දැලි පිහියෙන් කිරි කෑම

කිරිපැණි කන්න ඇති එකම ක්‍රමය දැලි පිහිය විතරක් නම් එය ඉතා සාර්ථකව සිදු කල එක් රාජ්‍ය නායකයෙක් මගේ මතකයට පැමිණේ. ඒ පර්වේෂ් මුශාරේෆ්ය.

ප්‍රාදේශීයව මතුවූ තලේබාන්, අල් කයිඩා, සහ මුජහිඩින් ත්‍රස්තවාදය මෙන්ම පිටතින් පැමිණි ඇමරිකානු, ඊශ්‍රායල සහ රුසියානු ජාත්‍යන්තර ත්‍රස්තවාදයද ඔහු අපූරුවට සමබර කරගෙන සෑහෙන දුරක් ගියේය. අවශ්‍යතාවයකදී න්‍යෂ්ඨික බලය ලබා දෙන බවට වූ රහසිගත ගිවිසුමක් යටතේ සෞදි අරාබියෙන් පකිස්තානයට ඩොලර් බිලියන ගණනක ආධාර ලබා ගැනීමට ඔහු සමත් විය.

ඒ මුදලින් විශාල ප්‍රමාණයක් ඔහු අධ්‍යාපනයට සහ පර්යේෂණ සඳහා පොම්ප කළේය. මේ කාලයේදී පර්යේෂණ හෝ විද්‍යාත්මක වැඩමුළු සඳහා පකිස්තානයට ගිය අයෙක් ඇත්නම් එහිදී ලැබෙන තරු පහේ ආගන්තුක සත්කාරය පිළිබඳව අමතක නොවී ඇති බව මට ස්ථිරව කිව හැක.

මුශාරෙෆ් බලයට පැමිණෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පරිබාහිරවය. ඔහු පැමිණි පසු සියළුම රජයේ ආයතනවලට පාහේ හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරින් පරිපාලනය සඳහා යෙදවීය. සරසවි පවා මේ ක්‍රමවේදය තුලට ඇතුලත් කෙරුණි. එහෙත් මෙම හමුදා නිලධාරීන්ගේ පාලනය තුල බොහෝ ආයතනවල සිදුවූ අයාථා ගනුදෙනු බෙහෙවින් අඩුවූ බව ඔහුගේ ප්‍රතිවාදීන් පවා පිළිගත් කරුණකි. එහෙත් මෙම දරඳඬු පරිපාලනය බොහෝ දෙනෙකුට දිරවා ගත නොහැකි විය.

මුශාරෙෆ් බලයට පැමිණෙන්නේ අලි භූතෝ ගේ පටන් සියා උල් හක්ලා, නවාස් ෂෙරිෆ්ලා, අලි සධාරිලා විසින් දුෂණය වැපුරූ බිමකය. බෙනාසීර් භූතෝගේ පාලන කාලයේ රටේ දුෂණය මෙහෙයවුයේ අලි සධාරි බව සියළු පකිස්ථානුවන්ට නොරහසකි. මේ අනුව මුශාරෙෆ් දේශපාලන ප්‍රවාහයට අනුගත වෙන්නේ දෙකොන පත්තු කල වික්කුවක් වැනි පකිස්ථානයක් පවතින වකවානුවකය.

මුශාරෙෆ් තුල ඔහුටම ආවේනික වූ දුර්වලතා කිහිපයක් තිබුණි. ජනතාවගේ වීරයා වීම උදෙසා සිදුකල අනවශ්‍ය ජනප්‍රිය මාධ්‍ය භාවිතය ඉන් එකකි. ඒ හැරෙන්නට ඔහු තරම් දෙකොන සමබර කරගෙන අතුරේ යාමට සමත් වූ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මා මෑත කාලයේදී දැක නැත. ඔහු ඇමරිකාව සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය.

තලේබාන් සහ අල්කයිඩා නායකයන් සමග විරසක නොවී ඔවුන්ගේ පකිස්ථානය තුල වූ ක්‍රියාන්විත සීමා කළේය. ඉන්දියාවට තම මිත්‍රත්වයේ දෑත දිගු කළේය. අතල් බිහාරි වජ්පායි මහතාගේ යුගයේ කාශ්මීර ප්‍රශ්ණයට ස්ථිර විසඳුමක් ලබා දීමේ ඉතා ආසන්නයටම පැමිණියේය.

මුශාරෙෆ් යුගයේ පකිස්ථානයේ සිදුවූ අධ්‍යාපන, පර්යේෂණ සහ ආර්ථික ප්‍රබෝධය මම දෑසින් දුටුවෙමි. පකිස්ථානය සංවර්ධනය කල හැක්කේ විද්‍යා සහ තාක්‍ෂණ ලෝකයේ කෙල පැමිණීමෙන්ම පමණක් බව ඔහු තරයේ විශ්වාස කළේය.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.