ඇමරිකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය ඉවරද?

January 15, 2021

2021 ජනවාරි 6 වෙනිදා ඇමරිකාවෙ කොන්ග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල හෙවත් කැපිටල් ගොඩනැගිල්ල වෙත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුගාමිකයන් කඩාවැදීමත් සමග සිදුවූ සිදුවීම් මාලාවත් එක්ක ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වැනි අදහස් කිහිපයක් සමාජගත වනවා දකින්න ලැබුණා. එහෙයින් ඒ පිළිබඳ යම් අදහසක් දැක්වීම සුදුසු යැයි අපට සිතුණා.

ජනවාරි 6 වනදා ට්‍රම්ප් පාක්ෂිකයන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ ට්‍රම්ප් විසින් ධවල මන්දිරය අසළදී කළ කතාවකට පසුවයි. එහිදී ඔහු කැපිටල් ගොඩනැගිල්ල වෙත ගමන් කරන ලෙස සිය ආධාරකරුවන් උසි ගැන්වුවා. එදින කොන්ග්‍රස් මණ්ඩලයේදී සිදු කෙරුණේ ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහාකයා ලෙස ජෝ බයිඩන්ගේ නම තහවුරු කිරීමයි. ඡන්ද දූෂණ පිළිබඳ ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන චෝදනාවලට සහය දක්වන රිපබ්ලිකන් සෙනට් සභිකයන් කිහිප දෙනකුම බයිඩන් ජනාධිපති ලෙස තහවුරු කිරීමට එරෙහි වන්නට සූදානමින් සිටියා. නමුත් කැපිටල් ගොඩනැගිල්ලේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව, දැඩි ලෙස ට්‍රම්ප් පාක්ෂික වූ රිපබ්ලිකන් සෙනට් සභිකයන් පවා ජනාධිපතිවරණයේදී ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට විරුද්ධත්වය පළ නොකරන්න තීරණය කළා.


ට්‍රම්ප් පාක්ෂිකයන් කොන්ග්‍රස් සභා ගොඩනැගිල්ලට කඩා වදින අවස්ථාව​ (Getty Images)

රිපබ්ලිකන් කොන්ග්‍රස් සභිකයන් මෙසේ ට්‍රම්ප් අතහැරීම පිළිබඳ විවේචන ද ඉදිරිපත් නොවූවා නොවේ. ඇතැම් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ මතය වූයේ රිපබ්ලිකන් සෙනට් සභිකයන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතා මෙසේ කළ බවයි.

කෙසේ නමුත්, දේශපාලන අනාගතය පිළිබඳ කල්පනා කරමින් හෝ ඔවුන් එවන් පියවරක් ගත්තේ, තම රටේ පාර්ලිමේන්තුව වන කොන්ග්‍රස් සභාව පහරදීමට ලක් නොවිය යුතු තැනක් ලෙස ජනතාව අතර වන පිළිගැනීම නිසයි. කොන්ග්‍රස් සභාවට පහර දෙන ලෙස උසිගන්වන්නකුට ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ දේශපාලන අනාගතයක් නැතිබව මෙම ක්‍රියාවෙන් පෙන්නුම් කෙරෙනවා.

මධ්‍යම රජය සහ ප්‍රාන්ත
ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කාලයත් සමග පරිණාමය වන ක්‍රමයක්. එය එක රැයකින් බිහි වූ ආණ්ඩුක්‍රමයක් නොවෙයි. එමෙන්ම ගැටුම් රහිතව නිර්මාණය වූ ක්‍රමයක් ද නොවෙයි. ඇමරිකානු ක්‍රමය තුළ මීට වඩා ව්‍යසනකාරී තත්ත්වයන් අප දැක තිබෙනවා. ඒ අතර දේශපාලන ඝාතන, කැරලි මෙන්ම රට දෙකඩ කළ යුද්ධයක් පවා සිදුවුණා.

ඇමරිකානු ක්‍රමයේ සුවිශේෂීභාවයට හේතු වන මූලික කරුණක් වන්නේ එරට නිර්මාණය කරන ලද පසුබිමයි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ ඇමරිකානු ජනපද 13 හි ජනතාව අතර 1770 ගණන් වනවිට බ්‍රිතාන්‍ය විරෝධී මතවාදයන් නැගෙමින් පැවතුණා. 1776 ජූලි 4 වනදා ස්වාධීනතා ප්‍රකාශනය එළිදක්වන්නේ ඒ අනුවයි. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව මෙම ජනපද 13 එක්වූ අතර බ්‍රිතාන්‍ය පාලනය පරාජය වීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය බිහි වූයේ 1783 දී.


1783 දී උතුරු ඇමරිකාව

මෙහිදී මෙම ජනපද 13 ට වෙන් වෙන්ව රාජ්‍යයන් බවට පත්වීමේ අවකාශය තිබුණා. ඔවුන් එක්වූයේ පොදු සතුරා වූ බ්‍රිතාන්‍යයට එරෙහිවයි. බ්‍රිතාන්‍යය පරාජය වූ පසු මෙම ජනපද එක්සත්ව ම පැවතිය යුතු යයි නියමයක් වූයේ නැහැ. නමුත් එක්ව ගමන් කිරීම වඩා සුදුසු යයි හැඟුණෙන් මෙම ජනපද එක් රාජ්‍යයක් බවට පත්වුණා. නමුත් ඒ ඒ ජනපදවල අනන්‍යතා රැකගැනීම ද වැදගත් වුණා. එම අනන්‍යතාවන් කෙරෙහි අඩු අවධානය යොමු කිරීමෙන් එම ජනපදය එක්සත් වූ රාජ්‍යයට ඇතුලත් නොවී සිටීමට පෙළඹෙන්නටත් ඉඩක් පැවතුණා.

ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුවට ඇති බලතල සහ ප්‍රාන්තවලට ඇති බලතල පිළිබඳ විවාදය නොනිමි ප්‍රශ්නයක් වන්නේ එරට සුවිශේෂීභාවය නිසයි.

මේ කරුණ හේතුවෙන්ම ඇමරිකානු ජනාධිපති යනු ස්වදේශීයව ගත්විට සීමා වූ බලතල ඇති අයකු වනවා. ඔහුගේ තනි මතයට යම් රටේ ස්වදේශ කටයුතු හැසිරවීම අපහසුයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ද පසුගිය දින කිහිපයේ නැවත වරක් අත් වින්ඳේ ද එම ලක්ෂණය යි.


ඩොනල්ඩ් ට්‍රම්ප් – AP

වෙනකක් තබා, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත් එරට කොන්ග්‍රස් සභාවේ මෙන්ම ප්‍රාන්තවලින් හතරෙන් තුනක අනුමැතිය අවශ්‍ය යි. එලෙස ක්‍රමයක් ඇතුලත්ව තිබෙන්නේ ඇමරිකාව නිර්මාණය වූ මුල් සංකල්පය හේතුවෙන්. ජනපදවල එකතුවක් ලෙස සැදුණ රටක් එයින් ඒ ඒ ජනපදවල අයිතීන් පිළිබඳ කොන්දේසි එහි පවතිනවා.

කොන්ග්‍රස් සභාව වෙත පවතින ගෞරවයත්, ප්‍රාන්තවලට ඇති බලයත් වැනි කරුණු හේතුවෙන්, ඇමරිකාවේ තනි පුද්ගල ඒකාධිපතිත්වයක් නිර්මාණය වීම අතිශයින්ම අපහසු කරුණක්.

මෙහි අදහස ඒකාධිපති ලක්ෂණ ඇති පුද්ගලයන් ඇමරිකාවේ මතු නොවූ බව නොවෙයි. අතීතයේ එවන් නායකයන් බිහිවූ අවස්ථා මෙන්ම, අනාගතයේ ද එවැනි පුද්ගලයන් බිහිවීමේ අවස්ථා නැතිව නොවේ. නමුත් එම සියළු දෙනාට පවතින සංවරණ හා තුලනයන්ට අනුකූලව මිස තනි තනි මතයට කටයුතු කළ නොහැකියි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ අඩුපාඩු
ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ අඩුපාඩු නොමැති බවක් මෙයින් කිසි ලෙසකින් හෝ අදහස් කෙරෙන්නේ නැහැ. අතීතයේදී ද එවන් අඩුපාඩු සහ අසමානතා රැසක් පැවතුණා. වහල් මෙහෙය පැවතීම එවන් එක් අවස්ථාවක්. දියුණු යයි සම්මත අන් රටවල් වහල් ක්‍රමය අහෝසි කළ පසු අ එම ක්‍රමය ඇමරිකාව තුළ පැවතියා (බ්‍රසීලයේ ඊටත් වඩා කල් වහල් ක්‍රමය පැවති බව දැනුමට යමක් ලෙස මතක තබාගැනීම වැදගත් වේවි. එයින් ඇමරිකන් වහල් ක්‍රමය වඩා යහපත් යයි අදහස් කෙරෙන්නේ නැහැ).

ඇමරිකන් සමාජයේ තිබුණු මේ පරස්පරතාව, එනම් මිනිසාගේ නිදහස පිළිබඳ සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවතිද්දී ම වහල් ක්‍රමය පැවතීමේ පරස්පරතාව, කොතැනින් හෝ පුපුරා යා යුතුව තිබුණා. සිවිල් යුද්ධයේදී සිදුවූයේ එයයි. නමුත් එය වහල් ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක් පමණක්ම වූයේ නැහැ. එය මධ්‍යම රජය සහ ප්‍රාන්ත අතර තම අයිතීන් පිළිබඳ වූ ගැටුමක් ද වුණා. වහල් මෙහෙය පවත්වාගැනීම ඒ ඒ ප්‍රාන්තවල කටයුත්තක් ලෙසත්, මධ්‍යම රජයට ඒ පිළිබඳ තම අභිමතය ප්‍රාන්ත මත පැටවිය නොහැකි බවත් දකුණුදිග ප්‍රාන්ත සමහරක් කියා සිටියා. මෙය වෙනස් ප්‍රශ්නයක් පිළිබඳව වුණත් මතුවිය හැකි වූ ගැටුමක්. නමුත් එම ගැටුම මතු වූයේ එවකට රටේ තිබුණු බරපතලම පරස්පරතාව මත යි.


ඇමරිකානු සහසන්ධීය ජනපද ලෙස වෙන්ව ගිය ප්‍රදේශය​ – PBS

කලු – සුදු අසමානතාව වහල් මෙහෙය අහෝසි වීමෙන් අතුරුදහන් වූයේ නැහැ. එය තවත් කල් බොහෝ ප්‍රාන්තවල විවිධ අයුරින් ක්‍රියාත්මක වුණා. අදටත් අප්‍රකාශිතව ක්‍රියාත්මක වන අවස්ථා එමටයි. නමුත් සියවස් ගණනක් පැවති අසමානතාවන් කාලය සමග යම් පමණකට අඩු වූ බව පැහැදිලියි.

ඒ සඳහා සිවිල් යුද්ධයක් මෙන්ම ඉන් සියවසකට පසුව සිදුවූ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අරගලයක් ද අවශ්‍ය වුණා. මෙම බෙදීම් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙහි අදටත් සම්පූර්ණයෙන් නොවිසඳුණු සහ ඇතැම් විට කිසිදිනක සම්පූර්ණයෙන් නොවිසඳෙන ගැටළුවක් වනු ඇති.


ඇමරිකානු සහසන් ධීය රාජ්‍ය ධජය ද ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් කොන්ග්‍රස් සභාව වෙත ගෙනවිත් තිබුණා (AFP/Getty Images)

එමෙන්ම ඇමරිකාවේ බොහෝ ඡන්ද විමසීම් සඳහා සැලකිය යුතු අරමුදල් අවශ්‍ය වනවා. එහෙයින් මුදල් නොමැතිව ඡන්ද ජයගැනීම අසීරුයි. එහෙයින් කුඩා පක්ෂ ගණනක් ඇමරිකාවේ තිබුණත් ඒවාට වැඩි හඬක් නැගෙන්න ලැබෙන්නේ නැහැ. එය පොදුවේ ගත්විට දුර්වලතාවයක් ලෙස සිතන්න පුළුවන්.

ප්‍රයිමරි ක්‍රමය
ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ එක් විශේෂ ලක්ෂණයක් වන්නේ ඡන්ද විමසීම් සඳහා අපේක්ෂකයන් තෝරාගැනීමේ මූලික තරග නොහොත් ප්‍රයිමරි ක්‍රමයයි. ඒ අනුව එරට දේශපාලන පක්ෂවලින් මැතිවරණවලට ඉදිරිපත් කෙරෙන්නේ පක්ෂයේ නායකයන්ට අවශ්‍ය අය නොව සාමාජිකයන්ට අවශ්‍ය අයයි. මෙමගින් පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් වනවා. නමුත් නැවත වතාවක්, වැඩියෙන් මුදල් සොයාගන්නා අපේක්ෂකයාට වැඩි වාසි අත්වීමක් මෙහිදී ද පෙනෙන්න පුළුවන්.

ප්‍රයිමරි ක්‍රමය නිසා සිදුවිය හැකි තවත් කරුණක් තමයි කාලාන්තරයක් තිස්සේ පක්ෂයේ සාමාජිකයන් නොවූ අයට ද පක්ෂය තුළට කඩාවැදී එහි බලය අල්ලාගන්නට පවා අවස්ථාව සැලසීමයි. 2016 දී ට්‍රම්ප් රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා වූයේ ඒ අයුරින්. කෙසේ වෙතත් ඒ සඳහා ඔහුට පාක්ෂිකයන් සැලකිය යුතු පිරිසක් දිනාගන්නට සිදුවනවා. මුල්පෙළ රිපබ්ලිකානුවන් බොහෝ දෙනකු සහය නොදුන්න ද ට්‍රම්ප් පහළ මට්ටමේ රිපබ්ලිකානුවන් සැලකිය යුතු පිරිසකගේ සහය ලබාගන්නට සමත් වුණා.

මෙවන් සිද්ධියක යහපත් මෙන්ම අයහපත් පැත්තක් ද කෙනකුට දකින්න පුළුවන්. එක් අතකින් ඉහළ පෙලේ පැළැන්තියක් පක්ෂ තුළ නිර්මාණය වුණ ද පහළ මට්ටමේ සහය ලබාගන්නා අයකුට එයට අභියෝග කළ හැකි වනවා. මෙහි නරක තත්ත්වය වන්නේ පක්ෂයක සාමාන්‍ය දිශානතියට පටහැනි ලෙස ක්‍රියා කරන්නකුට එහි බලය ලබාගැනීමේ අවකාශය තිබීමයි. එහෙත් ඒ සඳහා පක්ෂයේ විශාල පිරිසකගේ සහය ලබාගත යුතු බැවින් එය ද ඒකාධිපති ක්‍රියාවක් ලෙස ගන්නට බැහැ.

අනාගතය ගැන යමක්
ඩොනල්ඩ් ට්‍රම්ප්‍ වෙත මතු වූ විරෝධය හේතුවෙන් ඔහුගේ මෙන්ම ඔහුගේ පවුලේ ද දේශපාලන අනාගත බලාපොරොත්තු දැඩි පසුබැස්මකට ලක්ව තිබෙනවා. නමුත් ඇමරිකානු දේශපාලනය පරිණාමය වීම නවතින්නේ නැහැ. මේ වනවිට තුන්වන පක්ෂයක අවශ්‍යතාව ඇතැම් කොටස් වෙතින් මතුවන කරුණක් බවට පත්ව තිබෙනවා.

ඇමරිකන් ඉතිහාසයේ අවසන් සියවස් එකහමාර ඇතුලත තුන්වන පක්ෂ කිහිපයක් මතුවුණා. සමාජවාදී පක්ෂය කලක් එරට තරමක ජනප්‍රියත්වයක් දිනාගෙන සිටියා. ට්‍රම්ප් නියෝජනය කරන ආකාරයේ අන්ත දක්ෂිණාංශික අදහස් දරන ලද පක්ෂ කිහිපයක් ද කලින් කලට සාර්ථක වී තිබෙනවා. මධ්‍ය වාමාංශික පක්ෂ ද කිහිපයක් කෙටි කාලීන සාර්ථකත්වයක් ලබාගත්තා. මේ ඇතැම් පක්ෂ තනි පුද්ගලයන් වටා ගොඩනැගුණ ඒවා බැවින් වැඩිකල් පැවතුණේ නැහැ.


සමාජවාදී පක්ෂයේ 1904 ජනාධිපතිවරණ පෝස්ටරය​

තුන්වන පක්ෂයක අවශ්‍යතාවය පුරවන්නට තනි පුද්ගලයන් වටා ගොඩනැගුණ පක්ෂ අනාගතයේදී ද බිහිවිය හැකියි. මේ අතර මධ්‍යස්ථ මතධාරී පක්ෂයක අවශ්‍යතාව ද ඇතැම් අංශ විසින් මතු කෙරෙන කරුණක්. ඩිමොක්‍රටික් පක්ෂය තුළ ඇති වාමාංශික සහ දක්ෂිණාංශික බෙදීම අනාගතයේ කවරාකාර වේදැයි ද විමසිය යුතු වනවා.

එහෙයින්, සියලු කරුණු සැලකීමේදී පෙනෙන්නේ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය අවසන් යයි කිසි ලෙසකින් ප්‍රකාශ කළ නොහැකි බවයි. එය දිගටම පරිණාමය වන්නක්. ජනවාරි 6 වනදා සිද්ධීන් ද එහි ම එක් හැරවුම් ලක්ෂයක් පමණයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.