ඉන්දීය යුධ හමුදාවට වැරදුණු නාගලන්ත ඔත්තුව

December 10, 2021

ඉන්දීය යුධ හමුදාවේ 21 වන පැරා විශේෂ බලකා (21 Para SF) බැටෑලියනයේ සෙබළුන් පිරිසක් 2021 දෙසැම්බර් 4 වනදා සන්ධ්‍යා යාමයෙහි නාගලන්ත ප්‍රාන්තයේ මොන් දිස්ත්‍රික්කයේ මාර්ගයක් අසළ රැකගෙන සිටියේ ඔවුන්ට ලැබුණු ඔත්තුවකට අනුවයි.

මෙම ඔත්තුව මගින් කියැවුණේ නාගලන්ත ජාතික සමාජවාදී කවුන්සිල – කප්ලාන් පාර්ශවයේ (NSCS-K) සටන්කාමීන් පිරිසක් මෙම මාර්ගය ඔස්සේ පැමිණෙනු ඇති බවයි. මේ අනුව සූදානමින් සිටි සෙබළුන්ට බෝලෙරෝ ජීප් රථයක් තමන් දෙසට එනු දකින්නට ලැබුණා. එම භටයින් ඒ වෙත ප්‍රහාරයක් එල්ල කළා.

ප්‍රහාරයෙන් ජීප් රථයේ වූ සය දෙනකු මියගොස් අනෙක් දෙදෙනා තුවාල ලැබුවා. නමුත් එම රථය පරීක්ෂා කරද්දී විශේෂ බලකා සෙබළුන් දුටුවේ එහි සිටින්නේ කැරලිකරුවන් නොව සාමාන්‍ය වැසියන් බවයි. ඔවුන් තුවාල ලැබූවන් දෙදෙනා රෝහල්ගත කරන්නට කටයුතු කළා.

කෙසේ වෙතත් ඒ වනවිට කිසියම් සිද්ධියක් සිදුව ඇති බවට ප්‍රදේශයේ ජනතාවට දැනගන්නට ලැබුණා. ජනතාව සිද්ධිය වූ ස්ථානයට පැමිණි අතර එහිදී ඔවුන් සහ සෙබළුන් අතර ගැටුමක් ඇතිවුණා. එහිදී සිවිල් වැසියන් හත් දෙනෙක් මියගිය අතර මෙම සිද්ධීන් අතර සෙබළකු ද මියගිය බව වාර්තා වුණා. හමුදා වාහන කිහිපයක්ද ගිනිබත් කරනු ලැබුණා.


ගිනිබත් කළ වාහන

ඊට පසුදා ප්‍රදේශයේ ජනයා අසාම් රයිෆල් බලකායේ කඳවුරක් අසළ විරෝධතා දැක්වූවා. එහිදී ඇතිවූ ගැටුම්වලින් එක් සිවිල් වැසියෙක් මියගියා. මේ අනුව මේ සමස්ථ සිද්ධීන් හේතුවෙන් මියගිය සිවිල් වැසියන් ගණන 14 ක්. තවද තවත් සිවිල් වැසියන් පිරිසක් තුවාල ලැබුවා.

වරද ගැන පරීක්ෂණ
මෙම සිදුවීම තමන් අතින් සිදුවූ වැරදීමක් බව ඉන්දීය යුධ හමුදාව පිළිගත්තා. ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ද මේ පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශ කළා. එමෙන්ම මෙහිදී සිදුවූ වරද පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ද ඉන්දීය යුධ හමුදාව​ කටයුතු කර තිබෙනවා.

මෙම සිද්ධියේදී කරුණු කිහිපයක් පැහැදිලි කරගතයුතු වනවා. යුධ හමුදාවට වැරදි ඔත්තුවක් ලැබුණේ කෙසේද යන්නත් එම ඔත්තුවෙහි විශ්වසනීයත්වය පරික්ෂා නොකළේද යන්නත් එක් ගැටළුවක් වනවා. එමෙන්ම මෙවන් අවස්ථාවක මෙහෙයුමක් දියත් කිරීමට පෙර ප්‍රාන්ත පොලිසිය දැනුවත් කළ යුතු වන නමුත් එවැන්නක් සිදුවූයේ ද නැහැ. මෙය ද මෙම සිදුවීම පිළිබඳ ගැටළු මතු කරනවා. මේ කරුණ මත පොලිසිය මෙම ඝාතන පිළිබඳ යුධ හමුදාවට චෝදනා කරමින් නඩුවක් ද ගොනු කිරීමට කටයුතු කර තිබෙනවා.

විශේෂ බලතල පනත
නාගලන්ත සිද්ධියත් සමගම ඉන්දියාවේ ආරක්ෂක අංශවලට ඇතැම් ප්‍රදේශවලදී විශේෂ බලතල ලබාදෙන සන්නද්ධ හමුදා විශේෂ බලතල පනත (AFSPA) සම්බන්ධව විවාදයක් නිර්මාණය වී තිබෙනවා.

නාගලන්තයේ මහ ඇමති නෙයිෆියු රියෝ එම පනත හකුළාගත යුතු යයි කියා සිටිනවා. එමෙන්ම මෙඝාලයා ප්‍රාන්ත මහ ඇමති කකොන්රඩ් සංග්මා ද එම අදහස ප්‍රකාශ කර තිබුණා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මෙම පනත අනුව අස්ථායී තත්ත්වයේ පවතින්නේ යයි මධ්‍යම රජය විසින් නිගමනය කෙරෙන ප්‍රදේශයන් හි ආරක්ෂක හමුදාවල කටයුතු සඳහා සුවිශේෂී බලතල හිමි වනවා. මේ අනුව එම ප්‍රදේශයන් හි කිසිවකුත් නීතිය කඩන්නේ යයි සැක සිතුණහොත් වෙඩි තැබීමට ආරක්ෂක අංශවලට අයිතිය තිබෙනවා.

එමෙන්ම පුද්ගලයන් වරෙන්තු නොමැතිව රඳවා ගැනීම, පුද්ගල ඒකරාශීවීම් වැළැක්වීමට සහ රථවාහන පරීක්ෂා කිරීමට ද ඔවුන්ට අයිතිය ලැබෙනවා. තව ද අදාල ප්‍රදේශයන්හි දී ආරක්ෂක හමුදාවල ක්‍රියාවන් පිළිබඳ ඔවුන්ට එරෙහිව නඩු පැවරීම ද නොකළ හැකියි.


මියගිය අයගේ අවසන් කටයුතු

AFSPA පනත හඳුන්වා දෙන ලද්දේ 1958 දී වූ අතර ඊට හේතු වූයේ ද නාග ජනතාවගේ අරගලයයි. එකල එම පනත හැඳින්වූයේ සන්නද්ධ හමුදා (අසාම් සහ මනිපූර්) විශේෂ බලතල පනත ලෙසයි. වර්තමාන නාගලන්තය එකළ අසාම් ප්‍රාන්තයේ කොටසක් වූ අතර මනිපූර් හි ද නාග ගෝත්‍රික ජනයා වාසය කරන ප්‍රදේශවල නොසන්සුන්තා පැවතුණා.

පසු කලෙක මෙම පනත ඊසානදිග ඉන්දියාව මුළුල්ලේම පාහේ යෙදවුණ අතට ජම්මු සහ කාශ්මීර් හි ද බලාත්මක කෙරුණා. අදටත් ඊසානදිග ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල සහ ජම්මු හා කාශ්මීරයේ මෙම පනත බලාත්මකයි.

නාගලන්ත කැරැල්ල
නාග ජනතාව වත්මන් ඉන්දියාවේ නාගලන්තයේ මූලික වශයෙන් ජීවත්වන අතර යාබද මනිපූර් සහ අරුනාචල් ප්‍රදේශ් හි තරමක නාග ගෝත්‍රිකයන් වනවා. ඊට අමතරව නාගලන්තයට නැගෙනහිරින් මියන්මාරයේ ද නාග ජාතිකයන් සුළු පිරිසක් වාසය කරනවා.

නාග ගෝත්‍රිකයන් යයි මෙම ජනතාවට තනි පදයක් යෙදුණත් ඔවුන් විවිධ ගෝත්‍රවලට අයත් වනවා. ඔවුන්ගේ භාෂාවන්හි ද විවිධත්වයක් තිබෙනවා. යටත් විජිත සමයේදී ක්‍රිස්තියානි මිෂනාරි කටයුතු හේතුවෙන් මෙම ජනයා එම ධර්මය වැළඳගත්තා. එමෙන්ම එම මිෂනාරින් විසින් ඔවුන්ට ලතින් අක්ෂර හෝඩිය හඳුන්වා දුන්නා. අධ්‍යාපනය ද බෙහෙවින් දියුණු කෙරුණා. වර්තමානය වනවිට නාගලන්තයේ සාක්ෂරතාව සියයට සියයක් වන්නේ යයි සැලකෙනවා.


ඊසානදිග ඉන්දියාව​

නාගලන්තය ඉන්දියාවෙන් ස්වාධීන වියයුතු යයි මුලින්ම ප්‍රකාශ කරන ලද්දේ ඉන්දියාව නිදහස ලැබීමට දිනකට පෙරයි. එනම් 1947 අගෝස්තු 14 වනදා යි. ඊට මුල්වුණේ අන්ගාමි සාපු ෆිසෝ නම් නාග ගෝත්‍රික නායකයායි. 1950 දශකය වනවිට එහි බෙදුම්වාදී අරගලය ඇරඹුණා.

පසු කලෙක එම අරගලයට සම්බන්ධව සිටි බොහෝ නායකයින් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූ නමුත් නාගලන්ත සමාජවාදී ජාතික කවුන්සිලය සිය අරගලය දිගටම සිදුකළා. වර්තමානයේ ද දිගටම එම අරගලය පවත්වාගෙන යනු ලබන්නේ එම සංවිධානයේ කොටසක් විසිනුයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.