මීළඟ බල අරගලය උත්තර ධ්‍රැවයේ
නේටෝ සංවිධානයේ මහ ලේකම් යෙන්ස් ස්ටොල්ටන්බර්ග් නොබෝදා කළ ප්‍රකාශයක් හේතුවෙන් ආක්ටික් කලාපය වෙත ලෝකයේ අවධානය යළි යොමුවුණා.
ඔහු සඳහන් කළේ රුසියාව එම කලාපයේ සිය ක්‍රියාකාරකම් වර්ධනය කර ඇති බවයි. එමෙන්ම චීනයේ අවධානය ද එදෙසට යොමුව ඇති බව කියා සිටින ඔහු නේටෝව ද ආක්ටික් කලාපයේ සිය ක්‍රියාකාරකම් ඉහළ නැංවියයුතු බව සඳහන් කළා.
@elearninglk
ස්ටොල්ටන්බර්ග් කියා සිටින පරිදි රුසියාව පැරණි සෝවියට් සමයෙහි ආක්ටික් ප්‍රදේශයන් හි වූ හමුදා මධ්‍යස්ථාන ගණනාවක් යළි විවෘත කර තිබෙනවා.
එය නේටෝ සංවිධානය කෙරෙහි වන අභියෝගයක් ලෙස ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම හයිපර්සොනික් මිසයිල වැනි නවීන අවි එහි රඳවා තබා ඇතැයි ද ඔහු කියා සිටියා.
උතුරු යුරෝපයේ සිට උතුරු ඇමරිකාව වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් ඊට කෙටිම මාර්ගය ඇත්තේ ද උත්තර ධ්‍රැවයට ඉහළින් බව මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනී යනවා. එහෙයින් කිසියම් ආකාරයක ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වුවහොත් එහිදී ද මෙම ප්‍රදේශය වැදගත් වනු ඇති.
ධ්‍රැවාසන්න සේද මාවත
ආක්ටික් කලාපයේ රුසියානු ක්‍රියාකාරකම් පිළිබඳ කලක පටන් අවධානය යොමුව තිබුණා. මෙහිදී විශේෂ වැදගත්කමක් දක්වන ලද්දේ ආර්ථික අංශය කෙරෙහි යි. උතුරුදිග මුහුදු නාවික මාර්ගය පිළිබඳ කතාබහ නැවත තීව්‍ර වූයේ 2021 දී එවර් ගිවන් නම් නෞකාව සූවස් ඇළේ සිරවීමත් සමගයි.
උතුරු මුහුදු නාවික මාර්ගයේ වැදගත්කම පිළිබඳව ද ඊට සමගාමී ලෙස සාකච්ඡාවක් නිර්මාණය වුණා. විශේෂයෙන්ම ගෝලීය උණුසුම වැඩිවීමත් සමගම ආක්ටික් සමුද්‍රය වෙනදාට වඩා නාවික ගමන් සඳහා යෝග්‍ය වීමත් සමග මේ සමුද්‍රය හරහා සිදුවන වෙළඳාම වැඩිදියුණු වීමේ අවකාශයක් තිබෙනවා.
රුසියාව මීට කලකට පෙර ආක්ටික් මුහුදු මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහනක් ද සකස් කළා. එහිදී කලාපයේ ගුවන් තොටුපල හතරක් ඉදි කිරීම, වරායවල් සංවර්ධනය කිරීම ආදී වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නියමිත වුණා.
කෙසේ වෙතත් මෑතකාලීනව මතුවූ භූ දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් එම වැඩසටහන ක්‍රියාවට නැගීමේ ප්‍රමාදයන් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.
ආක්ටික් මුහුදු මාර්ගය හරහා වෙළෙඳ කටයුතු සිදුකිරීමේ දී වැදගත්වන කරුණු කිහිපයක් වනවා. මෙහි එක් ප්‍රධාන වාසියක් නම් කාලයයි. චීනයේ සිට බටහිර යුරෝපයට යන නෞකාවකට ඉන්දියන් සාගරය හරහා සූවස් ඇළ පසු කරමින් යන මාර්ගයට වඩා කඩිනමින් මෙම මාර්ගය ඔස්සේ සිය ගමනාන්තය කරා යා හැකියි.
ප්‍රධාන අවාසියක් වන්නේ වසරේ එක් කාලයකදී පමණක් මෙම මාර්ගය ක්‍රියාත්මක වීමයි. වසරේ මාස දොළහෙන් මාස තුනකදී පමණ හැරුණුවිට අන් මාසවල මෙම සමුද්‍රය හරහා ගමන් කළ හැක්කේ අයිස් කඩනයක උපකාරයෙන් පමණයි.
ගෝලීය උණුසුම ඉහළ යාම සමග අනාගතයේදී මෙම මාර්ගය වඩා පහසු වනු ඇතැයි අනුමාන කරන්නට පුළුවන්. නමුත් තවම වසරේ වැඩි කලක් තුලදී, ආක්ටික් සමුද්‍රය හරහා ගමන් කිරීමට අයිස් කඩනයක උපකාර අවශ්‍ය යි.
රුසියාව සිය ආක්ටික් මුහුදු මාර්ග සංවර්ධන සැලසුම්වලදී මෙම කරුණ පිළිබඳ අවධානය යොමුකර තිබුණා. එහෙයින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන නවීන අයිස් කඩන යාත්‍රා නිපදවීමට රුසියාව සැලසුම් කර තිබෙනවා. එමෙන්ම කලාපය වෙත සිය අවධානය යොමු කරන චීනය ද ඒ පිළිබඳ සැලසුම් කරන බවයි පෙනී යන්නේ.
චීනය තමන්ව හඳුන්වා දෙන්නේ ධ්‍රැවාසන්න යාබද රාජ්‍යයක් ලෙසයි. එරට උතුරු මුහුදු මාර්ගය ඔස්සේ “ධ්‍රැවාසන්න සේද මාවතක්” නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය අයිස් කඩන යනාදිය ද නිපදවාගැනීම සිදුකළ යුතු බව චීන බලධාරීන් විසින් පවසා ඇතැයි වාර්තා වනවා.
අනාගත බල තුලනය
උතුරු මුහුදු කලාපයේ විශාලම කොටසක් අයත්වන රුසියාවට එහි විවිධ ස්වාභාවික සම්පත් සොයාගත හැකිව තිබෙනවා. ඒ අතර ෆොසිල ඉන්ධන සම්පත විශේෂයි. ගෝලීය උණුසුම වැඩිවීමත් සමග එම සම්පත් ප්‍රයෝජනයට ගැනීම වඩා පහසු වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.
තවද වෙළෙඳ කටයුතු සඳහා වුවද එම කලාපය හරහා නෞකා ගමන් කිරීමේදී රුසියාවේ අනුමැතිය අවශ්‍ය වනු ඇති. ඒ හේතුව නිසා රුසියාවට එම මාර්ගය පාලනය කිරීමේ අවකාශය හිමිවනවා. එහෙයින් අනාගතයේ ලෝකයේ වැදගත් වෙළෙඳ මාර්ගයක් විය හැකි මාර්ගයක පාලනය එරටට ලැබෙනු ඇති.
චීන – රුසියානු මිත්‍රත්වය ද සමග ආක්ටික් කලාපයේ එම දෙරටෙහි ක්‍රියාකලාපයන් ආරක්ෂක මෙන්ම ආර්ථික තර්ජනයක් ලෙස සැලකීමට බටහිර රටවල් යොමුව තිබෙනවා.
විශේෂයෙන්ම රුසියාව හැර අනෙකුත් ආක්ටික් කලාපීය රටවල් වන ඇමරිකාව, කැනඩාව, නෝර්වේ, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්වීඩනය සහ ෆින්ලන්තය මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.
ඇමරිකාව මෙම කලාපය සඳහා විශේෂ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු පත්කිරීමට ද තීරණය කළ බව පසුගිය දා නිවේදනය කෙරුණා.
නේටෝ මහ ලේකම් ස්ටොල්ටන්බර්ග් පෙන්වා දී තිබුණේ ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝව සමග සම්බන්ධ වීමත් සමග ආක්ටික් කලාපීය රටවල්වලින් රුසියාව හැර අන් සියළු රටවල් එම සංවිධානයේ සාමාජිකයන් වනු ඇති බවයි.