විරහව කළමනාකරණය කිරීම

“හරිම අමාරුයි හාමුදුරුවනේ… හිත හදාගන්න. නිතරම මතක් වෙනවා. මැරෙන්න හිතෙනවා” ?

ඇය මේලෙසින් විශාල විස්තරයක් සහිතව, කෙටි පණිවිඩයක් තබා තිබුණි.

“පහසුවෙන් පැයක් පමණ කතා කරන්න පුළුවන් වෙලාවක ගන්න දරුවො…” මම පිළිතුරු යැවීමි.

එවෙලෙම ඇය විසින් ඇමතුමක් ගන්නා ලද්දේ, හිතේ ඇති පීඩනය නිසා විය යුතුය.

“නොදන්නා කෙනෙකුට කියනවා කියලා හිතාගෙන, සම්පූර්ණ විස්තරයම කාලය අරගෙන කියන්නකො…” මම කීවෙමි. ? “අඩන්න ඕනේ නම් ඇඩුවට කමක් නැ” තවද මම ඇයට කාරුණික වූයෙමි. ?

එසේ ඇයගේ විස්තර අසන්නේ, සහ පැය භාගයක්වත් කතා කිරීමට, ඇඩීමට ඉඩ සලසා දෙන්නේ, හිතේ හිරවී ඇති බර, වචන මඟින් එලියට යාම අත්‍යවශ්‍යම නිසාවෙනි. “මෙය පළමුවෙනි විරේකය වේ. දුක පිට කිරීමට, කිසිදු බාධාවක් නොකළ යුතු අතර, සහකම්පනයෙන් යුතුව සවන් දීම පමණක්ම “සියදිවි නසාගන්නෙකුගේ” සිතුවිලි වෙනස් කිරීමට ප්‍රමාණයවත්ය.

එම දීර්ඝ විස්තරයෙන් පසුව,

මම ලියපු පුරුෂ ලක්ෂණ ලිපි 4ක් පමණ තියෙනවා කියවන්නකො… මෙක කියවලා එන්න අපි හිමීට කතා කරමු දරුවො…” මට වෙලාව තියෙනවා. යනුවෙන් කියා,මම ලියන ලද ලිපි කීපයක් ඇයට යැවුවෙමි.

මට අවශ්‍ය වූයේ පිරිමි ඇසකින් ලෝකය, ප්‍රේමය, රස්සාව, ආදරය, කාමය ආදී දකින අයුරු ඇයට විස්තර කරදීමටය. මුලින් එය සිදු කිරීමෙන් විරහව අමතක කිරීමට විශාල රුකලක් ලැබේ. අති බහුතරයක් තරුණියන් එසේ කිසිදිනක සිතාවත් නැත. ??

තවත් විනාඩි 20ට පමණ පසු,

“දැන් ඔයාට තේරෙනවා නේද ලමයො… අවුරුදු 24ක විතර කොල්ලෙකුගේ ඔලුව වැඩ කරන විදිහ” ඉතිං එයාලා කවදාවක් කසාදයක් කරගන්න සම්බන්ධකම් පටන් ගන්නෑ” මම කීවෙමි. යථාර්ථය පැහැදි කළෙමි. ?

“ඔව් මට තේරෙනවා අපේ හාමුදුරුවනේ. මම දැන් පොඩි අවබෝධයක් ආවා ඒ ගැන. දැන් මට එච්චර තරහක් නැ එයා ගැන. එත් අමතක කරන්නේ කොහොමද? ඒ මගේ පළමු ආදරේ.” ඇය කීවාය. ?

“ඔයාට අමතක කරන්න ඕනේ ද නැද්ද කියලා දැනගන්න කැමැති.? ?

“තවත් ඒ පස්සෙන් ගිහින් හරියන්නැ කියලා මට තේරෙනවා හාමුදුරුවෙනේ… මටත් ඕනේ අමතක කරලා විභාග වැඩවලට යොමුවෙන්න.” ඇය කීවාය. ?

“සම්බන්ධතාවයක් නිසා ලැබෙන්න ඕන මූලිකම දේ “සතුට”. දෙපැත්තටම “සතුට” නැත්තං ඒ සම්බන්ධතාවෙයෙන් වැඩක් නැ.”❤️

“හරි මම කියලා දෙන්නම් ඔයාට, අමතක කරන්න ඕනේ විදිහ. ඒකේ තියෙනවා පියවර 5ක්.”

01. ඇහැට කනට පේන ඇහෙන දේ
“ඔයාට දීපු තෑගි බෝග, phone numbers, Facebook photos, ඇදුම් පැළදුම් වාගේ ඇසට පෙනිලා, කනට ඇහිලා පරණ මතකය ඇවිස්සෙන හැම දෙයක්ම අයින් කරන්න ඕනේ. අයින් කරන්න කියන්නේ කබඩ් එකට දාලා දොර වහනවාට නෙවෙයි. පුච්චලා දාන්න ඕනේ. නැත්තං කුණුගොඩට විසික්කන්න ඕනේ. මතකයන් කියලා කිසිම දෙයක් තියාගන්න බෑ… පුළුවන්ද?”?

“අනේ හාමුදුරුවනේ… ඒවා ආදරණීය මතකනෙ…” ?

“එහෙම බැ. ඔයාට අමතක කරන්න ඕනේ නම් මම කියන පියවර 5 අනිවාර්යෙන්ම කරන්නේ ඕනේ…” මම කීවෙමි. ?

“එහෙමයි…”

“එහෙනම් කිසිම දෙයක් ලග තියෙන්න බෑ. ඇහැට දැකලා මතක් වෙන ජාතියේ.” මම කීවෙමි.

(සිටිනා “පරිසරය වෙනස්” කිරීමද අවශ්‍ය දෙයක් වන අතර, ආදාළ පුද්ගලයා ලග පාතක කෙනෙක් නම්, තමන් වෙනත් නෑදෑ ගෙදරකවත් මාසකටවත් යා යුතුය. වෙනත් පළාතකට මාරු වීම, නෑදෑ හිතවතුන්ගේන් පිරිච්ච තැනකට යාම කළ යුතුය. එහෙත් බොහෝ දෙනෙකුට තිබී ඇත්තේ රහසිගත පෙම් සමබඳතා හෙයින්, සහ විභාග රැකියා ඇත්තේ ඒ අසළ හෙයින් වෙනත් ප්‍රදේශයකට යා නොහැක. ඇත්තටම තමන්ට නුපුරුදුම වෙනත් පළාතකට යාමට හැකිනම් එය “අමතක “ කිරීමේ ක්‍රියාවලියට ඉතා හොදය.)

02. Busy වෙන්න ඕනේ
“ඔයාට මඟ ඇරුණු වැඩක්, විභාගයක් රාජකාරියක් මොකක හරි ඇතිනේ. අත්‍යවශ්‍ය දෙයක්. අන්න ඒ වගේ වැදගත් වැඩක් යොදාගන්න ඕනේ. මම කීවෙමි.

“ඔව් මට exam එකක් තියෙනවානේ. ඒකට වැඩ කරන්න තියෙනවා.” ඇය කීවාය. ?

“අන්න හරි, පැය 10ක්වත් busy වෙන ජාතියේ වැඩක් හොයාගන්න ඕනේ.” ?

(මේ මඟින් සිදුවන්නේ ඇය විසින් ඔහු සමඟ කාලය ගත වෙලාවන් නිසා දවසේ නැගෙන මතකයන් අමතක කර, මනසට වෙනත් අරමුණක් ලබා දීමය. විරහවට ලොකුම ගැටලුවක් වන්නේ, ආදාළ වේලාවන් වලදී සිදුවු පෙම් බස් හුවමාරුව නොමැති වීමයි. මේ සඳහා ඊළඟ විසදුම ලබාදෙනු ලැබේ.)



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

03. කතා කිරීම
“ඊළඟට ඔයාට හොයාගන්න ඕනේ, පැයක් දෙකක්වත් කරන්න ඕනේ පිරිමි යාලුවො ටිකක්. මහ උතුම් මහත්තරු වෙන්න ඕනේ නැ, නිදහසේ කතා කරන්න පුළුවන් අය උනාම ඇති. එකම කෙනාට හැමදාම කතා කරන්නත් එපා. මාරු කරන්න වෙනස් වෙනස් අයට කතා කරන්න. පිරිමි යාලුවො නැත්තං ගෑනු යාලුවන්ට කතා කරන්න’”

“ඔව් එහෙම නම් යාලුවො ඉන්නවා හාමුදුරුවනේ…” ඒක පුළුවන්..

(ගැහැනු වනාහි දවසකට වචන 25000ක් විතර කතා කිරීමට කැමැතිය. එහිදි පිරිමි හඩ මඟීන් ඔවුන්ගේ දවසේ ආතතිමය ස්වභාවය දුරුවී යයි. කතා නොකර දුකින් සිටිමෙන් එම ආතතිය දෙගුන වේ. එවිට නැවත මතක් කරගනු ලබන්නේ පරණ ‘ප්‍රෙම මතකයි.’ එය වැලක්වීම අරමුණ වේ.

04. ලිවීම හා පිච්චීම
“මේ අතර තුරත් මතකයන් හිතට වද දෙන්න ගන්නවා. එතකොට එව්වා ඔයා කොලයක ලියන්න. ඕනේ නම් කවි ලියන්නත් පුළුවන්. ඒ කරලා පුච්චලා දාන්න. ඒක අත්‍යවශ්‍යමයි. ඒ වාගේ හොදම යාලුවෙක් වාගේ ඉන්නවා නම් එයා එක්ක ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒක කරන්නේ මතකය හොදටම වදයක් වෙනවා නම් විතරයි.”

“එහෙමයි හාමුදුරුවනේ… මට මේ ගැන කියන්න වෙන යාලුවෙක් නැ. ලියන එක කරන්නම්.

05. වෙනත් මතකයක් ඇති කර ගැනීම
(ඉහත කී සියල්ලටම වඩා වඩාත් වැදගත්ම අමතක කිරීමේ ක්‍රියාවලය මෙයයි. එනම් පරණ මතකය වද දෙනු ලබන්නේ ඊට වඩා නූතන මතකයක් ඇති කර නොගන්නා බැවිනි. ඒ බැවින් වෙනත් සබඳතාවක් ඇති කර ගැනීම ඉතා වැදගත්ය)

“පරණ මතකයන් වදයක් වෙන්නේ “කාලය” අනුව ලමයො. එතකොට උඩ ටික ඔක්කම කරද්දි, “කාලයක්” යනවා හිත සනීප වෙන්න. හැබැයි ඔයාට සමීප වෙන්න හදන වෙනත් අය තව ඇතිනේ. සාමන්‍යයෙන් ගෑනු ලමයින්ට තවත් අය යෝජනා ගේනවානේ. “ ?

“අනේ එහෙම කරන්නේ කොහොමද හාමුදුරුවනේ… මේ එකක් නිසා විඳවන්න ගත්තා විතරයි…” ඇය කීවාය.?

“ඒක හරි. අතිබහුතරයක් හිතන්නේ එහෙම තමයි. ඒකනේ දුක වැඩි. එත් නැවුම් බව සමඟ හැසීරීමෙන් අනිවාර්යෙන්ම එය යටපත් වෙනවා. ඒක 100% විශ්වාස ක්‍රමය. මම කියන්නේ අලුත් සම්බන්ධතාවයකට යන්න නොවෙයි. දුක කියාගන්න කෙනෙක් ඇසුරු කරන්න පුළුවන්. එහෙම නැත්තං පාළුවට. නමුත් ස්ථීර සම්බන්ධතාවයකට නෙවෙයි.”

“ඒ කීවේ. ? ඇය ඇසුවාය. ?

“අපට පුළුවන් කෙනෙකුට ‘ප්‍රේම කරන්න කලින්. අසුරු කරලා බලන්න. ඇදුමක් දැක්ක ගමන් සල්ලි ගෙවලා අරගෙන යන්නෑනේ. Fit on කරලා බලනවානේ. ඒ වාගේ. අපිට පුළුවන් ටිකක් සමීප යාලුවෙක් විදිහට කෙනෙකුට සමීප වෙන්න. වැදගත්ම දේ එයාට කියන්න ඕනේ… මම වචනයක් දෙන්න තව කල් ගන්නවා කියලා.” ?

“ඇයි ඒ.. එහෙම” ඇය ඇසුවාය. ?

“මිනිස්සුන්නව ඇසුරු නොකර වෙනත් කිසිම ක්‍රමයක් නැ, හරියට අඳුරගන්න. ඉතිං වෙන සමබන්ධතාවයකට ගියත් නැතත්, මනස වෙනස් වීම තමයි මෙතැන තියෙන එකම වාසිය. ඒ වාගේම එයාට ස්ථිර වචනයක් දිලා නැති නිසා අයින් වෙන්න බාධාවකුත් නැ. වචනයක් දෙනකල් එහෙම ඉවසීමක් නැති මිනිහෙක් ඉතිං කොහොමත් දීර්ඝ සම්බන්ධතාවයකට වැඩක් නැනේ. නමුත් ඔයාගේ අරමුණ ඉටුවෙනවා. ඒ තමයි, පරණ මතකයට උඩින් නව මතක එකතුවීම.”

“ඒ වාගේම ලමයො, කෙනෙකුගේ පිනට තමයි තවත් කෙනෙක්ව ලැබෙන්නේ. ඉතිං ඔයාව එපා කියන්නේ, ඔයා වැනි කෙනෙකු ලබන්නට තරම් එයාට පින නැති නිසා. පින නැති අය හැර යාම ගැන අඩන්න දෙයක් නැ. පින ඇති කෙනෙක් මුණ ගැසෙන්නට පව්කාරයො අතහරින්න ඕනේ.”✅

“එහෙමයි..”

“ඔයාව ලබන්නට එයාට පිනක් නැ කියලා හිත හදාගන්න. ✅



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

සටහන
? “පියෙහි විප්පයොගො දුක්ඛො” – ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි.

? “යම්පිච්චං නලභති තම්පි දුක්ඛ” – යමක් කැමැතිද එය නොලැබීම දුකකි.

? බොහෝ නව යොවුන් තරුණියන් මෙම ‘විරහ’ ගැටලුවට මුහුණ පානු ලැබේ. ඊට හේතුව “පුරුෂ ලක්ෂණ” නොදැන සිටීමයි. නිතරම මෙම හිත හදාගැනීමේ ‘අදෝනාව’ ඇසෙයි. මෙය එයට ඇති සාර්ථක ක්‍රියා පිළිවෙල වේ.

? අන්තිම ක්‍රියාව බොහෝ දෙනෙකුට අපහසු අතර, නමුත් සම්බන්ධතා හදාගන්නේ “කෙනෙකු හරියට හඳුනාගැනීමට” මිස කසාඳ බැදීමට නොවේ. හදුනා ගැනීම සාර්ථක නම් කාසාදය දක්වා දුර ගෙනයා හැක. නමුත් තරුණියන් යෞවන වියදී එතරම් බුද්ධිමත් නැත.

? පිරිමි ලක්ෂණ ගැන දැනගැනීමට නම්, ඔවුන් තවත් පිරිමි ඇසුරු කොට තිබිය යුතුමය. ඇසුරු කරන්නට කරන්නට, හිත බිදෙන ප්‍රමානය අඩුය. ආඳුනික වීම නිසාමයි හිත බිඳෙන්නේ. නමුත් ගැහැනු ලමුන් සීමාව නොදැන තම සිතට ආඳුනිකයෙකුට ඇතුළු වීමට දීම “විරහවට මුලය. ගතට ඇතුළු වීමට නම් විවාහ වෙන තුරු නොදිය යුතුය. වයස අවුරුදු 30 වනතුරුවත් පිරිමින් විවාහ නොවන බැවිනි.

? වටහා ගත යුතු වැදගත්ම දෙය නම්, “සබඳතා යනු ස්ථීර දෙයක් නොව, අස්ථීර දෙයක් බවය.” ⚫️

? සිද්ධාර්ථ යසෝදරා වැනි සබඳතා ඇත්තේ මිලියනකට එකක් බැවින්, එවැනි සබඳතා හොයන්නට යාම මිරිඟුවක් පසුපස යාමකි.

? සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්‍යතාවය පිණිස, අනන්‍යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න.

තවත් මනෝ උපදේශනය සම්බන්ධ ලිපි සඳහා : Counselling – හෙරලි

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.