ඊශ්‍රායලය සමග හැප්පෙන ගාසා තීරයේ පලස්තීන සංවිධාන

ඊශ්‍රායල-පලස්තීන ගැටුම 1948 කාලයටම දිවෙනවා. එහිදී විවිධ පලස්තීන කණ්ඩායම් ඊශ්‍රායලයට එරෙහිව අවි අතට ගෙන සටන් කරනවා. යසර් අර්ෆත් ඇරඹූ ෆටා සංවිධානය වැනි ඇතැම් පැරණි සන්නද්ධ සංවිධාන දැනට සටන් බිමෙන් ඈත්ව සිටින අතර තවත් සංවිධාන මේ වනවිට ඉතා කුඩා කණ්ඩායම් බවට පත්ව තිබෙනවා. මේ අතර, පැරණි සංවිධාන සමහරක වැදගත්කම අඩු වෙද්දී නව සංවිධාන ඉදිරියට පැමිණ තිබෙනවා.

2021 මැයි 10 වනදා රාත්‍රියේ සිට ගාසා තීරයෙන් ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල වන්නට පටන් ගත්තා. එයින් පසු එහි සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර දරුණු ගැටුම් හටගත්තා. අද අපි සොයාබලන්නේ මෙසේ ඊශ්‍රායලය සමග ගැටෙන ප්‍රධාන සංවිධාන ගැනයි. දැනට ගාසා තීරය සැලකුවහොත් ප්‍රධාන වශයෙන්ම සටන්කාමී සංවිධාන දෙකක් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ විස්තර කිරීමට පෙර අපි ගාසා තීරය හඳුනාගනිමු.

බටහිර ඉවුර සහ ගාසා තීරය
පලස්තීනයේ ප්‍රධාන කොටස් දෙකක් වන බව ඔබ දන්නවා ඇති. ඒවා බටහිර ඉවුර සහ ගාසා තීරයයි. බටහිර ඉවුර යනු ජෝර්දාන් නදියේ බටහිර ඉවුරේ සිට විහිදෙන ප්‍රදේශයක්. 1967 සයදින යුද්ධයේදී බටහිර ඉවුර ජෝර්දානයෙන් ඊශ්‍රායලය අතට පත්වුණා.

ගාසා තීරය එම යුද්ධයෙන් පසු ඊජිප්තුවෙන් ඊශ්‍රායලය අතට පත්වුණා. 1990 දශකයේ ඔස්ලෝ ගිවිසුම් අනුව බටහිර ඉවුරේ ඇතැම් කොටස් සහ ගාසා තීරය පලස්තීන පාලන අධිකාරිය වෙත පවරා දෙනු ලැබුණා.


බටහිර ඉවුර සහ ගාසා තීරය (Encyclopaedia Britannica)

ගාසා තීරය යනු වර්ග කිලෝමීටර් 365 ක පමණ කුඩා ප්‍රදේශයක්. එනම් කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා කුඩා ප්‍රදේශයක්. නමුත් මෙහි මිලියන දෙකක පමණ ජනගහනයක් වෙසෙනවා.

ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පන් දහසක් වැනි විශාල අගයක් ගන්නවා. ජනගහනය සම්පූර්ණයෙන්ම පාහේ සුන්නි මුස්ලිම්වරුන්.

හමාස් සංවිධානය
හමාස් යනු හරාකට් අල්-මුකාවමා අල්-ඉස්ලාමියා හෙවත් ඉස්ලාමීය ප්‍රතිරෝධතා ව්‍යාපාරය හඳුන්වන කෙටි නමයි. මෙය මුල්කාලීන පලස්තීන ව්‍යාපාරයක් නොවේ. හමාස් සංවිධානය බිහි වන්නේ 1987 දී. නමුත් මෙය බිහිවන්නේ 1928 දී ඊජිප්තුවෙන් ආරම්භ වී අරාබිය මුළුල්ලේ පැතිරගිය මුස්ලිම් සහෝදරත්වය සංවිධානය තුළින්. එම සංවිධානයේ සාමාජිකයන් මුල්කාලීනව සන්නද්ධ අරගලයට සම්බන්ධ වුණේ නැහැ. කෙසේ වෙතත්, ඊශ්‍රායලයට එරෙහිව පළමු පලස්තීන ඉන්ටිෆාඩාව අවස්ථාවේ හමාස් සංවිධානය බිහිවුණා.


මෑතකදී හමාස් සංවිධානය භාවිතා කළ මරාගෙන මැරෙන ඩ්‍රෝනයක්

හමාස් සංවිධානය මුලදී ඊශ්‍රායලය විනාශ කර දැමිය යුතුය යන ස්ථාවරයේ සිටියා. පලස්තීනය තුළ මැතිවරණ ක්‍රියාවලිය ද එය වර්ජනය කළා. කෙසේ වෙතත් පසුකාලීනව ඔවුන් මැතිවරණ සඳහා සම්බන්ධ වූ අතර ඊශ්‍රායල සහ පලස්තීන රාජ්‍ය දෙකේ විසඳුමට ද එකඟත්වය පළ කළා. ඔවුන් පවසන්නේ 1967 ට පෙර දේශසීමා අනුව එම බෙදීම සිදුවිය යුතු බවයි.

2006 පැවති පලස්තීන මැතිවරණයේදී හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ජයග්‍රහණය කළා. ඒ සමගම පලස්තීන සාම වැඩපිළිවෙලෙහි අනාගතය පිළිබඳ ද ගැටළුවක් නිර්මාණය වුණා. ඊට හේතුව බොහෝ රටවල් හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකීමයි.

2007 දි හමාස් සහ ෆටා සංවිධාන අතර වූ සිවිල් යුද්ධයකින් පසුව හමාස් සංවිධානය ගාසා තීරයේ බලය තහවුරු කරගත් අතර බටහිර ඉවුරේ පාලනය ෆටා සංවිධානය අතට පත්වුණා. දැනටත් එම තත්ත්වය ඒ අයුරින් පවතිනවා.

හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය හඳුන්වනු ලබන්නේ ඉස් අදින් අල්-කාසම් බ්‍රිගේඩ යනුවෙන්. ඔවුන් සතුව රොකට් ගණනාවක් ද ඩ්‍රෝන ද තිබෙන බව පෙනීගොස් තිබෙනවා. මේවා ඉරානයේ සහයෝගයෙන් එහි සිට ගෙන්වන ලද අවි බව සැක කෙරෙනවා.

පලස්තීන ඉස්ලාමික් ජිහාඩ්
පලස්තීනයේ ක්‍රියාත්මක තවත් සන්නද්ධ සංවිධානයක් වන මෙහි ආරම්භය සිදු වන්නේ 1980 දශකයේ මුල යි. ඊට මුල් වන්නේ ඊජිප්තු ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය සමග සම්බන්ධ වූ පිරිසක්.

එමෙන්ම මුස්ලිම් සහෝදරත්වයේ ආභාෂය ද ඉරාන ඉස්ලාමික විප්ලවයේ ආශ්වාදය ද මෙම සංවිධානය බිහිවීමට ඉවහල් වුණා. පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය ගාසා තීරයේ ප්‍රබලව ක්‍රියාත්මක අතර බටහිර ඉවුරේ ද ඔවුන් යම් තරමකට කටයුතු කරනවා.


පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සටන්කාමීන් පිරිසක් (Reuters)

හමාස් සංවිධානය සිය මතවාදය යම් තරමකට වෙනස් කරගත්ත ද පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය දිගටම කියා සිටින්නේ ඊශ්‍රායලය මුලිනුපුටා දැමිය යුතු බව යි. රාජ්‍ය දෙකේ විසඳුම ඔවුන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.

එමෙන්ම පලස්තීන පාලන අධිකාරියේ දේශපාලන කටයුතු ද ඔවුන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. ගාසා තීරය සැලකුවහොත්, එහි පලස්තීනුවන්ගේ සහයෝගය දිනාගැනීම සඳහා පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සහ හමාස් අතර තරගයක් පවතිනවා.


Click on the Image

මෙම සංවිධානයේ සන්නද්ධ අංශය හඳුන්වනු ලබන්නේ අල් කුද්ස් බ්‍රිගේඩ ලෙසයි. මෑත කාලයේ දී පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය සහ එහි සන්නද්ධ අංශය වෙනත් කිසිදු කලකට වඩා ප්‍රබල බවක් පෙන්නුම් කරනවා.

ඊට හේතු වී ඇත්තේ ඉරානයෙන් ඊට ලැබෙන ආධාර බවට විශ්වාස කෙරෙනවා. ඊශ්‍රායලය මෙන්ම වෙනත් රටවල් ගණනාවක් මෙය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කර තිබෙනවා.

මෙම සංවිධාන දෙකටම ඉරානයේ සහය ලැබෙන බව ප්‍රකටයි. ඉරානය ශියා මුස්ලිම් රටක් වුවද මෙහිදී එම සහය ලබා දෙන්නේ ඔවුන් සිය පොදු සතුරා ලෙස ඊශ්‍රායලය සලකන නිසයි.

සම්බන්ධිත


අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.