෙකුම පාහේ තම වෛද්‍යවරුන්ට කී වැදගත් කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැක.
1. මරණයට ඇති බිය මේ වන විට මුළුමනින්ම පාහේ පහව ගොස් තිබේ.
2. මරණයට පත්වීම ඉතා වේදනා ගෙන දෙන අත් දැකීමක් නොව, ඉතා පහසු, සරල හා සුවදායක අත්දැකීමක් වේ.
3. ජීවිතය මරණය සමඟ කෙළවර වීමත්, ජීවිතය උපතක් සමඟ ආරම්භ වීමත් ස්ථීරවම සිදු නොවේය යන්නයි.
අපේ භෞතික ශරීරය තුළ ඊට සමාන්තරව පවතින අදෘශ්‍යමාන සියුම් ශරීරයක් මරණයෙන් පසුව පවා ක්‍රියාත්මක වන බවත්, අපේ මාංශමය සිරුරට හේතු වූ භෞතික සහ මානසික ශක්තිය මත ක්‍රියාත්මක මේ සිරුර අපේ ශක්ති ශරීරය ලෙස හැඳින්විය යුතු බවත් අධිමානසික විද්‍යාවේද පිළිගැනේ.
ඈත අතීතයේ සිටම ශුද්ධවන්තයින්ගේ හා මුනිවරුන්ගේ හිස සහ සිරුර වටා සලකුණු කළ ප්‍රභා මණ්ඩලය මෙවැනි ශක්ති ශරීරයක සේයාව විය හැකිය. මෙවැනි ශරීර ගැන බුද්ධ දේශනාවෙහි සඳහන් වන බවත් ඇතැම් සූත්‍ර දේශනාවල දැක්වෙන මනෝකාය අපේ මේ ද්විතීක ශරීරයම බවත් විමර්ශකයෝ කියති. අවශ්‍ය පමණ අවධානය නොලැබූ මනෝකාය ගැන බුදු දහමේ එන සාමාඤ්ඤපල සූත්‍රය, සකුළුදායි සූත්‍රය, පොට්ටපාද සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය ආදී සූත්‍ර ගණනාවකම විස්තර කර තිබේ.
ඉද්ධිවිධ අභිඤ්ඤාවේදී භාවිතා වන්නේද මනෝකායේ මානසික නිර්මාණයක් බව පෙනේ. මනෝ ලෝකයේ සැරි සැරීමට අපිට මේ දැනුත් හැකිය. භාවනා යෝගියාගේ භාවිත සිත කැමති රූප නිර්මාණයකට යෙදීමේ අභිඥාන ශක්තිය සහිත සිතකි. මනෝමය කයක් මවන වෙනත් භික්ෂූන්, සමාන ශරීර අතලොස්සක් මවද්දී… චුල්ල පන්ථක හිමියන් නොයෙක් වැඩ වල යෙදුණු තමන්ගේ රූපය සහිත ශ්රමණයන් දහසක් මනෝකායෙන් මැවූ බව මනෝරථ පූරණී අටුවාවේ සඳහන් වේ. බුද්ධ දේශනාවෙත් අටුවා වලත් බෙහෙවින් සඳහන් මනෝකාය නූතන අධිමානසික විද්‍යාව කියන ශක්ති ශරීරයම බව පැහැදිලි ය.
එහෙත් බැලූ බැල්මට ආත්මයක් හෝ ඊට සමාන ගතියක් ලෙස මනෝකාය නොගත යුතුයි. මානසික ධර්මතා, භෞතික ධර්මතා වලින් වඩා වේගයෙන් වෙනස් වන බව බුද්ධ දේශනාවයි. මනෝකාය එය දරන සත්වයා සේම අනිත්‍යය ය. දුකය. අනාත්මය. බුදු දහමෙහි මනස විග්රහ වන්නෙත් සත්වයා තුළ ක්‍රියාත්මක කය තුළ ක්‍රියාත්මක මනෝමය කයක් දකින්නෙත් ආත්ම පදාර්ථය පිළිනොගන්නා නිසාය. අන්තන්තරාභවය සහ මනෝකාය පිළිගැනීමට බොහෝ බෞද්ධයන් බිය වන්නේ ආත්මවාදයට බියෙනි. එහෙත් දැන් අප අනිත්‍ය නම් අන්තරා භවිතයෙකු හෝ අනිත්‍ය මනෝ කායිකයෙකු ලෙස පිළිගැනීමට බිය විය යුතු නොවේ.
මනුෂ්‍යය ශරීරය තුළ පමණක් නොව ගස්වැල් තුළ පවා සැඟවුණු ද්විතියික පැවැත්මක් රුසියානුවෙක් සොයාගත් කිර්ලියන් ඡායාරූප වලින් සනාථ වෙයි. කිර්ලියන් ඡායාරූප අනුව භෞතික ශරීරයේ අත් කැපුවද මනෝකාය අත් සහිතව පෙනී සිටියි. යම් තැනැත්තෙකු මියගිය පසු එම වයසේ එම සම රූපකායන්ම පෙනී සිටින භූතාත්මය යනු මියගිය තැනැත්තාගේ මනෝකායමය. උපාදාන පච්චයා භවෝ යන පටිච්ච සමුප්පාද දේශනාවේ භවය යනු අන්තරාභවය යනුවෙන්ද තේරුම් කළ හැකි යැයි මෙහි කලින් සඳහන් විය.
අපේ මරණයෙන් පසු පවතින මනෝකාය අපේ අන්තරාභවයයි. අන්තරාභවය උපතක් නොවේ. අන්තරාභවයේ සිටින්නේ මිය යද්දී සිටි සත්වයාමය. මේ අතුරු අවස්ථාවය. සැබෑ පූර්වජන්මය සොයා ගැනීමේ සත්‍ය අවස්ථාවකි. ථේරවාදය තුළ තිබූ බොරු ආත්මවාදී බය නිසා මේවා මෙතෙක් සැඟවී තිබුණු බව කිවයුතුය.
මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් සහ මහාචාර්ය රේමන් මූඩි යන අධිමානසික විද්‍යාඥයන් දෙදෙනා විසින් කරන ලද මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ අනුව හදිසි අනතුරු සහ බරපතල ශල්‍යකර්ම වලදී පුද්ගලයා තාවකාලික මරණයට පත්වෙද්දී, මනෝකාය ඊට අයිති කරජකාය හෙවත් දේහය දෙස අහසේ සිට බලා සිටි අයුරු පිළිබඳ රසවත් තොරතුරු දැන් අනාවරණය වී තිබේ.
අප දැන් ගෙවන අනිත්‍යය සහ අනාත්ම ජීවිතයේම මරණින් එහා සැඟවුණු කොටස දැන් තිරගත වේ. මරණින් පසු එන නිසා පමණක් මෙය නිත්‍ය ආත්මයක රංගනයක් කර නොගත යුතුය. මේ වනාහී වර්තමාන රංගනයේම තවත් කොටසක් මිස අන් කිසිවක් නොවේ. මෙතැනදී අප ගෙවන්නේ දෙවියන් වහන්සේ දුන් නිත්‍ය ආත්මයක තාවකාලික කොටසක් නොව අගක් මුලක් නැති සංචාරක ජීවිතයක් බව තේරුම් ගත යුතුයි. මේ ජීවිතය අපට දැන් විශේෂ නිසා එය සසරින් වෙන් කරගෙන සිතන්නට මනෝකාය ආත්මයකට සමාන මහා අරුමයකි. වෙනත් වචන වලින් කියතොත් මේවායේ මේ අපූරු වෙනස ඒවා අපට නුහුරු අත්දැකීම් වීමය.
වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් හා මනෝ විද්‍යාඥයින් විසින් මිය යාමෙන් පසුව ස්වභාවිකව යළි පණ ලැබූ අයගේ අන්තර් කාල සීමාව පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වා තිබේ. එම පරීක්ෂණ වල ප්‍රතිපලය වූයේ මරණය යනු ද්විතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර දමා යෑමකි. ප්‍රාණය ලැබීමේදී සිදු වන්නේ එය යළි සිරුර කරා පැමිණීමය. සිය වැරදි සහගත හැගීම් හා අතපසුවීම් කෙරෙහි මිනිසා හොඳ සිහි බුද්ධියෙන් ඉන්නා බැවින්ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවයි.
ශරීරයෙන් පිටතට ගොස් නැවත පැමිණියවුන් පවසනුයේ එසේ සිය සිරුරෙන් පිටත ගත කළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි, දසුන්, අත්දැකීම් හෝ තමා විසින්ම අත්දුටු අවස්ථා විරල බවය. මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහාය වන බියජනක එකී සිතුවිලි ගැන Death Encounters නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් ය.
” එය ළදකගෙ කතාවකි. ඇය යළි පැමිණි විට කීවේ ‘මා හිතුවේ මා මැරිලා කියලයි. මා නම් සිටියේ මහා නරකාදියක’. ඇගේ දෙනෙත් බියෙන් ගැහෙමින් තිබිණි. ‘දෙවියනේ මම හිතුවේ මම ඉන්නේ අපායක’ කියලයි. අප ඇය සැනසූ නමුත් ටික වෙලාවකින් ඇය මේ අපායේ අත්දැකීම් ගැන අපට කීවාය. දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම් වලින් ඇගේ සිත පිරී තිබිණි. අවජාතකව ලැබූ දරුවන් මෙන්ම විවාහ ජීවිතයෙන් පරිබාහිරව ඇය රහසේ ගෙන ගිය අනියම් සබඳතා පිළිබඳවද කෙළවරක් නැතිව අනාවරණය විය. ”
කෙනෙකුට සිය සිරුර ගැන ඇති දැඩි ආශාවද මරණින් පසු යළි ජීවිතයක් ලබන්නට පිහිට වෙයි. භුමදානයේදී හෝ ආදාහනයේදී විය හැකි ශාරීරික හානි හෝ අවයව ඉවත් කර ගැනීම් පිළිබඳව නැගෙන සිතුවිලි මතද මේ ගැන අවබෝධය ඇති පුද්ගලයාට නම්, ක්ෂුද්‍ර ශරීරයේ සිට යළි පියවි ලෝකයට එන්නට ඇති ඉඩකඩ ඉතා වැඩියි.
මලවුන් සමඟ කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණ වලදී විද්‍යාඥයන්ට දැනගන්නට ලැබුණේ ඒ අය බොහොමයක්ම සිය අවමගුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි. මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍යය නිගමනය මෙසේය.
තවදුරටත් ගෙන යා නොහැකි තත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි. කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙන ආ විට මනෝකාය සිරුරට එයි (නැවත පදිංචියට පැමිණෙයි). නිතරම සිරුර, තමා හැර යන මනෝකායේ පැමිණීම අපේක්ෂාවෙන්ම සිටියි.
මෙලොව අපගේ යුතුකම් බොහෝ බැවින්ම, ඒ ලොවේ අපට සුභ පතන්නෝද යළි අපට මෙම ලොවටම එන්නට උදව් කරති. විටෙක ඒ ලොවේ මනෝකායන් ආගන්තුක පුද්ගලයා නවත්වා ගැනීමට උත්සාහ කළද, දරුවන්ට හා අන් අයට ඉටුවිය යුතු යුතුකම්, වගකීම් හා බැදීම් මතක් කර දෙමින් ආගන්තුකයා යළි යැවීමට නොහොත් එවීමට උත්සුක වෙති.
සමාධිය, ධ්‍යානය, අසිහිය, ප්‍රමෝදය, සුවය ආදී තත්වයන් තුළදී ප්‍රාණය ශරීරය හැර ගියත්, එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත. එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ. මෙම හුය පියවි ඇසට නොපෙනේ. සිරුරක මිනිස් රශ්මි මාලාව, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි. මරණයක් සිදු වූ වහාම මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කරගත හැකිය.
මනෝකාය විවිධ නාමයන්ගෙන් හැදින්වෙයි ඒවා මෙසේය.
* ක්ෂුද්‍ර දේහය – Astral Body
* ද්විතීය ශරීරය – Secondary Body
* ජීව ප්ලාස්ම සිරුර – Bio Plasma Body
* බලශක්ති සිරුර – Energy Body
* අප්‍රකට ශරීරය – Subtle Body
* ප්රතිරූප ශරීරය – Counter Part Body
* දිව්‍යමය සිරුර – Ethical Body
* ජීවය (ප්‍රාණය) – Spirit
* ආත්මය – Soul
මෙතෙක් ලොව පහළ වූ ආගම් මෙන්ම විද්‍යා ශිල්ප විසින්ද මෙයට ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිය. මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි. එනම් මනෝකායයි. මනෝකාය මුළුමනින්ම සංවේදී කයකි. මනෝකායට සියල්ල පෙනෙයි. සියල්ල ඇසෙයි. සියල්ල දැනෙයි. ඕනෑම තැනකට වේගයෙන් පාවී යා හැක. කඳු, හෙල්, ගස්වැල් බාධක නොවේ. මේ වනාහි අප දන්නා දිග, පළල, උස යන ත්‍රිමාන තලයට වෙනස් තලයකි.
අපට නොතේරෙන දේවල් නැතැයි කීම මෙතෙක් පැවති උගත්කමය. එහෙත් දැන් අපට නොතේරුනු පලියට නැතැයි නොකියා නිහතමානි ලෙස අපේ දන්නා තරම සහ නොදන්නා තරම තේරුම් ගැනීම වඩා හොඳය. දිවැස සහ දිවකණ මේ ඇසේම, මේ කණේම විඤ්ඤාණය ප්‍රබල කිරීමකි.
පරචිත්ත විජානනය පුද්ගලයන්ගේ හැසිරීමෙන් අපටම සිතාගත හැකි නම් ඊට වඩා පුහුණු කළ සිතකින් එය ඊට වඩා හොඳින් කළ හැකි විය යුතුය. අධිමානසික මේ හැකියාවන් සත්‍ය නම්, අධිමානසික විද්‍යාව නිවැරදි නම්, මනෝකාය අපේ පංචෙන්ද්‍රියට වඩා අපූරු ශක්ති ශරීරයක් හෙවත් ඇස්ට්‍රල් ශරීරයකි.
සටහන
මෙය, බොරලැස්ගමුව රත්තණපිටිය පරමධම්ම වැඩිහිටි සංගමයේ ත්‍රෛමාසික සගරාවේ මංගල කලාපය වෙනුවෙන් 2015 වසරේදී සම්පාදනය කරන ලද ලිපියකි.
ප්‍රධාන මූලාශ්‍ර
01. අග්ගඤ්ඤ සූත්‍රය (බෞද්ධ සූත්‍ර)
02. Death Encounters – Charles Fiore (ග්රන්ථ)
03. විශ්මිත විශ්වය සිසාරා : චාමික මුණසිංහ (ග්රන්ථ)
04. අපට නොපෙනෙන ලෝකය : 01 කොටස – මතුගම මහින්ද විජේතිලක (ග්රන්ථ)
05. අපට නොපෙනෙන ලෝකය : 02 කොටස – මතුගම මහින්ද විජේතිලක (ග්රන්ථ)
06. අපට නොපෙනෙන ලෝකය : 03 කොටස – මතුගම මහින්ද විජේතිලක (ග්රන්ථ)
07. අපට නොපෙනෙන ලෝකය : 04 කොටස – මතුගම මහින්ද විජේතිලක (ග්රන්ථ)
08. පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොව – පූජ්‍ය බෙල්ලන ඥාණවිමල හිමි (ග්රන්ථ)
09. නොපෙනෙන බලවේගවල රහස් – සජිත් රෝහිත ලියනගේ (ග්රන්ථ)
10. ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන්ගේ අප්‍රකට ලිපි – සමුද්‍ර වෙත්තසිංහ (ග්රන්ථ)