කිත්සිරිමෙවන් රජමහා විහාරය

අපේ රටේ ඉතිහාසය අධ්‍යනය කරන්න භාවිතා වෙන මූලාශ්‍ර යටතේ එන සාහිත්‍ය මූලාශ්‍ර වර්ගයක් වන වංශ කතා වලට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ රටට තුන්වතාවක් වැඩම කරපු බවත්, මණිඅක්ඛික නා රජතුමාගේ ආරාධනයෙන් අවසන් ලංකාගමනේදී කැළණි පුරවරයට වැඩම කරපු බවත් සඳහන් වෙනවා.

බුදුන් වහන්සේ කැළණි පුරවරයට වැඩම කිරීම කියන මාතෘකාව ගත්තොත්, අපි හැමෝටම මුලින්ම මතකයට නැගෙන්නේ කැළණිය රජමහා විහාරයයි. ඒත් කැළණිය රජමහා විහාරය ආසන්නයේ, ප්‍රධාන මාර්ගයේම දකින්න ලැබුණත් කිත්සිරිමෙවන් රජමහා විහාරය ගැන මතක් වෙන්නෙ සහ මේ විහාරස්ථානය ගැන දන්නෙ බොහොම සුළු පිරිසක් විතරයි.

මේ ස්ථානය කිත්සිරිමෙවන් රජමහා විහාරය කියලා නම් කළත්, අපේ පැරැණ්ණො මේ පන්සල හදුන්වන්නෙ එගොඩ කැළණි පන්සල කියලයි. ඒකට හේතුව වුණේ කැළණිය රජමහා විහාරය සහ කිත්සිරිමෙවන් රජමහා විහාරය හරහා ගලාගෙන යන කැළණි ගඟයි. ඒ නිසා කිත්සිරිමෙවන් රජමහා විහාරය තියෙන ඉසව්ව “එගොඩ කැළණිය” කියලත්, කැළණිය රජමහා විහාරය තියෙන ඉසව්ව “මෙගොඩ කැළණිය” කියලත් හදුන්වන්න ඒ අය පුරුදු වුණා. ඒ කාලයේ (මීට දශක කිහිපයකට උඩදිත්) අද වගේ ඉසව් දෙක යා කෙරෙන පාලම තිබුණෙ නැති නිසා, කැළණි ගඟ හරහා එගොඩ මෙගොඩ යෑම සිද්ධ වුණේ පාලම් පාරුවකින්.

මේ හේතු නිසා තමයි අද සටහන කිත්සිරිමෙවන් රජමහා විහාරය වෙනුවෙන් වෙන් කරන්න අදහස් කළේ.

බුදුන් වහන්සේ කැළණි පුරවරයට වැඩම කිරීම කියන අවස්ථාවේදී සමහරක් ඉතිහාසඥයන් මත පල කරනවා, බුදුන් වහන්සේගේ වැඩම කිරීම, සුප්‍රසිද්ධ මැණික් පුටුව නිධන් කරපු, කැළණිය රජමහා විහාරස්ථ පූජා භූමියේ සිදු වෙන්න ඇති කියලා.

ඒ වගේම තවත් ඉතිහාසඥයන් පිරිසක් මතයක් පල කරනවා ඒ වැඩම කිරීම සිදුවෙන්න ඇත්තේ කිත්සිරිමෙවන් රජමහා විහාර පරිශ්‍රයට කියලා.

මේ අතරේ තවත් ඉතිහාසඥයන් පිරිසක් මත පල කරනවා උන්වහන්සේගේ වැඩම කිරීම, මේ පරිශ්‍ර දෙකටම සිදු වෙන්න ඇති කියලත්.

අපේ වංශ කතා වලට අනුව බුදුන් වහන්සේගේ අවසන් ලංකා ගමනයේදී උන්වහන්සේ කැළණි ගගෙන් ස්නානය කළ බව සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ භාවිතා කරපු ජලසාටිකාව, එහෙමත් නැත්නම් නානකඩය නිධන් කරලා, කිත්සිරිමෙවන් විහාරයේ චෛත්‍යය නිර්මාණය වුණා කියලා තමයි සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් වෙන්නෙ. ඒ කර්තව්‍යයට මූලිකත්වය අරගෙන තියෙන්නෙ මණිඅක්ඛික නා රජතුමාම තමයි.

මේ විස්තරය සත්‍යයක් නම්, ජීවමාන බුදුන් වහන්සේගේ කාලයේදී අපේ රටේ නිර්මාණය වුණා යැයි සැළකෙන මහියංගනය, නාගදීපය, කැළණිය, ගිරිහඩුසෑය වගේ ස්තූප ලැයිස්තුවට කිත්සිරිමෙවන් රජමහා විහාරයේ තිබෙන ස්තූපයත් එකතුවෙනවා. ඒ වගේම බුදුන් වහන්සේගේ ජලසාටිකාවක් (බුදුන් වහන්සේ විසින් පරිහරණය කරන ලද හෙවත් පාරිභෝගික ධාතුවක්) තැන්පත් කරලා නිර්මාණය කරපු ලෝකයේ පළවෙනි සහ එකම ස්තූපය විදිහට හඳුන්වන්නෙත් මේ ස්තූපයම තමයි.

ඒත් කිත්සිරිමෙවන් විහාරයේ චෛත්‍යය අද තියෙන තත්වයේ තියෙන්නෙ අපේ රටේ රාජ්‍ය පාලනයේ නිරත වුණු රජවරු සිය දහස් ගණනකගේ ස්පර්ශය ලබලා කියලත් මතක තියා ගන්න ඕන.

ඒ අතරින් ප්‍රධානතම රජතුමා විදිහට සැළකෙන්නෙ කිත්සිරිමෙවන් රජතුමයි (ක්‍රි.ව. 304 – 328). එතුමා මේ විහාරස්ථානය, විහාරස්ථානයක් ඇතුළු ආරාම සංකීර්ණයක් විදිහට ගොඩනගන්න විශාල මෙහෙවරක් කරපු නිසා පස්සෙ කාලෙක මේ විහාරස්ථානය එතුමාගේ නමින් නම් කෙරෙනවා.

ඒත් මේ විහාරස්ථානයේ නම ගැන තවත් අප්‍රසිද්ධ මතයක් තියෙනවා. ඒ, ගජබාහු රාජ්‍ය සමයේ කිත්සිරිමේඝ මාපාගේ අනුග්‍රහයෙන් මේ විහාරස්ථානය සංවර්ධන වුණු නිසා මේ විහාරස්ථානයට කිත්සිරිමේඝ මාපාගේ නම ලැබුණාය කියන මතයයි.

කෝට්ටේ රාජධානියට එල්ල වුණු පෘතුගීසී ආක්‍රමණයෙන් විනාශ වුණු බොහෝමයක් විහාරස්ථාන නැවත ගොඩනගන්න සහ ප්‍රතිසංස්කරණයට මුල් වුණු රජ කෙනෙකු විදිහට මහනුවර රාජධානියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ප්‍රසිද්ධියක් උසුලනවා.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට කැළණිය රජමහා විහාරයත් ඇතුළත් වුණු නිසා කිත්සිරිමෙවන් රජමහා විහාරය ඇතුළත් වෙලා නොතිබුණාය කියලත් හිතන්න අමාරුයි.

පුරාවිද්‍යාත්මක සාධක ගැන අවධානය යොමු කරනවා නම් මේ පරිශ්‍රය තුළින් හිටි බුදු පිළිම සහ සෙල්ලිපි කිහිපයක්ම හොයාගෙන තියෙනවා.

ඒවායෙන් සමහරක් අදත් මේ පරිශ්‍රයේ ප්‍රදර්ශනය කරලා තිබෙනවා. කැඩී ගිය හිටි බුද්ධ ප්‍රතිමාවක කොටසක්, පුවරු සහ ටැම් ලිපි කිහිපයක් ඒ අතර වෙනවා.

ඒවායේ ආගමික තොරතුරු මෙන්ම දේශපාලනික තොරතුරු ඇතුළත් කරලා තිබීමත් එක්තරා ආකාරයකට විශේෂත්වයක් ගන්නවා. ඒවායේ විහාරයේ ඉතිහාස කතාව, විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු, විහාරයට අයිති සාංඝික දේපල, විහාර දේපල විනාශ කරන්නන්ට සිදු වෙන දේවල් ආදීය සදහන් වෙලා තියෙනවා. ඒ අතරින් එක සෙල්ලිපියක් කිත්සිරිමෙවන් කැළණි විහාර ලිපිය කියලා නම් කරලා තියෙනවා.

මේ සෙල්ලිපිය ගම්පොල රාජධානි සමයේ 4 වෙනි බුවනෙකබාහු රාජ්‍ය පාලන සමයේ (ක්‍රි.ව 1341 – 1351) පිහිටවපු සෙල්ලිපියක් විදිහට හදුනාගෙන තියෙනවා.

කිත්සිරිමෙවන් කැළණි විහාරය, කිත්සිරිමෙවන් රාජ්‍ය කාලයේදී නිර්මාණය කළ බවත්, නිශ්ශංක අළගක්කෝණාර පරම්පරාවෙන් පවත්වාගෙන ආ බවත්, එම පරම්පරාවේ 10 වෙනි අළගක්කෝණාර ඇමතිවරයාගේ මූලිකත්වයෙන් බුද්ධ වර්ෂ 1887දී (ක්‍රි.ව 1344), මේ විහාරයේ අංග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් මේ සෙල්ලිපිය පිහිටවපු බවත් සඳහන් වෙනවා.

ඒ ප්‍රතිසංස්කරණ කටයුතු වලට පිළිමගෙය අසල පිහිටි මණ්ඩපයක්, බෝධි ප්‍රාකාරය, පිදුරු සෙවිළි කළ නිවාස පහක් අයත් වෙනවා. ඒ වගේම කොත් 13ක් පැළඳ වූ සත් මහල් බෝධි කොටුවක් සහ බෝධිය නැවත ගොඩ නැගූ බවත් සඳහන් වෙනවා.

ඒ වගේම විහාරස්ථානය ගොඩ නගලා, මේ විහාරස්ථානය බලා කියා ගැනීමේ රාජකාරිය පැවරීම ගැනත් සඳහනක් තියෙනවා. සෙල්ලිපියේ තියෙන විදිහට අවුරුදු 5000ක් මේවා රැක ගැනීමේ අරමුණින් පොලොන්න ප්‍රදේශයේ කුඹුරු අමුණු 45ක් සහ ඒ යටතේ ගෙවල් වතුපිටි ගස් කොළන් ඇතුළු භූමියක් මේ විහාරස්ථානයට ප්‍රදානය වෙලා තියෙනවා. ඊටත් අමතරව රාත්‍රී බණ කීමෙන් රාජ ප්‍රසාදය දිනාගත් හිමිවරු කිහිප දෙනෙකුගේ සහාය සඳහා ඒ ප්‍රදේශයේ සේවක සේවිකාවන් පූජා කළ බවත් සඳහන් වෙනවා.

ඊට අමතරව විශේෂිත සඳහනකුත් තියෙනවා. ඒක එසේ මෙසේ සඳහනක් නෙවේ. අතිභයානක සහ භයංකාර සඳහනක්.

ඒ සඳහනට අනුව, ඉර හඳ පවතින තුරු මහා සංඝයා, රජු, යුව රජු සහ ඇමතිවරුනුත් මේ විහාරස්ථ සංවර්ධන කටයුතු පවත්වාගෙන යා යුතු බවත්, මේ වැඩ වලට බාධා කරන අය අටමහ නරකයට අයත් ලෝක තල 136ම ඉපදිලා, ඒ පව ගෙවන ගමන්, අනිත් සත්වයින්ගෙත් පව් ගෙවන්න සිද්ධ වෙන බවත් සඳහන් වෙනවා (මේ කුසලයට අවුලක් කළ කෙනෙක් ඇත් නම් එක්සිය සතිස් නරකයේත් සිතින් තැවෙමින් අන් සතුන්ගේ පවුත් ගත්තාහ).

ඒ විතරකුත් නෙවේ, මේ දේපල පුද්ගලික පරිහරණයට යොදා ගන්න අය බල්ලන් සහ කපුටන් වෙලා ඉපදෙනවා කියලත් සංඛේත වලින් දක්වලා තිබෙනවා.

මේ විහාර පරිශ්‍රයේ දකින්න පුලුවන් අනිත් දේවල් ගැන අවධානය යොමු කරනවා නම් කිත්සිරිමෙවන් විහාර චෛත්‍යයට පහළින් මලසුන් ගෙයක තැබූ සිරිපතුලක් දැක ගන්න පුලුවන්.

(හසිත ගුණසිංහ : ඊ අටුවාව බ්ලොග් අඩවිය – බුද්ධ ප්‍රතිමා නිර්මාණය නොකෙරුණු මුල්කාලීනව බුදුන් වහන්සේ සංකේතවත් කිරීමට සිරි පතුල, බෝධිය, වජ්‍රාසනය වැනි දෑ භාවිතා වුණු අතර මේ සිරි පතුලද එවැන්නකි).

ඊටත් අමතරව විහාරයේ අනික් ස්ථාන ගැන කතා කළොත්, බුදු මැදුරත් විශේෂයි. මේ බුදු මැදුරේ මහ නුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරන බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා තියෙනවා.

බිත්ති සියල්ලක්ම මහ නුවර යුගයේ ලක්ෂණ අනුව මහ රහතන් වහන්සේලාගේ රූප, බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා, සිංහල සැරසිලි මෝස්තර මාතෘකා කරගෙන පුරවලා තියෙනවා දකින්න පුලුවන්.

ඉතින් කැළණිය රජමහා විහාරයට සහ කැළණි ස්තූපයට අපේ හිත් තුළ මොන යම් හෝ ශ්‍රද්ධාවක්, ගෞරවයක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව, ගෞරවය එලෙසින්ම කිත්සිරිමෙවන් රජමහා විහාරයට සහ ඒ ස්තූපයටත් හිමි වෙන්න ඕන කියන එක තමයි අපේ අදහස.

සද්ධාය යාය මණිඅක්ඛික නාග රාජා
චේතිං ආකාසිවර අන්තරවාසකංයං
යස්මිං නිධාය මුණිණෝ තමනුස්ස රන්තෝ
වන්දාමි කිත්සිරි සව්හය ථූපරාජං

මූලාශ්‍ර :-
01. e – අටුවාව : කිත්සිරිමෙවන් කැලණි රාජ මහා විහාරය
02. සාංඝික දේපල (2002) – මහාචාර්ය මැන්දිස් රෝහණදීර

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.