කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්

May 11, 2020

ගොඩක් දැන උගත් අයව එහෙම හම්බුණම ආගිය තොරතුරු ගැන කතා කරද්දි, ඒ අයගෙන් බහුතරයක් මගෙන් අහනවා ගලහේනේ හෙන්ද්‍රික් පෙරේරා ගැන. මොකද ගලහේනේ හෙන්ද්‍රික් පෙරේරා ජීවත් වෙලා හිටියේ අපේ ගමේ. බොරලැස්ගමුව, රත්තනපිටියේ අපි ඉන්න පාර නම් කරලා තියෙන්නෙත් එතුමාගේ නමින්. ගලහේනේ හෙන්ද්‍රික් පෙරේරා කියලා කිව්වට ගොඩක් අය මෙතුමාව දන්නේ ජී.එච්.පෙරේරා කියලා. ජී.එච්.පෙරේරා කියන්නේ කොළඹ යුගයේ හිටපු දක්ෂ කවියෙක්.

1896 අවුරුද්දේ බොරලැස්ගමුවේ රත්තනපිටියේ උපත ලබන ජී.එච්.පෙරේරා ශූරීන් ගුරුවරයෙක් විදිහටත්, විදුහල්පතිවරයෙක් විදිහටත් සේවය කරන අතරේ ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා විදිහටත් කටයුතු කරලා තියෙනවා.

මෙතුමා බොරැලැස්ගමුවේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යපනය ලබලා ගුරු වෘත්තියට පිවිසිලා මුලින්ම, උප ගුරුවරයෙක් විදිහට නිකපේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙත්, විදුහල්පතිවරයෙක් විදිහට කිරුළපන බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, කොල්ලුපිටියේ ජිනරාජ විද්‍යාලය සහ මුල්ලේගම බෞද්ධ මිශ්‍ර පාඨශාලාව යන විද්‍යාලවලත් සේවය කරනවා.

සූදු අන්තුවා, සිංහල මංගල සුත්තර, මගේ අදහස්, බුද්ධ ස්තෝත්‍ර, වරකාමදුලු, බේබදු ගෙදර, පරලොවට පණිවිඩයක්, කුරක්කන් හේන, බොරලැස්ගමුවේ රචනා, එළිදරව්ව, පුබුදිව් වගේ පොත් එතුමා අතින් ලියවුණු ජනප්‍රිය පොත් විදිහට සළකන්න පුලුවන්.

1945 අවුරුද්දේ එතුමා ලියපු “හෙළදිව පුවත”, ලංකා ඉතිහාසය ගැන සදහන් වෙන කෘතියක්. ගුරුවරයෙක් විදිහට කටයුතු කරන අතරෙම එතුමා පුවත්පත් කලාවේදියෙක් විදිහටත් කටයුතු කරනවා. ඒ “සිංහල පුත්‍ර”, “රාජමුරාරි” කියන ආරූඪ නම් වලින්.

සිංහල ජාතිය, සරසවි සඳරැස, සිංහල බෞද්ධයා, කවීන්ද්‍ර, ස්වදේශ මිත්‍රයා වගේ පුවත්පත් සහ සගරා වලටත් මෙතුමාගේ දායකත්වය ලැබුණා. එතුමා දක්ෂ හිටිවන කවියෙක්. ඒ වගේම හොද විනෝදකාමියෙක්.

පී.ඇම්.සේනාරත්න මහතා ලියපු “කොළඹ යුගයේ කවියෝ” පොතේ තියෙන විදිහට පිළියන්දල ගුරු මහතුන්ගේ සංස්කරණ සම්මේලනයක් පවත්වපු දවසක, ජී.එච්.පෙරේරා ශූරීන් “සිංහල හදන හැටි” කියලා දේශනයක් පැවැත්තුවා. කතාව අවසානයේදී සහභාගී වුණු පිරිසෙන් එතුමාට ආරාධනාවක් ලැබුණා හිටිවන කවියක් කියන්න. ඉතින් එතුමා මේ විදිහට හිටිවන කවියක් කියනවා.

පිරිමි සතා මී මැස්සා
හොද හොද මලටම රිස්සා
රාගෙන් වූ කල පිස්සා
ඌම තමයි නිල මැස්සා

ඊට පස්සේ ස්ත්‍රී පාර්ශවයෙන් ඉල්ලීමක් කෙරුණලු කාන්තා පාර්ශවය ගැනත් කවියක් කියන්න කියලා. ඉතින් එතුමා කාන්තා පාර්ශවය ගැන මෙහෙම කිව්වලු.

වත දෙස බැලූ කලත් මලකී
සිත දෙස බැලූ කලත් මලකී
ගත දෙස බැලූ කලත් මලකී
ඉතිරිය සහමුලින් මලකී

එතුමා සමහරක් කවි රචනා කළේ එක එක ගමන් බිමන් යන එන කොට, දකින්න හම්බවෙන දේවල් පදනම් කරගෙන.

එහා කෙළවරේ සපු මල් කැනක් ඇතී
මෙහා කෙළවරේ දුනුකේ මල් කැනක් ඇතී
පූරුවෙ කරපු මහේ පව්වල ඉමක් නැතී
මෙහෙවු දාට බස්වල ඉඩ හොදට ඇතී

ගල් ඉනි කොටය සිටුවා අයිනක කාණූ
තොල් පට විකා ඉගටිය සොලවා මෑනූ
අල් ලෙන් ගලව ගලවා කොහු කෙදි රේණූ
පොල් ලෙලි ගහනවා ගිරිඋල්ලේ ගෑනූ

“බුදුරජාණන් වහන්සේ” නොහොත් “බුද්ධ ස්තෝත්‍ර” කියන කවි පෙළේ කවි කිහිපයක් තමයි පහළින් තියෙන්නේ.

තොටදුරු කළැති කිසිවෙකුහට අවිනී ත
නිරතුරු දුකැති තැන් අටලොස්සක් බී ත
දිවතුරු කල සටන් මගෙ නිමිවිය මෑ ත
ලොවතුරු කුසුම සුවඳැයි එතරම් ඈ ත

සම්මා සම්බුදු රජු ගේ
සදහම් කිරි රස දිව ගේ
සැදු ජාතියකට අන ගේ
උපන්නෙ උඹ පුතුන් ම ගේ

ඒ මුනිඳුගේ ගුණ තියු ණු
සිරිදහමින් කිති කැවූ ණු
සිංහලයෙන් ගැන කරු ණු
ඉගෙන ගනින් මගෙ පුත ණු

මේ තියෙන්නේ එතුමාගේ තවත් කවි කිහිපයක්…

අවිගත් යම රජුට වුන මුත් අයුත්ත ට
යටහත් නො වූ දිවිදුන් නිතොර ඇත්ත ට
එමහත් විකුම් පළකළ සිහළු නැත්ත ට
නැති වෙත් බලා සිටියොත් මෙහෙම මත්ත ට

උඹේ පියාගේ අති නේ
වැපුරූ කුඹුරේ බති නේ
උඹට බොන්ට මගෙ දෙත නේ
රස කිරි පිරුනා පුතු නේ

උදය බොහොම සීතයි – දාවලේ අව්ව රස්නෙයි
සවස යහළුවන් හා – සෙල්ලමේ යන්ට ඕනෑ
මෙලෙස අලස බැව්හී – සිත්බැඳි නම් අනිස්සේ දරුව
නුඹට නම් බෑ – වෙන්ඩ මත්තෙන් මහත්මෙක්

වමතින් දෙමළියකි දකුණත සිංහල ක ත
දෙමළිය කරුවලය සිහලිය මල් බුරු ත
කොල්ලෑ දෙකට මැදි වූ ඔරුව ම ත
කොළඹට එනතුරුම වින්දෙමි සුර සැප ත

මෙයාගේ හැටියට කවිසේකරයන් ලියන්නට නම් පෑ තුනක් මදැයි
ලියා ගත්තොතින් පැයකට ගුත්තිලයක්ද ලියා නින්දකුත් නිදයි
වියාකරණ හේම නොසලකතොතින් නම් කාලය එපමණවත් මොටදැයි
මෙයාකාර පුත් පැටියකු වැදුවේ ලක්මව වයසට ගිය හින්දයි

බාල්කති මෙහි කොක්කු වෙල්වල ලෙහෙසියෙන් ගෑ හැකිය අප පත
හාල් බාගය එකට නැංගා හැලි පතුල් දැන් අඬන්නෙත් නැත
කාල් ගෑමට එකට පටලා ලිඳේ පොඩියක් වතුරකුත් ඇත
ලූල් මාලූයි බතුයි කන්නට දිනෙක මෙහි පැමිණියොත් යහපත

මෙතුමා තරුණ කවි සමාජයේ රැස්වීම්වලත්, සමස්ත ලංකා කවි සම්මේලනයේ රැස්වීම්වලත් ගොඩක් කැපී පෙනුනු චරිතයක් වෙලා තියෙනවා.

මෙතුමාට ජීවත් වෙන්න වාසනාව ලැබෙන්නේ 1948 අවුරුද්ද දක්වා විතරයි. වයස අවුරුදු 52දී මෙතුමා, කොළඹ යුගයේ කවීත්වයට විශාල හිඩැසක් මතු කරමින් ජීවන ගමනෙන් සමු ගන්නවා.


මූලාශ්‍ර :
* කොළඹ යුගයේ කවියෝ – පී.ඇම්.සේනාරත්න
* බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා – එච්.ඒ.පී. අභයවර්ධන
* ජී.එච්.පෙරේරා (G.H. Perera) – Vinivida Wiki
* කොළඹ කවියෝ – විජය පුවත්පත


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : කොළඹ යුගයේ කවියෝ – පී.ඇම්.සේනාරත්න
* ඡායාරූපය 02 : www.poppe-stamps.com
* ඡායාරූපය 03 : www.silumina.lk

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.