Elearning.lk නිර්මාතෘ සංජය ඇල්විටිගල සමඟ කතා බහක්

“ලෝකය රගමඩලකි. අපි එහි නළුවො වෙමු”. ඒ, විලියම් ශේක්ස්පියර් ලියපු අපි කවුරුත් දන්න ප්‍රකාශයක්. ලෝකය කියන මේ අරුම පුදුම වස්තුව, බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නෙ අම්බලමකටයි. ඒ කියන්නෙ තාවකාලික වාසස්ථානයක්, එහෙමත් නැත්නම් තාවකාලික නැවතුම්පලක් විදිහටයි. අපි මේ ලෝකයට එනවා. මේ ලෝකයේ ජීවත් වෙනවා. ටික කාලෙකට පස්සෙ මැරෙනවා. මේ ලෝකයට එන හැම කෙනෙක්ටම වගකීමක් තියෙනවා. ඒ, අනිත් මිනිස්සු, ගහ කොළ, සතා සිව්පාවුන් සහ ස්වභාව ධර්මය වෙනුවෙන්, ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් තොරව, යමක් කළ යුතුයි කියන වගකීම. ඒ කියන්නෙ අනිත් හැම කෙනෙක්ටම යහපතක් වෙන දෙයක්. මේ ඉන්න ටික කාලයේ අපි අනිත් මිනිස්සුන්ව, ගහ කොළ, සතා සිව්පාවුන් සහ ස්වභාව ධර්මයත් හොදට රැක බලාගන්න ඕන. 

ඒ කාර්යභාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට, රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, ජාතියෙන් ජාතියට, සමාජයෙන් සමාජයට, ගමෙන් ගමට වෙනස් වෙන්න පුලුවන්. හැබැයි කිසිම සීමාවක් නෑ. සමාජයට සහ අපි ජීවත්වෙන ලෝකයට යහපතක් කරන්න, අපිට අවශ්‍ය වෙන්නෙ සාධක දෙකක් විතරයි. ඒ කාලය සහ උනන්දුව හෝ වෙහෙස මහන්සිය කියන සාධකයි. මුදල කියන දේ, අත්‍යාවශ්‍ය සාධකයක් නෙවේ.

අපි සමාජය වෙනුවෙන් කරන යම් ක්‍රියාවක්, සමහරක්විට අපිට බොහොම පුංචි දෙයක් වෙන්න පුලුවන්. හැබැයි ඒ ක්‍රියාව, සමාජයට ලොකු දෙයක් වෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට, තමන්ගෙ වත්තට ගිහින් කොස් පැළයක් හිටෙව්වත්, ඒ ක්‍රියාවෙන් තමන් දැනුවත්ව හරි, නොදැනුවත්ව හරි, ලෝකය වෙනුවෙන් යහපත් දෙයක් වෙනවා. තමන් දන්න දෙයක්, නොදන්න කෙනෙක්ට කියලා දෙන්න පුලුවන් නම්, ඒ දැනුම ඊළග පරම්පරාවටත් උරුම වෙනවා. තමන් දන්න දෙයක්, වෙන කෙනෙක්ට කියලා දෙන්න කිසිම මුදලක් වැය වෙන්නෙ නෑ. පාරෙන් එහා පැත්තට ගමන් කරන්න බැරුව ඉන්න වයෝවෘධ කෙනෙක්ට පාරෙන් එහා පැත්තට ගමන් කරන්න උදව් කළා නම්, ඒ ක්‍රියාවෙනුත් වෙන්නෙ යහපත් දෙයක්.

මේ නිසා අපේ ආසාවන්, විනෝදාංශ, අභිරුචීන් උපකාරී කරගෙන හෝ ආදර්ශයට අරගෙන සමාජය වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න පුලුවන් නම්, ඒ කරන්න හදන දෙය අනිවාර්යෙන්ම සාර්ථක වෙයි. එතකොට තමන් කවදා හරි මැරෙනකොට, තමන් නොදැනුවත්ව, රටට ණය නැති, නමුත් රටම ණයගැති චරිතයක් වෙලා ඉවරයි. මොකද “රූපය දිරයි – නාමය නොදිරයි” කියනවා වගේ, තමන් සමාජය වෙනුවෙන් කරපු ඒ දේවල්, තමන් මේ ලෝකයෙන් යන්න ගියත්, තව අවුරුදු ගණනාවක් යන තුරු, මතු අනාගතය වෙනුවෙන් ඉතිරිවෙලා තියෙන නිසා.

දැන් පොඩි කුතුහලයකුත් ඇති මේ පෙරවදන සම්බන්ධව. අද අපේ සාකච්ඡාවට එකතු වෙන්නෙත්, අන්න ඒ වගේ චරිතයක්. ඒ තමයි සංජය ඇල්විටිගල. සංජය කියන්නෙත් “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ” කියන වදන, ඛණ්ඩනය කරපු තවත් එක් චරිතයක්. Maya Creations ආයතනයේ නිර්මාතෘ සහ විධායක නිළධාරීවරයා විදිහට කටයුතු කරන අතරෙම, රාජ්‍ය විශ්වවිද්‍යාල කිහිපයකම භාහිර කථිකාචාර්යවරයෙක් විදිහටත්, ඊට අමතරව දේශකයෙක් විදිහටත් කටයුතු කරන කෙනෙක්. ඒ වගේම දක්ෂ ව්‍යවසායකයෙක්.  සමාජයේ බොහෝ පිරිසක් එකවරම සංජයව අදුරගත්තෙ, සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වුණු “කෝටියක් වටින අදහස” කියන වැඩසටහනෙන්. ඒ වැඩසටහනේදි දක්ෂ ව්‍යවසායකයො බොහෝ පිරිසක් එක්ක කරට කර තරග වැදිලා, අවසන් අටදෙනාගේ වටයට එන්නත් වාසනාව ලැබෙනවා. සංජය ඒ වැඩසටහනේදී ඉදිරිපත් කළ අදහස, අද වෙනකොට ආරම්භ කරලත් අවසන්.

ඒ තමයි eLearning ව්‍යාපෘතිය. ව්‍යාපෘතිය ගැන මමම පෙරවදනක් ලියන එකට වඩා, ඒ ගැන සංජයගෙන්ම අහන එක හොදයි. මේ ලිපියේ ප්‍රධානතම අරමුණ තමයි, eLearning ව්‍යාපෘතිය ගැන නොදන්න අයට, ඒ ගැන හෙළි කරන එක. ඒ වගේම සංජය වගේ ව්‍යවසායකයෙක් වෙන්නෙ කොහොමද සහ සංජයගෙන් අපිට ගන්න පුලුවන් ආදර්ශ ගැන හෙළි කරන එකත්, මේ ලිපියේ තවත් අරමුණක් වෙනවා. හොදයි. එහෙනං අපි දැන් සාකච්ඡාව පටන් ගමු….

01. උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම?
**   සංජය නුවන් ඇල්විටිගල

02. අද ඔබව හදුනන්නෙ?
**   එනමින්මයි

03. උපන්න ගම් පළාත?
**   ඇරැව්වල

04. ඉගෙන ගත්ත පාසල?
**   නැගෙනහිර ඇරැව්වල ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල මහා විද්‍යාලය

05. උසස් පෙළට පිවිසෙන්නෙ?
**   2003 අවුරුද්දෙ, ගණිත අංශයෙන්

06. දැන් මොනවද කරන්නෙ?
**   දැන් ආයතන කිහිපයක නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරියා විදිහට වැඩ කරනවා.

07. මොකක්ද දැන් මේ eLearning කියන්නෙ?
**  eLearning කියන්නෙ මගේ අලුත්ම Startup එක. eLearning කියන්නෙ තමන්ගෙ තියෙන දැනුම, තමන් එක්කම වැලලිලා යන්න දෙන්නෙ නැතුව, සමාජයත් එක්ක බෙදා හදා ගන්න හදපු Platform එකක්. මේකෙ කිසිම සීමාවක් නෑ. ඕනෑම කෙනෙක්ට, ඕනෑම දෙයක් උගන්නන්න පුලුවන්. හරියට Wikipedia වගේ. ගොඩක්ම Video Base. ඒ වගේම ඕනෑම කෙනෙකුට, තමන් කැමති දෙයක් ඉගෙනගන්න පුලුවන්.  eLearning  එකෙන් මට අවශ්‍ය කරන්නෙ අපේ තියෙන දැනුමට අමතරව තියෙන අත්දැකීම් එක්ක එන Tacit Knowledge කියන එක, පුලුවන් තරම්  හැමතැනටම පතුරවන්න. එතකොට එහෙම තමයි සමාජය අත්දැකීම් එක්ක ඉදිරියට ගියාම, ඒ ඒ පුද්ගලයන්ට ඒ ඒ වටිනාකම් ලැබෙන්නෙ සහ වැදගැම්මකට නැති මිනිස්සු අතරින් වැදගැම්මක් ඇති මිනිස්සු ඉලිප්පෙන්නෙ, මෙන්න මේ වගේ තමන්ගෙ අත්දැකීම් බෙදාගන්න ලැබුණොත්.

08. ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුනෙ?
**  ප්‍රධානම හේතුව තමයි, මම අර කලින් කියපු දේවල්. ඊට අමතරව ගොඩක් දැනුම තියෙන ගුරුවරුන්ට ඒගොල්ලන්ගෙ අමතර ආදායම් මාර්ගයක් විදිහට මේක පාවිච්චි කරන්න පුලුවන් අනිවාර්යෙන්. සිසුන්ට පුලුවන් සහතිකයකට වඩා එහා ගිය, ප්‍රායෝගික දැනුමක් ලබා ගන්න. ඒ වගේම ලංකාවෙ සහ ලෝකයේ ගොඩක් රටවල්වල Local Language Learning කියන එක ගොඩක් අඩුයි. ඉංග්‍රීසිවලින් තමයි ගොඩක්ම Content තියෙන්නෙ. ලංකාවෙ සිංහල සහ දෙමළ භාෂාවලින් ක්‍රමවත් සහ විධිමත් අධ්‍යාපනයක් දෙන Online ධාරාවක් නෑ. එතකොට ඒකට ආදේශකයක් විදිහට තමයි මේක පටන් ගත්තෙ.

09. අනෙකුත් වෙබ් අඩවිවල දකින්න නැති, eLearning වෙබ් අඩවියට පමණක්ම සුවිශේෂී වුණු දේවල් තියෙනවද?
** කැමති දවසක, කැමති වේලාවක, කැමති ස්ථානයක සිට පාඩම් ඉගෙනීමේ අවස්ථාව කොහොමත් තියෙනවා. Video Player එකක් හරහා Skip කර කර බැලීමේ අවස්ථාව තියෙනවා. මේකෙ දේශීය භාෂාව කියන එක ගොඩක් වැදගත්. ඊට අමතරව මේක සමාජ ජාලාවක්. ඊට අමතරව ඔයාලට සහතිකයක් හම්බවෙනවා. ඒ සහතිකය දැනට හම්බවෙන්නෙ eLearning එකෙන්. ඉදිරියේදී ඒ ඒ පිළිගත් ආයතනවලින් ලැබෙයි. තමන්ට තාක්ෂණික දැනුමක් නැති වුණත්, පාඨමාලාවක් කරන්න කැමැත්තක් තියෙනවා නම් අපි එයාට උදව් කරනවා, ඒ පාඨමාලාව හදලා eLearning එකේ අන්තර්ගත කරන්න. ඒ වගේම ඔයාලා පන්තියකට යනවා නම්, ඒ යන වෙලාව, වියදම, පන්ති ගාස්තු එක්ක බැලුවම, eLearning හරහා ලැබෙන දේ හරියට ඒ වියදමෙන් හතරෙන් එකක් වගේ. ඉතින් ඒ ඔක්කොම වාසි එක්ක බැලුවම Online Learning කියන එක ඉස්සරහට අපේ රටේ ප්‍රචලිත වෙන්නම ඕන දෙයක්.

10. ඒත් Data කැපෙන නිසා, වීඩියෝ බලන පිරිස සාපේක්ෂ වශයෙන් ගොඩක් අඩුයි නේද?
**  ඔව්. ඔයාගෙ තර්කය සෑහෙන්න හරි. හැබැයි මේ ප්‍රශ්නයට පාසල් යන ළමයින්ව සැළකුවොත් තමයි, මේක ගොඩක්ම බලපාන්නෙ. මොකද එයාලා ආදායමක් උපයන්නෙ නෑ. එතකොට එයාලා එක කොටසක් විතරයි. තව ඉන්නවා ව්‍යවසායකයො, ප්‍රවීනයො, Freelancers වගේ අය. එයාලට Data කැපෙන එක එච්චර ප්‍රශ්නයක් නෙවේ. එයාලා කොහොමත් ඉන්නෙ අන්තර්ජාලයේ. එතකොට එයාලා තමයි මගේ ප්‍රධාන ඉලක්කය. ඊට අමතරව පාසල් සිසුන්ට දෙනවා. එතනදි දෙමාපියන්ට තේරෙනවා නම් මේක ළමයව පන්ති යවනවට වඩා ආරක්ෂාවයි, Rewind කර කර බලන්න පුලුවන් නිසා පන්තියට යනවට වඩා හොද අධ්‍යාපනයක්, ගොඩක් අඩු මුදලට ලැබෙනවා කියලා තේරුම් ගත්ත දවසට, මේ Data ප්‍රශ්නය, ප්‍රශ්නයක් නෙවේ.

11. අපි හිතමු කවුරු හරි කෙනෙක්ට තමන්ගෙම පාඨමාලාවක් eLearning වෙබ් අඩවියට ඇතුළත් කරන්න අවශ්‍යයි කියලා. www.elearning.lk වෙබ් අඩවියට පිවිසිලා, ඔහු හෝ ඇය අනුගමනය කළ යුතු පියවර ගැන විස්තර කරනවා නම්?
** ඔව්. මුලින්ම www.elearning.lk වෙබ් අඩවියට ඇවිල්ලා, ඒකෙ තියෙනවා Link එකක් “ගුරුවරයෙක් වෙන්න” කියලා. එතනට ගියාම Form එකක් තියෙනවා. ඒ Form එක පුරවන්න ඕන. ඊට පස්සෙ සතියක් ඇතුළත ඔයාලට E-Mail මගින් ලැබෙනවා ලිපි මාලාවක්. ඒවායේ තියෙන ඒවා හරියටම කියෙව්වා නම් ඔයාලට පාඨමාලාවක් හදන විදිහ, හරියටම දැනගන්න පුලුවන්.

12. ඒ වගේම වෙබ් අඩවියේ අන්තර්ගත කරලා තියෙන පාඨමාලාවක් ඉගෙන ගන්න ආස කෙනෙක්, www.elearning.lk වෙබ් අඩවියට පිවිසිලා අනුගමනය කළ යුතු පියවර මොනවාද?
**   එයාට eLearning වෙබ් අඩවියට ඇවිල්ලා, මේකෙ තියෙන පාඨමාලා Search කරන්න පුලුවන්. කැමති පාඨමාලාවක් Click කළා, ඒකෙ තියෙන අන්තර්ගතය කියෙව්වා, Preview Lessons (Free Lessons) අපි දීලා තියෙනවා….. ඒවා එකක් දෙකක් බලලා, ඒ උගන්නන රටාවට කැමති නම්, තමන්ට ගැලපෙනවා නම්, ඒ උගන්නන දේ තේරෙනවා නම් Add to Cart Button එක ඔබලා, Cart එකට Add කරගන්න පුලුවන්, ඒ පාඨමාලාව. ඊට පස්සෙ Cart එකෙන් Checkout කරලා ඔයාලගෙ Credit Card Details හරි, Debit Card Details හරි, eZ Cash හරි, mCash හරි, ඔයාලගෙ බැංකුව හරහා සෘජු ගණුදෙණුවකින් හරි Checkout කරලා Payment එක Proceed කළාම, ඔයාලට ඒ පාඨමාලාවට Access හම්බවෙනවා. ඊට පස්සෙ ඕනම වෙලාවක Log වෙලා, කවදා හරි දවසක ඒ පාඨමාලාව ඉගෙනගෙන ඉවර කරන්න පුලුවන්. සමහර පාඨමාලා අපි නොමිළේ ලබා දෙනවා. කැමති අයට ඇවිල්ලා ඉගෙනගන්න පුලුවන්. එතනදි ගුරුවරයත් එක්ක සාකච්ඡා කරලා, ඒ පාඨමාලාව සමාජයට ඇත්තටම වැදගත්කමක් තියෙනවා නම්, විෂය දැනුමට එහා ගිය, සමාජ සුභ සාධනයට වැදගත්කමක් තියෙනවා නම්, අපි ඒ පාඨමාලාව සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් නොමිළේ ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. දැනටමත් ඒ වගේ පාඨමාලා කිහිපයක්ම eLearning එකේ තියෙනවා.

13.  eLearning  ඔස්සේ ගුරුවරයෙක් ලෙස ලියාපදිංචිවීමට සැපිරිය යුතු සුදුසුකම් මොනවාද?
**  ඇත්තටම සුදුසුකමක් කියලා දෙයක්, අපි මෙතනදි අදහස් කරන්නෙ නෑ.  සුදුසුකම් තියෙනවා නම් හොදයි. සුදුසුකම් තියෙන කෙනෙක් පාඨමාලාවක් දැම්මොත්, එයාගෙ පාඨමාලාවට වැඩිපුර පිළිගැනීමක් ලැබෙයි. මොකද එයාගෙ අත්දැකීම්, එයා ලබාගෙන තියෙන අධ්‍යාපන ජයග්‍රහණ එක්ක, ඒ පාඨමාලාව ගන්න කෙනාට ලොකු උත්තේජනයක් ලැබෙයි, ඒ පාඨමාලාවම ගන්න, වෙන කෙනෙක්ගෙ පාඨමාලාවක් ගන්නවට වඩා. හැබැයි අපේ නම් කිසිම සීමා කිරීමක් නෑ. තමන් හරියට යමක් දන්නවා නම්, ඕන කෙනෙක්ට උගන්නන්න පුලුවන්.

14. වෙබ්අඩවියේ පාඨමාලා ඇතුළත් කරන ගුරුවරුන්ට, දිරිගැන්වීමක් විදිහට, එක් පාඩමකට රුපියල් 1000 බැගින් දෙනවා කියන්නෙ ඇත්තක්ද?  
**  ඔව්. මේක එක එක අවස්ථාවලදී දෙන විශේෂ වට්ටමක්. මේ දවස්වල නම් (2018.07.28) ඒ වට්ටම නෑ. 2018 මාර්තු මාසයේ 30 වෙනිදා වෙනකන් ඒ වට්ටම දුන්නා. ඉදිරියටත් අපි මේක නැවත පණ ගන්වන්න බලාපොරොත්තු වෙනවා. එතකොට, ඒ කාලෙදි ඔයලා පාඨමාලාවක් දැම්මොත්, හැම පාඩමකටම රුපියල් 1000ක් ලැබෙනවා, උපරිමය රුපියල් 50 000කට යටත්ව.

15. කොහොමද මේ පාඨමාලා සහ විෂය නිර්දේශවල නිර්වද්‍යතාවය, ගුණාත්මක බව තීරණය කරන්නෙ? ඕනෑම කෙනෙකුට, සාවද්‍ය කරුණු අන්තර්ගත කරලා, eLearning වෙබ්අඩවියට පාඩම් ඇතුළත් කිරීමේ අවදානමක් තියෙනවා නේද?
**  විෂය නිර්දේශ අපි අනුමත කරනවා, මොකද කලින්ම අපිට දැන ගන්න අවශ්‍යයි මේ පුද්ගලයා සැලසුම් කරන පාඩම් ප්‍රමාණය ගැන. ගුණාත්මක බව අපි තීරණය කරන්නෙ නෑ. ඒක, ඒ පාඨමාලාව පවත්වන පුද්ගලයාගේ නමත් එක්ක, ඒ වගකීම, එයාට තමයි යන්නෙ. එයා තමයි ඒ ගුණාත්මක බව තීරණය කරලා, ඒවා දාන්න ඕන. එතකොට ගුණාත්මකබව වැඩි කරගන්න කළ යුතු දේවල්, අපේ අර පාඨමාලාවක් හදන ලිපි මාලාවේ අන්තර්ගතයි. ඒක කියෙව්වා නම් ගුණාත්මකබව වැඩි කරගන්නෙ කොහොමද කියන එක ගැන ඔයාලට යම්කිසි අදහසක් ගන්න පුලුවන්. තමන් උගන්නන දේ හොදයි නම්, හරි නම්, අමුතුවෙන් ගුණාත්මකබව බලන්න දෙයක් නෑ. 
මේ අතරේ වැරදි දේවල් තියෙන්නත් පුලුවන්. Wikipedia එකෙත් ඕකම නෙහ් තියෙන ප්‍රශ්නය. ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි කාලයත් එක්ක ඒ දේවල් හරි යනවා. eLearning එකේදි එහෙම හරි යන්නෙ කොහොමද, eLearning එකෙදි Ratings and Reviews System එකක් දීලා තියෙනවා. ගුරුවරයා හරි නැත්නම්, ඔයාලට Rate කරන්න පුලුවන් 1 Star, 2 Starsවලට. එතකොට එයාලගෙ පාඨමාලා නිකංම යට යනවා. හොද පාඨමාලා තමයි උඩට එන්නෙ. අපි ඉදිරියේදී රතු පාටින් දානවා, මේකෙ වගකීම eLearning.LK එකේ නෙවේ, පාඨමාලාව හදන පුද්ගලයා තමයි ගන්නෙ. පාඨමාලාවේ මොනවා හරි වැරදි තිබ්බොත්, අඩු Rating එකක් දෙන්න, එයාට ආපහු බොරු කරන්න බැරි වෙන්න කියලා.

16. යම් කෙනෙක්, යම් මුදලක් ගෙවීමෙන් පසුව eLearning පාඨමාලාවකට ඇතුළත් වෙනවා. ඒත් ඔහුට හෝ ඇයට, දෘෂ්‍ය (Video) මාධ්‍යයෙන් ඒ පාඨමාලාවේ උගන්වන දේ තේරෙන්නෙ නෑ. මේ වගේ අවස්ථාවකදී ඔහු හෝ ඇය ගත යුත්තේ මොන වගේ පියවරක්ද?
​** එයාලට ඒ Video එක නැවත නැවත Rewind කර කර බලන්න පුලුවන්. දෙතුන් පාරක් බැලුවම තේරෙන අය ඉන්නවා. එහෙමත් තේරෙන්නෙ නැත්නම්, එතන ඇතුළෙ තියෙනවා හැම පාඨමාලාවකටම Forum එකක්. ඒකට ගිහින්, ගුරුවරයාගෙන් සෘජුව ප්‍රශ්න අහන්න පුලුවන්.

17. දැනුම කියන දේ ඕනෑම කෙනෙකුට තිබෙන්න පුලුවන්. ඒත් ඒ දැනුම, අනිත් අයට බෙදලා දෙන්න හැකියාව තිබෙන්නෙ, සාපේක්ෂ වශයෙන් සීමිත පිරිසකටයි. අපි හිතමු මුදල් අය කරන පාඨමාලාවක, කිසිම පාඩමක්, ඒ පාඨමාලාවට සම්බන්ධ වෙන කිසිම කෙනෙකුට තේරෙන්නෙ නැහැ කියලා. ඒ වගේ අවස්ථාවකදී eLearning කණ්ඩායම ගන්නෙ මොන වගේ පියවරක්ද?  
** ගොඩක් අමාරු පාඨමාලාවක් ගත්තොත්, සිසුන් කිහිප දෙනෙක්ටම ප්‍රශ්න තියෙනවා නම්, එයාලට පුලුවන් එකතුවෙලා ඉල්ලීමක් කරන්න, ඒ Forum එක ඇතුළෙන්ම, අපිට පැයක හෝ පැය භාගයක Live Session එකක් (සජීවී අවස්ථාවක්) දෙන්න කියලා. එතකොට අපි ගුරුවරයත් එක්ක සාකච්ඡා කරලා, ගුරුවරයා කැමති නම්, ඔයාලට Webinar මාර්ගයෙන් Live Session එකක් ලබා දෙනවා, ඔයාලගෙ ප්‍රශ්න විසදගන්න. ඒක ගුරුවරයාගෙ කැමැත්ත මත නොමිළේ වෙන්නත් පුලුවන්. යම්කිසි මුදලක් අමතරව අය කරලා වෙන්නත් පුලුවන්. අපි මේක ලබා දෙන්නෙ මුළු වෙළදපලටම සමබර වෙන්න. Ratings අඩුවෙයි. තමන්ට උගන්නන්න බැරි නම්, තමන්ගෙ පාඨමාලාව විකිණෙන්නෙ නැතිවෙයි. Udemi.com එකේ ආකෘතියත් ඒකම තමයි. ලෝකයේ සාමාන්‍යයෙන් දැනටමත් තියෙන දෙයක්. මම අමුතුවෙන් යමක් කරන්න යන්නෙ නෑ, ඒ පැත්තෙන්.

18. අද වෙනකොට අන්තර්ජාලය හරහා ගනුදෙණු කරනකොට, ගොඩක් පාරිභෝගිකයින් වංචාවලට ලක් වෙනවා. බොරුවලට අහුවෙනවා. රැවටෙනවා. ඉතින් eLearning එහෙම නොකරයි කියලා සහතිකයක් දෙන්නෙ කොහොමද?
**  වංචාවට ලක් වෙන්නෙ E Commerce Websitesවලින් නෙවේ නෙහ්. වංචාකාරයින්ගෙන් නෙහ්. ඕන තරම් E Commerce Websites තියෙන්නෙ wow.lk, mydeal.lk වගේ ඕන තරම්. මේකත් ඒ වගේ සේවාවක්. වංචාවක් කියන්නෙ සල්ලි අරගෙන Product එක Deliver නොකර හිටියොත්. හැබැයි අපිට ගෙවපු ගමන්ම, පාඨමාලාවට Access හම්බවෙනවා. ඒක අපි අතින් කරන දෙයක් නෙවේ. ස්වයංක්‍රීයව වෙන දෙයක්. එතකොට කොහොමටවත් වංචාවක් නෑ.

19. මේ වෙනකොට ගුරුවරු සහ පරිශීලකයන් කීයක් විතර ඉන්නවද? දැනට ක්‍රියාත්මක වෙන පාඨමාලා කිහිපයක් නම් කළොත්?
** ගුරුවරු නම් 850කට වැඩි පිරිසක් (2018.07.28) සම්බන්ධවෙලා ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගෙන් 50කට අධික පිරිසක් දැනටමත් මට පාඨමාලා හදලා දෙනවා සහ දෙමින් ඉන්නවා, අපි මේ කතා කරන වෙලාවෙත්. අපි මේක ප්‍රසිද්ධ කළේ 2018 ජූලි මාසෙ මුල. එතකොට තාම ඉගෙනගන්න අය ඉන්නෙ නම් 100ක් විතර. ඒ අයගෙනුත් බොහොම සුළු ප්‍රමාණයක් තමයි, තාමත් අපිට ගෙවීම් කරන්නෙ. හැබැයි ඉදිරියේදී ඒක වර්ධනය වෙනවා. දැනට ගැඹුරු දැනුමක් ලබා දෙන පාඨමාලා කිහිපයක් තියෙනවා. ඒ වගේම ක්ෂණික දැනුමක් ලබා දෙන පාඨමාලා කිහිපයකුත් තියෙනවා. Game Development, හින්දි භාෂාව, සාමාන්‍ය පෙළ ගණිතය,  Master of Business Administrations වගේ විෂයන්වල පාඨමාලා ගණනාවක් තියෙනවා. ව්‍යාපාර දියුණු කිරීම සම්බන්ධව පාඨමාලා තියෙනවා. Websites හදන විදිහ ගැන පාඨමාලා තියෙනවා. Website එකටම ඇවිල්ලා බලන්න. ඔයාලටම පෙනෙයි, දැන් කොච්චර පාඨමාලා ප්‍රමාණයක් Website එකේ තියෙනවද කියලා.

20. eLearning වෙබ් අඩවිය භාවිතා කරන ගුරුවරුන් සහ පරිශීලකයින් මොන වගේ කොන්දේසිවලටද යටත්විය යුත්තේ?  
​*
*  පරිශීලකයන්ට බලපාන කොන්දේසිය තමයි, මේකෙ Content Download කරලා, ලංකාව ඇතුළෙ Redistribute කළොත්, අපි නීති මාර්ගයෙන් කටයුතු කරනවා. ගොඩක් කොන්දේසි බලපාන්නෙ ගුරුවරුන්ට. මේකෙ දාන Content එක, ගුරුවරුන්ට වෙන තැනක දාන්නවත්, විකුණන්නවත් බැහැ. අපේ හරහම තමයි විකුණන්න පුලුවන්. අපිත් එක්ක එයාලගෙ Revenue Share එකක් යනවා. ඊට අමතරව එයාලා බැදිලා ඉන්නවා ළමයි අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න සහ එයාලගේ පාඨමාලා කාලෙන් කාලෙට යාවත්කාලීන කරන්න. ඒ ඇරෙන්න ලොකු කොන්දේසි නම් නැහැ. “පාඨමාලාවක් හදන්නෙ කොහොමද?” කියන තැනදි, යම්කිසි උපදේශනයක් තියෙනවා. ඒක E-Mailවලින් ඔයාලට ලැබෙන ලිපි මාලාවේ, පැහැදිලිව සදහන් වෙනවා.

21. අනාගතෙ මතු යම් දවසක උපකාරක පන්ති ගුරුවරුන්ට, eLearning අභියෝගයක් වෙයිද?
**  eLearning අභියෝගයක් විය යුතු නෑ. ඒගොල්ලො ඒගොල්ලන්ගෙ උපකාරක පන්ති Online Deliver කරන්න ඕන. තව දුරටත් පන්තියකට ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන එක, අපේ සමාජයේ මුල් බැහැ ගත්ත දෙයක්. ඒ වුණාට කාලයත් එක්ක ඒක අඩුවෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද ළමයින්ගෙ ආරක්ෂාව ගැන බලන්න ඕන. දැන් ලොකු ආන්දෝලනයක් යනවා, මේ දවස්වල අන්තර්ජාලයේ. එතකොට වියදම? අනිත් එක, කාලය? ඉතින් ඒ ඔක්කොම ඉතුරු වෙන්න පුලුවන්, මේ වගේ ක්‍රමවේදයකට ඉගැන්නුවොත්. එතකොට උපකාරක පන්ති ගුරුවරුන්ට තියෙන විසදුම තමයි, එයාලටත් පුලුවන් E Learning එක්ක එකතුවෙලා, එයාලගෙ උපකාරක පන්තිය පවත්වන්න. මේක හැම ළමයටම සාර්ථක වෙන්නෙ නෑ. විශේෂයෙන්ම පොඩි ළමයින්ට සාර්ථක වෙන්නෙ නෑ. මොකද එයාලගෙ අවධානය එක තැනක තියාගන්න අමාරුයි. ඒ වුණාට සාමාන්‍ය පෙළ සහ ඊට උඩ තියෙන ඕනෑම විෂයක්, මම හිතනවා eLearning හරහා සාර්ථකත්වයට යයි කියලා.

22. “eLearning“වල අවසාන ඉලක්කය, සමාජයේ කැපී පෙනෙන පොරක්වීම” කියලා චෝදනාවක් එල්ල කළොත්?
**  ඕක eLearningවල කියලා නෙවේ අහන්න ඕන, “ඔබේ අවසාන ඉලක්කය සමාජයේ කැපී පෙනෙන පොරක්වීමද?” කියලයි. ඒකෙ වැරැද්දක් තියෙනවාද කියලා මම අහනවා. මොකද දැන් සමාජයේ කැපී පෙනෙන පොරවල්වෙලා ඉන්නෙ, “පොරවල් විය යුතු මිනිස්සුද?” කියන එක ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එතකොට එයාලා නිතරම මාධ්‍යවලින්, සමාජ ජාලවලින් සහ අනෙකුත් මාධ්‍යවලින් දකින එක කොච්චර දුරට අපේ ළමයින්ට සහ තරුණයින්ට ප්‍රතිඵලදායකද? එහෙම නැත්නම් සමාජයේ දැනුම් තේරුම් තියෙන මිනිස්සු ඇවිල්ලා, එයාලගෙ අදහස් ගට්ඨනය වෙලා හොද දෙයක් සමාජයට යන එක සහ දැනුම බෙදාහරින එක සහ ඒ මිනිස්සු නෙවේද පොරවල් වෙන්න ඕන කියලා, මම ආයිත් අහන්නෙ ඔයාගෙන් ප්‍රශ්නයක් විදිහට….

23. “eLearning” ගැන මුළු රටම දැන ගත්තෙ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශනය වුණු “කෝටියක් වටින අදහසක්” වැඩසටහන හරහා. කොහොමද ඒ අත්දැකීම?
**  “කෝටියක් වටින අදහසක්” කියන වැඩසටහන ඉතාම හොදයි. ලංකාවේ ඒ වගේ වැඩසටහනක් කිරීමට ඉදිරිපත්වීම ගැන සිරස සහ මොබිටෙල් ආයතනවලට අනිවාර්යෙන්ම ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේ වැඩසටහනක් කළා කියලා, Dancing හරි, සිංදු කියන හරි, Reality Show එකක් තරමට බැලුවොත්, ඒවායෙන් 50න් 1ක් තරම්වත් ප්‍රේක්ෂක පිරිසක් හම්බවෙන්නෙ නෑ, මේ වගේ වැඩසටහනකට. හැබැයි ඒකෙන් රටක් වෙනස් කරන්න පුලුවන්, ලෝකයක් වෙනස් කරන්න පුලුවන් මිනිස්සු බිහිවෙන්න ඉඩ තියෙනවා. ඒ වැඩසටහනෙත් යම් යම් දුර්වලකම් තියෙනවා. ඒ වුණාට ඉතාම හොද ආරම්භයක්. ඒගොල්ලන්ට ඒක ඉදිරියටම කරගෙන යන්න කියලා මම ඉල්ලා සිටිනවා.

24. දැනට ලැබිලා තියෙන ප්‍රතිචාර ගැන කියනවා නම්?
**  ප්‍රතිචාර ඉතාම හොදයි. ලංකාව පුරාම කට්ටිය කතා කරලා හොදයි, එයාලගෙ පාඨමාලාවක් කරන්න ඕන සහ ගන්න ඕන, ඒ වගේ කොහොමද කරන්නෙ කියලා අහනවා. ඒ වගේ ගොඩක් ප්‍රතිචාර එනවා. හැබැයි ප්‍රතිචාර විතරක් ආවට වැඩක් නෑ. ඒ ප්‍රතිචාර මත අපි අපේ සේවාව දියුණු කරගෙන කරගෙන යනවා. මේක තාම පටන් ගත්තා විතරයි. තව අවුරුද්දකින් විතර මට ඕක ගැන සම්පූර්ණ සහ හොද උත්තරයක් දෙන්න පුලුවන්වෙයි.

25. කවුද ඔබේ ප්‍රියතම ව්‍යවසායකයා? මොකක්ද හේතුව?
**  එක ව්‍යවසායකයෙක් කියලා නෑ. කිහිප දෙනෙක් ඉන්නවා. එයාලගෙ විවිධ හේතු තියෙනවා, එයාලා හොදම ව්‍යවසායකයො විදිහට මම සළකන්න. එතකොට “ප්‍රියතම” කියලා එක්කෙනෙක්ව නම් කරන්න බැහැ. එයාලා හැමෝම එකිනෙකාට වෙනස්. ඊට අමතරව ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයො, ඒ කියන්නෙ ලංකාවේ ඉහළම ව්‍යාපාරිකයන් අතරිනුත් මම කැමති කිහිප දෙනෙක්ම ඉන්නවා. නම් වශයෙන් කියන්න බැහැ මේ වෙලාවෙ. මොකද ඒක ලොකූ දිග උත්තරයක්.  මොකද ඒකට හේතුත් තියෙනවා. ඒ වගේම එයාලගෙ නරක පැත්තත් තියෙනවා. හොද නරක දෙකම තියෙනවා. දැනට ලංකාවෙ මගෙත් එක්කම ව්‍යාපාර පටන් ගත්ත අයගෙන්, මම ප්‍රිය කරන ව්‍යවසායකයො කිහිප දෙනෙකුත් ඉන්නවා. ඒක වෙනමම සාකච්ඡාවක්. ඒ නිසා, මේ වගේ පොඩි වෙලාවකදි කියන්න බෑ.

26. සැමියෙක්, පියෙක්, ගුරුවරයෙක්, ආයතන ප්‍රධානියෙක්, කථිකාචාර්යවරයෙක්, දේශකයෙක්, ව්‍යවසායකයෙක්……. කොහොමද කාලය කළමනාකරණය කරගන්නෙ?
**  ඇත්තටම සමහර වෙලාවට කළමනාකරණය කරගන්න බෑ. එතකොට සමහර දේවල් මග ඇරෙනවා. එතකොට ගොඩක් වෙලාවට මග ඇරෙන්නෙ, පළවෙනි දෙකෙන්. සැමියෙක්, පියෙක් කියන දෙකෙන් තමයි මග ඇරෙන්නෙ. කාලය කළමනාකරණය කරගන්න සුපිරි දක්ෂතාවයක් තියෙන මනුස්සයෙක් නෙවේ මං. හැබැයි සෑහෙන දුරකට ඒක කරගන්න පුලුවන්.

27. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** eLearning.Lk ඔස්සේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සහ ඒ අධ්‍යාපනය බෙදා හැරෙන විදිහ වෙනස් කිරීම තමයි මගේ දැනට බලාපොරොත්තුව, ඒ පැත්තෙන්. ඒ වගේම මම නව ක්‍රමවලට, Digitally කොහොමද පාඨමාලාවක Content එකක් බෙදා හරින්නෙ……. Screen Capturing නෙහ් මම දැනට කරන්නෙ? ඒකෙන් ඔබ්බට ගිහින් තවත් ආකර්ශනීය විදිහට, කොහොමද විෂයන් බෙදා හරින්නෙ කියන එකට පරීක්ෂණ මට්ටමෙන් වැඩ කරනවා. මේ සතියෙත් මම තව ආයතනයක් එක්ක සම්බන්ධවෙලා පරීක්ෂණ කිහිපයක් කරනවා, කොහොමද Content ආකර්ශනීය විදිහට බෙදා හරින්නෙ කියලා. අපි බලමු. ඉදිරියේදි ඔයාලට ප්‍රතිපල දකින්න ලැබෙයි, අන්තර්ජාලය හරහා.

28. අවසාන වශයෙන්, මොන වගේ දෙයක්ද පාඨකයින්ට කියන්න තියෙන්නෙ?
**  පාඨකයන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කිසිම විදිහකින් හරවත් නැති දේවල් එක්ක, ඔයාලගෙ ජීවිතය නාස්ති කරගන්න එපා. පුලුවන් තරම් අලුත් දේවල් සහ අලුත් දැනුම හොයාගන්න. ලංකාව කියන්නෙ දියුණු වෙමින් පවතින රටක්. ඒ කාලෙ ඉදන්ම. අපිට තව පරම්පරාවක් ගියායින් පස්සෙත්, ඒ දේම කියන්න අවශ්‍ය නෑ. එහෙම වෙන්නෙ ඔයගොල්ලො හරියට ඔයගොල්ලන්ගේ වගකීම සහ ඔයගොල්ලන්ගෙන් සමාජයට විය යුතු දේවල් හරියට අවබෝධ කරගෙන, ඒ ඔස්සේ සහ ඒ සම්බන්ධයෙන් වැඩ කළොත් විතරයි. ඒ නිසා අන්තර්ජාලයේ තියෙන කුණු කන්දල් හොයන්නෙ නැතුව, ඒවා ගණන් ගන්නෙවත් නැතුව, ඒ මිනිස්සුන්ව උලුප්පන්නෙ නැතුව, වැදගත් දෙයක් බෙදාහදා ගන්න, වැදගත් මිනිස්සුන්ව ආශ්‍රය කරන්න, සත් පුරුෂයන්ව ආශ්‍රය කරන්න. ඒ වගේම වැදගත් Content, විශේෂයෙන්ම eLearning වගේ ඒවායෙන් එන Content බෙදාහදා ගන්න, ඒවා බලන්න, තමන් කැමති පාඨමාලාවක් තියෙනවා නම් මිළදී ගන්න.

29. ස්තූති කරන්න ඕන පිරිසකුත් ඇති නේද?
** ඔව්. ගොඩක් දෙනෙක් ඉන්නවා ස්තූති කරන්න. මගේ බිරිද, දරුවො, අම්මා, තාත්තා, විශේෂයෙන්ම මගේ සහායකයා වන ඉයන්….. අමිත් දිසානයක, මගේ තවත් සහයකයෙක්…. එයා නැත්නම්, අද eLearning.Lk ඇත්තටම නෑ. ඊට පස්සෙ සිරස සහ මොබිටෙල් ආයතන දෙකට. ඊට අමතරව මගෙත් එක්ක ඒ තරගයට සහභාගි වුණ මගේ අනිත් යාලුවො. ඒ වගේම මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගුරුවරු පිරිස, ඒ අයගේ සහයෝගය සහ අදහස් නැතුව මේ වැඩේ මට කොහොමටවත් කරන්න බෑ. ඊළගට මගේ අනිත් ආයතනය, ඒ කියන්නෙ Maya Creations ආයතනයේ ඉන්න කණ්ඩායමේ හැම කෙනෙක්මවත් මේ වෙලාවෙදි මතක් කරනවා. තව විශේෂයෙන් මතක් කරන පුද්ගලයෙක් ඉන්නවා. ඉන්දික ද සොයිසා……… එතුමා මගේ උපදේශක විදිහට හිටියා “කෝටියක් වටින අදහසක්” තුළ. එතුමා ඇතුළුව අනිත් උපදේශකයන් පස් දෙනාවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.

30. කොහොමද ඔබව සම්බන්ධ කර ගන්න පුලුවන්?
** elearning.lk Website එකට ගියාම ඒකෙ තියෙනවා දුරකතන අංකය සහ E-Mail Address එක. E-Mail Address එක මම කියන්නම්, sales@elearning.lk…….. දුරකතන අංකය තමයි, 077 91 01 993. ඒකටත් ඕන වෙලාවක කතා කරන්න පුලුවන්.


තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.