මැද පෙරදිග චීන – රුසියා බල පෙරළිය

April 3, 2023

පසුගිය සති කිහිපය තුළ මැදපෙරදිග හෙවත් බටහිර ආසියානු කලාපයෙන් වාර්තා වූ බොහෝ පුවත් ඇමරිකා එක්සත් ජනපදයට සුබදායක වූයේ නැහැ. එක් පසෙකින් සෞදි අරාබිය සහ ඉරානය අතර තානාපති සබඳතා යළි ස්ථාපිත කරගැනීම පිළිබඳ එකඟතාවයක් ඇති වුණා.

අනෙක් පසින් සිරියාව සහ සෞදි අරාබිය අතර තානාපති සබඳතා යළි ස්ථාපිත කරනු ඇතැයි වාර්තා වුණා. මේ අතර සිරියාව සහ අරාබි රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නැවත සවිමත් කෙරෙන ආකාරයක් පෙන්නුම් කෙරෙනවා. මේ සියල්ල මගින් කලාපයේ ඇමරිකානු බලපෑම දුර්වල කෙරෙන බවයි පෙනී යන්නේ.

@elearninglk

මේ අතරතුර සෞදි අරාබිය යුක්‍රේනයේ ගැටුම් සමථයකට පත්කිරීම පිළිබඳ යම් උත්සාහයක් ගන්නා බව ද පෙනී යනවා. මෙය එරට ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් සඳහා තබන පියවරක් ලෙස ද ඇතැම් විචාරකයන් අදහස් කරනවා.

කෙසේ වෙතත් මෙහිදී පෙන්නුම් කෙරෙන වැදගත් කරුණක් වන්නේ මැදපෙරදිග කලාපයේ නව තත්ත්වයන්ට මැදිහත්ව සිටින්නේ චීනය සහ රුසියාව බවයි. සෞදි අරාබිය සහ ඉරානය අතර මිත්‍රත්වය යළි පණගැන්වීම උදෙසා කලක පටන් ඉරාකය සහ ජෝර්දානය උත්සාහ කරමින් සිටි අතර එය වේගවත් වන්නේ චීනයේ මැදිහත්වීමත් සමගයි. මේ අතර සෞදි අරාබිය සහ සිරියාව අතර තානාපති සබඳතා යළි ඇතිවීම පිටුපස සිටින ප්‍රධාන මැදිහත්කරුවා රුසියාව බවයි කියැවෙන්නේ.


බෂාර් අල් අසාද් මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කළා

සෞදි අරාබිය සාමාන්‍යයෙන් ඇමරිකාවේ මිතුරකු ලෙස පැවති නමුත් පසුගිය වසර කිහිපය තුළ එරට චීනය සහ රුසියාව සමග මිත්‍රත්වය වර්ධනය කරගනිමින් සිටියා. ජමාල් කශෝජි ඝාතන සිද්ධිය ඇමරිකානු මිත්‍රත්වය කෙරෙහි නරක ලෙස බලපෑ නමුත් ඒ වනවිටත් චීනය සහ රුසියාව සමග සෞදි මිතුදම වර්ධනය වෙමින් පැවති බව අප අමතක නොකළ යුතුයි.

චීනය තෙල් ගැනුම්කරුවකු ලෙස වැදගත් වීම, සෞදි අරාබිය තෙල්වලින් ඔබ්බට ගිය විවිධාංගීකරණය වූ ආර්ථිකයක් පිළිබඳ සැලසුම් සකස් කිරීම සහ චීනය ඊට දායක වීම වැනි කරුණු ඊට උපකාරී වුණා. එමෙන්ම 2015 සිට යේමනයේ යුද්ධයට සෞදි අරාබිය පැටලීමත් ඒ පිළිබඳ ඇමරිකාව උදාසීන ස්ථාවරයක් ගැනීමත් සෞදි ඇමරිකානු මිතුදමට ඍණාත්මක බලපෑමක් ඇති කළා.


සෞදි අරාබි ආර්ථිකය විවිධාංගීකරණය කිරීම එරට සැලසුමයි

මේ අතර මැදපෙරදිග කලාපය තුළ රුසියානු ක්‍රියාකාරීත්වය වෙනස් වීම ද වැදගත් කරුණක්. එක් අතකින් සිරියාවේ අල් අසාද් පාලනය ආරක්ෂා කිරීම සඳහා කළ දායකත්වය රුසියාවේ තත්ත්වය මැදපෙරදිග දී ඉහළ නංවන්නට හේතු වුණා. සිරියාව බොහෝ අරාබි රටවල්වල විවේචනයට ලක්වෙද්දී, එපමණක් නොව ඇතැම් අරාබි රටවල් අසාද් විරෝධී කඳවුරට සහය දක්වද්දී, අසාද්‍ට සහය දැක්වු රුසියාවේ තත්ත්වය ඉහළ ගියේ කෙසේදැයි ඔබට ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන්. රුසියාව අසාද්ට සහය දුන්නත් අනෙකුත් අරාබි රටවල් සමග ගැටුණේ නැහැ.

ඒ වෙනුවට ඔවුන් සමග ද සංවාදය සහ මිත්‍රත්වය දිගටම පවත්වාගත්තා. එමෙන්ම කලක් දැඩි පසමිතුරකු වූ තුර්කිය සමග මිත්‍රත්වය වර්ධනය කරගැනීම රුසියාවේ ජයග්‍රහණයක් වුණා. මේ අතර සිරියාවේදී අසාද් පාර්ශවය විශාල අභියෝග මැඩගෙන සිය බලය තහවුරු කරගත්තා. ඒ සමගම රුසියාව කෙරෙහි කිසියම් ගෞරවයක් අරාබි නායකයන් තුළ ඇතිවුණා. අරාබි ජාතිකයන් ශක්තිය සහ ජයග්‍රහණය කෙරේ ගරු කරන්නන් බව එහිදී ඉතා වැදගත් වන්නට ඇතැයි සිතන්න පුළුවනි.


යේමනයේ යුද්ධය​

ඉරානය සහ සෞදි අරාබිය අතර කිසියම් එකඟතාවයක් නිර්මාණය වීම පිළිබඳ කාලයක් තිස්සේ රාවයන් පැවති අතර එය ප්‍රදර්ශනය වූ එක් අවස්ථාවක් වූයේ දෙරටම ඇතැම් ජාත්‍යන්තර සංවිධාන සමග එක්වීම පිළිබඳ පියවර ගැනීමයි. BRICS සංවිධානයට සෞදි අරාබිය එක්වීමට සූදානම් වීමත්, ඉරානය එහි සංවාද සහකරුවකු වීමත්, ඉරානය ශැංහයි සහයෝගිතා සංවිධානය හා සම්බන්ධ වීමත් වැනි වූ කරුණු මෙහිදී වැදගත් සිදුවීම් වනවා.

BRICS සහ ශැංහයි සහයෝගිතා සංවිධානය යන දෙකෙහිම චීනය සහ රුසියාව වැදගත් සාමාජිකයන් වනවා. මේ අනුව චීනය හා රුසියාව ඔස්සේ සෞදි අරාබිය හා ඉරානය අතර පාලමක් තැනීම අපේක්ෂා කළයුතුව තිබුණා. ප්‍රශ්නය වූයේ එය සිදුවන්නේ කවදාද යන්න පමණයි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

සෞදි අරාබිය සහ ඉරානය අතර මිත්‍රත්වය සහ සිරියාව නැවත අරාබි රටවල් හා සම්බන්ධතා ස්ථාපිත කිරීම අරාබිකරයේ කලාපීය ස්ථාවරත්වයට ඍජු බලපෑමක් ඇති කරනවා. සෞදි අරාබිය යේමන් යුද්ධයෙන් ද ඉවත්වනු ඇතැයි අනාවැකි පළවෙමින් තිබෙන අතර සිරියාවේ, ලෙබනනයේ හා ඉරාකයේ වන දේශපාලනික කලකෝලාහලවල යම් සංහිඳියාවක් සෞදි – ඉරාන සබඳතා ඔස්සේ ගොඩනැගේ යයි අපේක්ෂා කළ හැකියි.

මෙය දෙරට අතර පුළුල් මිත්‍රත්වයකට වඩා ස්වකීය අභිවෘද්ධිය තකා කල් පවතින, වියදම් සහගත ගැටුමක් නිරාකරණය කරගැනීමක් ලෙස සැලකිය හැකි බවයි පෙනී යන්නේ.

කෙසේ වෙතත්, වඩාත්ම වැදගත් වන සිදුවීම වන්නේ සෞදි අරාබිය හරහා චීනයත්, සිරියාව හරහා රුසියාවත් මැදපෙරදිග කලාපයට ප්‍රවේශ වීමයි. එමෙන්ම ඉරානය හරහා නිර්මාණය විය හැකි විකල්ප වෙළෙඳ මාර්ග​, සෞදි අරාබියෙහි නව ආර්ථික ප්‍රවේශයන් සහ විශේෂයෙන්ම ගුවන් ගමන් ක්ෂේත්‍රයෙහි එරට අනාගත සැලසුම් සමග වෙනදාටත් වඩා තීරණාත්මක කලාපයක් බවට මැදපෙරදිග පත්විය හැකියි.

එවන් තත්ත්වයකදී එම කලාපයේ සිය ස්ථාවරත්වය සනිටුහන් කිරීම චීනයට සහ රුසියාවට බෙහෙවින් වාසිදායක වනු නොඅනුමානයි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.