අතීත අභ්‍යාවකාශ සිදුවීම්

හැලොවීන් සැමරීමට අභ්‍යවකාශයෙන් ආ මිනිස් හිස්කබල

හැලොවීන් යනු එංගලන්තය හා අයර්ලන්තය වැනි රටවල බිහිවී පසු කලෙක ලෝකය පුරාම ජනප්‍රිය වුණු, මෑත කලකදී පෙරදිග රටවලටද ව්‍යාප්ත වුණු උත්සවයකි. කෙල්ටික (Celtic) රටවල අස්වනු නෙලීමේදී පැවැත්වුණු උත්සව පසු කලෙක ක්‍රිස්තියානිකරණය වීමෙන් හැලොවීන් උත්සවය බිහිවන්නට ඇතැයි සැලකේ. සෑම වසරකම ඔක්තෝබර් මස 31 වනදා පැවැත්වෙන මෙම උත්සවය සැමරෙන්නේ මිනිසුන් බොහෝවිට භූත අවතාර, රාක්ෂයින්, සොම්බීස් වැනි භයංකර චරිත ආකාරයට වෙස්වළා ගැනීමෙන් සහ ඒ ආශ්‍රිත නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීමෙනි. ඒ හැර වර්තමානයේදී කාටූන් චරිත, සුපිරි වීර චරිත ආදියද මෙම වෙස්වළා ගැනීම් අතර බහුලව දැකිය හැකිය.

කෙසේ හෝ 2015 ඔක්තෝබර් 31 පැවැත්වුණු හැලොවීන් උත්සවයට පිටසක්වළින් පැමිණි අමුත්තෙක්ද එක් වූයේය!


෴2015 TB145 ග්‍රහකය෴

එය වෙන කිසිවක් නොව බැලූ බැල්මට මිනිස් හිස්කබලක් ලෙස දිස්වන ග්‍රහකයකි. 2015 TB145 යනුවෙන් නම් කෙරුණු මෙම යෝධ ආකාශ වස්තුව හැලොවීන් දිනයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී දහයට පමණ පෘථිවිය ආසන්නයෙන් ගමන් කළේය.

2015 TB145 මුලින්ම දුරේක්ෂවලට හසුකරගනු ලබන්නේ එම වසරේම ඔක්තෝබර් මස 10 වනදා ය. ඒ හවායි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කටයුතුවල නිරත වී සිටින විද්‍යාඥයන් පිරිසක් විසිනි. ඉන්පසුව පුවෙටෝ රිකෝහි පිහිටි එක්සත් ජනපද ජාතික විද්‍යා පදනමට අයත් Arecibo නිරීක්ෂණාගාරය මගින් මෙහි පළමු රේඩාර් ඡායාරූප ලබාගන්නා ලදී. 2015 TB145හි එක් පසෙක ස්වරෑපය ආලෝකය හමුවේ මිනිස් හිස්කබලක ආකාරයට දිස්වන බව දක්නට ලැබුණේ මේ රේඩාර් ඡායාරූපවලිනි.

මීටර් 600ක පමණ විෂ්කම්භයකින් හා ආසන්න ගෝලාකාර හැඩයකින් යුතු 2015 TB145 සෑම පැය පහකටම වරක් තමා වටා භ්‍රමණය වෙයි. එමෙන්ම දැනට සොයාගෙන ඇති ආකාරයට මෙය මියගිය වල්ගා තරුවකි.

2015 TB145 හි රේඩාර් ඡායාරූප යොදාගෙන නිර්මාණය කළ චලන චිත්‍රයක් පහත දැක්වේ.


෴Credits – Arecibo/ NSF෴

දැනට සිදුකර ඇති නිරීක්ෂණ කටයුතුවලට අනුව නැවත වර්ෂ 2027 දක්වා කිසිදු ආකාශ වස්තුවක් පෘථිවියට මෙතරම් ආසන්නයෙන් ගමන් කරන්නේ නැත.

මියගිය වල්ගා තරුවක් මියගිය මිනිසෙකුගේ හිස්කබලක් ලෙස දර්ශනය වීමත්, එය හැලොවීන් දිනයේදීම පෘථිවිය අසලින්ම ගමන් කිරීමත් චමත්කාරජනක අහඹු සිදුවීම් නොවන්නේද?

මූලාශ්‍රය – නාසා නිල වෙබ් අඩවිය


මම ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටිමි

අඟහරු වටා කක්ෂගත වී භූමිය පිරික්සීමේ අරමුණින් යුතුව නාසා ආයතනයේ Viking-1 යානය දියත් වූයේ 1976 දීය. තම ඉලක්කයට ළඟා වූ Viking යානාව පෘථිවි පාලක මැදිරිය වෙත අඟහරු පෘෂ්ඨයේ ඡායාරූප එවීම ආරම්භ කරන ලදී. මේවා එකින් එක පිරික්සන ව්‍යාපෘති භාර විද්‍යාඥයන් ගල් ගැසී ගියේ එහි තිබූ එක් ඡායාරූපයක් දැකීමෙනි. සැතැපුම් 2ක පමණ දිගින් යුතු වූ අතිවිශාල මිනිස් හිසක් අඟහරු භූමිය මත තිබිණ! එහි දෑස් කෙලින්ම යොමු වී තිබුණේ Viking යානයේ කැමරාව දෙසටය!!

ඉන් මාස කිහිපයකට පසු Viking-2 යානය විසින් එවන ලද ඡායාරූප වලද මෙම අබිරහස් මුහුණ දක්නට ලැබිණ. මෙය පිහිටා තිබුණේ බොහෝ තාරකා විද්‍යාඥයන්ගේ අවධානය දිනා ගත් සිඩෝනියා ප්‍රදේශයේ ය. බොහෝ දෙනා මෙය ස්වභාවික නිර්මාණයක් නොව කෘතිමව ගොඩනංවන ලද්දක් විය හැකි බව පැවසුවද, නාසාහි විද්‍යාඥයෝ එම අදහස එකහෙළාම ප්‍රතික්ෂේප කළහ.


෴මුහුණ පිහිටා ඇති අයුරු෴

කෙසේ වතුදු නාසා විද්‍යාඥයන් තුළද මේ පිළිබඳව යම් කුකුසක් තිබුණු බව අනාවරණය වන්නේ 1998 දීය. එම වසරේදී ඔවුන් විසින් අභ්‍යවකාශගත කරන ලද MGS (Mars Global Surveyor) යානයේ නිල නොවන අරමුණු අතරට මෙම මුහුණ නිරීක්ෂණය කිරීමද ඇතුළත් විණි.

MGS යානාව සතුව ඉහළ විභේදන බලයකින් යුතු කැමරා තිබුණු අතර ඒවායින් ලබා ගත් ඡායාරූප විශ්ලේෂණය කළ විද්‍යාඥයෝ මෙම මිනිස් මුහුණ යම් කිසිවෙකු විසින් ගොඩ නැංවූවක් නොව ස්වභාවික නිර්මාණයක් බව තහවුරු කළහ.


෴දකුණුපස ඇත්තේ MGS මගින් ලබා ගත් ඡායාරූපය යි.෴

ස්වභාවධර්මය ඉතා විශ්මයජනක ය. මිනිසාට කිරීමට තබා සිතීමටවත් නොහැකි දේ මිලි තත්පර කිහිපයක් ඇතුළත කර පෙන්වීමට ස්වභාවධර්මය සමත්ය. ඔබ ඇසින් දකින සියල්ල, ඔබ විශ්වාස කරන සියල්ල සම්පූර්ණ සත්‍යය නොවේ.


ක්ෂිතිජයන් ඉක්මවා ප්ලූටෝ වෙතට…

වසර ගණනාවක් තිස්සේ ග්‍රහලෝකයක් ලෙස හැඳින්වී පසුව වාමන (කුරු) ග්‍රහලෝකයක් බවට පත් වුණු ප්ලූටෝ 2015 ජූලි 14 වනදා ප්‍රථම වතාවට තමන් නිරීක්ෂණය කිරීමට පැමිණි පෘථිවියේ නියෝජිතයෙකු දැකගත්තේය. නාසා ආයතනයට අයත් New Horizons යානය එදින ප්ලූටෝට ඉතාම ආසන්නයෙන් ගමන් කරමින් ප්ලූටෝ හා එහි චන්ද්‍රයන්ගේ අධි විභේදන ඡායාරූප ඇතුළුව මිනිසා මෙතෙක් නොදැන සිටි තොරතුරු සම්භාරයක් පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කරන ලදී.

2006 වර්ෂයේ ජනවාරි 19 දින කැනවරල් තුඩුවේ සිට Atlas V රොකට්ටුවක් ආධාරයෙන් අභ්‍යවකාශගත කෙරුණු New Horizons නාසා ආයතනය මගින් ප්ලූටෝ හා කුයිපර් පටිය (Kuiper Belt) ගවේෂණය කිරීමට යැවූ ප්‍රථම යානාව යි. වසර දහයකට ආසන්න කාලයක් වැය කරමින්, කිලෝමීටර බිලියන 7.5ක පමණ දුරක් ගෙවා ප්ලූටෝ වෙත ළඟා වූ New Horizons මෙතෙක් සිදු කළ වේගවත්ම අභ්‍යවකාශ ව්‍යාපෘතිය හා තම මූලික ඉලක්කයට ළඟා වීමට වැඩිම දුරක් ගමන් කළ යානය ලෙස ඉතිහාසගත විය.

කෙසේ වුවද මෙය ප්ලූටෝ මතට ගොඩබසින හෝ ඒ වටා කක්ෂගත වන යානාවක් නොවන අතර ප්ලූටෝ අසලින් ගමන් කළ එය මේ වනවිට උල්කා හා ‍වල්ගා තරු ට්‍රිලියනයක් පමණ ඇතැයි සැලකෙන කුයිපර් පටිය අධ්‍යයන කටයුතු ආරම්භ කරමින් සිටී. (ප්ලූටෝ පිහිටා ඇත්තේද කුයිපර් පටිය තුළය.)

ප්ලූටෝ පෘථිවියට ඉතා ඈතින් පිහිටා ඇති නිසාම මෙහෙයුම ආරම්භයේදී ඒ පිළිබඳව විද්‍යාඥයන් සතුව තිබූයේ සීමිත දැනුමකි. මේ නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ ඉතා අනතුරුදායක තත්වයන් යටතේ ය. ප්ලූටෝගේ එතෙක් සොයා නොගත් චන්ද්‍රයෙකු හා New Horizons ගැටීමට ඇති අවදානම ඉතා ඉහළ විය. (2006 දී යානය අභ්‍යවකාශගත කරන විට විද්‍යාඥයන් දැන සිටියේ ප්ලූටෝ සතුව චාරොන්, නික්ස් සහ හයිඩ්‍රා යන නමින් චන්ද්‍රයන් තිදෙනෙකු සිටින බව පමණි. ස්ටික්ස් හා කර්බරොස් යන චන්ද්‍රයන් දෙදෙනා සොයාගනු ලැබුවේ New Horizons ප්ලූටෝ වෙත ගමන් කරමින් සිටින අතරවාරයේ ය.)

New Horizons විසින් පෘථිවියට එවන ලද දත්ත වලින් අනාවරණය කරගත් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

1) ප්ලූටෝ හි විෂ්කම්භය කිලෝමීටර 2370 කි. මෙය පෘථිවිය මෙන් 1/5 ක් පමණ වේ.

2) ප්ලූටෝ පෘෂ්ඨය සෙල්සියස් අංශක -225ක් වැනි ඉතා අඩු උෂ්ණත්වයකින් යුක්ත වන අතර එම නිසා නයිට්‍රජන් හා මෙතේන් අයිස් බවට පත් වී එහි මතුපිට ස්ථර ලෙස පවතී.

3) දළ වශයෙන් මීටර 3500ක පමණ උසකින් යුතු කඳු හා කඳුවැටි ප්ලූටෝ මත ඇත.


෴ New Horizons මගින් ලබාගත් ප්ලූටෝහි අධි විභේදන ඡායාරූප෴


෴ New Horizons මගින් ලබාගත් ප්ලූටෝහි අධි විභේදන ඡායාරූප෴

විශේෂ කරුණු:
1) New Horizons මගින් ප්ලූටෝ හා එහි චන්ද්‍රයන් පිළිබඳව එක්රැස් කරගත් සියළුම දත්ත පෘථිවිය වෙත එවීමට මාස 16ක කාලයක් ගත වේ.

2) ප්ලූටෝ සොයාගත් ක්ලයිඩ් ටොම්බෝගේ අළු ස්වල්පයක් ඔහුට කෙරෙන ගෞරවයක් වශයෙන් New Horizons යානාව තුළ තැන්පත් කර ඇත.

මූලාශ්‍ර – නාසා නිල වෙබ් අඩවිය සහ space.com


ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව

උල්කාපාත වර්ෂාවන් අතර රජු ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ වාර්ෂික ආගමනය, සෑම වසරකම දෙසැම්බර් මස 4 – 17 දින කාල පරාසය තුළ සිදුවේ.

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව තාරකා විද්‍යා ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව ඇත්තේ එය ලොව පුරා ඕනෑම ස්ථානයකට දර්ශනය වීමත්, අනෙකුත් උල්කාපාත වර්ෂාවන්වලදීට වඩා විශාල උල්කා සංඛ්‍යාවක් පැහැදිලිව හා ඉතාමත් අලංකාරව දැකගත හැකි වීමත් නිසා ය. වර්ෂාව උපරිම අවස්ථාවට එළඹෙන දෙසැම්බර් 13 – 14 රාත්‍රියේ එක පැයකදී උල්කා 120ක් පමණ විවිධ වර්ණ වලින් කඩා හැලෙනු දිස් වනු ඇත.

අප දකින බොහෝ උල්කාපාත වර්ෂාවන් වලට හේතුකාරක වන්නේ වල්ගා තරු ය. එහෙත් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව හටගන්නේ 3200 Phaethon නම් වූ ග්‍රහකයත් සමග ඇදී එන සුන්බුන්වලිනි. 1982 වර්ෂයේදී සොයාගන්නා ලද 3200 Phaethon ග්‍රහකය වසර 1.4කට වරක් හිරු වටා වටයක් සම්පූර්ණ කරයි.

ජෙමිනිඩ්ස්… නමෙහි සඳහන් ආකාරයටම උල්කාපාත වර්ෂාව දර්ශනය වනු ඇත්තේ මිථුන රාශියේ (Gemini Constellation) සිට රාත්‍රී අහස පුරා විහිදී යන අයුරිනි. අහසේ දකුණු දිශාවට බරව තරමක් වැඩි උල්කාපාත ප්‍රමාණයක් දැකගත හැකි වනු ඇති අතර දක්ෂිණ අර්ධ ගෝලයට මෙය හොඳින්ම දිස්වනු ඇත්තේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී ය. ශ්‍රී ලංකාවද අයත් වන උතුරු අර්ධ ගෝලයට අඳුර වැටෙද්දීම දර්ශනය වෙයි.

විදුලි පහන් කණු, ගොඩනැගිලි ආදියෙන් නික්මෙන කෘතිම ආලෝකය හැකිතාක් අවම වන ස්ථානයක සිට ඕනෑම අයෙකුට පියෙවි ඇසින් මේ මනස්කාන්ත දර්ශනය දැකගත හැකිය. කිසිදු තාක්ෂණික උපකරණයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඉවසීම පමණි.

තවත් තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධ ලිපි සඳහා : මණ්දාකිනියෙන් ඔබ්බට – www.beyond-the-galaxy.blogspot.com

2013 වසරේ සිට "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොග් අඩවිය ලියූ අශාන් ද කොස්තා මහතා, සම්මානිත තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා බ්ලොග් රචකයෙකි. වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන ඔහු චක්‍රායුධ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා සහ පද රචකයා වශයෙන්ද කටයුතු කරයි.