පැන්සලෙන් ඉගෙන ගමු පාඩමක්

පොඩ්ඩක් පුංචි කාලේට ගිහින් එමුද ටික වේලාවකට. මතක් කරන්න බලන්න පැන්සලෙන් අකුරු ලියපු ඒ සුන්දර කාලේ. වැරදෙද්දී මක මකා අකුරු කරපු පුංචි කලේ. ජිවීතේ කවදාවත් අපි හිතුවද පැන්සල අපිට ජිවීතේට පාඩමක් කියලා දෙනවා කියලා. මමත් මේ ටික දැනගත්තේ මේ ළගදී. මටත් හිතුනා මේ දෙවල් ඔයාලාටත් වැදගත් වෙයි කියල‍ා.

පැන්සලෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් හයක් අද මං ඔයාලාට කියලා දෙනවා. බලන්නකෝ මේ ගතිගුණ ඔයාලාටත් තියෙනවද කියලා. යමු අද මාතෘකාවට.

පළවෙනි පාඩම
පැන්සලකින් ලියන්න නම් ඒක අල්ලගන්න අතක් ඕන. තනියම පැන්සලකට නොහැකිය අකුරු ලියන්න. ඒ වගේම තමයි අපි වැඩක් කරන්න යද්දි අපිට හොද සහයෝගයකින් කටයුතු කරන්න ඉගෙන ගැනීම ඉතා වැදගත්. අපි එම කාර්යය බෙදා ගෙන වැඩ කිරිම තුළ එම කාර්යය සාර්ථක කරගන්න පුළුවන්. සහයෝගයෙන් වැඩ කිරීම තුළින් ඔයාට වගේම ඔයාගේ කාණ්ඩායමට අළුත් දේවල් ඉගෙනගන්න පුළුවන්. සහයෝගය නිසා අමාරු වැඩක් වුවද ඉතා පහසුවෙන් හා නිවැරදිව කිරීමට හැකියාව ලැබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් අපිට දින දහයක යම් කාර්යයත් කිරීමට තියෙනවා. හැබැයි මෙම කාර්යය තව කිහිපදෙනෙකුගේ සහාය අරගෙන කරන්න.

දෙවෙනි පාඩම
ඊළග කරුණ තමයි දිගටම ලියද්දී පැන්සලේ තුඩ මොට වෙනවා, කැඩෙනව‍ා. හැබැයි එහෙමයි කියලා අපිට ලියන එක නවත්තලා දාන්න බෑ. එම නිසා පැන්සල නැවත උල් කරලා පාවිච්චී කරන්න වෙනවා. අන්න ඒ වගේම තමයි අපිත් අපේ ගමන යනකොට අපිටත් ප්‍රශ්න එනවා, වැටෙනවා. හැබැයි අපි එහෙමයි කියලා එතැනම හිටියොත් අපිට ඉදිරියට යන්න අමාරුයි. නැවත අපි නැගිටලා ඒ ප්‍රශ්නවලට හේතු හොයලා ඒවා විසදාගෙන ඉස්සරහට යන්න ඕන. පුංචි පුංචි සිත් රිදිම්, තුවාලවිම් එන්න පුළුවන්. එත් අපි ඒ දේවල් මතම ඉන්න එක සුදුසු නෑ. ඒ විදිහට බැරිනම් වෙන ක්‍රමයකින් අපි අපේ ඉලක්කවලට යන්න ඕන.

තුන්වන පාඩම
ඊළගට අපිට කතා කරන්න තියෙන්නේ පැන්සලෙන් ඉගෙන ගන්න පුළුවන් තුන්වෙනි පාඩම ගැනයි. ඒ තමයි පැන්සලෙන් ලියන විට මොකක් හරි වැරදුනහොත් මකන්න පුළුවන්. එහෙම මකලා නැවත ලියන්න ඕන. අන්න ඒ වගේම තමයි අපි අතිනුත් වැරැද්දක් උනොත් සමාව ඉල්ලන්න වගේම ඒ වැරැද්ද හදාගන්නත් අපි පුරුදු වෙන්න ඕන. අපි 100% නිවැරදි මිනිසුන් නොවෙන නිසා අපෙන් වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒ වැරැද්ද තේරුම් අරන් ඒ වැරැද්ද හදාගන්න එක තමයි බුද්ධිමත් මිනිසෙක්ගේ ලක්ෂණය වන්නේ. අපි ගොඩක් ‍අය කැමති නැති දෙයක් තමයි තමන්ගේ වැරැද්දක් කවුරුන් හෝ පෙන්නලා දෙන එකට. එහෙම පෙන්නලා දෙනකොට හිතන්නේ තරහකට කරනවා කියලා. අපිත් අපෙන් වෙන අඩුපාඩු වැරදි හදාගෙන ජිවිතේ ගොඩදාගන්න ඕන.

හතර වන පාඩම
හතර වෙනි කාරණාව වන්නේ ඔයා තුළ හොද ගතිගුණ පැවතීමයි. මං අහන්නද ප්‍රශ්නයක්? පැන්සලේ තියෙන වටිනාම කොටස මොකක්ද කියලා කියන්න පුළුවන්ද? Options හතරක් දෙන්නම්. එක තමයි එළියෙන් පෙන්න තියෙන හැඩය, දෙක තමයි පාට, තුන තමයි ලී කොටස, හතර තමයි ඇතුළේ තියෙන මිනිරන් කූර. මේ හතරෙන් වැඩියෙන්ම වටින්නේ පැන්සලේ ඇතුළේ තියෙන මිනිරන් කූරයි. අන්න ඒ වගේම තමයි මිනිස්සු විදියට ඇත්තටම මේ පාටවත්, හැඩයවත් එහෙමත් නැත්තම් නමවත් නෙමෙයි වැදගත් වෙන්නේ, මිනිසා තුළ තියෙන හොද ගතිගුණයි. මිනිස්සුවත් පොහොසත්කම්වලින් නිලතලවලින් රැකියාවෙන් ඉහළ වුවත් මිනිස් හොද ගතිගුණ නොමැති නම් ඔහුගේ හෝ ඇයගේ කිසිම වටිනාකමක් නැත. අද සමාජය තුළ සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ මානව ගුණදහම් වපුරන මිනිස්සු ගොඩක් ඉන්නවා. එත් ඇත්තටම ඒ මිනිස්සු බහුතරයකට ඇත්තටම ඒ ගතිගුණ තියෙනවාද කියනෙක එක ප්‍රහේළිකාවක්.

පස් වන පාඩම
පස්වෙනි කාරණාව වෙන්නේ පැන්සලෙන් යමක් ලිව්වම කාලයක් යනකම් ඒ ලියපු දේ ඉතිරි වෙනවා. ඒ වගේම තමයි අපි කරන දේවල්වලත් ප්‍රතිළුල කාලයක් යනකම් නොමැකි තියෙනවා. ඒ නිසා වැදගත්ම දේ තමයි, තමන් කරන හැමදේම කල්පනාවෙන් කරන්න පුරුදු වෙන්න. තමන් කියන කරන දේ දවසක තමන්ට අමතක වෙන්න පුළුවන්. එත් තමා වටේ ඉන්න අයට ඒවා අමතන නොවෙන්න පුළුවන්. සිහිකල්පනාවෙන් වැඩ කරන්න. අනාගතේ දවසක තමන්ට අද කරන වැඩ නිසා ප්‍රශ්නයක් වෙන ආකාරයේ වැඩ කරන්න යන්නෙපා.

හය වන පාඩම
හයවෙනි කාරණාව තමයි පැන්සල හරි කෙළින්. පැන්සල වගේ සෘජුව තීරණ ගන්න කෙනෙක් වෙන්න. එහාට මෙහාට වැනෙන තීරණ ගන්න එපා. තමන් ගන්න තීරණ පිළිබදව වගකීමක් තමන්ට ගන්න පුළුවන් වෙන්නත් ඕන. නිතරම අවංකව වැඩ කරන්න. අද අපි හැමෝටම අද වෙද්දි අපිට කෙළින් තීරණ ගන්න තරම් ශක්තියක් නෑ. ඒ නිසා අපිට ‍විශාල ප්‍රශ්න රාශීයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. පැන්සල අජිවි දෙයක් වුවත් අපිට ඒ නිර්මාණය මගින් ලොකු පාඩමක් ඉගෙනගන්න පුළුවන්.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඉහත කරුණු හය ගැන සැලකිමේදී අපිට අපේ ජිවීතය හදාගන්න ගොඩක් වැදගත් ආදර්ශ රාශියක් කියලා දෙනවා. පැන්සල වගේ පුංචි දෙයකින් අපි කවදාවත් මේ වගේ දෙයක් දැනගෙන හිටියේ නෑ වගේම මේ වගේ අපිට අපි එදිනෙද‍ා භාවිතා කරන භාණ්ඩ රාශියකින් පාඩම් රාශියක් ඉගෙන ගන්න පුළුවන්. මේ කරුණු හය ජිවීතේට අරගෙන තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න ඔබ සැමට හැකියාව ලැබේවා.

තවත් පුංචි දෙයක්… තව දින කිහිපයකින් උසස් පෙළ ලියන්න ඉන්න මගේ නංගිලා මල්ලිලාට පුංචි දෙයක් කියන්නම්. දැන් ඔය‍ාලා ගොඩක් ලොකු පීඩනයක ඉන්න බව දන්නවා. දින ලංවෙන්න වෙන්න තැටිය රත් වෙන්න අරන් වගේ ඉන්න ඔයාලාට පොඩි උපදෙස් ටිකක් දෙන්නම්. පීඩනය අඩු කරගෙන තමන්ගේ ඉලක්ක වෙත යන්න මේ ක්‍රම ටික අතහදා බලන්න.

* වේලාවට සමබර ආහාර වේලාවක් ගන්න. සිනී අධීක ආහාර ගන්න යන්න එපා. එවිට තලබල ලෙස නිදිමත ගතියක් එන්න පුළුවන්.
* සුව නින්දක් ලබා ගන්න. නිදි මරාගෙන පාඩම් කිරිමෙන් ඔබට පාඩම් කරන කිසිවක් මතක හිටින්නේ නෑ වගේම අසනීප වෙන්නත් පුළුවන්. අවසන් දින කිහිපය කාල සටහනකට අනුව පාඩම් කරන්න ගන්න.
* ධනාත්මකව හිතන්න. ඔයා මොන මට්ටමක හිටියත් මේ අවසන් දින කිහිපය ඒ ගැන කල්පනා කර කර මානසිකව වැටෙන්න එපා. පුළුවන් උපරිමය කරනවා කියලා හිතලා වැඩ කරන්න.
* සැහැල්ලුවෙන් ඉන්න. ඇවිදිමින පාඩම් කරන්න. භාවනා කරන්න. විභාග ශාලාවේ විභාගය ආරම්භ කරන්න කලින් තියෙන වේලාවේ පාඩම් කරන්න යන්න එපා. එතැනදි ඔයාලාට පාඩම් කරන්න අමතක වුණු තැන් ගැන හිතට වද දෙන්න ගනිවී. ඒ නිසා විභාගයේදී මතක දේවල් පවා ලියාගන්න බැරි වෙයි.
* තවත් දෙයක් ප්‍රශ්නපත්‍රය ලියා අවසන් වූ පසු නැවත ඒ ප්‍රශ්න පත්‍රය ගැන කතා කරන්න එපා. ඔයාට ලෙසි වුණු ප්‍රශ්න තවකෙකුට අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා සියල්ලන්ගේම මානසික මට්ටම වෙනුවෙන් මේ කාර්යය කරන්න එපා. ඒ ප්‍රශ්නපත්‍රය දැන් ලියා අවසන් නිසා ඒ ගැන අමතක කර ඊළග දිනය සදහා සුදානම් වෙන්න.

මේ පුංචි උපදෙස් ටික ඔයාලාට වැදගත් වෙයි කියලා මං හිතනවා. ඔයාලා හැමෝටම තම තමන්ගේ ඉලක්ක සාර්ථකව ජයගැනීමට ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා මං වගේම eLearning.lk අපේ කණ්ඩායමත් ප්‍රාර්ථනා කරනවා. සුභ පැතුම් හැමෝටම!

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....