පරිසරයට හිතකර කුමන විදුලි බලාගාරද?

පරිසරයට හිතකර කුමන විදුලි බලාගාරද?

මා ඉහත පැනයට පිළිතුරු සපයා මගේ කාර්යාලයට පැමිණියා පමණි. මගේ අදහස් ඉදිරිපත් කිරීමෙන් පසුව බොහෝ දෙනා බොහෝ දේ පිළිබඳව වාද විවාද කරගත්හ. ඒ බොහොමයකදී මම නිහඬව සිටියෙමි.

දකුණු අප්‍රිකාවේ විදුලි බල ඒකාධිකාරය ඇත්තේ එස්කොම් (ESKOM) ආයතනයටයි. මෙය ලංකාවේ CEB ආයතනයට සමානය. එම ආයතනය සහ University of the Witwatersrand අනුබද්ධව ක්‍රියාත්මක වන ESKOM Power Plant Engineering Institute (EPPEI) – HVAC ආයතනයේ ප්‍රධානියා මාය. එබැවින් ESKOM ආයතනයට විදුලි බලශක්ති අවශ්‍යතා පිළිබඳව යෝජනා සහ උපදේශන ලබා දීමේ වගකීමෙන් මට ගැලවිය නොහැක.

රටක බලශක්ති ප්‍රතිපත්තිය (energy policy) වසර ගණනාවක් ඉදිරියට සෑදිය හැකි ලියවිල්ලක් නොවන බව මම විශ්වාස කරමි. මන්ද ගෝලීය තාක්‍ෂණය ඉතා වේගයෙන් නවීකරණය වන හෙයිනි. මීට වසර පහකට පෙර හයිඩ්‍රජන් කියූ විට අපේ මනසට දැනුනේ පුලිඟු කූරක් දැමූ විට පොප් හඬින් දැවෙන සැහැල්ලුම වායුව ලෙසයි. එහෙත් අද එය මූලික බල ශක්තියක් සහ බලශක්ති ප්‍රවාහකයක් (energy carrier) ලෙස අපි හඳුනාගෙන ඇත්තෙමු. දැන් අපි හයිඩ්‍රජන් ආර්ථිකයක් ගැන කතා කරමු.

මේ ආකාරයෙන් ගත් කල බලශක්ති ප්‍රතිපත්තියක් ගොඩනැගීමේදී කෙටිකාලින මෙන්ම දීර්ඝ කාලින සැලසුම්ද තිබිය යුතු අතර දීර්ඝ කාලින සැලසුම් අතිශයින් නම්‍යශීලී විය යුතුය. මෙය මගේ පෞද්ගලික අදහසයි. එසේම ක්‍රියාන්විත උපදෙස් (guidelines) සහ මාර්ග සිතියමක් (roadmap) නොමැති ප්‍රතිපත්තියකින්ද පලක් නැත.

බොහෝ දෙනෙකු බලශක්ති පිළිබඳව විවාද කිරීමේදී මේ ලෝක ස්වභාවයන් අමතක කරයි. එහි ප්‍රතිඵල සමහර විට භයංකාර හෝ ව්‍යාකූල අනාගතයක් විය හැක.

වසර 2010 වන විට දකුණු අප්‍රිකාවේ පූර්ණ බලශක්තියෙන් 67% ගල් අඟුරු බලාගාර වලින් නිපදවීය. වසර 2016 වන විට එය 86% පමණ වර්ධනය විය. දැන් ඊටත් වඩා වැඩිය. මෙම ගල් අඟුරු බලාගාර වලට එරෙහිව පරිසරවේදීන් විශාල හඩක් නගයි. එබැවින් මීළඟ බලශක්ති ප්‍රතිපත්ති සමාලෝචනයට පෙර ESKOM ආයතනය තෝරාගත් පිරිසකගෙන් අදහස් විමසීය. මා මීට සම්බන්ධ වන්නේ මේ හරහාය.

කාලය, දේශය මෙන්ම මාතෘකාවද මා නිතර කතා කරන දෙයට වඩා තරමක් නැවුම්ය. එබැවින් මම අවස්ථාව සඳහා අවශ්‍ය ගෙදර වැඩ ටික හොඳින් කලෙමි. මෙතෙක් කල් ලෝකයේ නොයෙකුත් රටවල් උපයෝගී කරගත් බලශක්ති විභව සහ ඒවායේ ගුණ-අගුණ පිළිබඳව මම සති කිහිපයක් අධ්‍යනය කලෙමි.

අවසානයේ මගේ නිගමනය ඉතා සරල විය.

බලාගාරයක පරිසර හෝ ජන හිතකාමී බව රඳා පවතින්නේ ශක්ති ප්‍රභවයේ නොව බලාගාරය සඳහා සැලසුම් නිර්මාණය කිරීමේදී, එය ගොඩනැගීමේදී හා පවත්වාගෙන යාමේදී අදාළ පුද්ගලයන්/ආයතන ගන්නා ක්‍රියාමාර්ග අනුවයි.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.