ඩොලරයට අභියෝග කරන BRICS මුදල් ඒකකය
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුලත් BRICS සංවිධානය විසින් ඩොලරයට අභියෝග කරන නව සංචිත මුදල් ඒකකයක් හඳුන්වාදීම පිළිබඳ කතාබහක් මෑතකදී ලෝක මාධ්‍ය ඔස්සේ නිර්මාණය වුණා.
මෙය ප්‍රධාන පෙළේ මාධ්‍යවලට අලුත් කතාවක් වුණත් කාලයක් තිස්සේ පැවති කතාබහක්. මෙවැනි තත්ත්වයක් නිර්මාණය විය හැකිද යන්න අද බොහෝ දෙනා කතාබහට ලක් කරන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
නොබෝදා රුසියානු රාජ්‍ය දූමාවේ උප සභාපති අලෙක්සන්දර් බබාකෆ් විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම සංවාදය නැවත පණගැන්වුණ නමුත් නව මුදල් ඒකකයක් පිළිබඳ කතාබහ දැන් අවුරුද්දක් පමණ තිස්සේ ක්‍රමක්‍රමයෙන් මතුවෙමින් තිබෙනවා. එමෙන්ම ඊට පෙර ද විටින් විට මෙවන් අදහස් පළ වුණා.
2009 දී එවකට රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදේව් නව මුදල් ඒකකයක් පිළිබඳ යෝජනාවක් ගෙන ආවා. ඒ වනවිට බටහිර රටවල් ආර්ථික අවපාතයකට මුහුණ දී සිටි හෙයින් ඒ පිළිබඳ යම් කතාබහක් මතු වුණා. එහෙත් එය වැඩිදුර ගිය කතාබහක් වුණේ නැහැ. ඉන් අනතුරුව 2014 දී සංවිධානයේ බැංකුව (වර්තමානයේ නව සංවර්ධන බැංකුව) ස්ථාපිත කරද්දී එවකට බ්‍රසීල ජනාධිපතිණිය වූ ඩිල්මා රූසෙෆ් ද නව මුදල් ඒකකයක් පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කළා. කෙසේ වෙතත් ඉන් අනතුරුව බ්‍රසීලයේ මතුවූ දේශපාලන ව්‍යාකූලත්වය සමග එම යෝජනාව ද යටපත් වුණා. රූසෙෆ් දෝෂාභියෝගයක් මගින් බලයෙන් පහ කරනු ලැබුණා.
මෑත කාලීනව ඩොලරයට විකල්පයක් ලෙස නව මුදල් ඒකකයක් හඳුන්වාදීම පිළිබඳ සංවාදය යළි පණ ගැන්වී තිබෙන්නේ රුසියාවට එරෙහිව පනවන ලද ආර්ථික සම්බාධක නිසයි. රුසියාවට ඩොලර්, යූරෝ, යෙන් ආදියෙන් ගනුදෙනු කළ නොහැකි කරන බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් වරක් ශපථ කළා. කෙසේ වෙතත් රුසියාව සිය ප්‍රධාන වෙළඳ සහකරුවන් සමග ඒ ඒ රටවල මුදල්වලින් ගනුදෙනු කිරීමට පටන් ගැනීම මගින් එම සීමාවන් ඉක්මවා යාමට සමත් වුණා. ඒ අනුව චීනය සහ ඉන්දියාව සමග ගනුදෙනුවලදී සිය රටවල දේශීය මුදල් ඒකක භාවිතා කිරීමේ ක්‍රියාමාර්ගයකට රුසියාව පිවිසුණා.
ආර්ථික ශක්තිය
BRICS රටවල් පහෙන් දැවැන්තම ආර්ථිකය හිමිව ඇත්තේ චීනයට යි. 2021 දී එරට දළ දේශීය නිශ්පාදිතය ඩොලර් ට්‍රිලියන 16.86 ක් වුණා. රටවල් පහම එක්වූ විට මෙම අගය ඩොලර් ට්‍රිලියන 27 ඉක්මවා යන අතර එය ඇමරිකානු ආර්ථිකයට වඩා ස්වල්පයක් වැඩි අගයක්. එමෙන්ම ඉන්දියාව සිය ආර්ථිකය ප්‍රසාරණය කිරීම කෙරෙහි විශාල බලාපොරොත්තු තබා තිබෙනවා.
සෞදි අරාබිය ද මෙම රටවල් කාණ්ඩයට එක් වුවහොත් එම කාණ්ඩයේ ආර්ථිකය තවත් ශක්තිමත් වනු ඇති. එමෙන්ම එමගින් වර්තමාන ලෝකයේ බලශක්ති ප්‍රභවයන් අතුරින් විශාල කොටසක් වෙත හිමිවනවා. මක් නිසාද යත්, සෞදි අරාබිය සහ රුසියාව තෙල් නිශ්පාදනය කරන කණ්ඩායමේ වැදගත්ම සාමාජිකයන් වන නිසයි.
මේ අතර BRICS රටවල් අනාගත ලෝක තත්ත්වයන් පිළිබඳ විශාල අවධානයකින් පසුවනවා. ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන එතරම් අවධානය යොමු නොකළත්, විකල්ප ධාරාවේ විශ්ලේෂකයන් කලක් තිස්සේ මතු කරන කරුණක් වන්නේ චීනය සහ රුසියාව අනාගත අවශ්‍යතා සඳහා සූදානම් වන බවයි. එක් අතකින් ඔවුන් රත්‍රන් මිලදී ගැනීම පසුගිය වසර කිහිපය මුළුල්ලේම ඉහළ නංවා තිබුණා.
තවද අනාගත බලශක්ති ප්‍රභවයන්ට සහ සන්නිවේදන උපකරණ, විදුලි වාහන ආදියට අත්‍යවශ්‍ය වන විරල පාංශු ලෝහ සැපයුම් දාමවලින් වැඩි කොටසක් මේ වනවිට ද තිබෙන්නේ චීනය අතේ යි. ලෝකයේ ලිතියම් නිධිවලින් ද විශාල කොටසක් සඳහා චීනය පංගුකරුවකු වීමට සමත්ව තිබෙනවා.
අනාගතයේ චීනය සහ රුසියාව ප්‍රමුඛව හඳුන්වාදෙන සංචිත මුදල් ඒකකය රත්‍රන් සහ විරල පාංශු ලෝහ මත වටිනාකම තැබූ මුදල් ඒකකයක් වනු ඇතැයි රාවයන් පැනනැගී තිබෙනවා.
මේ අතර රුසියාව දෙසින් විටින් විට ඇසෙන මතයක් වන්නේ BRICS සංවිධානයේ වර්ධනය සහ අනාගත ආර්ථික උපක්‍රම නව ලෝක තත්ත්වයක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන සිදුවන්නක් බවයි.
අභියෝග
BRICS රටවල් අතර පවතින ඒකාබද්ධතාව නව මුදල් ඒකකයක් හඳුන්වා දීමේදී වැදගත් කරුණක් වනු ඇති. චීනය සහ ඉන්දියාව අතර පවතින වෙනස්කම් මෙහිදී සැලකියයුතු බලපෑමක් කළ හැකියි. එහෙයින් එම අර්බුද නිරාකරණය කරගැනීම අනාගත සැලසුම් උදෙසා වැදගත් වනු ඇති.
එමෙන්ම නව මුදල් ඒකකයක් හඳුන්වා දෙන්නේ නම් ඒ සඳහා ගතයුතු මාර්ගය පිළිබඳ පැහැදිලි සැලැස්මක් තවම ඇති බව පෙනෙන්නේ නැහැ. මුලින් ඩොලර් ගනුදෙනු අඩු කිරීම සහ පසුව ඩිජිටල් යුවාන්, ඩිජිටල් රූබල්, ඩිජිටල් ඉන්දියානු රුපියල් ආදී මුදල් හඳුන්වාදීම වැනි පියවර මෙහිදී ගන්නට ඉඩ තිබෙනවා. නව මුදල් ඒකකයක් නොමැතිව වුණත් ඩොලර් ගනුදෙනු අඩු කිරීමට මෙමගින් පෙළඹවීමක් ඇතිකළ හැකියි.
තව ද නව මුදල් ඒකකයක් හඳුන්වා දෙන්නේ නම් එයට පිළිගැනීමක් ගොඩනගාගැනීම ද අභියෝගයක් වනු ඇති. ඇතැම්විට සංවිධානයේ නව සංවර්ධන බැංකුව එවන් මුදල් ඒකකයක් හඳුන්වාදීම උදෙසා මූලිකත්වය ගනු ඇති.
කෙසේ වෙතත් ඒ තව බෙහෙවින් දුර පියවරක් බවයි මේ වනවිට පෙනී යන්නේ.
@elearninglk