ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශනය

රාජ්‍ය පාලනයේ කුළුණු 3කි. ඒ,
01. විධායකය
02. ව්‍යවස්ථාදායකය
03. අධිකරණය

* ව්‍යවස්ථාදායකයේ කාර්යය, නීති සෑදීමයි.
* විධායකයේ කාර්යය නීතිය ක්‍රියාත්මක කිරීමයි.
* අධිකරණයේ කාර්යය නීතිය විවරණය කිරීමයි.

1976 සිට 1833 දක්වා ලංකාවේ තිබූ බ්‍රිතාන්‍ය පාලනයේ සම්පූර්ණ බලය තිබුණේ බ්‍රිතාන්‍ය රජු විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයාටයි.

කෝල්බෲක් – කැමරන් කොමිසම

ලංකාද්වීපයේ පරිපාලනය ගැන සොයා බලන පරිපාලන, මූල්‍ය, ආර්‍ථික හා අධිකරණමය ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට 1833 දී කෝල්බෲක් – කැමරන් කොමිසම පිහිටුවන ලදී.

කොමිසම විසින් ඉදිරිපත් කළ යෝජනා මත පිහිටා 1833දී කෝල්බෲක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හදුන්වාදෙන ලදී.

මෙම ප්‍රතිසංස්කරණයේ පහත දැක්වෙන විශේෂ ලක්ෂණ දැකිය හැක.

# විධායක කටයුතු භාරව 6 දෙනෙකුගෙන් සමන්විත, ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විධායක සභාවක් පිහිටුවන ලදී.

# ව්‍යවස්ථාදායක කටයුතු සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් පිහිටවූ අතර විධායක සභාවේ සාමාජිකයන් 6 දෙනාද එයට ඇතුළත් විය.

# එය ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව පාලනය කිරීමේ ආරම්භය විය.

# එමෙන්ම එය නියෝජිතයන් මගින් සිදු කරන රාජ්‍ය පාලනයක ආරම්භය විය.

# ව්‍යවස්ථාදායක සභාවට ජන වර්ග පදනම් කරගනිමින් සාමාජිකයන් 6 දෙනෙක් පත් කිරීමෙන් ජනවාර්ගික නියෝජනයේ ආරම්භය සිදුවිය.

# 1889 දී ව්‍යවස්ථාදායක සභාවේ පත්කළ නිල නොලත් සාමාජිකයන් ගණන 8 දක්වා ඉහළ නංවන ලදී (යුරෝපීයයන් – 3, පහතරට සිංහල – 1, උඩරට සිංහල – 1, දෙමළ – 1, මුස්ලිම් – 1, බර්ගර් – 1)

# ලංකාවේ නඩු සඳහා ඉහළම අධිකරණය හා අවසාන අභියාචනාධිකරණය වූයේ බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලයයි.

මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය

ලාංකිකයන් විසින් වැඩි බලයක් සඳහා බ්‍රිතාන්‍යයෙන් කළ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස 1910 දී මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හදුන්වාදෙන ලදී.

මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ විශේෂ ලක්ෂණ පහත පරිදි වේ.

# පළමු වරට ඡන්ද අයිතිය ලබා දුන්නද එය හිමිවූයේ 3000 ක පමණ පිරිසකටයි (රටේ මුළු ජනගහනයෙන් 4%)

# ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය උගත්කම හා දේපළ මත තීරණය විය.

මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය

ලාංකිකයන් තවදුරටත් වැඩි බලයක් සඳහා කළ අරගලවල ප්‍රතිඵලයක් ලෙස 1920දි 1 වන මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයද, 1923දී 2 වන මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයද හදුන්වාදෙනු ලැබිණි.

1 වන මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ විශේෂ ලක්ෂණ වන්නේ,

# පළමු වරට ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සාමාජිකයන් ගණන, නිලලත් සාමාජිකයන් ගණනට වඩා වැඩි වීම.

# පළමු වරට ව්‍යවස්ථාදායක සභාවේ නිලනොලත් සාමාජිකයන් තිදෙනෙක් විධායක සභාවට තෝරා පත්කර ගැනීම

# පළමු වරට ඡන්ද කොට්ඨාශ හදුන්වාදීම

2 වන මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ විශේෂ ලක්ෂණ වන්නේ,

# ඒ වන තෙක් ආණ්ඩුකාරවරයා නිල බලයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා වූ අතර ඒ වෙනුවට ව්‍යවස්ථාදායක සභාවේ සභාපති යන තනතුර නිර්මාණය කර එම තනතුර ආණ්ඩුකාරවරයා විසින් නාමිකව දරන ලදී.

# ව්‍යවස්ථාදායක සභාවේ උප සභාපති යන තනතුරද ඇති කරන ලදී.

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ලාංකිකයන් තව දුරටත් අභ්‍යන්තර පාලනය උදෙසා කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස 1927දී බ්‍රිතාන්‍යයන් විසින් ඩොනමෝර් කොමිසම පිහිටුවා 1931දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදුන්වා දෙන ලදී.

මෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණ පහත පරිදිවේ.

# සර්වජන ඡන්ද බලය ලබාදීම.

# එතෙක් පැවති විධායක හා ව්‍යවස්ථාදායක සභා අහෝසි කර රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීම.

# රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ රජයේ විවිධ ක්ෂේත්‍ර වලට අදාළ විධායක කාරක සභා 7ක් පිහිටුවීම මගින් එයට ව්‍යවස්ථාදායක බලතල වලට අමතරව විධායක බලයක්ද ලැබීම.

සොල්බරි කොමිසම

ලංකා ජාතික සංගමය 1942 සිට නිදහස ලබා ගැනීම සඳහා කළ අරගලවල ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කළ යෝජනාද සලකා බලා නව ආණ්ඩුක්‍රමයක් යෝජනා කිරීමට 1944 දී සොල්බරි කොමිසම පත් කෙරිණි.

# ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ ඩොමීනියන් තත්වය හිමි විය. තවදුරටත් රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය රජු හෝ රැජිනයි.

# සෙනට සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් සමන්විත ද්වීමාණ්ඩලික පාර්ලිමේන්තුවක් ඇති කරන ලදී.

# ආණ්ඩුවේ නායකයා වූයේ අග්‍රාමාත්‍යවරයායි.

1972 ජනරජ ව්‍යවස්ථාව

වඩාත් අර්ථවත් නිදහසක් වෙනුවෙන් ජනවරමක් ඉල්ලමින් 1970 දී බලයට පැමිණි සමගි පෙරමුණ රජය විසින් 1972දී සම්මත කළ ව්‍යවස්ථාව මගින් ලංකාව සියලු බ්‍රිතාන්‍ය බැඳීම් වලින් මිදුණු ජනරජයක් බවට පත් කරන ලදී.

1972 පළමු ජනරජ ව්‍යවස්ථාවේ විශේෂ ලක්ෂණ වන්නේ,

# ජනරජයේ උත්තරීතර රාජ්‍ය පාලන ආයතනය ලෙස ජාතික රාජ්‍ය සභාව ස්ථාපනය කරන ලදී.

# නාමික විධායකය ලෙස ජනාධිපතිවරයෙක් පත්කළ අතර සැබෑ ලෙස විධායක බලය ඉසිලුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට මණ්ඩලයයි.

# ලංකාවේ නඩු සම්බන්ධයෙන් ප්‍රිවි කවුන්සිලයට තිබූ බලය ඉවත් කරන ලදී.

1977 ජනරජ ව්‍යවස්ථාව

1977දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ රජය විසින් විධායක ජනාධිපතිවරයෙක්ගේ නායකත්වයෙන් යුත් පාලන තන්ත්‍රයක් සහිත 2 වන ජනරජ ව්‍යවස්ථාව සම්මත කරන ලදී.

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ විශේෂ ලක්ෂණ වන්නේ,

# විධායක බලතල සහිත ජනාධිපතිධූරයක් ඇති කිරීම

# නීති සැදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව උත්තරීතර වීම

# ජනාධිපති-පාර්ලිමේන්තු මිශ්‍ර ක්‍රමයක් ඇති කිරීම

# එතෙක් පැවති සරල බහුතර ඡන්ද ක්‍රමය වෙනුවට සමානුපාතික ඡන්ද ක්‍රමයට මාරු වීම.


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.ilankainet.com