බොහෝ පිංද බොහෝ පව්ද රැස් කළ මහසෙන් රජතුමා

ජේතවනාරාම චෛත්‍යය දැක්කම ගොඩක් අයට හිතෙන දෙයක් තමයි ඒ චෛත්‍යය නිර්මාණය කරපු මහසෙන් රජතුමා කියන්නෙ හරිම පිංවන්ත රජ කෙනෙක් කියලා. ඒ වගේම, හරිම ධාර්මික රජ කෙනෙක් කියලා. ඒත් ඒක එහෙමද? මහසෙන් රජතුමා ගැන කතා කරන්න කලින් අපිට යන්න වෙනවා ඉන්දියාවේ ධර්ම සංගායනා සිදු කෙරුනු කාල වකවානුවට.

ධර්ම සංගායනා
ධර්ම විනය දත් මහා තෙරුන්, එකට ඒකරාශීව ධර්මය සහ විනය සසදාලමින් කරනු ලබන සජ්ඣායනය, ධර්ම සංගායනාවක් කියලා හදුන්වනු ලබනවා. ධර්ම සංගායනාවක ප්‍රධානතම අරමුණ තමයි බුදු දහම සුරක්ෂිත කිරීම.

අපි දන්නවා ඉන්දියාවේ ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ ධර්ම සංගායනා කිහිපයක් වුණා. පළවෙනි ධර්ම සංගායනාව හැරුණුකොට, අනිත් ධර්ම සංගායනා අවසන් වෙනකොට නොසිතූ විදිහට බුදු දහම විවිධ නිකායන් වලට බෙදිලා බෙදිලා ගියා.

අද වෙනකොට එහෙම තියෙන ප්‍රභේද අතරින් සුපිරිසිදු බුදු දහම රැදිලා තියෙන්නෙ ථේරවාදයේ කියන එක තමයි පිළිගැනීම.

ශ්‍රී ලංකාවට මහායානය පැමිණි පළමු අවස්ථාව
අපේ රටේ හිටියා වෝහාරික තිස්ස කියලා රජ කෙනෙක්. මේ රජතුමාගේ කාලයේ අපේ රටේ විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි අපේ රටට පළවෙනි වතාවට මහායානය පැමිණීම. මහායානික භික්ෂුන් වහන්සේලා, අපේ රටේ ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා. ප්‍රචාරය කරන්නේ මහායානික අදහස්. වෝහාරික තිස්ස රජ්ජුරුවෝ මේ භික්ෂූන් වහන්සෙලාව අල්ලලා, කන්දකින් පල්ලෙහට තල්ලු කරලා දැම්මා කියලා පොත්පත්වල සදහන් වෙනවා. මේ භයානක සිදු වීම නිසා, අපේ රටේ මහායාන ධර්මය ප්‍රචාරයවීම ටික කාලයකට නතර වෙනවා.

ශ්‍රී ලංකාවට මහායානය පැමිණි දෙවන අවස්ථාව
ආයිත් අපේ රටේ මහායානය ප්‍රචාරය වෙන්න පටන් ගන්නේ ගෝඨාබය රාජ්‍ය සමයේදී. මේ කතාව, අර “අපි තමයි හොඳටම කළේ” කියපු කෙනා එක්ක පටලව ගන්න එපා. අපේ රටේ ගෝඨාබය නමින් රජවරු දෙන්නෙක් ඉදලා තියෙනවා. හැබැයි අධ්‍යනයේ පහසුවට 4 වන පරාක්‍රමබාහු, 8 වන පරක්‍රමබාහු, 7 වන බුවනෙකබාහු, 2 වන මුගලන්, 3 වන විජයබාහු ආදී වශයෙන් එක වගේ නම් තියෙන රජවරුන්ට කරනවා වගේ අංක යෙදීමක් සිදු කරලා නෑ.

@elearninglk

මෙතනින් එක්කෙනෙක් කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ පියා. ඒ ගෝඨාබය ගැන සදහන් වෙන්නේ කාවන්තිස්ස රජුගේ පියා කියලා විතරමයි. වෙනත් කිසිම සදහනක් නෑ. ඒත් අනිත් ගෝඨාබය ගැන කියන්න කරුණු කාරණා එමටයි. ඒ තමයි මහාසෙන් රජ්ජුරුවන්ගේ පියා. ඒ වගේම සිරිසගබෝ රජතුමාගේ සහෝදරයෙක්. මේ කතා කරන්නේ අන්න ඒ ගෝඨාබය ගැනයි.

අපේ රටේ තියෙන ථේරවාදය එදා ඉදලම ආරක්ෂා කළේ, දේවානම්පියතිස්ස රජ දවස ස්ථාපිත කරපු “මහා විහාරය”යි. විදෙස් රටකින් වැඩම කරපු මහායානික භික්ෂූන්, මෙහේ මහායානය ප්‍රචාරය කරනකොට, ථේරවාදය අගයන මහා විහාරය ඇවිස්සෙනවා.

මහා විහාරයේ හිමිවරු ගෝඨාබය රජතුමාට මෙහෙම කියනවා… “රජතුමනි, අපේ රටේ එදා ඉදලම තිබුණෙ ථේරවාදී ධර්මයයි. දැන් මෙහාට කොහෙන්දෝ මහායානික හාමුදුරුවරු ටිකක් කඩා පාත් වෙලා, මහායානය ප්‍රචාරය කරනවා. මහායානය කියන්නේ පට්ටපල් බොරුවක්. ඇයි ඔබතුමා එයාලා, අපේ රටේ මිත්‍යා දෘෂ්ටිය පතුරවනකන් බලා ගෙන ඉන්නේ..???”

මේක අහපු ගෝඨාබය රජ්ජුරුවෝ, අදුරගන්න පුලුවන් වෙන්නත් එක්ක, මහායානික භික්ෂූන් වහන්සේලාගේ ශරීරවල, රත් කළ යකඩයකින් සළකුණු තබලා රටින් පිටුවහල් කළා. මේ මහායානික භික්ෂූන්, ලංකාවෙන් ඉන්දියාවට වැඩම කළා.

සංඝමිත්ත හිමියන්
කාලයක් ගත වුණා. …. දැන් අර මහායානික භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නෙ ඉන්දියාවේ. මේ සිදුවීමට මුහුණ දීපු එක භික්ෂූන් වහන්සේ නමකගේ ශිෂ්‍යයෙක් ඉන්නවා “සංඝමිත්ත” කියලා. සමහරක් අය කියනවා මෙයා ශ්‍රී ලාංකික භික්ෂුවක් කියලා. කොහොමින් කොහොම හරි තමන්ගේ ගුරු හාමුදුරුවන්ව නාවනකොට, උන්වහන්සේගේ පිටේ ඇති සළකුණ සංඝමිත්ත හාමුදුරුවො දකිනවා.

උන්වහන්සේගෙන් වරක් දෙවරක් නෙවේ, කිහිප වරක්ම ඇහුවත්, ඒ ගැන කිසිම දෙයක් සංඝමිත්ත හාමුදුරුවන්ට දැන ගන්න වුණේ නෑ. ඒත් සංඝමිත්ත හාමුදුරුවන් උත්සහය අත හරින්නෙ නෑ. ඉතින් තමන්ගේ ගෝල හිමි නමගෙන් බේරෙන්න බැරි නිසා, ගුරු හිමි නම තමන්ට ලංකාවෙදි වුණු අකරතැබ්බය ගැන කියනවා.

​මේ කතාව අහන සංඝමිත්ත හාමුදුරුවන්ගෙ සිත තුළ මහා විහාරය සහ ගෝඨාබය රජු කෙරෙහි විශාල වෛරයක් ගොඩ නැගෙනවා. අන්තිමේදී මහා විහාරයෙන් සහ ගෝඨාබය රජුගෙන් පළි ගන්න, සංඝමිත්ත හාමුදුරුවන් ලංකාවට එන්න තීරණය කරනවා. ලංකාවට එන සංඝමිත්ත හාමුදුරුවන් මහා විහාරයෙන් පළි ගන්න, “මාස්ටර් ප්ලෑනක්” ගහනවා.

සංඝමිත්ත හිමියන් කුමන්ත්‍රණය දියත් කිරීම
සංඝමිත්ත හාමුදුරුවන් මුලින්ම කළේ, ගෝඨාබය රජ්ජුරුවො එක්ක මිත්‍ර වෙන එකයි. ඉතින් සංඝමිත්ත හාමුදුරුවන්, ගෝඨාබයව විටින් විට මුණ ගැහිලා, කතා බස් කරන්න වුණා.

කාලයකට පස්සේ මේ දෙන්නා ගොඩක් කුළුපග මිතුරන් බවට පත් වෙනවා. හැබැයි සංඝමිත්ත හාමුදුරුවන්ගෙ යටි අරමුණ ගැන නම්, ගෝඨාබය දැනන් හිටියේ නෑ. දැන් ගෝඨාබයටත් සංඝමිත්ත හාමුදුරුවන්ව ඉහළින්ම විශ්වාසයි. කොච්චරක් විශ්වාසද කියනව නම් තමන්ගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනයත්, සංඝමිත්ත හාමුදුරුවන්වන්ට භාර දෙනවා.

සංඝමිත්ත හාමුදුරුවන් ගෝඨාබය රජතුමාගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ කටයුත්ත එක පයින්ම භාර ගන්නවා. රජතුමාට දරුවො දෙන්නයි. වැඩිමලා “ජෙට්ඨතිස්ස”. බාලයා “මහසෙන්”.

ඔන්න දැන් වෙලාව හරි සංඝමිත්ත හාමුදුරුවන්ගේ අරමුණ ක්‍රියාත්මක කරන්න. සංඝමිත්ත හාමුදුරුවන්, කුමාරවරු දෙන්නට අධ්‍යාපනය දෙන ගමන්, මහා විහාර විරෝධී අදහස් කුමාරවරුන්ගේ ඔළුවලට දාන්න පටන් ගත්තා. මොකද පොඩි ළමයින්ගේ සිත් පිරිසිදුයි. ඕනෑම දෙයක් පොඩි කාලයේදී පුරුදු පුහුණු කරන්න පහසුයි. පොඩි කාලයේ පුරුදු පුහුණු කරපුවා, වැඩිහිටි වයසට ආවත් කරන එක කරනවාමයි.

“මහා විහාරයේ අය කරන්නෙ බොරුවක්. එයාලා නිකන් ඉදගෙන මිනිස්සු දෙන දාන වළදනවා. ථේරවාදය හරියන්නෙ නෑ. මහායනයයි හරියන්නේ. මහායානික භික්ෂුව උසස්. නියම සද්ධර්මය තියෙන්නේ අන්න එතනයි. මහා විහාරය මෙහෙන් අතුගාලා දාන්න ඕන. එයාලා මේ රටේ මිනිස්සුන්ට මිත්‍යාව පුරුදු කරනවා…” ඔන්න ඔය වගේ දේවල් උගන්වනවා. වැඩිමලා වුණු ජෙට්ඨතිස්ස මේ වචන, ඒ කණින් අහලා, මේ කණින් පිට කළත්, බාලයා වුණු මහාසේන මේ කරුණු එකක් නෑර විශ්වාස කරනවා. හොදින් හිතට ගන්නවා. සංඝමිත්ත හාමුදුරුවන් තමන්ගේ අරමුණ ක්‍රියා කරවන්න අඩි තාලම දාන්නෙ ඔන්න ඔහොමයි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

කුමන්ත්‍රණය අසාර්ථක වීම
කොහොමින් කොහොම හරි නොසිතූ මොහොතක ගෝඨාබය රජතුමා මිය යනවා. දැන් රජකම ගන්න ඉන්නේ වැඩිමලා වන ජෙට්ඨතිස්ස. ජෙට්ඨතිස්සගෙන් පස්සෙ මහසෙන්ට. සංඝමිත්ත හාමුදුරුවන්ගේ අදහස් පිළිගත්තු මහසෙන් රජවෙන්න තව සෑහෙන කාලයක් යනවා. මහා විහාරයෙන් පළිගන්න තවත් කල් යනවා. සංඝමිත්ත හාමුදුරුවන්ට ඉවසගෙන ඉන්න බැරි වුණා. දැන් සංඝමිත්ත හාමුදුරුවන් ආයිත් “මාස්ටර් ප්ලෑන්” එකක් ගහනවා ජෙට්ඨතිස්සව මරන්න. මේක ගොඩක් සූක්ෂම විදිහටයි කරන්න යන්නෙ.

ගෝඨාබය රජ්ජුරුවන්ගේ ආදාහන උත්සවයෙදී, චිතකය දල්වන්න යන්නෙ ජෙට්ඨතිස්ස. ජෙට්ඨතිස්ස චිතකය දල්වනවා. චිතකයට ගිනි ඇවිලිලා ගිනි ගන්නවා. මනුස්සයෙක්ව දානවා මිනිස්සු ඉස්සරහට පිස්සෙක් වගේ අන්දලා. එයා පිස්සුවෙන් වගේ දුවගෙන ඇවිත් ජෙට්ඨතිස්සව ගිනි ගොඩට තල්ලු කරනවා. ජෙට්ඨතිස්ස මැරෙනවා. රජකම මහාසෙන්ට යනවා. පිස්සා ඉතින් පිස්සාම නෙහ්! ඒක ඒ මිනිහා හිතලා කරපු දෙයකුත් නෙවේ. ඒක මානසික රෝගයක්. පිස්සා කියලා මරන්න යෑ. කොහොමද ටිකිරි මොළේ..???

​ඒත් ඊට කලින්, සංඝමිත්ත හාමුදුරුවන්ගේ සැලසුම ජෙට්ඨතිස්ස කුමාරයා ළගට යනවා. ජෙට්ඨතිස්ස, ගෝඨාබය රජතුමාගේ ආදාහන උත්සවයට එන්නෙ නැතුව, මාළිගාවෙ නවතිනවා. ආදාහන උත්සවය ඉවර වෙනවත් එක්කම, ජෙට්ඨතිස්ස රජ වෙනවා. “දැන් නම් බඩු හරි” කියලා හිතන සංඝමිත්ත හාමුදුරුවෝ ඉන්දියාවට පැනලා යනවා.

කුමන්ත්‍රණය යලිත් දියත් කිරීම
මේ ඔක්කොම වෙලා අවුරුදු 10ක් ගත වෙනවා. ජෙට්ඨතිස්ස රජතුමාත් මිය යනවා. මහාසෙන්ට රජකම නීත්‍යානුකූලව ලැබෙනවා. “දැන් හරි මහා විහාරයට වැඩක් දෙන්න” කියලා හිතා ගෙන ඔන්න, සංඝමිත්ත හාමුදුරුවො ආපහු ලංකාවට එනවා. ඇවිත් මහාසෙන් රජ්ජුරුවොන්ගේ උපදේශක වෙනවා.

දැන් මහසෙන් රජ්ජුරුවන්ට පොඩි කාලයේ උගන්නපු, මහා විහාර විරෝධී අදහස් ටික සංඝමිත්ත හාමුදුරුවන්, ආයිත් මහසෙන්ට එකින් එක මතක් කරනවා. මහා විහාරය විනාශ කරන තැනට, මහාසෙන්ගේ මානසිකත්වය හදනවා.

මහාසෙන් නීතියක් දානවා “මහා විහාරයට දානය දෙන්න එපා” කියලා. ඒත් මහා විහාරයේ වටිනාකම දන්න ජනතාව, මහා විහාරයට දිගින් දිගටම දන් දුන්නා. ඊට පස්සේ මහාසෙන් නීතියක් දානවා “මහා විහාරයට දානය දෙන අයට දඩ ගහනවා” කියලා. මිනිස්සු දානෙ පෙට්ටියත් එක්ක, අවශ්‍ය කරන දඩ මුදලත් අරගෙනම තමයි මිදුලට බහින්නේ. ඊට පස්සෙ නීතියක් ගෙනවා “මහා විහාරයට දානය දුන්නොත් අත් පා කපනවා” කියලා. ඒත් අපේ මිනිස්සු අත් පා කපාගෙන, මහා විහාරයට දානය ගෙනියනවා.

ඊට පස්සේ නීතියක් දානවා “මහා විහාරයට ගියොත් කෙලින්ම මරලා දානවා” කියලා. අපි කොයි කවුරුත් අපේ ජීවිත වලට ආදරේ. මැරෙන්න බයයි. මේ නිසා මිනිස්සු මහා විහාරයට එන යන එක නතර වුණා. මහා විහාරයේ හාමුදුරුවරුන්ට දානය ලැබෙන්නෙ නැතුව ගියා. දන් නොලත් හාමුදුරුවරු මහා විහාරය අත හැර ගියා. බොහෝ දෙනෙක් විදෙස් රටවලට ගියා. දැන් මහා විහාරය පාලුවට ගිය තැනක්.

අද වගේ නෙවේ ඉස්සර. ඉස්සර හිටියෙ ලද දෙයින් සතුටු වුණු පිරිසක්. ඒ අය තමන්ට අවශ්‍ය දේ පමණක් ලබා ගෙන, සරල ජීවිත ගත කළා. ඉතින් ඒ අයට එක පාරටම වටිනා කියන මැණික් ගලක්, රත්තරන් කෑල්ලක්, ඇත් දළක් වගේ, අද කාලයේ හැටියට ගොඩක් වටිනා කියන දෙයක් හම්බවුනාම, ඒවයින් මොනවා කර ගන්නද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒ අය ඒ ඔක්කොම පන්සල් වලට පූජා කරනවා. හාමුදුරුවරුත් ඉතින්, දායක ඇත්තො ශ්‍රද්ධාවෙන් දෙන දේවල්නෙ කියලා, පන්සලේ ගොඩ ගහ ගන්නවා. මේ නිසා ඒ කාලයේ පන්සල්, ධනය ගබඩාවක් වුණා. වටිනා දේවල් පිරිලා.


Click on the Image

කුමන්ත්‍රණයේ ප්‍රතිපල
අපේ රටේ තිබුණු ප්‍රධානම විහාරය වුණු මහා විහාරය මහා ධනස්කන්ධයකින් පිරිලා. ඉතින් සංඝමිත්ත හාමුදුරුවන් සහ එයාගේ ගෝලයො රොත්ත, මහා විහාරය කොල්ල කෑවා. ඒ ඔක්කොම වස්තු තම තමන්ගේ වාසස්ථානවලට ගෙනිච්චා. ඊට පස්සේ මහා විහාරය ඩෝසර් කරනවා. ඒ කියන්නේ බිමටම සමතලා කරනවා, අලි ඇත්තු දාලා. දැන් මහා විහාරයක් තියා, මහා විහාරයක් තිබ්බ තැනක්වත් හොයා ගන්න බෑ. ඒ ඉඩමෙ ඇත්තු දාලා උදු වැපිරුවා කියලා තමයි වංශ කතා වල තියෙන්නෙ.

ඉතින්…. කොහොමින් කොහොම හරි මහාසෙන් රජතුමා මේ කළ දෙයට විරුද්ධව විශාල ජනතා බලවේගයක් ගොඩ නැගෙනවා. රට පුරාවටම කැරලි කෝලහාල නිර්මාණය වෙනවා. මේ අතරතුර සෙබළුන් දහස් ගණනකින් සමන්විත කැරලිකරුවන්ගේ තවත් හමුදාවක් මාළිගාව දිහාවට එනවා. මේ ගැන වැඩි විස්තර හොයලා බැලින්නම්, හමුදාවට නායකත්වය දෙන්නෙ, මහසෙන් රජතුමාගේ හොදම හොද මිත්‍රයෙක්. මේ මිත්‍රයාගෙ නම “මේඝවණ්නාභය” යි.

මහසෙන් රජතුමාට මේක අදහගන්නත් බැරි වෙනවා. තවත් හොයලා බලනකොට මහසෙන්ගේ මිත්‍රයව මෙහෙයවන්නේ, මහාසේනගේම බිසව. මාළිගාවට එන්න කලින් අතරමගදීම මේ හමුදාව නවත්තන්න තීරණය කරන මහාසේන, තමන්ගේ රාජකීය හමුදාවත් අරගෙන පිටත් වෙනවා.

හමුදාවල් දෙකම ලොකු තැනිතලා භූමියකදි මුණ ගැහෙනවා. භූමිය දෙපැත්තේ කදවුරු බැද ගත් හමුදාවන්, පහුවදා ප්‍රති විරුද්ධ හමුදාවන් එක්ක යුද්ධ කරන්න ලෑස්ති වෙනවා.

මහාසෙන් රජතුමා, තමන්ගේ කූඩාරමේ ඉදන් රාත්‍රී ආහාර වේල ගන්න ලෑස්ති වෙනවා. ඒත් රජතුමාට ලොකු අමුත්තක් දැනෙනවා. ඒ තමයි තමන්ගේ මිත්‍රයා, වෙනදා වගේ තමන් එක්ක ආහාර ගන්න නොසිටීම. රජතුමා තමන්ගේ ආහාර වේලත් අරගෙන, එහා පැත්තෙ තියෙන කැරලිකාර හමුදාවේ බල ප්‍රදේශයට හොර රහසේ ඇතුළු වෙලා, ඒ හමුදාවට නායකත්වය ලබා දෙන තමන්ගේ මිත්‍රයාගේ කූඩාරමට එනවා. ඇවිත් මිත්‍රයා එක්ක ආහාර ගන්නවා.

එතනදි මහසෙන් රජතුමා තමන්ගෙ මිත්‍රයාගෙන් කෙලින්ම අහනවා, ඇයි තමන්ට විරුද්ධ වුණේ කියලා. එතනදි මිත්‍රයා, මහසෙන් රජතුමාට පැහැදිලි කරනවා සංඝමිත්ත හාමුදුරුවන්ගේ යටි අරමුණු, උන්වහන්සේගේ ඉගැන්වීම් වල තියෙන වැරදි, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා විහාරය අපේ රටට කරපු සේවාව සහ මේ සිද්ධියේ ඇත්ත මොකක්ද කියලා.


Click on the Image

එදා රෑ එළි වෙන්නට මත්තෙන් සියලුම දේවල් මහාසේන රජ්ජුරුවෝ, තමන්ගේ මිත්‍රයාගේ මාර්ගයෙන් දැන ගන්නවා. අන්න හොද යාලුවො ඉන්න එකේ වාසිය.. ඉතින් යුද්ධ කරන එක පැත්තකට දාපු මහාසේන රජතුමා, සියලුම ජනතාවගෙන් සමාව ගන්න ගමන්ම, මහා විහාරය තිබුණා වගේම ආයිත් හදලා දෙන්නත්, රටේ ජනතාවට පොරොන්දු වෙනවා.

මේත් එක්කම සංඝමිත්ත හාමුදුරුවෝ අභිරහස් විදිහට ඝාතනය වෙනවා. මේක කරන්නේ රජ වාසලේ වඩු බාසුන්නැහේ කෙනෙක්, රජ බිසවගේ කොන්ත්‍රාත්තුවක් මත කියලා තමයි කියවෙන්නෙ. ඒ සංඝමිත්ත, ථූපාරාමය චෛත්‍යය කඩන්න හදන කොට තමයි, පොරෝ පාරෙන් මැරෙන්නෙ. කොහොමින් කොහොම හරි ආයිත් තිබ්බ විදිහටම මහා විහාරය ඉදි වෙනවා. රජතුමා තමන් කරපු වරදට දඩුවම තමන්ටම දීගන්න, මහා විහාරයට අයත් සීමාව තූළම අධික පිරිවැයක් දරමින් ජේතවනාරාම විහාර සංකීර්ණය ඉදි කරනවා.

ජේතවනාරාම විහාර සංකීර්ණය
ජේතවනාරාමය කේන්ද්‍ර කරගෙන අභයගිරියේ සහ මහා විහාරයේ වගේම මහා විද්‍යා ප්‍රබෝධයක් ඇති වෙනවා. දෙස් විදෙස් ගිහි පැවිදි පිරිස්, අධ්‍යාපනය ලබන්න ඇදිලා එනවා. ජේතවනාරාම ස්තූපය ලෝකයේ තියෙන විශාලම ස්තූපයයි. ඒ වගේම විශාලතම ගඩොල් ඉදි කිරීමයි. ජේතවනාරාමය විශාලත්වයෙන් දෙවෙනි වෙන්නෙ, ඊජිප්තුවේ මහා පිරමීඩයට විතරයි. අඩි 400ක් උස මේ චෛත්‍යය හදන්න, පිහිටි ගල හමු වෙනකන් අඩි 26ක් ගැඹුරට අත්තිවාරමක් දානවා, ඕනෑම භූ චලනයකට ඔරොත්තු දීගන්න පුලුවන් විදිහට.

අපේ රටේ හිටපු “ජේම්ස් එම(ර්)සන් ටෙනන්ට්” කියන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ සටහන් පොතක ජේතවනාරාමය ගැනත් සදහනක් තියෙනවා. ටෙනන්ට් ගණන් බලපු විදිහට ජේතවනාරාමයේ අත්තිවාරම දාන්න විතරක් අවුරුදු 3 1/2ක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ජේතවනාරාමය නිර්මාණය කරන්න යොදා ගෙන තියෙන ගඩොල් ප්‍රමාණය මිලියන 200කටත් වඩා වැඩියි. ටෙනන්ට් ඇස්තමේන්තු කරන විදිහට මේකෙ තියෙන ගඩොල් වලින් අංග සම්පූරණ ගෙවල් 8000ක් හදලා, හැතැප්ම භාගයක් දිග පාරවල් 30ක් නිර්මාණය කරන්න පුලුවන්. ඒ වගේම ලන්ඩන් නුවර ඉදලා එඩින්බරෝ වෙනකන් ඝනකම අඩි 1ක් වෙන, උස අඩි 10ක ප්‍රාකාරයක් හදන්නත් පුලුවන්.

​ජේතවනාරාමයේ ධාතු ගර්භයේ තැන්පත් කරලා තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙ “පටී ධාතුව”යි. ඒ කියන්නෙ බුදුන් වහන්සේගේ බද පටිය.

මේක ජනප්‍රවාදයෙන් ආපු කතාවක් මිස පුරාවිද්‍යාත්මක වශයෙන් ඔප්පු කරලා නෑ. ජනප්‍රවාදයට අනුව මහසෙන් රජ්ජුරුවො අහසට අත්දෙක දික් කරලා දෙව්වරුන්ගෙන් ඉල්ලීමක් කළාලු, ජේතවනාරාම චෛත්‍යයේ නිධන් කරන්න මොකක් හරි දෙන්න කියලා. දෙව්වරු අහසෙ ඉදන් බුදු හාමුදුරුවන්ගෙ බද පටිය පහළට ඇල්ලුවලු. රජතුමා ඒක ගන්න යනකොට, ආයිත් ඒක උඩට අර ගත්තලු. ආයිත් දෙව්වරු ටික බද පටිය පහළට ඇල්ලුවලු. රජතුමා ඒක ගන්න යද්දි ආයිත් උඩට ඇදලා ගත්තලු. මේ විදිහට කිහිප වරක්ම ඒ විදිහට විනෝද වෙන්න කරලා, රජ්ජුරුවන්ව හොදටම මහන්සි කෙරෙව්වලු. අන්තිම පාර බද පටිය පහළට අල්ලනකොට, රජ්ජුරුවො උඩට පැනලා කඩුවෙන් කෑල්ලක් කඩා ගත්තලු.​

ඊට පස්සෙ මාළිගාවෙ ඉදන් ජේතවනාරාමෙට ඒක පෙරහැරේ වැඩම කළාලු. පෙරහැර ගියේ ථූපාරාමය හරහාලු. ඒ වෙලාවෙ ථූපාරාමෙ ප්‍රතිසංස්කරණ කටයුත්තක්. එතන හිටපු අය බද පටිය එතන නිධන් කරන්න කියලා ඉල්ලුවලු. පෙරහැරේ ගියපු අය ඒකට කැමති වුණේ නෑලු. ඊට පස්සෙ එතන ලොකු රණ්ඩුවක් වෙලා, දෙපැත්තෙම අය බද පටිය දෙපැත්තට ඇදලා, ඒක දෙකට ඉරිලා ගියාලු. ඒකෙනුත් ඉතුරු වුණු කෑල්ලක් තමයි ජේතවනාරාමයේ තැන්පත් කළා කියන්නෙ. මේවා ඉතින් ජනප්‍රවාද කතා.


Painting : By Radhika Jeewantha

ජේතවනාරාමය කිව්වම හැමෝටම මතක් වෙන්නෙ විශාල චෛත්‍යයක් විතරයි. හැබැයි මේක විශාල විහාර සංකීර්ණයක්. ජේතවනාරාම විහාර සංකීර්ණය ගැන අපි ලියපු සවිස්තරාත්මක ලිපිය මෙතනින් >>> ජේතවනාරාම විහාර සංකීර්ණය

ඊට අමතරව තව විහාරස්ථාන 25ක් විතර නිර්මාණය කරලා තියෙනවා.

පස්සෙ කාලයක ජේතවනාරාමයෙන් බිහි වෙනවා “සාගලික” කියලා නිකායකුත්. මේ නිකාය පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ මුල් අවධිය වෙනකන් තියෙනවා. පොළොන්නරු යුගයේ මැද භාගයේදී ථේරවාදී, මහායාන, සාගලික යන ත්‍රෛ නිකායන් සමගි කරවලා, සංඝ සාමග්‍රීය ඇති කරන්න මහා පැරකුම්බාවන්ට හැකියාව ලැබෙනවා.

මහා විහාරයේ මහානාම හිමියන්ගේ මහා වංශය
මහාසේන රජ දවස, මහා වංශය රචනා කරන, මහා විහාරයේ, මහානාම හාමුදුරුවන් මහා වංශය රචනා කරනකොට පක්ෂග්‍රාහීභාවයක් පෙන්නුම් කරලා තියෙනවා. මේ කාරණාව නිසා මහා විහාරයට අනුග්‍රහය දක්වපු රජවරු ඉහළින් වර්ණනා කරලා තියෙනවා. මහා විහාරයත් එක්ක ප්‍රශ්න ඇති කර ගත්තු රජවරු ගැන දක්වලා තියෙන්නේ අල්ප මාත්‍රයෙන්. ඒත්, මහානාම හිමියන්ට එක් කාරණයක් නිසා මහාසේන රජතුමා ගැන රචනා නොකර ඉන්න බැරි වෙනවා. ඒ, එතුමා අපේ වාරි කර්මාන්තයට කළ සේවාව නිසා.

මහසෙන් රජතුමාගේ වාරි ව්‍යාපෘති
මින්නේරිය වැව තමයි එතුමාගේ විශාලතම වාරි ව්‍යාපෘතිය. ඒ වගේම වැවක් තනලා දේවත්වයට පත් වුණු අපේ රටේ එකම පාලකයත්, මහසෙන් රජතුමයි. අදටත් ඒ පැතිවල “මින්නේරිය දෙවියො” කියන සංකල්පය තියෙනවා. ඊට අමතරව තවත් වැව් 20කට ආසන්න ප්‍රමාණයක් අලුතින් නිර්මාණය කරන්නත්, පෙර රජවරු විසින් නිර්මාණය කරපු වැව් ගණනාවක් ප්‍රතිසංස්කරණය කරන්නත් මහසෙන් රජතුමා සමත් වෙනවා.


Photography : Thivanka Nillegoda

අපේ ඉතිහාස පොතට
මේ නිසා මහසෙන් රජතුමා අපේ ඉතිහාස පොතට එකතු වෙන්නෙ “බොහෝ පිංද, බොහෝ පව්ද කළ රජ කෙනෙක්” විදිහටයි…!!!!!!

විශේෂ ස්තූතිය
01. නිමල් රණසිංහ මහතා – උසස් පෙළ ඉතිහාසය විෂයභාර, හිටපු ආචාර්යය, කොළඹ ආනන්ද විද්‍යාලය
02. වරුණ කමලවංශ මහතා – මධ්‍යම සංස්කෘතික අරමුදල (2009 – 2010)
03. හසිත ගුණසිංහ මහතා – කථිකාචාර්ය, ඉතිහාස අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.