මහනුවර කතරගම මහ දේවාලයේ ආරම්භය සහ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ දේව ශාපය

දළදා මාළිගා සංකීර්ණයේ සතරමහා දේවාල වලින් දේවාල තුනක් විතරයි ස්ථාපිත වෙලා තියෙන්නේ . පැරණි රජමාළිගාව ඉදිරිපිට තරමක් උස් භූමියක විෂ්ණු දේවාලය පිහිටලා තියෙනවා . නාථ දේවාල සංකීර්ණයේ පිහිටලා තියෙන්නේ නාථ දේවාලය සහ පත්තිනි දේවාලය විතරයි . එතකොට කෝ කතරගම දේවාලය . කතරගම දේවාලය පිහිටලා තියෙන්නේ මාළිගා සංකීර්ණයෙන් පිටතට වෙන්න කොටුගොඩැල්ල වීථියේ පිහිටි භූමියක .

නුවර ප්‍රදේශය සාමාන්‍යයෙන් දෙමළ ජනතාව ජීවත්වෙන ප්‍රදේශයක් නිසා මම හිතාගෙන හිටියේ කතරගම දේවාලයත් ද්‍රවිඩ පෙනුමක් ඇතුව හදලා තියෙන දේවාලයක් වෙන්න ඇති කියලා . ඒත් කතරගම දේවාලයත් ඉදි කරලා තියෙන්නේ මහනුවර යුගයේ වෙනත් දේවාල නිර්මාණය කරලා තියෙන වාස්තු විද්‍යාත්මක සැළැස්මට සමානකමක් දක්වන ආකාරයටම තමයි .

( 1707 ජුනි 4 – 1739 මැයි 13 ) කාලයේ රජකරපු කුණ්ඩසාලේ කුමාරයා , එහෙමත් නැත්නම් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පස්සේ සිංහල රජ පෙළපත අවසාන වෙනවා . විජය රජතුමාගේ ඉඳලා නොයෙක් හැලහැප්පීම් වලට ලක්වෙමින් පැවතගෙන ආව රජපෙළපත , අවසානයේදී නායක්කාර් වංශිකයින් අතට පත්වෙනවා . පළවෙනි නායක්කාර් වංශික රජතුමා වෙන්නේ විජය රාජසිංහ රජතුමා . විජය රාජසිංහ රජතුමාට පස්සේ කීර්ති ශ්‍රී රාජසිංහ , රාජාධිරාජසිංහ සහ අවසානයේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන රජවරු පිළිවෙලින් රජ බවට පැමිණියා .

මහනුවර ඓතිහාසික කතරගම මහ දේවාලයේ ආරම්භය ඇදී යන්නේ විජය රාජසිංහ රජතුමාගේ කාලයට . විජය රාජසිංහ රජතුමා රජවෙනකොටත් ලංකාවේ කතරගම දෙවියන් ඇදහීම අරුමයක් නෙවෙයි . මොකද රුහුණු කතරගම මහා දේවාලය ඒ කාලයේත් පැවතුන නිසා . ඒත් උඩරට ප්‍රදේශයේ කතරගම දේව ඇදහීම සාමාන්‍යයෙන් ප්‍රචලිත වුණා කියලා කියන්නේ ක්‍රිස්තුවර්ෂ 1400 ගණන්වලදී .

විජය රාජසිංහ රජතුමාගේ කාලය වෙනකොට මේ කතරගම දේව ඇදහීම වඩාත් ප්‍රචලිත වෙලා තිබිලා තියෙනවා උඩරට ප්‍රදේශයේත් . සමහරවිට මේකට හේතු වෙන්න ඇත්තේ උඩරට රජවරු ඉන්දීය රාජකුමාරිකාවන් සමග විවාහ වීම .

ඒවගේම තමයි කෝට්ටේ යුගයේදී ලංකාවේ තරමක් වැඩියෙන් පැතිරුණු බ්‍රාහ්මණ ඉගැන්වීම් සහ බ්‍රාහ්මණයින් නිසාත් මේ කතරගම දේව ඇදහීම ප්‍රචලිත වුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් .

කොහොමහරි අද වෙනකොට කොටුගොඩැල්ල වීථියේ පිහිටලා තියෙන සතරමහා දේවාලවලින් එකක් වන මේ කතරගම දේවාලය නිර්මාණය කරා කියල කියන්නේ විජය රාජසිංහ රජතුමා . විජය රාජසිංහ රජතුමා විවාහ වෙන්නේ ඉන්දීය කුමාරිකාවක් සමහ .

ඒ නිසා ඉන්දියාවේ ඉඳලා මේ කුමාරිකාව එක්ක කතරගම දෙවියන්ගේ දේව ප්‍රතිමාවකුත් ලංකාවට ලැබිලා තියෙනවා .


2014/07/28- දිවයින පුවත්පත – නුවර කතරගම දේවාලයේ කප් සිටුවීම

දේව ප්‍රතිමා තැම්පත් කෙරෙන්නේ දේවාලයක . ඒ නිසා මේ කතරගම දේව ප්‍රතිමාව තැම්පත් කරන්න දේවාලයක් හදන්න අවශ්‍ය වුණා . අද කාලේ දේවාල හදනවා වගේ නෙවෙයි ඒ කාලේ දේවාල හදලා තියෙන්නේ . ඉර හඳ පවතිනා කාලයක් දක්වා පවතින විදියට ජය භූමියක් තෝරලා තමයි සාමාන්‍යයෙන් ඒ කාලයේ දේවාල හදලා තියෙන්නේ . මේ ජය භූමිය සෙවීම භාර වෙන්නේ මාලිගාවේ මංගල හස්ති රාජයාට . හස්ති රාජයාට හොඳට කන්න බොන්න දීලා , වතාවත් කරලා , දෙවියන්ට භාර කරලා ඇතා කැමති දිහාවක යන්න ඇරලා නිදහස් කරනවා . ඊට පස්සේ ඇතා නැවතිලා දල බිම අණින සලකුණෙන් තමයි ජය භූමිය මොකක්ද කියලා තීරණය කරන්නේ .

විජය රාජසිංහ රජතුමාත් මේ පිළිවෙත අනුගමනය කරලා තමන්ගේ මංගල හස්තියා ඒ විදියට නිදහස් කරලා ඒ මාර්ගයෙන් ස්ථානයක් තෝරාගන්නවා . අද නුවර සාමාන්‍යයෙන් ඇවිදින්න කියලා කිසිම තැනක් නැහැ . ඒවගේම තමයි ගහක් කොලක් වත් ලොකුවට ඉතුරු වෙලා තියෙන තැනක් විතරයි නිදහස් තැනකට තියෙන්නේ . ඒ කාලයේ එහෙම නෙවෙයි . වැඩි හරියක් තිබිලා තියෙන්නේ කැලෑ බද ප්‍රදේශ . මේ ප්‍රදේශ පසුකරගෙන මගුල් ඇතා ගිහින් අද ඔය කොටු ගොඩැල්ල වීථියේ කතරගම දේවාලය තියෙන තැන නැවතිලා තියෙනවා . ඇතාගෙන් ලැබුණු සලකුණ අනුව කොටුගොඩැල්ල වීථියේ එදා තිබුණු විශාල උණ පඳුර ආසන්නයේ තමයි අද ඔය කතරගම දේවාලය ඉදිකරලා තියෙන්නේ .

එහෙම දේවාලය ඉදි කරලා පූජකයින් පත් කරලා කතරගම දෙවියන්ට ඒ දේවාලය කැප කරලා තමන්ගේ බිසව සමග දෑවැද්දට ලැබුණු කතරගම දේව ප්‍රතිමාව ඒ දේවාලයේ තැම්පත් කරනවා . එදා ඉඳලා වසර දෙසිය පනහකට ආසන්න කාලයක් මේ දේවාලය අද දක්වා පැවතගෙන එනවා . කතරගම දේවාලයක් වුණත් හරිම නිකලංක පරිසරයක් මේ දේවාලයේ තියෙනවා . ඒවගේම තමයි බෞද්ධ ආගමට මූලිකත්වය දීලා දේවාලය ඇතුලේ ස්වාමීන් වහන්සේලා වැඩ වසන විහාරයකුත් පවතිනවා . අපේ මාතෘකාවට අනුව වැදගත්ම කතාව ඊට පස්සේ තමයි තියෙන්නේ .

විජය රාජසිංහ රජතුමාගෙන් පස්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජාධිරාජසිංහ රජවරු රජවෙලා ඊට පස්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජ වෙනවා .ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජ වුණාට පස්සේ රජතුමාත් කලින් රජවරු වගේ දළදා වහන්සේගේ භාරකාරීත්වය ලබාගන්න බුදු දහම වැළඳගත්තා . ඒත් හින්දු දෙවියන් ඇදහීම නතර කරන්නේ නැහැ . නුවර වැව සාදවන කටයුත්තේදී මල්වත්ත සමග ඇතිකරගන්නා හිත නොහොඳ වීමත් ඇතුව රජතුමා ගැටළුකාරී පරිසරයක රාජ්‍ය පාලනයත් කරගෙන ගියා .


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

කොහොමහරි මේ කාලෙත් කතරගම මහ දේවාලයේ හාස්කම් එහෙම තිබිලා තියෙනවා . ඔය ගැන ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ පවා ප්‍රචලිත වෙලා තිබිලා තියෙනවා . ඉන්දියාවේ ඒ වෙනකොට ජීවත් වුණ මහා රාජා වරයෙකුගේ දරුඵල සම්බන්ධව ප්‍රශ්නයක් නිසා දරුවන් ලබා ගැනීමට දෙවියන්ට භාර වෙන්න මේ මහා රාජා වරයා ලංකාවට එනවා . ඇවිත් භාර වෙන්නේ තමන්ට දරුවන් ලැබුණොත් වැඩිමල් දරුවා කතරගම දේවාලයට පූජා කරනවා කියලා . සාමාන්‍යයෙන් අද වුණත් දරුවන් දේවාල වලට පූජා කරනවා . ඒත් දරුවන් දේවාලවල නවත්තලා යන්නේ නැහැ . ඒත් ඒ කාලයේ දරුවන් දේවාලවල නවත්තලා යන තත්වයක් තිබිලා තියෙනවා .

මේ මහා රාජාවරයාගේ බිරිඳටත් දරුවන් ලැබුණාට පස්සේ මහාරාජාවරයා තමන්ගේ පළවෙනි දරුවා ව ඒ කියන්නේ වැඩිමහල් දියණියව දේවදාසියක් විදියට මහනුවර කතරගම දේවාලයට පූජා කරනවා . විශාල දේපළක් දේවාලයට පූජා කරා වගේම තමයි මේ දැරිවියගේ රැකවරණයට අයත් මේ මහා රාජාවරයා දේවාලයේ නවත්තනවා . ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජකම් කරන කාලයේදී මේ දේවදාසිය තරුණ වියේ පසුවෙන කාලය .

මේ තරුණිය තමන්ගේ පිරිසිදු ජීවිතය දෙවියන් වෙනුවෙන් කැප කරලා තිබුණත් බයෙන් තමයි ඒ කාලයේ ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට හසුවෙයි කියලා . ඒ නිසා රජතුමාට තියා පිටස්තර කිසිම කෙනෙක්ට පේන්න මේ තරුණිය දේවාල භූමියෙන් පිටතට ඇවිත් නැහැ .අවසානයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දැනගන්නවා මේවගේ රූමත් තරුණියක් කතරගම දේවාලයේ ඉන්නවා කියලා .

රජතුමා දේවාලයට පණිවිඩ පිට පණිවිඩ යවලා තියෙනවා දේව දාසියව තමන්ගේ මාළිගාවට එවන්න කියලා . ඒත් කතරගම දේවාලයේ ප්‍රධාන පූජක තුමා පණිවිඩ නැවත හරවලා යවනවා දේව දාසියව දේවාලයෙන් පිටමං කරන්න බැහැ කියලා . පස්සේ රජතුමා අධිකාරම් වරයෙක් ලවා සේනාවක් යවනවා දේවදාසිය රැගෙන එන්න කියලා . ඒත් දේවදාසිය රැගෙන යන්න බැරි වෙනවා . ඊට පස්සේ දේව දාසිය රාත්‍රී කාලයේ දී පැහැරගෙන යන්න සේනාවක් යනවා . ඒ හැමෝම උදේ බලනකොට දේවාලයේ වාහල්කඩ ළඟ ලේ වමනේ දාගෙන මැරිලා වැටිලා ඉඳලා තියෙනවා .

අවසානයේදී දේවදාසිය රජු විසින් බලහත්කාරයෙන්ම කෙළසීමට ලක් කරනවා . මේ නිසා දෙවියන්ගේ උදහසට රජතුමා ලක් වුණා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ . ඊට පස්සේ සති දෙකක් ඇතුළත උඩපිටියේ ගම්මහගේ නිවසේදී රජතුමා ඉංග්‍රීසින් ට කොටු වුණා කියලාත් කියනවා . කාල සීමාවක් එක්ක බලනකොට යම් පරස්පර තාවයන් තිබුණත් මේ කතාව මේ විදියට තමයි පැවත එන්නේ . සති දෙකක් ඇතුළත සිංහාසනය කඩා වැටුණා කියලා .

දේවදාසිය තමන්ගේ අපවිත්‍ර වූ චරිතයත් එක්ක නැවතත් දේවාළයටම යනවා . දේවාළයේ අනිත් දේව දාසියන් භාරව කටයුතු කරන නිලධාරිණිය විදියට මේ දේව දාසිය තමන්ගේ මුළු ජීවිත කාලයේම දේවාලයේ ගත කරා කියල තමයි සඳහන් වෙන්නේ .

ඒ එක්කම තවත් දෙයක් මෙතනදීම මතක් කරන්න ඕන . ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉන්දියාවේ එළිමහන් සිරකඳවුරක කාලය ගත කරලා අවසානයේ මිය යනවා . ඒත් එතුමාට මතක වස්ත්‍ර පූජා කිරීම වත් පැන් වඩා පිං දීමේ චාරිත්‍රය වත් ඉටු කෙරුණේ නැති නිසා එතුමා තවමත් පිං ගැනීමේ අවශ්‍යතාවයෙන් සහ මහනුවර ආරක්ෂා කරමින් නුවර වැවේ දියතිලක මණ්ඩපය සහිත දූපතේ ඉඳ හිට දෘශ්‍යමාන වෙනවා කියලාත් එතුමාව දැක්ක සමහර උදවිය ඒ කාලයේ ඉඳලා තියෙනවා කියලාත් කියනවා .

අද වෙනකොට නම් නුවර තියෙන විදියට රජතුමා තියා රජතුමාගේ කුස්සියේ උයපු උන් වත් වැවෙන් මතුවෙයි කියලා හිතන්න බැහැ . නගර සංවර්ධනය කියලා නරියට කුකුල්ලු භාර දුන්නා වගේ තමයි නුවර අලංකාර කරන්නේ . හවස දකින ගස් උදේ වෙනකොට රහත් වෙලා . දවසෙන් රහත්වෙන මිනිස්සු ඉන්න රටක ගස් රහත් වීම අරුමයක් නෙවෙයි කියලා හිතාගෙන මේ ලිපිය මෙතනින් අවසාන කරනවා .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

විශේෂ ස්තූතිය
ආදරණීය බිරිඳට (එයා නිසා තමයි නුවර නිදහසේ ඇවිදින්න කාලයක් ලැබුණේ)

තවත් ලිපි සඳහා : හස්ථිනාපුර

eLearning.lk නිවේදනය
මෙම ලිපිය පල කිරීමේ මූලික සහ එකම අරමුණ වන්නේ මෙම ඓතිහාසික ස්ථානයේ ඉතිහාසය, මෙම ස්ථානය හා බැදුනු ඓතිහාසික කතා පුවත් සහ සංස්කෘතික කාරණාවන් පිළිබඳව ඔබ වෙත දැනුමක් ලබා දීම පමණි. මෙහි ඇති ඓතිහාසික සිදුවීම් සහ ජනප්‍රවාද කතාවන් (A සිදුවීම නිසා B සිදුවීම සිදුවිය) සත්‍යයයක් යැයි අප කිසි විටෙකත් සඳහන් කර නැත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.