අනුරාධපුර යුගයේ රාජ්‍ය පරිපාලනය

අනුරාධපුර රාජධානි සමයේ රාජ්‍ය පරිපාලනය ගැන සාකච්ඡා කරනකොට අධ්‍යනයේ පහසුවට අපිට මේ මාතෘකාව ඉන්දීය සබඳතා, රාජ්‍යත්වය සහ පාලන තන්ත්‍රය කියලා කොටස් තුනකට වර්ග කරන්න පුලුවන්.

01. ඉන්දීය සබදතා
අනුරාධපුර යුගයේ ලංකා ඉන්දීය සම්බන්ධතා ශක්තිමත් වෙන්න බලපාපු ප්‍රධානතම සාධකය තමයි, ලංකාව ඉන්දියාව ආසන්නයෙන්ම පිහිටලා තිබීම. අපේ රටට එල්ලවුණු ආක්‍රමණ සහ සංක්‍රමණ වැඩි හරියක් ඉන්දියාවෙන් එල්ල වුණු ඒවා. විජයාවතරණයේ ඉදලම ඉන්දියාව සමග ලංකාව සම්බන්ධතා ගොඩ නගා ගත්තත් (ලිඛිත මූලාශ්‍ර අනුව), ලංකා ඉන්දීය සම්බන්ධතා ගොඩක්ම ශක්තිමත් වුණේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී. ඒ මෞර්ය රාජ්‍ය සමග ඇති කර ගත්ත සම්බන්ධතා නිසා.

අරිට්ඨ ප්‍රමුඛ දූත පිරිස අශෝක රජතුමා වෙත යවලා තමන්ගේ දේශපාලන ශක්තිය වැඩි කර ගත්ත දේවානම්පියතිස්ස රජතුමා, අශෝක රජතුමා එවපු රාජ කකුධ භාණ්ඩවලින් දෙවෙනි වරටත් අභිෂේක ලබලා, “දෙවනපිය” කියන නාමය භාවිතා කළා. මෞර්ය අභිෂේකය, විරුධ නාම භාවිතය, රාජාණ්ඩු ක්‍රමයේ සමාරම්භය ඇති වුණේ ලංකාව සහ ඉන්දියාව අතර අනුරපුර යුගයේ ඇති වුණු සම්බන්ධතා නිසා කියලා අදහස් කරන්න පුලුවන්.

ලංකාවේ පාලකයන් ආරම්භයේ ඉදලම ඉන්දියාවේ සෑම අධිරාජ්‍යයක් සමගම යහපත් හෝ අයහපත් සම්බන්ධතා ගොඩ නගාගෙන තිබුණා. ඒ අතරින් මෞර්ය, ගුප්ත වගේ රාජ්‍යයන් සමග මිත්‍ර වෙලා හිටියා. ලංකාව සහ ඉන්දියාව අතර ඇති වුණු සම්බන්ධතා දේශපාලනික, ආගමික, ආර්ථික ආදී වශයෙන් අධ්‍යනයේ පහසුවට කොටස්වලට බෙදන්න පුලුවන්.

​දේශපාලනික සම්බන්ධතාවලත් ස්වරූප කිහිපයක් දකින්න පුලුවන්. ​පාලන බලය ලබා ගන්න, පාලන බලය තහවුරු කරගන්න එහෙමත් ඉන්දියාවේ සහාය අරගෙන තියෙනවා. 5 වෙනි මහින්ද රාජ්‍ය සමයේ ඉන්දීය කුලී භට හමුදාවන්ගේ සේවය ලබා ගැනීම, මුගලන් කුමරු විසින් ඉන්දීය හමුදා ආධාරයෙන් කාශ්‍යප රජතුමාව පරාජය කරලා සිහසුන ගැනීම වගේ සිද්ධි උදාහරණ විදිහට ගන්න පුලුවන්.

මුළු ලොවක්ම පිළිගත්ත දර්ශනයක් වුණු උත්තරීතර බුදු දහම සහ බෞද්ධ සංස්කෘතික අගයන් අපේ රටට ඉන්දියාවෙන් දායාද වුණු දේවල්. ඒ, විදේශීය සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහටයි.

බ්‍රාහ්මී අක්ෂර, චිත්‍ර, කැටයම්, මූර්ති, ලේඛන කලාව ආදී ශිල්ප ශාස්ත්‍ර අපිට ලැබුනා. ඒ විතරක් නෙවේ ආහාර පාන, ඇදුම් පැළදුම්, පුද පූජා, සිරිත් විරිත්, ක්‍රීඩා, විනෝදාංශවලින් පරිපූර්ණ වුණු සංස්කෘතියක් ගොඩ නැගෙන්නත් අනුරපුරයේ රජවරු ඉන්දියාව සමග ඇති කර ගත්ත විදේශීය සම්බන්ධතා යම් ආකාරයකට ඉවහල් වුණා.

02. රාජ්‍යත්වය
“දැනට” ලංකාවේ “රාජ්‍යත්වය” කියන සංකල්පය ගැන අපිට පළවෙනි වතාවට අහන්න ලැබෙන්නෙ විජයාවතරණයෙන් පස්සෙ. ඒ, විජයාවතරණයට පෙර අපේ රටේ තිබුණු දේශපාලනික පාලන තන්ත්‍රය ගැන මෙතෙක් විධිමත් ගවේෂණයක් සිද්ධ කරලා නැති නිසයි.

විජය කුමාරයා ලංකාවට එන්න කලින් හැදී වැඩුනු සමාජය තුළ රාජ්‍යත්වය කියන සංකල්පය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වුණා කියන එක කවුරුත් දන්න කාරණයක්. ඒ නිසාම අපේ රට පාලනය කරන කොටත් අපේ රටේ මේ සංකල්පය පවතින්න ඇති. පණ්ඩුකාභය රාජ්‍ය සමයෙදි ලංකාව තුළ රාජ්‍ය පිළිබද සංකල්පය ක්‍රමවත් ලෙස වර්ධනය වෙනවා. එදා ලංකාවේ තිබුණු ක්‍රමවේද අනුව අභිෂේක ලබලා, අග නුවර නිර්මාණය කරලා, රාජාණ්ඩු ක්‍රමය ස්ථාපිත කරනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

​රාජාණ්ඩු ක්‍රමය අපේ රට පුරාවටම සීඝ්‍රයෙන් පැතිරිලා යන්න ගන්නෙ දේවානම්පියතිස්ස රාජ්‍යය සමයේ ඉන්දියාව සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩ නගා ගැනීමත් එක්කයි. මෞර්ය අධිරාජ්‍යයේ ප්‍රධාන ලක්ෂණ රැසක්ම අපේ රටේ රාජ්‍යත්ව සංකල්පයට එකතු වුණා. ඒ අතර මෞර්ය අභිෂේක ක්‍රමය, විරුධ නාම භාවිතය කැපී පෙනෙනවා. බුදු දහමේ ආගමනයත් එක්ක සතර සංග්‍රහ වස්තු, පංච ශීල ප්‍රතිපදාව, දස රාජ ධර්ම, දස සක්විතිවත්, සප්ත අපරිහාණී ධර්ම, සතර බ්‍රහ්ම විහරණ ආදී බෞද්ධ ඉගැන්වීම්වලින් පෝෂණය වෙනවා.

ප්‍රාදේශීය රාජ්‍ය විදිහට වෙන් වෙලා තිබුණු ලංකාව එක්සේසත් කරලා රාජ්‍යත්ව සංකල්පය ලංකාව පුරාවටම ව්‍යාප්ත කරන්න දුටුගැමුණු රජතුමත් සමත් වුණා. බ්‍රාහ්මී අක්ෂරවලින් ලිය වුණු සෙල්ලිපිවල රාජ, මහ රජ, දෙවනපිය, සලමෙවන්, බුධදස, සිරිසගබෝ වගේ විරුධ නාම භාවිතා කරලා සමහරක් රජවරු තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය විදහා දැක්කුවා.

අනුරාධපුර යුගයේ අවසාන සමයේ මහායාන සහ හින්දු බලපෑම නිසා රාජ්‍යත්වය බලවත් සහ සංකීර්ණ සංස්ථාවක් බවට පරිවර්තනය වුණා. ඒ නිසාම රාජ්‍යත්වය සංකල්පයට වැඩි වශයෙන්ම බෞද්ධ ආකල්ප ඇතුළත් වෙනවා.

කෙටියෙන්ම කිව්වොත් රටේ ,
a. විධිමත් පාලනය
b. බුදු දහමේ සුරක්ෂිතතාව
c. ආර්ථික සමෘද්ධිය (සමාජ සුභ සාධනය)
d. රට වැසියාගේ ආරක්ෂාව
e. දේශීය සහ විදේශීය අභියෝග වලින් රට මුදවා ගැනීම
f. ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුව වැඩි දියුණු කිරීම

වගේ කරුණු ගොඩකින් එකට බැදුනු සංකල්පයක් තමයි රාජ්‍යත්වය කියන්නෙ. මේ කරුණු අවුරුදු 2550 ගණනක ඈත අතීතයේ නිර්මාණය වුණත්, අදත් ක්‍රියාත්මකයි. අද අපේ රටේ ව්‍යවස්ථාව නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ කරුණු පදනම් කරගෙනයි.

03. පාලන තන්ත්‍රය
අපේ රටේ පැරණි පාලන තන්ත්‍රය සමස්ථයක් විදිහට ගත්තොත් මුළුමනින්ම රාජාණ්ඩු ක්‍රමයක්. ඒ කියන්නෙ රජ කෙනෙක් යටතේ පාලනය වුණා කියන එක. සමහරක් වෙලාවට රජතුමා ඒකාධිපති ස්වරූපයක් ගත්තත්, රාජාණ්ඩු ව්‍යවස්ථාව ජනසම්මත වෙලා තියෙනවා. අපේ රටේ ආර්යය වංශික රජවරුන් අතරින් පළවෙනි වතාවට රාජාණ්ඩු ක්‍රමය ස්ථාපිත කරන්නෙ පණ්ඩුකාභය රජතුමා. ජන සම්මතයෙන් රාජ්‍යත්වයට පත්වෙලා, අනුරාධපුරයේ ගම් සහ නගර නිර්මාණය කරලා සංවිධානාත්මක පාලනයක් ඇති කළා.

ඒකම ආදර්ශයට අරගෙන එතුමාගේ මුණුබුරෙක් වුණු දේවානම්පියතිස්ස රජතුමත් ඉන්දීය මූලධර්ම අනුව විධිමත් පාලන තන්ත්‍රයක් සකස් කළා. ඉන්දීය පරිපාලන ක්‍රම අනුව අපේ රටේ පරිපාලනය සම්බන්ධ ව්‍යුහයක් සකස් වෙද්දි ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ සහ චතුරංගනී සේනාවේ අණ දෙන්නා විදිහටත් රජතුමාව පත් කෙරුණා.

රජතුමාගේ පාලන කටයුතුවල පහසුවට, රජතුමාට සහය වෙන්න නිළධාරී මණ්ඩලයකුත් හිටියා.​
01. උප රජ
02. සේනාපති
03. භඩගරික
04. දෝහාරික
05. පරුමුඛ
​06. යුව රජ
07. මහා මත්‍ය
08. ලේඛක
09. දණ්ඩනායක
10. මපරුමුඛ
​11. ඈපා
12. මන්ත්‍රී පර්ශධ
13. අසිග්ගාහක
14. ගාමිණී
15. වෙත්සම්දරුවන්
​16. මාපා
17. පුරෝහිත
18. ගමික
19. චත්තග්ගාහක

මේ ව්‍යුහයට ලොකු වගකීමක් පැවරුනා. ඒ තමයි ජනයාට හිත සුව පිණිස කටයුතු කිරීම. පරිපාලනයේ පහසුවට භූමිය එහෙමත් නැත්නම් මහ පොළොවත් කොටස්වලට බෙදලා තමයි පාලනය කරලා තියෙන්නෙ.

01. මධ්‍ය පරිපාලනය (රුහුණු, පිහිටි, මායා)
02. ප්‍රාදේශීය පරිපාලනය (උත්තර, පශ්චිම, ප්‍රාචීන)


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

යුව රජතුමා (උප රජු) විදිහට තෝරා පත් කර ගත්තෙ රජතුමාගේම පවුලේ කෙනෙක්ව. ඒ විශ්වසනීයත්වය නිසා. මධ්‍ය පාලනයට සෙන්පති, පුරෝහිත, භඩගරික, මහා මච්ඡ වගේ ඉහළ තනතුරු දරන නිළධාරීන් ඇතුළත් වුණා. ප්‍රාදේශීය පාලනයත් ක්‍රමවත්ව සිදු වෙලා තියෙනවා. ඒ මධ්‍ය පාලනය ප්‍රාදේශීය පාලනයත් ක්‍රමවත්ව සිදු වෙලා තියෙනවා.

ඒ මධ්‍ය පාලනය යටතේ පාලන බලය විමධ්‍යගත කරලා, ප්‍රාදේශීය පාලකයන්ට බලය පවරලා. ගම් පාලනයට ගාමිණී, ගමික, මපරුමුඛ, පරුමුඛ වගේ තනතුරු පත් කෙරුණා. ඒ අය අතරත් යම්තාක් දුරට බලතල පැවරිලා තියෙනවා. ඒ ඔස්සේ රජරට පරිපාලනයේ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ ගොඩක් අපිට දැක ගන්න පුලුවන්.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.