රුසියාවට ඒකාබද්ධ වීම ගැන යුක්‍රේන ප්‍රදේශවල මත විමසුම්
දොන්බාස් ප්‍රදේශයේ පිහිටි ස්වයං ප්‍රකාශිත දන්යෙත්ස්ක් මහජන ජනරජය සහ ලුහාන්ස්ක් මහජන ජනරජය රුසියාව සමග ඒකාබද්ධ වීම පිළිබඳ ජනමතවිචාරණ පැවැත්වීම සඳහා දින නියම කෙරුණා.
ඒ අනුව සැප්තැම්බර් 23-27 දින අතරතුර මෙම ජනමතවිචාරණ පවත්වනු ලබන බවයි එම ප්‍රදේශයන් හි බලධාරීන් නිවේදනය කළේ. ඒ සඳහා අවශ්‍ය නීති අදාළ ප්‍රදේශයන් හි ව්‍යවස්ථාදායකයන් විසින් සම්මත කරනු ලැබුණා.
මේ අතර කර්සොන් ප්‍රදේශයේ ද රුසියාව සමග ඒකාබද්ධ වීම පිළිබඳ ජනමතවිචාරණයක් එම දින වකවානුවලදී ම පැවැත්වෙනවා. තව ද සපොරෝෂියා පළාතේ රුසියානු පාලනය යටතේ පවතින ප්‍රදේශයේ ද එවන් ජනමත විමසුමක් අදාළ දිනවල ම පැවැත්වීමට නියමිත බව නිවේදනය කරනු ලැබුණා.
එම පළාතේ සැලකියයුතු ප්‍රදේශයක් තවමත් යුක්‍රේන පාලනය යටතේ පවතිනවා. පළාතේ අගනුවර වන සපොරෝෂියා නගරයේ පාලනය ද ඇත්තේ යුක්‍රේනය අතේ යි. කෙසේ වෙතත් යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරය වන සපොරෝෂියා න්‍යෂ්ටික බලාගාරය පිහිටි ප්‍රදේශය රුසියන් පාලනය යටතේ පවතිනවා.
මේ අනුව, මෙම ප්‍රදේශයන් රුසියාවට ඒකාබද්ධ වුවහොත් දන්යෙත්ස්ක්, ලුහාන්ස්ක් සහ කර්සොන් ප්‍රදේශ රුසියාවට එක් වූ බව සැලකීමට එරටට අවකාශය ලැබෙනවා. මෙම පළාත් දෙකම වර්ග කිලෝමීටර් 26,000 ට මඳක් වැඩි ප්‍රදේශයන් දෙකක් වන අතර කර්සොන් ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 28,461 ක්.
ලුහාන්ස්ක් ප්‍රදේශය මෙන්ම දන්යෙත්ස්ක් ප්‍රදේශයේ විශාල කොටසක් ද කර්සොන් ප්‍රදේශයේ භූමියෙන් සියයට අනූවක් ඉක්මවූ ප්‍රදේශයක් ද ඇත්තේ රුසියානු සහ රුසියානු හිතවාදී පාලනය යටතේ යි.
මෙම ජනමතවිචාරණ පිළිබඳ ප්‍රතිචාර දක්වන යුක්‍රේනය සහ බටහිර රටවල් ඒවායේ වලංගුභාවය ප්‍රශ්න කර සිටිනවා. විශේෂයෙන්ම යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා කියා සිටියේ කිනම් ජනමත විමසුම් පැවැත්වූව ද යථාර්ථය මගහැරීමට රුසියානුවන්ට නොහැකි බවයි. එනම්, යුක්‍රේනය විසින් දොන්බාස් ඇතුළු තමන්ට අහිමි වූ ප්‍රදේශ නැවත අත්පත් කරගන්නා බවයි ඔහු පවසා සිටියේ. යුක්‍රේනය පවසා සිටින්නේ මෙම ජනමතවිචාරණ පවත්වනු ලබන්නේ රුසියාව පරාජය පිළිබඳ බියෙන් පසුවන නිසා බවයි.
මේ අතර යුරෝපා රටවල නායකයන් ද මෙම ජනමතවිචාරණ ප්‍රෝඩාවක් බව චෝදනා කළා. නේටෝ සංවිධානයේ මහ ලේකම් යෙන්ස් ස්ටොල්ටන්බර්ග් කියා සිටියේ ද මෙම ජනමතවිචාරණ නීති විරෝධී බව යි. පසුගිය සතිවල රුසියාව යුධ පිටියේ මුහුණදුන් පසුබැසීම් පිළිබඳ අවධානය වෙනතක යැවීමට සිදුකරන්නක් ලෙස ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම ජනමතවිචාරණ හඳුන්වා දී තිබුණා.
@elearninglk
හමුදා මෙහෙයුම්
හර්කිව් නගරයෙන් නැගෙනහිර ප්‍රදේශයන් හි පසුගිය දිනවල සිදුවූ සටන් හේතුවෙන් රුසියානු හමුදාවන්ට සැලකියයුතු ප්‍රදේශයකින් පසුබැසීමට සිදුවුණා. කෙසේ වෙතත් කර්සොන් ප්‍රදේශය වෙත එල්ල වූ ප්‍රහාරවලදී යුක්‍රේනියානුවන් එතරම් සාර්ථක වූයේ නැහැ. යුක්‍රේනියානුවන් එහිදී කළේ මුලින්ම කර්සොන් ප්‍රදේශය වෙත පහර දී අවධානය එදෙසට හරවාගෙන ඉන් අනතුරුව හර්කිව් ප්‍රදේශයෙන් පහර දීමයි. කර්සොන් ප්‍රදේශයට පහර දීම සඳහා ද ඔවුන් ඊට ප්‍රථමයෙන් රුසියානු සැපයුම් මාර්ගවලට වැදගත්වන පාලම් ආදී මර්මස්ථාන වෙත පහර දුන්නා. කෙසේ වෙතත් කර්සොන් ප්‍රහාරවලින් යුක්‍රේනියානුවන්ට සැලකියයුතු සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. ඔවුන් ඉතා සාර්ථක වූයේ ඉන් අනතුරුව එල්ල වූ හර්කිව් ප්‍රදේශයේ ප්‍රහාරක මෙහෙයුම්වලදී යි.
යුක්‍රේන යුධ මෙහෙයුම්වල සාර්ථකත්වය පිළිබඳ යම් ඉඟියක් ලෙස රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් විසින් අර්ධ හමුදා ජංගමගතකිරීමේ නියෝගයක් ලබාදීම සලකන්නට පුළුවන්. ඒ අනුව යම් යුධ පුහුණුවක් ලබා සිටි රුසියානුවන් යුධ සේවයට කැඳවීමට සහ ඔවුන්ට අමතර යුධ පුහුණුව ලබාදීමට තීරණය කර තිබෙනවා.
නෛතික තත්ත්වය
මේ අතර, ජනමතවිචාරණ පිළිබඳ අදහස් දැක්වූ රුසියාවේ හිටපු ජනාධිපති සහ වර්තමාන ජාතික ආරක්ෂක කවුන්සිල උප සභාපති දිමිත්‍රි මෙද්වෙදෙව් කියා සිටියේ මෙම නව ප්‍රදේශ රුසියාවට ඒකාබද්ධ වීමත් සමග ලෝක භූ දේශපාලනික පරිවර්තනය ස්ථිර කරුණක් වනු ඇති බව යි.
එමෙන්ම රුසියානු දේශසීමාව උල්ලංඝණය කරන්නන්ට එරෙහිව ස්වයං ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කෙරෙනු ඇති බවත් ඔහු කියා සිටියා. තව ද, රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2020 දී ඇතුලත් කළ සංශෝධන හේතුවෙන් අනාගතයේදී ද කිසිදු රුසියානු නායකයකුට මෙම ප්‍රදේශ රුසියාවට ඈඳාගැනීම ආපසු හැරවිය නොහැකි වනු ඇති බවයි ඔහු කියා සිටියේ. අදාල ව්‍යවස්ථා සංශෝධන අනුව රුසියාවේ කිසිදු ප්‍රදේශයක් අන් රටක් වෙත පැවරීම නීති විරෝධී වනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රදේශවල නෛතික තත්ත්වය පිළිබඳව විවාදයක් ඇතිවීම අනිවාර්යයෙන්ම සිදුවනවා. රුසියාවේ ස්ථාවරය වන්නේ ජනමතවිචාරණවලින් එම ප්‍රදේශ රුසියාව හා ඒකාබද්ධ වීමට අනුමැතිය දුන්නේ නම් ඒවා රුසියාවට අයත් ප්‍රදේශ වනු ඇති බව යි.
ලුහාන්ස්ක් සහ දන්යෙත්ස්ක් 2014 දී ස්වාධීනත්වය ප්‍රකාශ කළ හෙයින් ඔවුන්ගේ තත්ත්වය කර්සොන් සහ සපොරෝෂියාවට වඩා තරමක් වෙනස් වනවා. රුසියාව විසින් ලුහාන්ස්ක් මහජන ජනරජය සහ දන්යෙත්ස්ක් මහජන ජනරජය සැලකූයේ ස්වාධීන රාජ්‍යයන් ලෙස යි.
නමුත් යුක්‍රේනය එම ජනරජවල ස්වාධීනත්වය මෙන්ම ජනමතවිචාරණ පිළිබඳ රුසියානු මතය කිසිසේත්ම පිළිගන්නේ නැහැ. යුක්‍රේනයට අනුව මෙම ප්‍රදේශ සිය භූමියෙහි කොටස් වන හෙයින් එම ප්‍රදේශ වෙන්ව යාම සිය භෞමික අඛණ්ඩතාව බිඳ හෙලීමක් ලෙස ඔවුන් විසින් සලකනු ඇති. යුක්‍රේනයේ අපේක්ෂාව වන්නේ ක්‍රිමියාව ද ඇතුලුව තමන්ට අහිමි වූ භූමිය සියල්ල නැවත අල්ලාගැනීමයි.