මහා පිපිරුම සනාථ කළ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය

“විල්සන්, මම රේඩියෝ සංඥා ග්‍රහණය අයින් කළා. ඒත් තාමත් රේඩාර් සංඥා නම් අහුවෙනව වගේ.”

“පුළුවන් තරම් අනිත් සංඥා කපාහරින්න ඕන. නැත්නම් අපිට අවශ්‍ය චන්ද්‍රිකාවෙ රේඩියෝ තරංග හසුකරගන්න වෙන්නෙ නෑ. ඒක බොහොම දුර්වල සංඥාවක්.”

“හරි. උෂ්ණත්වය කෙල්වින් 4 දක්වා සුසර කළා. දැන් අපේ සංඥාව ලැබිය යුතුයි.”

“රිසීවරයෙන් අමුතු ශබ්දයක් එන්නෙ ඇයි? අපිට අවශ්‍ය සංඥාව මීට වඩා බොහොම දුර්වල එකක්.”

“ඇත්ත. මොකක්ද මේ? පරෙවියන්ගෙ ශබ්දෙ ද නැත්නම් ඇන්ටනාවෙ දෝෂයක් ද?”


විල්සන් හා පෙන්සියස් බෙල් රේඩියෝ දුරේක්ෂය අභියස | National Geographic

ඒ 1964 වර්ෂය යි. ඇමෙරිකානු ජාතික විද්‍යාඥයන් දෙපළක් වූ රොබට් වුඩ්රෝ විල්සන් හා අර්නෝ ඇලන් පෙන්සියස් අහම්බයකින් මෙන් ආගන්තුක තරංග විශේෂයක් සොයාගත්තේ නිව් ජර්සි හි පිහිටි බෙල් පර්යේෂණාගාරයේ රේඩියෝ දුරේක්ෂය ආධාරයෙන් චන්ද්‍රිකාවකින් පරාවර්තිත රේඩියෝ තරංග හසුකරගැනීමට උත්සාහ දරමින් සිටියදීය.

නිරපේක්‍ෂ උෂ්ණත්වයට ඉතා ආසන්න කෙල්වින් 3 – 4 මට්ටමේ අධික ශීතලකට අදාළ සංඛ්‍යාතයන් සඳහා ඇන්ටනාව සුසර කළ විට අහසේ සෑම දිශාවකින්ම හසුවන්නට වූ මේ තරංග වර්ගය මුලදී හරිහැටි හඳුනාගත නොහැකි වුවද, ඉතා ඉක්මණින්ම එය වසර ගණනාවක් තිස්සේ විද්‍යාත්මක සාකච්ඡාවන්ට බඳුන් වෙමින් තිබුණු අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය හෙවත් අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම (Cosmic Microwave Background Radiation/ CMB) බව හඳුනා ගැනිණි.

තමන් අහම්බයෙන් සොයාගත් මේ විකිරණය ඉන් වසර දහහතරකට පමණ පසු 1978 දී තමන්ට භෞතික විද්‍යාව සඳහා පිදෙන නොබෙල් සම්මානය හිමි කර දෙනු ඇතැයි එදින විල්සන් හෝ පෙන්සියස් සිහිනෙන්වත් නොසිතූහ.

මහා පිපිරුම් වාදයට අනුව අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය

ආරම්භක අවස්ථාවේ සිට තවත් කාලයක් ගතවන තුරුම විශ්වය නොගිණිය හැකි තරම් අතිවිශාල උෂ්ණත්වයකින් සහ ඝනත්වයකින් යුක්ත වූ අතර එය පිරී තිබුණේ ‘හයිඩ්‍රජන් ප්ලාස්මාව’ නමින් හැඳින්වෙන, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වැනි උප පරමාණුක අංශූන්ගෙන් සමන්විත වුණු සංයෝගයකිනි.

මෙහි අඩංගු වූ ඉලෙක්ට්‍රෝන වලට නිරන්තරයෙන්ම අවට තිබුණු තාප විකිරණ විසුරුවා හැරීමට හැකි වූ නිසාවෙන් එකල මුළුමහත් විශ්වයම තාප විකිරණ වලට විනිවිද යා නොහැකි දුමාරයක් මෙන් විය. මීදුමක් තුළින් ආලෝක කිරණයක් ගමන් කරනා ආකාරය සිහියට නගාගන්න. සාමාන්‍ය තත්ත්ව යටතේදී සරල රේඛීයව ගමන් කරන ආලෝක කිරණය මීදුමක් තුළදී කැඩී බිඳී ඒ මේ අත විසිරී යයි. බොහෝවිට එක් පසකින් මීදුම් කලාපයට ඇතුළු වන ආලෝක කිරණය අනිත් පසින් පිටවන්නේද නැත. ආදිකල්පික විශ්වයේදී තාප විකිරණ වලට අත් වූයේද එම ඉරණම ය.

මෙය ප්‍රාථමික විශ්වය සතු වූ ඉතා වැදගත් ගුණාංගයක් විය. තාප විකිරණ එකම කලාපය තුළ විසිර යමින්, පරාවර්තනය වෙමින් පැවතීම නිසා ආදිකල්පික විශ්වයට කෘෂ්ණ වස්තුවක (black body) ගුණ හිමි විණ.

තම පෘෂ්ඨය මත පතනය වන සියළුම තරංග ආයාම සහිත විකිරණ අවශෝෂණය කරනු ලබන වස්තූන් ‘කෘෂ්ණ වස්තු’ ලෙස හැඳින්වේ. මේවා පරිපූර්ණ අවශෝෂක මෙන්ම පරිපූර්ණ විමෝචක ලෙසද ක්‍රියා කරයි. න්‍යායාත්මක වස්තු විශේෂයක් වන කෘෂ්ණ වස්තු ප්‍රායෝගික ලෝකයේදී හමුවන්නේ නැත. එහෙත් ඉහත සඳහන් කළ අයුරින් වසර බිලියන ගණනකට පෙර ඈත අතීතයේදී විශ්වය ප්‍රායෝගික කෘෂ්ණ වස්තුවක් ලෙසින් හැසිරෙන්නට ඇතැයි මහා පිපිරුම් වාදය මගින් නිගමනය කෙරිණි.

ක්‍රම ක්‍රමයෙන් විශ්වය ප්‍රසාරණය වෙමින් උෂ්ණත්වය හා ඝනත්වය අඩු වෙද්දී අයනීකරණය වී තිබූ උප පරමාණුක අංශූන් එක්ව උදාසීන හයිඩ්‍රජන් වැනි පරමාණු බිහිවීම සිදුවිය. මේ උදාසීන පරමාණුවලට තවදුරටත් තාප විකිරණ විසුරුවා හැරීමක් කළ හැකි නොවීය. මේ හේතුවෙන් වැදගත් සංසිද්ධියක් සිදුවිණි. විකිරණ සඳහා දුමාරයක් මෙන් වූ ස්වරූපය පහව ගොස් විනිවිද පෙනෙන ස්වරූපයක් විශ්වයට ලැබුණු අතර එනිසා ආරම්භක මොහොතින් වසර 380,000කට පමණ පසු උක්ත තාප විකිරණවල අඩංගු වූ ෆෝටෝන (photons) වලට විශ්වය පුරා නිදහසේ ගමන් කිරීමේ හැකියාව ලැබුණි. ඒ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ උපත යි.

මුල්කාලීනව මේ විකිරණය විද්‍යුත් චුම්බක වර්ණාවලියේ පාරජම්බුල විකිරණ වැනි කෙටි තරංග ආයාම පරාසයන්ට අයත්ව තිබෙන්නට ඇති අතර උෂ්ණත්වය කෙමෙන් අඩු වෙද්දී ඒවායේ තරංග ආයාමයද වැඩි වී අද වනවිට ක්ෂුද්‍ර තරංග කලාපයට පිවිසී සිටී. එමෙන්ම මෙම විකිරණය වර්තමානය වනවිට කෙල්වින් 2.73ක (සෙල්සියස් අංශක -270ක් පමණ) උෂ්ණත්වයකින් යුතු වන බවද හඳුනාගෙන තිබේ.

අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය මහා පිපිරුම් වාදය තහවුරු කරන්නේ කෙසේද?

ඉහත පරිදි අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය හටගන්නා අවස්ථාව වනවිට විශ්වය තුළ කිසිදු ආකාශ වස්තුවක් තබා දුහුවිල්ලක්වත් නිර්මාණය වී තිබූයේ නැත. එනම් මෙය විශ්වයේ පවතින ආදිතම ශක්ති විශේෂය යි. එසේ නම් මුල්කාලීන විශ්වය සතු වූ ගුණාංගයන් ඒ අයුරින්ම හෝ යම් පමණකට හෝ අද අප වෙත ලැබෙන මේ විකිරණය සතුවද තිබිය යුතුය. (වර්ෂ බිලියන ගණනකට පෙර විශ්වය පුරා විසිරී ගිය කිරණ විශේෂයක් අද අප වෙත එන්නේ කෙසේදැයි ඔබට සිතෙන්නේ නම්, මීට පෙර පළ වූ ඔබ අහසේ දකින්නේ වර්තමානය නොවේ! ලිපිය පරිශීලනය කරන්න.)

මුල්කාලීන විශ්වය කෘෂ්ණ වස්තුවක ගුණ දැරූ බව ඉහතදී සඳහන් කරන ලදී. දැන් පහත රූපසටහන බලන්න.

ඔබ උසස් පෙළ භෞතික විද්‍යාව හැදෑරූ අයෙකු නම් මෙය කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතා ව්‍යාප්තිය හෙවත් කෘෂ්ණ වස්තු වර්ණාවලියට සර්වසම රූපසටහනක් බව එක එල්ලේම හඳුනාගනු ඇත. මේ විද්‍යාත්මක නිරීක්ෂණයන් ආධාරයෙන් සකස් කළ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ වර්ණාවලියයි. එය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කෘෂ්ණ වස්තු වර්ණාවලියට සමාන වීමම විද්‍යාත්මක ලෝකය තුළ මහා පිපිරුම් වාදයට හිමි ස්ථානය තහවුරු කිරීමට ප්‍රමාණවත් විය.

එක් පසෙකින් මහා පිපිරුම් වාදයේ කරුණු අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය මගින් සනාථ වෙත්දී, අනෙක්‌ පසින් අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ වර්ණාවලිය පැහැදිලි කිරීමට ස්ථාවර තත්ත්ව වාදය වැනි විකල්ප මතවාදයන් අපොහොසත් වූ බැවින් ඒවායේ කඩා වැටීමද ඒ සමගම සිදු විය.

අභ්‍යවකාශ ඉතිහාසයේ ඉහත පරිදි අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම නිරීක්‍ෂණය කිරීම සඳහා අභ්‍යවකාශගත වූ චන්ද්‍රිකාවන් ගණන තුනකි. මෙම චන්ද්‍රිකා තුනෙහිම මෙහෙයුම් මේ වනවිට නිමා වී තිබේ.

Cosmic Background Explorer (COBE)

අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම පිළිබඳව සොයාබැලීම සඳහා මුලින්ම අභ්‍යවකාශගත වූයේ COBE ය. නාසා ආයතනය විසින් නිපදවූ මෙම චන්ද්‍රිකාව 1989 වසරේ නොවැම්බර් 18 දින ඩෙල්ටා රොකට්ටුවක් ආධාරයෙන් උඩුගුවනට යැවුණු අතර ඉන්පසු පෘථිවිය වටා කක්ෂගත කරන ලදී. අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග වල ඇති කුඩා උෂ්ණත්ව විචලනයන් (මෙම උෂ්ණත්ව විචලනයන්ට හේතුව ආදිකල්පික විශ්වයේ තිබූ ඝනත්ව අසමානතා බවද, සාපේක්‍ෂව වැඩි ඝනත්වයකින් යුතු වූ කොටස් වලින් පසුකාලීනව ආකාශ වස්තූන් බිහිවන්නට ඇති බවද වර්තමානයේදී පිළිගැනේ.)

පළමු වරට සොයාගනු ලැබුවේද, එහි වර්ණාවලිය පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක වර්ණාවලියට සර්වසම වන බව විශ්ලේෂණාත්මකව හෙළිදරව් කළේද COBE විසිනි. මේ හැර තම මූලික මෙහෙයුමෙන් පරිබාහිරව අධෝරක්ත කිරණ නිකුත් කරන මන්දාකිණි දහයක් සොයාගැනීමේ ගෞරවයද COBE යන නාමය ඉදිරියේ සටහන් වී තිබේ.

අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග විකිරණ ග්‍රහණය කරගැනීම සඳහා COBE යානාව විශේෂ තත්ත්වයන් කිහිපයක් යටතේ පැවතිය යුතු විය. ප්‍රධාන වශයෙන් පෘථිවියෙන්, සඳෙන්, සූර්යයාගෙන්, වෙනත් කක්ෂගත චන්ද්‍රිකාවන්ගෙන් හා තමාගෙන්ම නිකුත් වන රේඩියෝ තරංග වැනි විකිරණයන් නොසලකා හැර අවශ්‍ය විකිරණ වර්ගය පමණක් හසුකරගැනීමට යානාවේ පද්ධති වලට හැකි විය යුතුය.

එමෙන්ම උෂ්ණත්ව සමතුලිතතාවය, ගණනයන්හිදී සිදුවන අතිශය කුඩා දෝෂ පවා පාලනය කරගැනීමේ හැකියාව සහ ඉහළ පිරිසිදු බව (බාහිර ආලෝක/ තාප කිරණ ග්‍රාහක පද්ධතියට ඇතුළු වීම වැළැක්වීමට) මෙවැනි පර්යේෂණයක යෙදෙන යානාවක තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංග ය. මේ සියළු ලක්ෂණයන් කැටිකොටගත් COBE නිපදවීමට නාසාහි ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයට වසර අටක කාලයක් සහ ආසන්නව ඩොලර් මිලියන තිහක පමණ මුදලක් වැය විණි.


අභ්‍යවකාශගත කිරීම

විවිධ තරංග ආයාමයන්ගෙන් යුතු අධෝරක්ත කිරණ ග්‍රාහකයක් (Diffuse InfraRed Background Experiment – DIRBE), අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ විචලනයන් හඳුනාගත හැකි ක්ෂුද්‍ර තරංග විකිරණමානයක් (Differential Microwave Radiometer – DMR), එහි වර්ණාවලිය සටහන් කළ හැකි වර්ණාවලිමානයක් (Far InfraRed Absolute Spectrophotometer – FIRAS) හා DIRBE සහ FIRAS උපකරණ සිසිල්ව තබාගැනීම සඳහා භාවිතා වූ ලීටර 650ක ධාරිතාවකින් යුතු Dewar නම් ද්‍රව හීලියම් ටැංකියක් COBE සතුව තිබුණු වැදගත්ම උපකරණ අතර වේ.


COBE මගින් සැකසූ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිමේ සිතියම

වසර හතරකට පසු COBEහි මෙහෙයුම් කාලය නිමාවුණු අතර චන්ද්‍රිකාව අදාළ කක්ෂය තුළම රඳවා තබන ලදී. ඒ මගින් කළ සොයාගැනීම් වෙනුවෙන් එහි මෙහෙයුම් ප්‍රධානීන් වූ ජෝන් මේතර්, ජෝර්ජ් ස්මූත් හා ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය 2006 වසරේදී භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූහ.

Wilkinson Microwave Anisotropy Probe (WMAP)

COBE විසින් අවසන් කළ මෙහෙයුම් කටයුතු තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා නාසාහි ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය සහ ප්‍රින්සිටන් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව තැනූ WMAP, 2001 වසරේ ජූනි මස 30 වනදා ඩෙල්ටා II රොකට්ටුවක් ආධාරයෙන් අභ්‍යවකාශගත විය. COBE මෙන් නොව WMAP රඳවා තබන ලද්දේ ලිසාවුස් (Lissajous orbit) නමින් හැඳින්වෙන ගණනය කරන ලද කක්ෂයකය. (ලිසාවුස් කක්ෂය පිළිබඳව ලිපියක් ඉදිරියේදී)

අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ ඇති කුඩා විචලනයන් වඩා නිවැරදිව මැනගැනීමත්, එම විකිරණයේ සම්පූර්ණ සිතියමක් වඩාත් නිරවද්‍යව සකස් කිරීමත් මෙහි මූලික අරමුණ විය. ඒ මගින් විශ්වයේ ආරම්භය, පරිණාමනය හා එහි අන්තර්ගතය පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගැනීමට අපේක්ෂා කෙරිණි. මේ සඳහා COBEට වඩා 45 ගුණයකින් පමණ විශාල සංවේදීතාවයකින් යුක්තව WMAPහි උපකරණ නිර්මාණය කරන ලදී.

WMAP මෙහෙයුම ආරම්භ කරන අවස්ථාවේදී ඒ සඳහා අපේක්ෂිත මෙහෙයුම් කාලය වසර දෙකක් පමණක් වුවද, යානාව බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් ක්‍රියාත්මකවීම නිසා නාසා ආයතනය විටින්විට එහි මෙහෙයුම් කාලය දීර්ඝ කිරීම්වලට ලක් කළේය. අවසානයේදී වසර දෙකකින් විශ්‍රාම යාමට නියමිතව සිටි WMAP විශ්‍රාම යන්නේ වසර නවයක් ගතවෙද්දී 2010 වසරේදී ය.

WMAP මගින් ලැබුණු දත්ත අනුසාරයෙන් සකසනු ලැබූ වාර්තාවන් වසරකට පසු, වසර තුනකට පසු, වසර පහකට පසු, වසර හතකට පසු හා වසර නවයකට පසු ලෙස පස්වරකදී එළිදැක්වුණු අතර අවසන් වාර්තාව මගින් විශ්වය ආසන්නව වර්ෂ බිලියන 13.8ක් පමණ (වර්ෂ බිලියන 13.772) වයසැති බවද, ආදිකල්පික විශ්වයේ 95%ක් පමණ අඳුරු පදාර්ථයෙන් හා අඳුරු ශක්තීන්ගෙන් සමන්විත වූ බවද ආදී වූ නිගමනයන් කිහිපයක් ඉදිරිපත් කෙරිණි.


අභ්‍යවකාශගත කිරීම

2010 වසරේ අගෝස්තු මස මෙහෙයුම් කටයුතු නිමාවූ පසු ඔක්තෝබර් මසදී WMAP චන්ද්‍රිකාව අභ්‍යවකාශ සුන්බුන් රඳවා තබන, සූර්යයා කේන්ද්‍ර කොටගත් කක්ෂයක් (heliocentric “graveyard” orbit) වෙත ගෙනයන ලදී.


WMAP මගින් සැකසූ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිමේ සිතියම

Planck

ජර්මානු ජාතික භෞතික විද්‍යාඥ මැක්ස් ප්ලාන්ක්ට කෙරෙන ගෞරවයක් වශයෙන් Planck ලෙස නම් වූ මෙම යානාව ඊසා හෙවත් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA – European Space Agency) නිමැවුමකි. 2009 වසරේ මැයි 14 වන දින ඒරියාන් 5 රොකට්ටුවක් මගින් අභ්‍යවකාශගත කෙරුණු Planckද ස්ථානගත කෙරුණේ ලිසාවුස් කක්ෂය තුළ ය. වියදම් අඩුකිරීම සඳහා Planck සමග වෙනත් අභ්‍යවකාශ මෙහෙයුමකට අයත් Herschel (හර්ෂල්) නම් චන්ද්‍රිකාවක්ද එකම රොකට්ටුවෙන් උඩුගුවනට යැවිණි.

පෙර අභ්‍යවකාශගත වුණු COBE හා WMAP මෙන් නොව යුරෝ මිලියන 700ක මුදලක් වැය කරමින් ක්‍රියාත්මක වුණු Planck මෙහෙයුම තුළ විවිධ අරමුණු රැසක් තිබිණ. අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ ඇති විචලනයන්හි බහුලත්වය හා ධ්‍රැවීකරණය පිළිබඳව සොයාබැලීම, සෞරග්‍රහමණ්ඩලයේ ඇති ආකාශ වස්තු අධ්‍යයනය කිරීම, ක්ෂීරපථයේ චුම්බක ක්ෂේත්‍රයේ ස්වභාවය අධ්‍යයනය කිරීම ආදී ඉලක්කයන් ඒ අතර විය. එමෙන්ම පෙර යානා වලට වඩා ඉහළ විභේදන බලයක් හා සංවේදීතාවයක්ද Planck සතු වූයේය.

Planck සතු වැදගත්ම උපකරණ දෙක වූ Low Frequency Instrument (LFI) හා High Frequency Instrument (HFI) මගින් ඉහත සඳහන් අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ විචලනයන් වල බහුලත්වය හා ධ්‍රැවීකරණය පිළිබඳව සොයාබැලීම සිදු කෙරුණු අතර ඒවා සිසිල් තත්ත්වයේ තබාගැනීම සඳහා ද්‍රව හීලියම් භාවිතා විය.


අභ්‍යවකාශගත කිරීම

2013 වසරේ මාර්තු මස Planck පර්යේෂණ වාර්තාව සහ ක්ෂුද්‍ර තරංග පසුබිමේ සම්පූර්ණ සිතියම එළිදක්වන ලදී. ඒ මගින් විශ්වයේ සැබෑ වයස WMAP ව්‍යාපෘතිය ඉදිරිපත් කළ අගයට වඩා සුළු වශයෙන් වැඩි බව (වසර බිලියන 13.819), අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ සිතියම්වල සටහන් වන සියුම් විචලනයන් විශ්වය බිහිවී වසර 370,000ක පමණ කාල පරාසයක් තුළදී හටගැනුණු බව ආදී වැදගත් නිගමනයන් ඉදිරිපත් කෙරිණි.

2013 ඔක්තෝබර් මස 3 වනදා Planck මෙහෙයුම් කටයුතු නිමාවුණු අතර චන්ද්‍රිකාව heliocentric “graveyard” කක්ෂය වෙත ගෙනගොස් එය සතුවූ ඉන්ධන, බැටරි ආදී සියළු බලශක්ති ප්‍රභවයන් ඉවත් කොට (passivation) ක්‍රියාවිරහිත කර දමන ලදී.


Planck මගින් සැකසූ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිමේ සිතියම

ඔබ දන්නවාද?

* මිනිස් ඇස දෘශ්‍ය ආලෝකයට නොව ක්ෂුද්‍ර තරංග වලට සංවේදී වූවා නම් ඔබ අලංකාර, ඉතා වර්ණවත් හා දීප්තිමත් අහසක් දකිනු ඇත.

* රූපවාහිනියක් නැරඹීමේදී තිරය මත ඇති වන තිත් වැනි ස්වභාවයට අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයද යම් ප්‍රතිශතයකින් දායක වේ.

තවත් තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධ ලිපි සඳහා : මණ්දාකිනියෙන් ඔබ්බට – www.beyond-the-galaxy.blogspot.com

2013 වසරේ සිට "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොග් අඩවිය ලියූ අශාන් ද කොස්තා මහතා, සම්මානිත තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා බ්ලොග් රචකයෙකි. වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන ඔහු චක්‍රායුධ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා සහ පද රචකයා වශයෙන්ද කටයුතු කරයි.