ප්‍රංශය තවත් වසර පහකට මැක්‍රොන්ට​

April 27, 2022

ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම 2022 අප්‍රේල් 24 වනදා පැවැත්වුණා. එහිදී ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සියයට 58.5 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නැවැත වරක් එරට ජනාධිපති ධුරයට තේරී පත්වුණා. 2002 දී ජාක් ශිරාක් දෙවන වතාවට ජනාධිපති ධුරය සඳහා තේරීපත් වූ පසු ප්‍රංශ ජනාධිපතිවරයකු පිට පිට දෙවරක් ජනාධිපති ලෙස තේරී පත්වූ පළමු අවස්ථාව ද මෙයයි.

ජාතිකවාදී දේශපාලනය නියෝජනය කරන මාරීන් ලෙ පෙන්, මැක්‍රොන් අතින් පරාජයට පත් වූයේ සියයට 41.5 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින්. 2017 දී ද ජනාධිපතිවරණයේ දෙවන වටය සඳහා තරග වැදුණේ මැක්‍රොන් සහ ලෙ පෙන් වීම විශේෂ කරුණක්. එයින් පැහැදිලි වන තවත් කරුණක් වන්නේ ප්‍රංශයේ දේශපාලන ධාරාවන් පසුගිය වසර දහය තුළ කෙතෙක් වෙනස් වී ඇතිද යන්නයි. කෙසේ වෙතත් මාරීන් ලෙ පෙන් මෙවර ජනාධිපතිවරණය සිය අවසන් ජනාධිපතිවරණ සටන වනු ඇති බව ද මීට පෙර සඳහන් කර තිබුණා.

@elearninglk

පළමු වටය​
ප්‍රංශ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ උපරිම වශයෙන් වට දෙකකින්. පළමු වටයේ දී සුදුසුකම් සපුරන අපේක්ෂකයන් සියළු දෙනාට තරග කළ හැකි වන අතර එහිදී කිසියම් අපේක්ෂකයකු හෝ අපේක්ෂිකාවක හෝ සියයට පනහක් ඉක්මවා ඡන්ද ලබාගතහොත් ඔහු හෝ ඇය ජනාධිපති ලෙස පත්වනවා.

එවිට දෙවන වටයේ ඡන්ද විමසීමක් පවත්වන්නට අවශ්‍ය වන්නේ නෙහෙ. කෙසේ වෙතත් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 සීමාව ඉක්මවා යාමට නොහැකි වුවහොත් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනවා. එහිදී පළමු වටයේදී පළමු සහ දෙවන ස්ථාන ලබාගත් අපේක්ෂකයන් තරග වදිනවා.

මෙවර පළමු වටය සඳහා අපේක්ෂකයන් 12 දෙනෙක් ඉදිරිපත් වුණා. එයින් ද මුල පටන්ම පාහේ ජනමත සමීක් ෂණ අනුව ඉදිරියෙන් සිටියේ ජනාධිපති මැක්‍රොන් වුවද ඔහුට සියයට 50 ඉක්මවිය නොහැකි බව ද පෙනෙන්නට තිබුණා.

එහෙයින් දෙවන ස්ථානය දිනාගන්නේ කවරකු ද යන්න වැදගත් ප්‍රශ්නයක් වුණා.


වමේ සිට​: මෙලන්ශොන්, ලෙ පෙන්, මැක්‍රොන්, පෙක් රෙස්, සෙමූර් (The Guardian)

මේ සඳහා ප්‍රබල තරගයක් දෙන අපේක්ෂකයන් ලෙස පෙනී ගියේ ලෙ පෙන්, ශෝන්-ලුක් මෙලන්ශොන්, එරික් සෙමූර් සහ වලේරි පෙක්රෙස් යන අයයි. මෙලන්ශොන් රැඩිකල් වාමාංශික නායකයකු වන අතර 2017 ජනාධිපතිවරණයේදී ද සිව්වන ස්ථානය දිනාගත්තා. කෙසේ වෙතත් මෙවර තරගයේ මුල් සතිවල ඔහු එතරම්ම ඡන් ද ලබාගන්නා බවක් පෙනෙන්නට වූයේ නැහැ.

වලේරි පෙක්රෙස් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂිකාව වූ අතර ඇය මුලදී සැලකිය යුතු ජනප්‍රියත්වයක් පෙන්නුම් කළා. පසු කාලීනව එම ජනප්‍රියත්වය හීන වනු දකින්නට ලැබුණා.

ජනාධිපතිවරණයේ ආන්දෝලනයට තුඩු දුන් අපේක්ෂකයා වූයේ අන්ත ජාතිවාදියකු වන එරික් සෙමූර් නමැත්තායි. ඉස්ලාම් ආගම අදහන්නන්ට පහර දීම සහ සංක්‍රමණික ප්‍රතිපත්ති විවේචනය කිරීම ඔහුගේ ප්‍රධානම ලක්ෂණය වුණා. ඔහු ද මුල් කාලීනව කිසියම් ජනප්‍රසාදයක් ගොඩනගාගත් නමුත් එය ද පසුව හීන වී ගියා. ඊට ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් මෙන්ම ඔහුගේ දේශපාලනික අත්දැකීම් මදකම ද හේතු වූ බව පෙනෙන්නට තිබෙනවා.

පළමු වටයේ ඡන්ද විමසීමේදී මැක්‍රොන් සියයට 27.85 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ලෙ පෙන් සියයට 23.15 ක් ලබාගත් අතර ශෝන්- ලුක් මෙලන්ශොන් සියයට 21.95 ක් ඡන්ද ලබාගැනීම විචාරකයන් තරමක් පුදුමයට පත් කිරීමට සමත් වුණා. ඔහුගේ සාර්ථකත්වයට හේතු වූයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා කෙරේම කලකිරුණු ඡන්දදායකයන් දිනාගන්නා ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනයාමට ඔහු සමත් වීමයි. මේ අතර​, එරික් සෙමූර්ට ලැබුණේ ප්‍රකාශිත ඡන්දවලින් සියයට 7.07 ක ප්‍රතිශතයක් පමණයි. පෙක්රෙස් ද සියයට 4.78 ක අඩු ඡන්ද ප්‍රතිශතයක් පමණක් ලබාගැනීමට සමත් වුණා.


ඇනා හිදල්ගෝ

දශකයකට පෙර​, 2012 ජනාධිපතිවරණයේදී ප්‍රබලම සටනක් දුන්, එමෙන්ම කලක් තිස්සේ ප්‍රංශ දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙක වූ රිපබ්ලිකන් පක්ෂයට (එකල එය හැඳින්වූයේ වෙනත් නමකින්) සහ සමාජවාදී පක්ෂයට වර්තමානයේ අත්ව තිබෙන තත්ත්වය පිළිබඳ මෙම ඡන් ද විමසීම කටුක ස්මරණයක් වුණා. එම පක්ෂ දෙකේම අපේක්ෂකයින් (දෙදෙනාම කාන්තාවන් වීමත් විශේෂත්වයක්) මෙවර ලබාගත්තේ සියයට 5 ටත් අඩු ඡන්ද ප්‍රතිශතයක්. පෙක්රෙස් සියයට 4.78 ට වැටෙද්දී සමාජවාදී පක්ෂයේ ඇනා හිදල්ගෝ ලබාගත්තේ සියයට 1.74 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

මේ අනුව​, සම්ප්‍රදායික දක්ෂිනාංශය මෙන්ම සම්ප්‍රදායික වාමාංශය ද පසෙකට තල්ලු වෙද්දී, එක් අතකින් මැක්‍රොන්ගේ නව ලිබරල්වාදයත් අනෙක් අතින් ජාතිකවාදයත්, ඊට අමතරව රැඩිකල් වාමාංශයත් ප්‍රංශ දේශපාලනයේ බලකොටු සවිමත් කරගෙන තිබෙන බව පෙනෙනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

දෙවන වටය
පළමු වටයේ ඡන්ද විමසීම අවසන් වූ විගසම පාහේ කෙරුණු ජනමත සමීක්ෂණ අනුව සියයට 53 ක් පමණ දෙනා දෙවන වටයේදී මැක්‍රොන්ට ඡන්දය ප්‍රකාශ කරන බව පෙනුණ අතර ලෙ පෙන්ට සියයට 47 ක ප්‍රතිශතයක් ලැබෙන බව පෙන්නුම් කෙරුණා. මේ අනුව ලෙ පෙන්ට ජයග්‍රහණයේ සේයාවක් දිස්වූ බව කිව හැකියි. මීළඟ දින කිහිපයේදී ලෙ පෙන් තමන් වෙත වැඩි පිරිසක් දිනාගැනීමේ ප්‍රබල උත්සාහයක් ගත්තා.

මේ අතර මැක්‍රොන් ද විශේෂයෙන්ම මෙලන්ශොන්ට ඡන්දය දුන් පිරිස දිනාගන්නට උත්සාහ කළා. මෙහිදී ඔහුගේ අදහස වූයේ රැඩිකල් වාමාංශය කිසි ලෙසකින් හෝ ලෙ පෙන්ට ඡන්දය නොදීමත්, ලෙ පෙන් ජයගැනීම වැළැක්වීමට තමන් වෙත ඡන්දය දෙනු ඇති බවටත් වන බලාපොරොත්තුවයි. ඇත්තෙන්ම ලෙ පෙන් පරාජය කිරීමේ අරමුණින් ම මෙලන්ශොන්ට පළමු වටයේදී ඡන්දය දුන් ඇතමෙක් දෙවන වටයේදී මැක්‍රොන් වෙත ඡන්දය ලබාදුන්නා.


ලෙ පෙන් සහ මැක්‍රොන්

මෙවර ජනාධිපතිවරණයේදී එක් ප්‍රධානම විවාදයක් වූයේ ලෙ පෙන් විසින් මුස්ලිම් කාන්තාවන් හිස ආවරණය කරන හිජාබය තහනම් කිරීමට කරන ලද යෝජනාවයි. ප්‍රංශයේ සියයට අටක පමණ මුස්ලිම් ජනගහනයක් වන අතර එයින් සියයට 70 ක් පමණ දෙනා මුල් වටයේදී මෙලන්ශොන්ට ඡන්දය භාවිතා කළ බවට ද එරට මාධ්‍ය වාර්තා පැවැසුවා.

මෙවන් තත්ත්වයකදී මුස්ලිම් ඡන්දය කෙසේවත් ලෙ පෙන්ට හිමිවීමේ ඉඩක් වූයේ නැහැ. කෙසේ වෙතත් ඈ බලාපොරොත්තු වූයේ ජාතිකවාදී ඡන්දය තමන් වෙත ඇදගැනීමයි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත්වූ ට්‍රක් රථ රියැදුරන් වැනි පිරිස්වල සහය ලබාගැනීම ලෙ පෙන් අපේක්ෂා කළ තවත් කරුණක්. මෑත කාලීනව ඉන්ධන මිල ඉහළ යාමට බලපෑ මූලික කරුණ යුක්‍රේනයේ යුද්ධය යි. එය ද මැතිවරණයේදී වැදගත් සාධකයක් බවට පත්වුණා.

යුද්ධය සමථයකට පත්කිරීම උදෙසා මැක්‍රොන් දරන උත්සාහය ඔහුගේ කීර්තිය ඉහළ නැංවීමේ ක්‍රමයක් ලෙස භාවිතා කෙරුණු අතර ලෙ පෙන් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්ට සහය දක්වන්නෙක් ලෙස විවේචනයට ලක් කෙරුණා.

ලෙ පෙන්, පුටින්ට ඍජුව සහය නොදැක්වූවත් ඇය ජයග්‍රහණය කළේ නම් පුටින්ට වැඩි වාසි අත්වන බව පැහැදිලි කරුණක්. මක් නිසාද යත් ලෙ පෙන් යුරෝපා සංගම් විරෝධියකු වීම නිසයි. ඇය ජනාධිපතිවරණය ජයගත්තේ නම් යුරෝපා සංගමයේ වර්තමාන ප්‍රබලයකු වන ප්‍රංශය එම සංගමයට එරෙහි ස්ථාවරයක් සහිත අයකුගේ මෙහෙයවීමට නතු වනවා.

එය යුරෝපා සංගමයට යහපත් වන්නේ නැහැ. මේ කරුණ නිසාම මැක්‍රෝන්ගේ ජයග්‍රහණය පිළිබඳ යුරෝපා සංගම් ප්‍රබලයින් බෙහෙවින් සතුට පළ කර තිබෙනවා.


Click on the Image

කෙසේ වෙතත් තමන් ජයගත්තේ තම අදහස් විශාල පිරිසක් විසින් පිළිගන්නා ලද නිසා නොවන බවත් අන්ත දක්ෂිනාංශිකයකු බලයට පත්වීම වැළැක්වීම සඳහා සැලකිය යුතු පිරිසක් තමන්ට ඡන්දය ලබාදුන් බවත් මැක්‍රොන් පිළිගත්තා.

තම ජීවන තත්ත්වය පහත වැටී ඇති බව හැඟෙන ප්‍රංශ ජාතිකයන් විශාල පිරිසක් සිටින බව පිළිගත් ඔහු ඔවුන්ගේ තත්ත්වය යහපත් කිරීමට උත්සාහ කරන බවට ප්‍රතිඥා දුන්නා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.