අපේ අභිලේඛන කලාව
ලංකා ඉතිහාසය හදාරන්න පුලුවන් මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුලුවන්. ඒ තමයි සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රත් අධ්‍යනයේ පහසුවට ශිලා ලේඛන, කාසි සහ නටබුන් කියලා කොටස් තුනකට බෙදන්න පුලුවන්. මේ අතරින් ශිලා ලේඛන, එහෙමත් නැත්නම් සෙල්ලිපිවලට හිමිවෙන්නෙ සුවිශේෂී ස්ථානයක්. ඒ, සෙල්ලිපිවල තියෙන විශ්වසනීයත්වය නිසයි.
සෙල්ලිපිවල භාහිර ස්වභාවය අනුව අධ්‍යනයේ පහසුවට, සෙල්ලිපි වර්ග හතරකට බෙදනවා.
01. ලෙන් ලිපි
ගල් ලෙන්වල කටාරමට උඩින් තමයි මේ ලිපි කොටලා තියෙන්නෙ. කටාරමක් කියලා කියන්නෙ ලෙනේ උඩ කොටලා තියෙන පීල්ලක හැඩය ගන්න කාණුවකට. වැස්සක් වහින කොට ලෙන උඩින් එන වතුර පාර ඒ කාණුවට වැටිලා ගමන් කරනවා. කොච්චර හයියෙන් වතුර පාර ආවත්, ගල් ලෙන ඇතුළට වතුර වැටෙන්නෙ නෑ.
02. ගිරි ලිපි
ගල් තලා මත සකස් කරලා ලියන ලිපි “ගිරි ලිපි” කියලා හදුන්වනවා.
03. පුවරු ලිපි
සකස් කරපු ගල් පුවරුවල ලියලා තියෙන ලිපි, අපි “පුවරු ලිපි” කියලා හදුන්වනවා.
04. ටැම් ලිපි
ගල් කණුවල කොටලා තියෙන ලිපි “ටැම් ලිපි” කියලා නම් කරනවා.
ඉතිහාසය අධ්‍යනය කරන්න අපිට සෙල්ලිපි විවිධාකාරයෙන් උපකාරී වෙනවා.
* සාහිත්‍යය මූලාශ්රවල ඇති කරුණු සනාථ කිරීමට
* සාහිත්‍යය මූලාශ්රවල නැති කරුණු සොයා ගැනීමට
* සාහිත්‍යය මූලාශ්රවල දුර්වලතා සහ අඩුපාඩු නිවැරදි කිරීමට
* ජනාවාස ව්‍යාප්තිය පිළිබද අධ්‍යනය කිරීමට
* ආගමික විශ්වාස සහ ඇදහිලි ගැන අධ්‍යනය කිරීමට
* රජවරුන්ගේ සහ ප්රභූන්ගේ නම් සහ පරිත්‍යග අධ්‍යනය කිරීමට
* වෙළද කටයුතු සහ ආර්ථිකය පිළිබද දෑ හෙළි කිරීමට
* ආරාම පාලනය සහ බුදු දහම ගැන අධ්‍යනය කිරීමට
* සංඛේත, සිංහල අක්ෂර මාලාවේ විකාශය සහ ව්‍යාකරණ, විවිධ නාම ගැන තොරතුරු සෙවීමට
මේ විදිහට පුරාවිද්‍යාඥයන් සෙල්ලිපිවලින් හොයා ගත්තු තොරතුරු එකක් දෙකක් හරි දක්වනව නම් වටිනවා කියලා හිතෙනවා.
* සිතුල්පව්ව ලිපිය – දස මහ යෝධයන්
* සංඛපාල ලිපිය – දස මහ යෝධයන්
* බදුලු ටැම් ලිපිය – වෙළදපලක පාලනය
* මිහින්තලා පුවරු ලිපිය – ආරාම පාලනය
* අභයගිරි සංස්කෘත ලිපිය – ආරාම පාලනය
* කළුදිය පොකුණ ලිපිය – ආරාම පාලනය
* බඹරගල ලිපිය – උප රජවරුන්
* යටහලෙන ලිපිය – ප්‍රාදේශීය රජවරු
* කදුරුවැව ලිපිය – ප්‍රාදේශීය රජවරු
* ගොඩවාය ටැම් ලිපිය – වරායවල්වලින් අය කරන අය බදු
* පෙරිමියන්කුලම් ලිපිය – වෙළද ශ්‍රේණි සහ කර්මාන්ත
* සිතුල්පව්ව ලිපිය – අධිකරණ කටයුතු
* වෙස්සගිරිය ලිපිය – කුංචනාග සහ සිරිනාග අතර ඇති සම්බන්ධය
* තිඹිරිවැව ලිපිය – 2 වන සිරිනාග සහ ගෝඨාබය අතර ඇති සම්බන්ධය
* හැබැස්ස ලිපිය – මහානාග රජුගේ දරුවන්
* තම්මැන්නාව ලිපිය – මහානාග රජුගේ දරුවන්
* වල්ලිපුරම් රන් සන්නස – වසභ රජුගේ ඇමතියෙක් වුණු “ඉසිගිරිය” යාපනය පාලනය කරපු බව
* රජගල සෙල්ලිපිය – මහින්ද සහ ඉට්ඨිය මහ රහතන් වහන්සේලා ගැන තොරතුරු
අභිලේඛන ගැන කතා කරන කොට අපිට සීගිරි කුරුටු ගී වැදගත් වෙනවා. සීගිරි කුරුටු ගීවලින් අපිට අනුරාධපුර සහ පොළොන්නරු රාජධානිවල ඉතිහාසය, සාහිත්‍යය, කාන්තා සමාජය, ගමන් බිමන්, පුද්ගල නාම, ස්ථාන නාම, රසස්වාදය, විනෝදාංශ ගැන වගේම සීගිරියේ ඉතිහාසය ගැනත් තොරතුරු ගොඩක් හොයා ගන්න පුලුවන්.
අපේ රටේ සෙල්ලිපි කලාව ආරම්භවීම ගැන දැනට පවතින මතය තමයි, මහින්දාගමනයත් එක්ක කියන මතය. ඒ කියන්නෙ ක්‍රි.පූ 3 වන සියවසේ. අපේ රටේ සෙල්ලිපි ලිවීමේ අවධි (කාලය) අධ්‍යනයේ පහසුවට කොටස් තුනකට බෙදනවා.
ක්‍රි.පූ 3 වෙනි සියවසේ ඉදන් ක්‍රි.ව 1 වෙනි සියවස දක්වා කාලයට අයිති ලිපි, “ආදි බ්‍රාහ්මණ ලිපි” කියලා හදුන්වනවා. මේවා අපේ රටේ කදුකර ප්‍රදේශවල හැර අනිත් හැම පළාතකටම වාගේ ව්‍යාප්ත වෙලා ගිහින් තියෙනවා. මෙව්වයින් ආර්යය ජනාවාසවල සහ බුදු දහමේ ව්‍යාප්තිය ගැන අපිට තොරතුරු ලබා ගන්න පුලුවන්. මෙව්වා ගොඩක් කෙටියි. ඔප්පු වශයෙන් ලියපුවා. ඒ කියන්නෙ කවුරු හරි පුද්ගලයෙක් විසින් භික්ෂූන් වහන්සේ නමකට පරිත්‍යාග කරලා, ඒක ලියා පදිංචි කිරීමක්.
ක්‍රි.ව 1 සියවසේ ඉදන් 2 වෙනි සියවසට අයිති වෙන ලිපි “මෑත බ්රාහ්මීය සෙල්ලිපි” කියලා නම් කරනවා. මේවායෙත් තියෙන්නෙ අර කරුණුමයි. හැබැයි මෙව්වා දීර්ඝ ලිපි. කරුණු කාරණා ගොඩක් දීර්ඝව විස්තර කරලා තියෙනවා.
ක්‍රි.ව 2 වෙනි සියවසේ ඉදන් 7 වෙනි සියවස දක්වා කාලයට අයිති ලිපි තුන් වෙනි කොටසයි. මේ ලිපි තවත් දීර්ඝ විදිහට විස්තර සහිතව ලියපුවා.
සෙල්ලිපිවල ව්‍යාප්තිය අනුව ප්‍රාදේශීය කටයුතුවල කාලය නිර්ණය කරන්නත් පුලුවන් වෙනවා. මහා වංශය වගේ වංශ කතාවල වැරදි නිවැරදි කරන්නත් අපිට සෙල්ලිපි උදව් වෙනවා. උදාහරණයක් විදිහට, මහා වංශයේ තියෙන්නෙ කිත්සිරි මේඝ රජතුමා දවස් 19ක් රජකම් කළා කියලා. ඒත් ටැම්බොඩ විහාර ලිපියේ තියෙන විදිහට නම් රජතුමා අවම වශයෙන් අවුරුදු 4ක්වත් රජකම් කරලා තියෙනවා. මේ ඔස්සෙ ඉතිහාසය හොයා ගෙන ගියපු ඉතිහාසඥයන්ට හොයා ගන්න ලැබුණා කිත්සිරි මේඝ රජතුමා දවස් 19ක් නෙවේ, අවුරුදු 19ක් රජකම් කළා කියලා.