අවාසනාවන්ත ලුසිටානියා – දෙවන කොටස

අවාසනාවන්ත ලුසිටානියා – පළමු කොටස කියන පසුගිය ලිපියෙන් අපි සාකච්ඡා කළා ලුසිටානියා නෞකාවට ප්‍රහාරයක් එල්ල වුණු විදිහ සහ නෞකාව මුහුදු බත් වුණේ කොහොමද කියලා. දැන් අපි ඒ කතාවෙ දෙවෙනි කොටසට පිවිසෙමු. මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ලුසිටානියා නෞකාව මුහුදු බත් වීම සම්බන්ධව නඩු විභාගය පැවැත්වුණු විදිහ සහ ලුසිටානියා ඛේදවාචකයේ ගෝලීය ප්‍රතිපල ගැනයි.

අපි කලින් ලිපිය අවසානයේදී සඳහන් කළා වගේ මේ සිද්ධිය සම්බන්ධයෙන් Curnard Line සමාගමටත්, ලුසිටානියා නෞකාවේ කැප්ටන්වරයාටත්, ලුසිටානියා නෞකාවේ කාර්යය මණ්ඩලයටත් විරුද්ධව බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයෙන් නඩු පවරනවා.

පසු කාලයක බ්‍රිතාන්‍යයේ අගමැති වුණු වින්ස්ටන්ට් චර්චිල් හිටන් මේ නඩුව අධීක්ෂණය කරලා තියෙනවා. ​බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයෙන් නඩුවට ඉදිරිපත් කරන්නෙ අතිදක්ෂම නීතිඥවරු දෙන්නෙක්. මේ දෙන්නා නිසා කැප්ටන්වරයා ගොඩක් අසරණ වෙනවා. ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේදී මූලස්ථානයෙන් දන්වලා තිබුණු වේගයට වඩා අඩු වේගයකින් යෑම නිසා මේ අනතුර වුණා කියන එක තමයි, කැප්ටන්වරයාට විරුද්ධව තිබ්බ චෝදනාව. මූලස්ථානයේ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් කැප්ටන්වරයා හේතු දැක්වුවේ, ඒ වෙලාවෙ තිබුණු අධික මීදුම් සහිත තත්වය නිසා වේගය අඩු කළා කියලයි.

​නාවික බල මූලස්ථානයෙන් එල්ල වෙන වචන ප්‍රහාර නිසා නැව් සමාගම හිටන් අසරණ වුණා. මේ නිසාම ලුසිටානියා නෞකාවේ ඉතුරු වුණ කාර්යය මණ්ඩලයේ අයට, නැව් සමාගමෙන් දුන්න උපදෙස් නිසා එක එක වෙලාවට, එක එක විදිහේ උත්තර දෙන්න වුණා. ඒ නිසා කාර්යය මණ්ඩලයේ ප්‍රකාශ එකක්වත්, එකට එක ගැලපෙන්නෙ නැතුව ගියා. ​නාවික බල මූලස්ථානයට ලොකූ ඕනෑකමක් තිබුණා මේ සිද්ධියේ වරද සම්පූර්ණයෙන්ම කැප්ටන්වරයාටම පටවන්න. නඩු විභාගය අතරතුර විනිශ්චකාරවරුන් හිටිහැටියෙම වෙනස් කෙරෙනවා. මේ නිසාම කවුරුත් නොදන්න බලවත් අදෘෂ්‍යමාන බලවේගයක්, මේ නඩුවට මැදිහත්වෙලා ඉන්න බවක් නැව් සමාගමට දැනෙනවා. මේ නඩුව සම්පූර්ණයෙන්ම බලය මත මෙහෙයවෙනවා කියලා සැක හිතෙනවා. ​ලුසිටානියා නෞකාවේ දෙවෙනි සහ තුන්වන නිළධාරීවරු දෙන්නම මේ ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්වුණු එක, කැප්ටන් ටර්නර්ට ලොකුම ලොකු අවාසියක් වෙනවා.

​මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ මාධ්‍යවලිනුත් මේ සිද්ධිය ගැන ලොකූ ඉඩකඩක් වෙන් කළා. ඒත් නඩු විභාගයේදී ප්‍රකාශවෙන කරුණු, මාධ්‍යයටවත් දෙන්න සුදුසු මට්ටමක තිබුණෙ නෑ. පස්සෙ බැරිම තැන මේ නඩු විභාගය අවසන් කරන්න විනිශ්චකාරවරයා වුණු ලෝර්ඩ් මර්සේ තීරණය කරනවා. ඔහුගේ අවසාන විනිශ්චය වුණේ “ලුසිටානියා ඛේදවාචකයේ සියලු වගකීම, ලුසිටානියා නෞකාව විනාශ කිරීමට කුමන්ත්‍රණය කළ සියලු දෙනාම භාර ගත යුතුයි” කියන එකයි. මේ නඩුවෙන් හරිහමං වැරදිකරුවෙක් ගැන ප්‍රකාශ වුණේ නෑ. නඩුව ඉවර වෙනවත් එක්කම, විනිශ්චකාර ධූරයෙන් විශ්‍රාම යන්න ඔහු පියවර ගන්නවා. “ලුසිටානියා නඩුව කියන්නෙ ජරාම ජරා නඩුවක්. මේකෙ සම්පූර්ණ වාර්තාව එළියට නිකුත් කරන්නවත් මම කැමති නෑ”. ඒ තමයි මේ නඩුව ගැන ඔහු කියපු අවසාන වචන ටික. ලෝර්ඩ් මර්සේ ගැන අමතර යමක් කියනවා නම්, අවුරුදු 3කට කලින් සිදු කරපු ටයිටැනික් නඩු විභාගයේ විනිශ්චකාරවරයා වුණෙත් එයාම තමයි.

ලුසිටානියා කැප්ටන්වරයට විරුද්ධව සිද්ධ වුණු නඩු විභාගය එහෙම වෙද්දි, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය අතරෙත් මත භේද හට ගත්තා. ජර්මනිය යුධ නීති උල්ලංඝණය කළා කියලා තමයි, බිතාන්‍යයෙන් ජර්මනියට එල්ල කෙරුණු චෝදනාව. මොකද සිවිල් ජනතාවට හානි කරන එක, යුධ නීතියට අනුව තහනම්. ලුසිටානියා කියන්නෙ අහිංසක සිවිල් වැසියන්ව ප්‍රවාහනය කරපු නෞකාවක් මිස යුධ නෞකාවක් නෙවේ. ඒත් ජර්මනිය ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍යයෙන් යුධ නීති උල්ලංඝණය කළා කියලයි.

ජර්මානු රජයේ මතය වුණේ ලුසිටානියා නැවේ මගීන් ප්‍රවාහනය කරන මුවාවෙන් හොර රහසේ අවි ආයුධ, රසායනික ද්‍රව්‍ය, පතොරම් සහ වෙඩි බෙහෙත් ටොන් 1000ක් විතර ප්‍රවාහනය කළා කියන මතයයි. ඒත් මේ ප්‍රකාශය බ්‍රිතාන්‍යය රජයෙන් වගේම නෞකාව අයිති Cunard Line සමාගමෙනුත් තරයේ ප්‍රතික්ෂේප කළා. ඒත් ජර්මානු රජය පිට පිටම ප්‍රකාශ කළේ, අනිවාර්යෙන්ම ටොන් ගණනාවක් ආයුධ සහ වෙඩි බෙහෙත් ලුසිටානියා නැවෙන් ප්‍රවාහනය කළා කියලයි. ඒ නිසා ලුසිටානියා නෞකාව සාමාන්‍ය මගී නෞකාවක් විදිහට අරගන්න බැහැ කියලත්, ආයුධ සහ වෙඩි බෙහෙත් මහා පරිමාණයෙන් ප්‍රවාහනය කිරීම හරහා යුද්ධයට ආධාර කිරීමක් සිද්ධ වෙනවා කියලත්, ඒ නිසාම ලුසිටානියා යුධ නෞකාවක් කියලත්, ලුසිටානියා ගිල්ලවීම යුධ අපරාධයක් වෙන්නෙ නැහැ කියලයි.​

අපි කලින් සදහන් කළා ලුසිටානියා කියන්නෙ මහා පරිමාණයේ නෞකාවක් වුණත්, ලුසිටානියා නෞකාව සම්පූර්ණයෙන්ම මුහුදු බත් වෙන්න ගත වුණේ විනාඩි 20යි කියලා. ඒ එකම එක ටෝර්පීඩෝ ප්‍රහාරයකින්. බැරි වෙලාවත් බ්‍රිතාන්‍යය ආසන්නයේදී ප්‍රහාරයක් එල්ල වුණොත්, ලුසිටානියා නෞකාව බ්‍රිතාන්‍යය වෙනකන්ම නොනවත්වාම අරගෙන එන්න තමයි ලුසිටානියා කාර්යය මණ්ඩලය ලෑස්තිවෙලා ඉදලා තියෙන්නෙ. ඒත් ඒ හැමෝගෙම බලාපොරොත්තු කඩ කරමින්, විනාඩි 20ක් ඇතුළත මේ නෞකාව ගිලුණා. ලුසිටානියා කාර්යය මණ්ඩලයේ ගණන් බැලීම මෙතනදී නිවැරදි වුණේ නෑ. අනිත් අතට ජර්මානු සබ්මැරීනයේ හිටපු කාර්යය මණ්ඩලයේ ගණන් බැලීමට අනුව, එක ටෝර්පීඩෝවකින් සම්පූර්ණ නෞකාවම ගිල්ලවන්න බැරි වෙයි කියලා නිගමනය කරලා තිබුණා. ඒත් එයාලගෙ ගණන් බැලීමත් වැරදිලා තියෙනවා. එකම එක ටෝර්පීඩෝවකින්, සද්ධන්ත නෞකාවක් ගිල්ලවන්න පුලුවන් වුණා.​

​ඒ නිසා ජර්මානු රජය කිව්වෙ ලුසිටානියාව මහා පරිමාණයේ නෞකාවක් වුණත්, එක ටෝර්පීඩෝ ප්‍රහාරයක් නිසා විනාඩි 20ක් වගේ සුළු කාලයකින් මුහුදු බත් වුණේ, ඒ නෞකාවේ ආයුධ සහ වෙඩි බෙහෙත් ගබඩා කරලා තිබුණු නිසා කියලයි. ටෝර්පීඩෝ ප්‍රහාරයටත් වඩා, ටෝර්පීඩෝ ප්‍රහාරයෙන් පිපුරුණු වෙඩි බෙහෙත් සහ ආයුධවල බලපෑමෙන් නෞකාව ගිලෙන වේගය ඉක්මන් වුණා කියලයි. ඒත් කලින් කිව්වා වගේම බ්‍රිතාන්‍ය මේ ප්‍රකාශ අනුමත කළේ නෑ. බ්‍රිතාන්‍ය රජය ජර්මනියට ප්‍රකාශ කළේ සබ්මැරීනයෙන් ටෝර්පිඩෝ දෙකක් නෞකාවට එල්ල කරලා තිබුණා, ඒ නිසා නෞකාව ඉක්මනටම ගිලුණා කියලයි.

ලුසිටානියා ඛේදවාචකයෙන් බේරුණු හුග දෙනෙක් ප්‍රකාශ කරලා තිබිලා තියෙනවා පිපිරීම් දෙකක් වුණා කියලා. බ්‍රිතාන්‍ය රජයෙන් ප්‍රකාශ කළේ ඒ සබ්මැරීනයෙන් එවපු ටෝර්පීඩෝ දෙකක් නිසා හට ගත්ත පිපිරීම් දෙකක් කියලයි. ඒත් ජර්මානු රජයෙන් කිව්වෙ පළවෙනි පිපිරීම ටෝර්පීඩෝව නිසා වුණා කියලත්, දෙවෙනි පිපිරීම නෞකාවේ හොර රහසේ ප්‍රවාහනය කරපු වෙඩි බෙහෙත් නිසා වුණා කියලයි.

හැබැයි 2006, 2007, 2008 අවුරුදුවල ලුසිටානියා නෞකාවේ සුන්බුන් ආශ්‍රිතව කරපු ගවේෂණවලදී කිමිදුම්කරුවන්ට පුලුවන් වෙනවා, නෞකාවේ තිබිලා කැලිබර් වර්ගයේ පතොරම් 20 000කටත් වඩා වැඩි ප්‍රමාණයක් හොයාගන්න. මේ අය ඇස්තමේන්තු කරපු විදිහට ඒ ජාතියේ පතොරම්, මිලියන හතරක්වත් නෞකාවේ ප්‍රවාහනය කරලා තියෙනවා. ගොඩක්ම සිත් ගන්නා සුළු දේ ඒක නෙවේ. මේ කිමිදුම්කරුවො මේ පතොරම් හොයාගෙන තියෙන්නෙ, ලුසිටානියා නෞකාවේ ගබඩා කාමරවල තිබිලා නෙවේ. ගබඩා කාමර විදිහට භාවිතා නොවන, වෙනමම ආකාරයක රහසිගත කොටසක තිබිලයි.

හැබැයි අදටත් ලුසිටානියා ඛේදවාචකය නොවිසදුනු අභිරහසක්. ඒකට ප්‍රධානතම හේතුව විදිහට සැළකෙන්නෙ බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයේ සැක කටයුතු ක්‍රියා කලාපයයි. ​මේ කාලය වෙනකොට පළමු ලෝක යුද්ධය පටන්ගෙන අවුරුද්දයි. හැබැයි තවමත් ඇමරිකාව, ලෝක යුද්ධයට අවතීර්ණවෙලා තිබුණෙ නෑ. හැබැයි ඇමරිකාව යුද්ධයට අවතීර්ණ වුණොත්, මිත්‍ර හමුදාවට යුද්ධය පහසුවෙන්ම දිනන්න පුලුවන් තත්වයක් උදා වෙයි කියලා බ්‍රිතාන්‍ය විශ්වාස කළා. දැනට පවතින මතය අනුව බ්‍රිතාන්‍ය මේකට හොදම තුරුම්පුව විදිහට දැක්කෙ ලුසිටානියා නැවයි. මොකද ලුසිටානියා කියන්නෙ යුධ නැවක් නෙවේ. සාමාන්‍ය මිනිස්සු ප්‍රවාහනය කරන නැවක්. ලුසිටානියා, අවසාන ගමනේදී මිනිස් ජීවිත 2000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබුණා. ලුසිටානියා නැව අනතුරකට ලක් වුණොත්, ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා කියන එක කාටත් වැටහෙන දෙයක්. ජර්මානු තානාපති කාර්යාලයෙන්, ලුසිටානියා නෞකාවට ප්‍රහාරයක් එල්ලවෙයි කියලා රතු නිවේදනයක් නිකුත් කරලා තිබුණා. අනිත් අතට බ්‍රිතාන්‍ය බුද්ධි අංශයෙනුත්, ලුසිටානියාවට ප්‍රහාරයක් එල්ල වෙන්න යනවා කියලා කලින්ම අනාවරණය කරගෙන තිබුණා.

​ඉතින් ලුසිටානියාවට ප්‍රහාරයක් එල්ලවෙලා විනාශ වුණොත්, ඒ හරහා ලෝක යුද්ධයේදි මිත්‍ර හමුදාවට වාසිසහගත කරුණු දෙකක් ලැබෙනවා. එකක් තමයි ලෝකය පුරාම ඉන්න සාමාන්‍ය මිනිස්සු හරහාම, ජර්මනියට විරුද්ධව විශාල ජනතා බලවේගයක් ගොඩ නගන්නත්, ජර්මනිය අපකීර්තියට පත් කරන්නත් පුලුවන් වෙනවා. අනිත් කරුණ තමයි ඇමරිකාව උසිගන්වලා, ඇමරිකාවේ දායකත්වය වැඩි වශයෙන් යුද්ධයට ලබා ගන්න පුලුවන් වෙනවා. ඒ කාලයේ ඇමරිකානු හමුදාව, ප්‍රබලතම හමුදාවක්. ඒත් ඇමරිකාව පළවන ලෝක යුද්ධයට අවතීරණවෙලා නොතිබීම, ලෝක යුද්ධයේදී මිත්‍ර පාක්ෂික හමුදාවලට ලොකු අවාසියක්. මොකද ඇමරිකානු හමුදාවට ඒ වෙනකොටත් ලොකු මානව සහ භෞතික සම්පත් ප්‍රමාණයක් තිබුණා. ලුසිටානියා නෞකාවේ අවසන් ගමනේදී ඇමරිකානුවන් 200කටත් වැඩි ප්‍රමාණයක්, නෞකාවේ හිටියා. අනිත් අතට බ්‍රිතාන්‍ය කියන්නෙ ඒ කාලයේ ඇමරිකාවේ ප්‍රබලතම වෙළද හවුල්කරුවා. බ්‍රිතාන්‍යයට කරදරයක් වෙනකොට, ඒක ඇමරිකාවටත්, ඇමරිකාවේ ආර්ථිකයටත් සෘජුවම බලපානවා. ලුසිටානියා නැව ජර්මානුවන් ගිල්ලෙව්වොත්, ඒ සිද්ධිය බ්‍රිතාන්‍යයට එල්ල වුණු ප්‍රහාරයක් විදිහට නැතුව, ඇමරිකාවට එල්ල වුණු ප්‍රහාරයක් විදිහට ඇමරිකාව හිතන්න පුලුවන් කියලා බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානය හිතුවා. මේක බළලුන් ලවා කොස් ඇට බෑවීමක්.

ඒ වගේම ලුසිටානියාවේ අවසන් ගමනේ ගමන්මග යෙදිලා තිබුණෙ බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව අතර. ඒ නිසා ලුසිටානියාව ගැන සංවේදී බවක් ඇමරිකාවටත් අනිවාර්යෙන්ම තියෙනවා. මේ නිසා ආරම්භයේ ඉදලම බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයට ලුසිටානියා නෞකාව, ජර්මානු සබ්මැරීනයක් ලවා ගිල්ලවන්න ලොකු උවමනාවක් තිබුණා කියන එක තමයි අදට පවතින මතය. ඒ අයට අවශ්‍ය වෙලා තිබුණේ ජර්මානු තානාපති කාර්යාලයෙන් නිකුත් කරපු රතු නිවේදනය ඇත්තක් කරන්නයි. ලුසිටානියා නැවට ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් තිබෙද්දිත්, බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයෙන් ලුසිටානියා නැවේ සහායට ප්‍රහාරක යාත්‍රා නොයැවීම, මේ මතය තවත් බලවත් කරන්න පුලුවන්වෙලා තියෙනවා.

ඒ වගේම බ්‍රිතාන්‍යය නාවික බල මූලස්ථානය මුල ඉදලම ලුසිටානියා නෞකාවේ ගමන් මාර්ගය සහ ඒ අතර තියෙන ජර්මානු සබ්මැරීන්වල ගමන් මාර්ගයන්වල වෙනස්වීම් ගැන හොද නිරීක්ෂණයකින් හිටියත්, ඒ හැම තොරතුරක්ම ලුසිටානියා නැවේ කැප්ටන්වරයාට දන්වලා නෑ. කැප්ටන්වරයාට නාවික මූලස්ථානයෙන් ලැබිලා තියෙන නිවේදනවල අන්තර්ගතවෙලා තිබිලා තියෙන්නෙ බොහොම පුංචි දත්ත ටිකක්. උදාහරණයක් විදිහට ඒ නිවේදනවල ලුසිටානියා නැවේ ගමන් මාර්ගයේ මේ මේ ස්ථානවල ජර්මානු සබ්මැරීන දැකලා තියෙනවා කියලා සදහන් කරලා තිබුණත්, එහෙම දැක්කෙ කවද්ද සහ කීයටද කියලා සදහන් කරලා තිබිලා නෑ. නෞකාවේ වේගය අඩු කරන්න අවශ්‍ය අවස්ථාවලදි වේගය වැඩි කරන්න කියලත්, නෞකාවේ වේගය වැඩි කරන්න අවශ්‍ය අවස්ථාවලදි වේගය අඩු කරන්න කියලත්, නාවික බල මූලස්ථානයෙන් උපදෙස් දීලා තියෙනවා. ​

ලුසිටානියාවේ කැප්ටන්වරයාට විරුද්ධව කරපු නඩු විභාගයේදිත්, බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානය සමහරක් ලියකිවිලි සහ වාර්තා හිතාමතාම ඉදිරිපත් කරලා නෑ. ලුසිටානියා නෞකාවට අවසාන දවස් කිහිපයේදී යවපු නිවේදන වගේ වැදගත් වාර්තා උදාහරණ විදිහට නම් කරන්න පුලුවන්. ඒ වගේම අපි කලින් සදහන් කළා වගේම කැප්ටන්වරයාට විරුද්ධව ගොඩක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා. අනිත් අතට ගොඩක් සැක කටයුතු විදිහටත් ක්‍රියා කරලා තියෙනවා. අන්තර්ජාලයේ සමහරක් තැනක තියෙනවා, බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයෙන් ලුසිටානියා නෞකාවට යවන රහස් පණිවිඩවල කේත, ජර්මානුවන් විසින් කැඩුවාය (හැක් කළා), ඒත් ඒ බව හොදටම දැන දැනත් ඒ කේතවලින්ම ලුසිටානියා නෞකාවට පණිවිඩ යැව්වාය කියලත්.

කොහොමින් කොහොම හරි මේ සිද්ධිය, බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයෙන් කරපු කුමන්ත්‍රණයක් වුණත් නොවුණත්, ලුසිටානියා ඛේදවාචකය පළවන ලෝක යුද්ධයේ ප්‍රධානතම සංධිස්ථානයක් විදිහටත්, ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යය විදිහටත් පත් වුණා. අනිත් අතට මුල ඉදලම බලාපොරොත්තු වුණා වගේම, ඇමරිකානු රජයත් මේ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක්කා. මේ කාලය වෙනකොට ඇමරිකානු රජය, ජර්මනියට සුළු වශයෙන් විරුද්ධවෙලා තිබුණත්, ලුසිටානියා ප්‍රහාරයෙන් පස්සෙ ජර්මනියට විරුද්ධව දැඩි මතයක ඉන්න ගත්තා. මොකද ලුසිටානියා නෞකාවට ප්‍රහාරයක් එල්ල වුණේ යුරෝපීයන්ගේ යුද්ධයකදි වෙලත්, ඇමරිකානුවන් රැසකගේ ජීවිත අහිමි වුණා.

අපි කලින් මතක් කළා වගේම ඇමරිකාවේ හොදම වෙළද සහායකයා වුණේ බ්‍රිතාන්‍යයි. ඉතින් බ්‍රිතාන්‍යට බලපෑමක් වුණොත්, ඒක ඇමරිකානු ආර්ථිකයටත් බලපානවා. අනිත් අතට ලුසිටානියා ප්‍රහාරයත් එක්ක ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අතරේ සිද්ධවෙන ප්‍රවාහන කටයුතුවලදී විශාල අවධානමක් හට ගත්තා. ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යටත්, බ්‍රිතාන්‍යයෙන් ඇමරිකාවටත් කෙරෙන ප්‍රවාහන කටයුතුවලට, ඒ ගමන් මාර්ගයේ රදවලා තියෙන ජර්මානු සබ්මැරීන නිසා ලොකු බාධාවක් එල්ල වෙන්න ගත්තා. ලුසිටානියා නෞකාවට අමතරව ඇමරිකාවේ ඉදලා බ්‍රිතාන්‍යට යන වෙළද නැව් කිහිපයක්ම මේ සබ්මැරීනවලින් ගිල්ලෙව්වා. ලුසිටානියා ප්‍රහාරයෙන් පස්සෙ ඇමරිකානු රජයටත් ලොකු බලපෑමක් එන්න ගත්තා, ජර්මනියට විරුද්ධව යුද්ධමය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන්.

​කොහොමින් කොහොම හරි ලුසිටානියා ප්‍රහාරයෙන් පස්සෙ එල්ල වුණු අවධානම සහ බලපෑම අස්සෙ ඇමරිකාවට බ්‍රිතාන්‍යයෙන් රහස් පණිවිඩයක් එනවා. ඒ පණිවිඩයේ තියෙන්නෙ තවමත් යුද්ධයට අවතීර්ණ වෙලා නැති ඇමරිකාවට, ජර්මනියෙන් කරන්න හදන රහස් කුමන්ත්‍රණයක් ගැනයි. මේ වෙනකොටත් ඇමරිකාවට, එයාලගෙම කියලා යුද්ධයක් තිබුණා. ඒ තමයි ඇමරිකාව සහ මෙක්සිකෝව අතරේ තිබුණු ගැටුම්. බ්‍රිතාන්‍යයෙන් එවපු පණිවිඩයට අනුව, ජර්මානුවන් මෙක්සිකෝවට හොර රහසේ අවි ආයුධ, පතොරම් සහ වෙඩි බෙහෙත්, මුදල් ආධාර ලබා දීලා තියෙනවා. ඒ වෙන මොකටවත් නෙවේ, ඇමරිකාවේ දේශසීමා අඩු කරලා දාන්න. මේකෙ ප්‍රතිඵලයක් විදිහට මිලියන දෙකකින් සමන්විත ඇමරිකානු යුධ, ගුවන් සහ නාවික හමුදාවන්, 1918 අවුරුද්දෙදි පළවන ලෝක යුද්ධයට අවතීර්ණ වෙනවා. ලුසිටානියා ඛේදවාචකයත්, ඇමරිකානු හමුදාව පළවන ලෝක යුද්ධයට අවතීර්ණ වෙන්න තදින්ම බලපාලා තියෙනවා.

​ලුසිටානියා නෞකාවට ප්‍රහාරය එල්ල කරපු සබ්මැරීනයේ අණ දෙන්නා වුණු “වෝල්දර් ස්ක්වීගර්” ගැන අන්තර්ජාලයේ දෙවිදිහකට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. සමහරක් ලිපිවල තියෙනවා ජර්මානු රජයෙන් ඔහුට විරුද්ධව දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළා කියලා. සමහරක් ලිපිවල තියෙනවා ජර්මානු රජයෙන් ඔහුට ප්‍රශංසා කරලා ඔහුව යුධ වීරයෙක් විදිහට හදුන්වලා, උසස්වීමක් දුන්නා කියලත්. කොහොම හරි මුළු ලෝකයෙන්ම යුධ අපරාධකරුවෙක් විදිහට නම් කරපු “වෝල්දර් ස්ක්වීගර්” පළමු ලෝක යුද්ධය අතරතුරදී ජීවිතක්ෂයට පත්වෙනවා. ඒ සතුරු සබ්මැරිනයකින් බේරෙන්න අධික වේගයෙන් යනකොට, බ්‍රිතාන්‍යන් මුහුදෙ අටවපු බෝම්බයකට අහුවෙලා. ඒ වෙනකොටත් ඔහු මෙහෙයුම් 34කට සම්බන්ධවෙලා, විශාල ප්‍රමාණයේ නැව් 49ක් ගිල්වලා තිබුණා කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නෙ.

ලුසිටානියා නෞකාවට ටෝර්පීඩෝව යවන්න කියලා “වෝල්දර් ස්ක්වීගර්” අණ දුන්න වෙලාවෙ, ඒ අණට විරුද්ධ වුණු “චාර්ල්ස් වෝගල්”ව යුධ අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා. එතනදී චාර්ල්ස් දේශද්‍රෝහියෙක් විදිහට නම් කරලා, පළමු ලෝක යුද්ධය ඉවරවෙනකන්ම සිරගත කරලා තිබ්බා කියලා තමයි කියවෙන්නෙ.

ඉතින් ඕක තමයි ලුසිටානියා නැවේ කතාව. මේ ලිපියට අවශ්‍ය කරන කරුණු හොයා ගත්තෙ Wikipedia එකෙන් සහ Terror at Sea කෙටි චිත්‍රපටයෙන්. මේ කෙටි චිත්‍රපටයේ ලුසිටානියා නැව සම්බන්ධයෙන් අපි මේ ලිපියේ සදහන් කරපු හැම තොරතුරක්ම ලස්සනට රූපගත කරලා තියෙනවා. ජර්මානු සබ්මැරීන් ප්‍රහාරය, කැප්ටන් විලියම්ගේ නිර්දෝෂීකම, රාජකීය නෞකා බල මූලස්ථානයේ ක්‍රියාකලාපය, ඇමරිකාව උසි ගැන්වීමේ කුමණ්ත්‍රණය, නඩු විභාගය….. ඔය වගේ දේවල්. මේ චිත්‍රපටය එන්ගලන්තය සහ ජර්මනිය රටවල් දෙකම එකතුවෙලා නිර්මාණය කරපු චිත්‍රපටයක්. ධාවන කාලය ආසන්න වශයෙන් පැයයි විනාඩි 30ක් වෙනවා. ක්‍රිස්ටෝපර් පෙන්සර් කියන අධ්‍යක්ෂකවරයාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටය, 2007 අවුරුද්දෙ Discovery Channel සහ BBC හරහා එළිදැක්වුණා. ​ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් වන ජෝන් හැනා තමයි, මේකෙ ප්‍රධාන නළුවා. ජෝන් හැනා රගපාන්නෙ, ලුසිටානියා නෞකාවේ ගමන් කරන මහාචාර්යවරයෙක්ගේ චරිතයකට. මේ මහාචාර්යවරයා වටා තමයි, මේ කතාව යන්නෙ. පහළින් තියෙන්නෙ ඒ චිත්‍රපටයයි. ඒකත් බලන්න කියලා ආරාධනාවක් කරන්න කැමතියි.


උපුටා ගැනීම් : 
* ඡායාරූපය 01 : RMS Lusitania | www.rte.ie
* ඡායාරූපය 02 : RMS Lusitania | www.rte.ie
* ඡායාරූපය 03 : George Rinhart
* ඡායාරූපය 04 : www.alamy.com
* ඡායාරූපය 05 : www.samaa tv
* ඡායාරූපය 06 : www.bookwormroom.com
* වීඩියෝව : Andy Snowslayer | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.