යුක්‍රේනය වෙත යුද්ධ ටැංකි දෙනවාද​?

January 23, 2023

සීත කාලය හේතුවෙන් යුක්‍රේනයේ සටන්වල යම් අඩුවීමක් පෙන්නුම් කෙරෙන 2023 ජනවාරි මුලදී බටහිර කඳවුර පසින් මතුවූ ප්‍රධානම මතභේදයක් වූයේ යුක්‍රේනය වෙත නවීන යුධ ටැංකි ලබාදීම පිළිබඳ කරුණයි. මෙහිදී විශේෂ අවධානයක් ජර්මනියේ ලෙපාර්ඩ්-2 යුධ ටැංකි කෙරේ මෙන්ම ඒවා ලබාදීමට ජර්මනිය දක්වන නොකැමැත්ත ද කෙරෙහි වැඩි අවධානයක් යොමු වුණා.

යුක්‍රේනයට ලෙපාර්ඩ්-2 යුධ ටැංකි ලබාදෙන ලෙස ඇමරිකාවෙන් මෙන්ම ඇතැම් යුරෝපා රටවලින් ද දැඩි පීඩනයක් එල්ල වූ අතර ජනවාරි 21 වන දා බටහිර කඳවුරේ ප්‍රබලයින් ජර්මනියේ රැමර්ස්ටයින් ඇමරිකන් හමුදා කඳවුරේ දී රැස්වූ අවස්ථාවේදීත් මේ කරුණ පිළිබඳ සාකච්ඡා කෙරුණා. නමුත් ඒ පිළිබඳ අවසන් තීරණයක් එදින ද ගනු ලැබුණේ නැහැ.

ජර්මනියේ විරෝධය මතුවන්නේ බ්‍රිතාන්‍යය මෙන්ම ප්‍රංශය ද යුක්‍රේනයට යුධ ටැංකි ලබාදීමට කැමැත්ත පළකරන පසුබිමකයි. බ්‍රිතාන්‍යය චැලෙන්ජර්-2 වර්ගයේ යුධ ටැංකි 14 ක් ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් එය යුද්ධයේ වාසිය යුක්‍රේනය දෙසට හැරවීමට ප්‍රමාණවත් නැහැ.


චැලෙන්ජර් 2 යුධ ටැංකිය​​​​

ලෙපාර්ඩ්-2 යුධ ටැංකිය
ජර්මනිය විසින් නිපදවනු ලබන ලෙපාර්ඩ්-2 යුධ ටැංකිය මුලින්ම හමුදා සේවයට යොදාගන්නා ලද්දේ 1979 වසරේ යි. එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 68 ක් වන අතර ප්‍රධාන අවිය මිලිමීටර් 120 ක තුවක්කුවක් වනවා.

වෙඩි බලය, වේගය සහ සන්නාහ ශක්තිය යන කරුණු අතින් ඉතා ඉහළ ස්ථානයක ලෙපාර්ඩ්-2 යුධ ටැංකිය පවතිනවා.

@elearninglk

මෙහි වැඩිදියුණු කළ මොඩල හතරක්වත් තවම භාවිතයේ තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. යුරෝපයේ රටවල් ගණනාවක් මෙම යුධ ටැංකිය භාවිතා කරන අතර තුර්කිය විසින් ද ඒවා යුධ මෙහෙයුම් සඳහා යොදාගෙන තිබෙනවා.

දැනට සමස්ථයක් වශයෙන් ලෙපාර්ඩ්-2 යුධ ටැංකි 3,500 ක් පමණ භාවිතයේ ඇතැයි විශ්වාස කෙරෙනවා.


ලෙපර්ඩ්-2 තුර්කි සේවයේ

බොහෝ රුසියානු යුධ ටැංකි වර්ග, තමන් වෙත පහරදීමට හැකි දුරකට පැමිණීමට පෙර, ඒවාට පහරදීමේ හැකියාව ලෙපාර්ඩ්-2 යුධ ටැංකියට තිබෙනවා. එමෙන්ම එහි දෘශ්‍ය උපකරණ ද වඩා දියුණු මට්ටමක තිබෙනවා.

ලෙපාර්ඩ්-2 යනු ලෝකයේ හොඳම යුධ ටැංකියක් ලෙස සලකනු ලැබුණු අතර තුර්කිය විසින් සිරියාවේදී ඒවා යොදාගත් පසු එම කීර්තිය තරමක් පුළුදු වුණා. සිරියානු කැරලිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ යුධ ටැංකි කිහිපයක්ම විනාශ වීම ඊට හේතුවයි. කෙසේ වෙතත් එම හානිවලට තුර්කි යුධ උපක්‍රම ද හේතු වූ බවයි විචාරකයින් පවසන්නේ.


Click on the Image

යුධ ටැංකි 300 ක්
යුක්‍රේනය විසින් රුසියානුවන්ට එරෙහි සටන සඳහා දිගින් දිගටම මුදල් සහ යුධ ආධාර ඉල්ලා සිටීම මෙන්ම බටහිර රටවල් විසින් ඒවා ලබාදීම ද සාමාන්‍ය කරුණක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ජනවාරිය එළඹෙද්දී යුධ සටන්වල එක්තරා සන්ධිස්ථානයක් කරා පැමිණෙන බවක් පෙන්නුම් කෙරෙනවා.

බොහෝ විචාරකයින් විශ්වාස කරන්නේ සිසිරය අවසන් වීමත් සමග රුසියාව වෙතින් දැවැන්ත මෙහෙයුමක් දියත්වීමේ අවකාශය තිබෙන බවයි. මේ සඳහා සූදානම් වීමට මෙන්ම අවශ්‍ය නම් තමන්ම ප්‍රහාරක මෙහෙයුමක් ක්‍රියාවට නැංවීම පිළිබඳ යුක්‍රේනය අවධානය යොමුකරන බව ද වාර්තා පළවනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

යුක්‍රේනයට ප්‍රබල යුධ ටැංකිවල අවශ්‍යතාවය දැඩිව දැනෙමින් පවතිනවා. එක් අතකින් ඔවුන් සතුව ඇති විශාල යුධ ටැංකි බොහොමයක් සෝවියට් යුගයේ ඒවා හෝ එම යුධ ටැංකිවල නවීකරණය කරන ලද මොඩලයි. මේවායේ හිඟයක් දැන් යුක්‍රේනයට බලපා තිබෙනවා. එමෙන්ම රුසියාව ද දිගින් දිගටම සටන් පෙරමුණු කරා යුධ ටැංකි එවන බවක් පෙනී යනවා.

මේ හේතු නිසා තමන්ට අවම වශයෙන් නවීන යුධ ටැංකි 300 ක් අවශ්‍ය බවයි යුක්‍රේනය පවසන්නේ. කෙසේ වෙතත් බොහෝ බටහිර විශ්ලේෂකයන් පවසා සිටින්නේ යුධ ටැංකි 100 ක් මගින් යුධ පෙරමුණේ තත්ත්වය වෙනස් කළ හැකිවනු ඇති බවයි.


ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ජර්මන් ආරක් ෂක ඇමති බොරිස් පිස්ටෝරියස්

කොපමණ යුධ ටැංකි ලැබුණත් ඒවා කඩිනමින් ලැබීම ද යුක්‍රේනය පාර්ශවයෙන් ගත්විට අත්‍යවශ්‍ය කරුණක්. බටහිර රටවල නවීන යුධ ටැංකි භාවිතා කිරීම සඳහා භටයින් පුහුණු කිරීමට සති කිහිපයක් ගතවනවා.

උදාහරණයක් වශයෙන් චැලෙන්ජර්-2 යුධ ටැංකියක් භාවිතා කිරීම පුහුණු කිරීමට සාමාන්‍යයෙන් සති 20 ක් පමණ ගතවන අතර කඩිනම් පුහුණුවක් සඳහා වුවද අවම වශයෙන් සති 10 ක් පමණ කල් ගතවේ යයි අනුමාන කෙරෙනවා. ලෙපාර්ඩ්-2 යුධ ටැංකි සඳහා සෙබළුන් පුහුණු කිරීමට ද සති කිහිපයක් අත්‍යවශ්‍ය වනු ඇති. එහෙයින් එම යුධ ටැංකි ලැබුණත් ඒවා ප්‍රමාද වැඩි වේදැයි සැකයක් මතුවී තිබෙනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ජර්මනිය යුධ ටැංකි නොදෙන්නේ ඇයි?
ජර්මනිය යුක්‍රේනයට ලෙපාර්ඩ්-2 යුද්ධ ටැංකි ලබා දීම සඳහා කැමැත්ත පළ නොකිරීමට විවිධ හේතු පළවනවා. එක් අදහසක් වන්නේ එසේ යුධ ටැංකි ලබාදීම ගැටුම තවත් බරපතල කිරීමට හේතු වේ යයි වන විශ්වාසයයි. රුසියාව එකට එක කරනු ඇතැයි යන බිය මෙසේ පළවනු දකින්නට පුළුවන්. ඊට අමතරව රුසියාව සමග සාකච්ඡා කිරීමේ මාර්ගය සම්පූර්ණයෙන්ම අහුරාගැනීමට ජර්මනිය සූදානම් නොවන බවක් ද දැනගන්නට තිබෙනවා.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය ද ඇබ්‍රම්ස් යුධ ටැංකි යුක්‍රේනයට ලබාදෙන්නේ නම් තමන් ද යුධ ටැංකි ලබාදෙන්නට සූදානම් බව ජර්මන් රජය පැවසූ බවට වාර්තාවක් පළවුණා. නමුත් පසුව ජර්මන් ආණ්ඩුව තමන් එසේ සඳහන් නොකළ බවයි පැවසූයේ.

මේ අතර පෝලන්තය වැනි ඇතැම් රටවල් පවසන්නේ ලෙපාර්ඩ්-2 යුධ ටැංකි ලබාදීමට ජර්මනිය අකමැති වුණ ද තමන් සතුව ද එම යුධ ටැංකි ඇති බැවින් එයින් කිහිපයක් යුක්‍රේනයට ලබාදීමට තමන්ට හැකි බවයි. එහෙත් ඒ සඳහා ද ජර්මනිය විසින් ප්‍රතිඅපනයනය සඳහා අවසරය ලබාදිය යුතුයි. නමුත් එයට ද ජර්මනිය සූදානම්ව නැහැ.

යුක්‍රේනය පවසන්නේ තමන්ට නවීන යුධ ටැංකි ඉතා අවශ්‍ය බවයි. ඒ බව නොබෝදා එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ද යළි මතක් කළා. කෙසේ වෙතත් ජර්මනිය යුධ ටැංකි ලබාදීම කෙරේ දක්වන ආකල්පයත් සමග මතුවන ප්‍රශ්නය වන්නේ කල්වේලා ඇතිව යුධ ටැංකි සෙලෙන්ස්කි වෙත ලැබේද යන්නයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.